සියවස් ගණනක් තිස්සේ මිනිසාගේ විශ්වාසවන්තම සුරතලා ලෙස හැම දෙනාම අවිවාදයෙන් පිළිගන්න සත්ත්ව කොට්ඨාශය තමයි සුනඛයින්. තම ස්වාමියා මිය ගිය පසු ඔහු නැවත එතැයි බලාපොරොත්තුවෙන් වසර 9ක් තිස්සේ මඟ බලාගෙන සිටි බලු සුරතලෙක් ගැනයි අද ලිපිය ගෙන එන්නේ.
අකිටා ඉනු (Akita Inu)
මෙම සුරතලාගේ නම හචී. මොහු අකිටා (Akita) වර්ගයේ සුනඛයෙක් (Inu). ඔහු ඉපදුණේ 1923 නොවැම්බර් 11 වැනිදා ජපානයේ අකිටා ප්‍රාන්තයේ ඔඩේට් නගරයේ යි. මෙම වර්ගයේ වැඩුණු සතෙකුගේ සාමාන්‍ය උස අඟල් 26ක් පමණ වන අතර බර රාත්තල් 90ක් පමණ වනවා. මොවුන් ජපානයේ සිටි විශාලම බල්ලන් විශේෂය වන අතර මොවුන්ගේ සුවිශේෂී ලක්ෂණ ලෙස කුඩා, සෘජු දෙකන්, කෙටි ලොම් සහ කරකැවුණු වලිගය දැක්විය හැකියි.
එයිසබුරෝ යුඉනො
ටෝකියෝ විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා මහාචාර්යවරයෙකු ලෙස සේවය කළ එයිසබුරෝ යුඉනොට පුහුණු කළ අකිටා වර්ගයේ බල්ලෙක් අවශ්‍ය වුණු අතර ඔහු කාලයක් තිස්සේ හොඳ අකිටා සුනඛයෙක් මුණගැසෙන තුරු බලා සිටියා. යුඉනො 1924දී යෙන් 30ක මිලකට රන්වන් දුඹුරු පැහැ අකිටා බලු පැටවෙක් මිලදී ගත් අතර ඒ සඳහා ඔහුව උනන්දු කළේ ඔහුගේ ගෝලයෙක් විසින්.
මෙම පැටවා ඔහු සමඟ ඉපදුණු අනෙක් බලු පැටවුන්ගෙන් අට වැන්නා විය හැකි යැයි ඇතැමුන් අනුමාන කරන අතර අංක අට වාසනාවේ සංකේතයක් බව ජපන් ජනතාව විශ්වාස කරනවා. මේ නිසා මහාචාර්යවරයා එම අරුත ඇතිව බලු පැටවාට “හචී” (hachi) යන නම තැබුවා. පසුකාලීනව එයට “කො” (ko) එකතු වී ඇත්තේ හචීගේ මරණයෙන් පසු ගරු කිරීමක් ලෙසයි. හචී, මහාචාර්යවරයාගේ තුන්වන බලු සුරතලා බවත් සඳහන් වෙනවා.
ෂිබුයා දුම්රියපළ සහ හචී
මහාචාර්යවරයා ජීවත් වුණේ ෂිබුයාහි යි. හචී ඉතා ඉක්මණින් ඔහු සමඟ මිතුරු වුණා. එයිසබුරෝ හචීට අප්‍රමාණව ආදරය දැක්වූ අතර ඔහුව දරුවෙකු මෙන් රැකබලා ගත්තා. හචී ටික ටික වැඩෙද්දි තම ස්වාමියා උදෑසන රැකියාවට පිටත්ව යනවා නිරීක්ෂණය කළා. කාලයක් යනවිට මෙම සුරතලා එයිසබුරෝ සමඟ ෂිබුයා දුම්රියපොළට යාමට පුරුදු වුණා. හවස් වරුවේ එයිසබුරෝ පැමිණි පසු හචී ඔහු සමඟම නිවසට යෑම පුරුද්දක් කර ගත්තා.
යුඉනෝගේ මරණය
හචී තම ස්වාමියා සමඟ ෂිබුයා දුම්රියපළට යාම වසර 1කුත් මාස 4ක පමණ කාලයක් තිස්සේ සිදු වුණා. 1925 මැයි 21 වැනිදාත් ඔහු සුපුරුදු විදියටම එයිසාබුරෝ පැමිණෙන තෙක් ෂිබුයා දුම්රිය ස්ථානයේ බලා සිටි නමුත් වෙනදා මෙන් මහාචාර්යවරයා ෂිබුයා වෙත පැමිණියේ නැහැ. රාජකාරිය අතරතුරදී මොළයේ අභ්‍යන්තර ලේ ගැලීමක් සිදුවී ඔහු මරණයට පත් වී තිබුණා. මේ බව නොදන්නා හචී රාත්‍රිය වනතෙක්ම එයිසාබුරෝ එනතෙක් බලාසිටි අතර අවසානයේදී යුඉනෝ පවුලට සේවය කළ උයන් පල්ලෙක් පැමිණ ඔහුව නිවසට රැගෙන ගියා. නිවසට ගියත් තම ස්වාමියා තවදුරටත් එහි ජීවත් නොවන බව අවබෝධ කරගත් පසු හචී සෑම දිනකම ඔහු බලාපොරොත්තුවෙන් ෂිබුයා දුම්රිය ස්ථානය වෙත යෑම පුරුද්දක් කර ගත්තා. මාස ගණන්, අවුරුදු ගණන් ගෙවුණත් මෙම ගමනේ වෙනසක් සිදු නොවූ අතර ෂිබුයා වෙත යනෙන මඟීන්ට හචිකෝගේ දසුන හුරු පුරුදු එකක් වුණා. ඔවුන් එහි එනවිට හචීට ආහාර පාන රැගෙන එන්නටත් අමතක කලේ නැහැ. තම පවුලට විශ්වාසවන්තව සහ ලැදිව කටයුතු කිරීම ජපානයේ පැරණි සිරිතක් වූ නිසා හචිකෝගේ විශ්වාසවන්ත භාවය ජපන් වැසියන් ඉතා ඉහළින් අගය කළා.
පුවත්පත් වාර්තා
මිය ගිය තම ස්වාමියා වෙනුවෙන් විශ්වාසවන්තව බලා සිටින සුනඛයෙක් ගැන මහාචාර්යවරයාගේ පැරණි ගෝලයෙක් වන හිරෝකිචි සයිටෝට දැනගන්නට ලැබුණා. හචී සමඟ මිතුරු වූ සයිටෝ ඔහුව කිකුසාබොරෝ කොබොයාෂි ගේ නිවසට කැඳවාගෙන ගියා. කොබොයාෂි, මහාචාර්යවරයාගේ පැරණි උද්‍යාන පාලකයා වන අතර ඔහු සයිටෝට හචිකෝගේ ජීවිත කතාව සවිස්තරාත්මකව පවසා සිටියා. සයිටෝ හචී ගැන පුවත්පත් වලට ලිපි ලියන්නට පටන් ගත්තේ ඉන්පසුවයි. හචී ගැන ඔහු ලියූ ලිපිය 1932 දී ජපානයේ ජාතික පුවත්පතක් වන Tokyo Asahi Shimbun හි පළ වුණා. හචී ගැන රට පුරා ප්‍රසිද්ධ වුණේ මෙම සිදුවීමෙන් පසුවයි. 1934දී හචිකෝ වෙනුවෙන් ෂිබුයා දුම්රිය ස්ථානයේ පළමු ලෝකඩ ස්මාරකය ගොඩනැඟුණා. මෙය හචිකෝගේ විශ්වාසවන්ත භාවය පෙන්වන සලකුණක් ලෙස සැලකූ අතර ඉන් වසරකට පසු හචීකෝ මිය ගියා.
පිළිකාවකින් මිය ගිය හචී.
වයස අවුරුදු දෙකක පමණ කාලයක සිට මිය යනතුරුම තම ස්වාමියා එතැයි විශ්වාසයෙන් සහ බලාපොරොත්තුවෙන් මඟ බලා සිටි හචී අවසානයේදී 1935 මාර්තු 8 වැනිදා ෂිබුයාහි වීදියක මිය ගොස් සිටිනවා දක්නට ලැබුණා. පසුව සොයාගත් පරිදි මිය යනවිට හචී පිළිකාවකින් පීඩා විඳ තිබෙන අතර හදවතේ බරවා පණුවන් ආසාදනය වී තිබෙනවා. එසේම හචීගේ උදරයේ තිබී යකිටෝරි කූරුද (යකිටෝරි – ලී කූරක රඳවා ආහාරයට ගන්නා කුකුළු මස් යොදා සාදන ජපන් ආහාරයක්.) හමු වී තිබෙනවා.
මරණයෙන් පසු
හචීගේ මරණයෙන් පසු Yamato Shinbun පුවත්පතේ ලිපියක් පළ වෙනවා. එහි එයිසාබුරෝගේ බිරිය සහ දුම්රියපළේ සේවකයන් කිහිප දෙනෙකු හචී වෙනුවෙන් පැවැත් වූ කුඩා අවමංගල්‍ය උත්සවයේ ඡායාරූපයක්ද ඇතුළත් වුණා. ජපන් වැසියන් මල් වඩම් 25ක්, මල් සැරසිලි 200ක්, ලියුම් සහ විදුලි පුවත් 180ක පමණ ප්‍රමාණයක් එවමින් හචී වෙනුවෙන් ඔවුන්ගේ ආදරය සහ සංවේගය පළ කළා. ඌයමා සුසාන භූමියේ එයිසබුරෝගේ සොහොන අසළම හචිකෝගේ වෙනුවෙන් ස්මාරකයක් ඉදි කළ අතර යුඉනෝහි ජාතික විද්‍යා කෞතුකාගාරයෙන් හචිකෝගේ මෘත ශරීරය ලබා ගෙන එය පුරවා සැදූ අනුරුවක් ප්‍රදර්ශනය කර තිබෙනවා.
මුලින් සඳහන් කළ ෂිබුයාහි පිහිටි හචිකෝගේ ලෝකඩ ස්මාරකය දෙවන ලෝක යුධ සමයේදී ඉවත් කළ අතර එය ලෝහ ලබා ගැනීමට උණු කර තිබෙනවා. එම ස්මාරකය සෑදූ ශිල්පියාගේ පුතකු වන ටකේෂි අන්දෝ විසින් 1948දී හචීගේ විශාල ප්‍රමාණයේ දෙවන පිළිරුව නිර්මාණය කළා.
චිත්‍රපට සහ පොත්
1987දී “Hatchiko Monogatari” නමින් ජපානයේත්, 2009දී “Hachiko – A Dog`s Tale” නමින් හොලිවුඩයේත් හචිකෝ ගැන චිත්‍රපට නිෂ්පාදනය වුණා. මීට අමතරව හචිකො ගැන විවිධ පොත් විශාල ප්‍රමාණයක්ද ලියැවී තිබෙනවා. Pamela S. Turner විසින් 2004දී ප්‍රකාශයට පත් කළ Hachikō: The True Story of a Loyal Dog කෘතිය ඒ අතරින් සුවිශේෂි වනවා.
කවරයේ පින්තූරය – Mercado Latino
මූලාශ්‍ර – https://japanthis.com/2017/05/10/what-does-hachiko-mean/
http://en.rocketnews24.com/2013/12/06/the-last-photo-of-faithful-dog-hachiko-breaks-our-hearts/
https://nerdnomads.com/hachiko_the_dog
https://pethelpful.com/dogs/Akita-Inu-the-Story-of-Hachiko-the-loyal-Akita-dog
https://primitivedogs.com/loyal-dog-hachiko-real-story/
https://www.thedodo.com/dog-hachiko-reunites-in-statue-984401916.html
https://www.thedodo.com/rare-photo-of-loyal-dog-hachiko-1446468544.html