Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිනිසුන් විසින් විනාශ කරන ලද අසමසම ස්ථාන 5ක්

සොබාදහම විසින් අපූර්ව නිර්මාණ බිහි කරනවා. සමහර විටෙක මේවා අත්විඳින විට ඇත්තෙන් ම සොබාවික ව නිර්මාණය වූවාදැ යි යන්න පවා සිතාගැනීම උගහට යි. එමෙන්ම, අතීතය පුරා ම මිනිස් ප්‍රජාව අසමසම ඉදිකිරීම් සිදුකර තිබෙනවා. එකල පැවති අඩු තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඒවා නිර්මාණය කළේ කෙසේ ද යන්න බොහෝ දෙනාට අනුමාන කිරීමත් අපහසු යි.

ලොව පුරා විසිරී ඇති උක්ත නිර්මාණ බොහොමයක් ඒවායේ වටිනාකම නිසා ම සංරක්ෂණයට ලක් කොට තිබෙනවා. කෙසේ නමුත්, ඉන් සමහරක් මිනිස් ප්‍රජාවගේ ම හැසිරීම්වල ප්‍රතිඵලයක් ලෙස අද වන විට සදහට ම ලොවට අහිමි වී ගිහින්. මේ එවැනි දේ 5ක් ගැන තොරතුරු‍ යි.

ෂැකුල්ටායා ග්ලැසියරය- බොලිවියාව

ෂැකුල්ටායා ග්ලැසියරය- Eva Sjöqvist Wenzer

ලොව වඩාත් උසකින් පිහිටි ටිටිකාකා විල ආසන්නයේ පිහිටි ෂැකුල්ටායා ග්ලැසියරය කලකට පෙර හිම ක්‍රීඩා කරන්නන්ගේ තෝතැන්නක් වී තිබුණා. මුහුදු මට්ටමේ සිට අඩි 17,388ක උසකින් පිහිටා තිබෙන මෙහි හිම ක්‍රීඩා කිරීමේ දී ‘වලාකුළු අතර සිටින්නා’ සේ හැඟීමක් දැනෙන බව බොහෝ දෙනා ප්‍රකාශ කරනවා.

කාලයාගේ අවෑමෙන් ලොව සිදු ව ඇති දේශගුණික විපර්යාසයන් ෂකුල්ටායා ග්ලැසියරයට ඉතා අහිතකර ලෙස බලපා තිබෙනවා. වසර 20ක් තුළ එම ග්ලැසියරයේ පරිමාව 80%කින් පමණ අඩු වුණා. විද්‍යාඥයින් එහි ඉතිරියත් 2015  වසර වන විට ලොවට අහිමිවනු ඇතැ යි මත පළ කළ අතර, අවසානයේ ඔවුන්ගේ අනුමානයට වසර 6කට පෙර, එනම් 2009 වසරේ දී ෂකුල්ටායා ග්ලැසියරය මුළුමණින් ම වියැකී ගියා. මෙය අහිමි වීමත් සමග ම ප්‍රදේශයේ වූ සමෘද්ධිමත්භාවයත් කෙමෙන් කෙමෙන් අඩු වී ගියා. වර්තමානය වන විට එහි වූ ආකර්ෂණය මතකයක් පමණක් වී තිබෙන අතර, එහි වූ වෙළඳසැල්, හෝටල් වැනි දේ ද නැහැ. මේ ප්‍රදේශයේ ඇති විශාලතම ගැටළුව වන්නේ ග්ලැසියරය වියැකී යාමත් සමග එහි ජල මූලාශ්‍ර රාශියක් සිඳී යාම යි.

පැල්මයිරාව- සිරියාව

Omar Sanadiki/ Reuters

සිරියාවේ අගනුවර වන ඩැමස්කස් නුවරට ඊසානදිගින් පිහිටා තිබූ පැල්මයිරාව, අතීතයේ ලොව විශිෂ්ටතම සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් වී තිබුණා. මෙය රෝම අධිරාජ්‍යයට අයත් ව තිබූ අතර, මෑතක් වන තුරු ම ඉතිරි ව තිබූ ඉදිකිරීම්වලින් ක්‍රි. ව. දෙවන සියවසට අයත් විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම විද්‍යාමාන වුණා.

පැල්මයිරාව මෑතක් වන තුරු ම සිරියාවේ වැඩි ම සංචාරක ආකර්ෂණයක් තිබූ ස්ථානයක් වුණා. කෙසේ නමුත්, මීට වසර කිහිපයකට පෙර අයි.එස්.අයි.එස් ත්‍රස්ථවාදී සංවිධානය විසින් මෙය වටා පුපුරණ ද්‍රව්‍ය අටවා සම්පූර්ණයෙන් ම පුපුරවා හැරියා. මේ නිසා ලොව බොහෝ දෙනා කම්පාවට ලක් වුණා.

බාමියන් බුද්ධ ප්‍රතිමා- ඇෆ්ඝනිස්ථානය

Afghanistan Embassy

බාමියන් බුද්ධ ප්‍රතිමා මීට දශක කිහිපයකට පෙර සැලකුණේ ලොව උස ම බුදු පිළිම වහන්සේ කිහිප නම ලෙස යි. මේවා අඩි 150කට වසා උස් වූ අතර, වසර 1,700ක පමණ ඉතිහාසයකට උරුමකම් කීවා. මෙය ඇෆ්ඝනිස්ථානය සතු වූ වැඩි ම ප්‍රේක්ෂක ආකර්ෂණය සහිත ස්ථානය වූ අතර, නිතිපතා ලොව දසතින් පැමිණි බැතිමතුන්ගෙන් පිරී පැවතුණා.

ඇෆ්ඝනිස්ථානය තලේබාන් සංවිධානයේ ග්‍රහණයට ලක් වීමත් සමග මේ ස්ථානයට කණකොකා හැඬුවා. ඔවුන් 2001 වසරේ දී මේ පිළිම සියල්ලක් ම ඩයිනමයිට් යොදා පුපුරවා හරිනවා. යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර තිබූ මේවා මෙලෙස පුපුරවා හැරීම නිසා ලොව දසතින් තලේබාන් සංවිධානයට හා ඇෆ්ඝනිස්ථානයට අපවාද ගලා ආවා.

නොහ් මුල්- බෙලීස්

edition.channel5belize.com

නොහ් මුල් බෙලීස් හි පැවති විශාලතම මායා පිරමීඩ අතුරින් එකක්. අඩි සියයක් උස් ව පැවති මෙය අවම වශයෙන් වසර 2,300ක් වත් පැරණියි. සියවස් ගණනාවක් නිරුපද්‍රිත ව පැවති මෙයට අවසානයේ  උරුම වූ ඉරණම ඉතා දුක්ඛිත හා අසාමාන්‍ය එකක්.

2013 වසරේ දී ඉදිකිරීම් සමාගමක් විසින් කුඩු කරන ලද ගල් කැබලි එකතු කරනු වස් මෙම පිරමීඩය කඩා බිඳ දමනවා. බෙලීස් රජය විසින් මේවා ආරක්ෂා කරනු ලැබුවත් කුඩු කරන ලද ගල් හිඟ වීම නිසා එම ඉදිකිරීම් සමාගම ලොවට වසන් ව මෙය සිදුකර තිබෙනවා. මෙය ලොවට අහිමි වීම මිල කළ නොහැකි පාඩුවක් නව ඉතිහාසඥයින් පවසනවා.

පැව්ලොපෙට්‍රි- ග්‍රීසිය

greece.greekreporter

ලොව පැරණිතම, ජලයෙන් යට වූ නගරය ලෙස විරුදාවලිය ලත් ග්‍රීසියේ පැව්ලොපෙට්‍රි නුවර ක්‍රි. පූ. 3000 පමණ පටන් ක්‍රි. පූ. 1100 පමණ වන තුරු ආදිතම ජනයා විසින් භාවිතා කර තිබෙනවා. මෙහි වූ ඉපැරණි ගොඩනැගිලිවල නටඹුන්, සොහොන් පිටි, උද්‍යාන වැනි දේ නැරඹීමට දහස් ගණන් ජනයා මෑතක් වන තුරු මේ වෙත ඇදුණා.

අනෙක් ඓතිහාසික ස්ථානවලට මෙන් මෙම ස්ථානය සංරක්ෂණය කිරීමට බලධාරීන් උත්සුක නොවීම නිසා කෙමෙන් කෙමෙන් මෙහි වූ ඓතිහාසික දේ අභාවයට ගියා. වැඩි ම හානිය සිදුවූයේ ඒ තදාසන්න වරායේ නවත්වන නැව්වලින් පිට කෙරෙන අපද්‍රව්‍යවලිනුයි.

2016 වසරේ දී මෙම ස්ථානයේ වැදගත්කම වටහාගෙන සංරක්ෂණ කටයුතු ආරම්භ කෙරුණත් ඒ වන විටත් එහි සෑහෙන කොටසක් විනාශ වී තිබුණා. අද වන විටත් සොරුන්ගෙන්, තදාසන්න විදුලි බලාගාරයකින් මෙන්ම ස්වභාවික වායු ප්‍රවාහනය කෙරෙන බට පද්ධතියකින් මීට හානි සිදුවෙනවා.

කවරයේ පින්තූරය: Oleg Blokhin/Anna News

Related Articles