Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුනඛයකුගේ උදව්වෙන් සොයාගත් නැති වුණු පාපන්දු ලෝක කුසලානය

මංගල පාපන්දු ලෝක කුසලාන තරගාවලිය 1930 දී උරුගුවේ රාජ්‍යයේ දී පැවැත්වුණා. එදා සිට අද දක්වා ගෙවුණු වසර 92ක කාලය ඇතුළත විවිධ රටවල් පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබා දුන්නා. එහි දී එංගලන්තයට පාපන්දු ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය ලබාදීමට ලැබුණේ එක ම එක අවස්ථාවක් පමණ යි. 

 එංගලන්තයේ සත්කාරකත්වය යටතේ 1966 වසරේ දී පැවැත්වුණු පාපන්දු ලෝක කුසලාන තරගාවලිය එරට ක්‍රීඩා ලෝලීන්ට කිසිදා අමතක නොවන එකක් බවට පත්වුණා. ඒ හේතූන් දෙකක් නිසා යි. ඉන් මුල් ම හේතුව වුණේ එවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව එංගලන්ත කණ්ඩායම හිමි කර ගැනීම යි. එය අදටත් එංගලන්ත කණ්ඩායමක් ජයග්‍රහණය කළ එක ම පාපන්දු ලෝක කුසලානය යි. 

 1966 පාපන්දු ලෝක කුසලානය දිනා ගත් එංගලන්ත කණ්ඩායම – gettyimages.com

 

එම පාපන්දු ලෝක කුසලානය අමතක නොවන එකක් බවට පත්වීමට බලපෑ දෙවන හේතුව වුණේ තරගාවලිය ආරම්භ වීමට පෙර පැවති ප්‍රදර්ශනයක දී ජූල්ස් රිමේ පාපන්දු කුසලානය අතුරුදහන් වීම යි. ඒ අයුරින් පාපන්දු ලෝක කුසලානය අතුරුදහන් වීමත් සමඟම එංගලන්තය පුරා සිටි පාපන්දු ක්‍රීඩා ලෝලීන් මහත් සේ කැලඹීමට පත් වුණා. එම අවස්ථාවේ එංගලන්ත ආරක්ෂක අංශ කුසලානය සොයා මෙහෙයුම් ආරම්භ කළත් ඔවුන්ට අතුරුදහන් වුණු කුසලානය සොයාගැනීමට හැකි වුණේ නැහැ. 

ඒ අයුරින් කාලය ගෙවී යද්දී පික්ල්ස් නම් සුනඛයා සිය ස්වාමියා වුණු ඩේවිඩ් කෝබට් සමඟින් ගමනක් යමින් සිටින අතරතුර අහම්බයකින් වාගේ අතුරුදහන් වී තිබුණු පාපන්දු ලෝක කුසලානය සොයා ගත්තා. එම අවස්ථාවේ උගේ ස්වාමියා කුසලානය සුරැකි ව ආරක්ෂක අංශ වෙත භාර දුන්නා. එම සිදුවීමෙන් පසුව පික්ල්ස් නම් එම සුනඛයා එංගලන්තය තුළ පමණක් නොව මුළු ලෝකය පුරා ම ජනප්‍රිය වුණා. මේ අතුරුදහන් වුණු පාපන්දු ලෝක කුසලානය සොයා ගත් පික්ල්ස් සුනඛයාගේ අපූරු කතා පුවත යි.

පික්ල්ස් සුනඛයා – themirror.co.uk

 

එංගලන්තයට ලෝක කුසලාන සත්කාරකත්වය ලැබුණු හැටි

1966 පාපන්දු ලෝක කුසලානය සඳහා සත්කාරක රට තෝරා ගැනීම සිදු වුණේ 1960 අගෝස්තු 22 වැනිදා ඉතාලියේ රෝම නගරයේ පැවති ලෝක පාපන්දු සම්මේලන සැසි වාරයේ දී යි. එහි දී එංගලන්තය, ස්පාඤ්ඤය, සහ බටහිර ජර්මනිය යන රටවල් ත්‍රිත්වය 1966 ලෝක කුසලාන සත්කාරත්වය සඳහා ලංසු ඉදිරිපත් කර තිබුණා. සත්කාරක රට තෝරාගැනීම සඳහා පැවති ඡන්දයට පෙර ස්පාඤ්ඤය එම සටනින් ඉවත් වුණා.

ඉන් පසුව එංගලන්තය සහ බටහිර ජර්මනිය අතර පැවති ඡන්ද විමසීමෙන් ඡන්ද 34-27ක් ලෙස ජයග්‍රහණය කළේ එංගලන්තය යි. ඒ අනුව එංගලන්තයට 1966 පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය හිමි වුණා.

1966 ජනවාරියේ ලෝක කුසලානය එංගලන්තයට 

1966 පාපන්දු ලෝක කුසලානය ජූලි 11 සිට 30 දක්වා එංගලන්තයේ නගර 7ක් ආශ්‍රිත ව පැවැත්වුණා. එම තරගාවලිය ආරම්භ වීමට මාස 7කට පෙර එනම් 1966 ජනවාරියේ දී පාපන්දු ලෝක කුසලානය එංගලන්තයට රැගෙන ආවා. එම කුසලානය විශේෂ ආරක්ෂාවක් යටතේ එංගලන්ත පාපන්දු මූලස්ථාන ගොඩනැඟිල්ල තුළ රඳවා තිබුණා.

එම කුසලානය විශේෂ ප්‍රදර්ශනවලට රැගෙන යාමටත් අවස්ථාව ලබා දුන්නා. ඒ කුසලානය සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දිය හැකි බවට අදාළ ප්‍රදර්ශනයේ සංවිධායකවරුන්ගෙන් සහතිකයක්  ලැබුණු විට පමණ යි. එවැනි තත්ත්වයක් යටතේ බොහෝ ප්‍රදර්ශන සංවිධායකවරුන් පාපන්දු ලෝක කුසලානය සිය ප්‍රදර්ශනයට රැගෙන ඒමට දැඩි උත්සාහයක නිරත වුණා. 

ජූල්ස් රිමේ පාපන්දු ලෝක කුසලානය – gettyimages.com

 

පාපන්දු ලෝක කුසලානය මුද්දර ප්‍රදර්ශනයක තැබීමට අවසර 

එකල ලන්ඩන් නගරය තුළ ප්‍රසිද්ධියට පත්ව තිබුණු ස්ටැන්ලි ගිබන්ස්ගේ මුද්දර සමාගම 1966 මාර්තු මාසයේ ස්ටැම්පෙක්ස් නමින් මුද්දර ප්‍රදර්ශනයක් ආරම්භ කිරීමට සූදානමින් සිටියා. ඒ අතරතුර ජූල්ස් රිමේ පාපන්දු ලෝක කුසලානය එංගලන්තය තුළ වඩාත් ජනප්‍රිය වුණා.

එනිසා එම අපූරු කුසලානය සිය මුද්දර ප්‍රදර්ශනයට රැගෙන ඒමට ස්ටැන්ලි ගිබන්ස් මුද්දර සමාගමේ අයිතිකරුවන් කල්පනා කළා. ඒ සඳහා ඔවුන් එංගලන්ත පාපන්දු සම්මේලනයෙන් අවසර ලබා ගත්තා. ඔවුන් පාපන්දු සම්මේලනයේ නිලධාරින්ට පොරොන්දු වුණේ කුසලානය සඳහා උපරිම ආරක්ෂාවක් ලබාදෙන බව යි. 

ස්ටැන්ලි ගිබන්ස් මුද්දර සමාගමේ පැරණි ඡායාරූපයක් – linkedin.com

 

ප්‍රදර්ශනයට මහා සෙනඟක් 

වෙස්මිනිස්ටර් හි මෙතෝදිස්ස මධ්‍යම ශාලාවේ දී1966 මාර්තු 19 වැනිදා  මුද්දර ප්‍රදර්ශනය ආරම්භ කළා. ඒ වන විට මුද්දර ප්‍රදර්ශනයේ දී පාපන්දු ලෝක කුසලානයත් ප්‍රදර්ශනය කරන පුවත ලැව් ගින්නක් සේ ලන්ඩනය පුරා පැතිර ගොස් තිබුණා. එනිසා මහා සෙනඟක් මුද්දර ප්‍රදර්ශනය ආරම්භ කළ දිනයේ එහි පැමිණියේ පාපන්දු ලෝක කුසලානය දැක බලා ගැනීම සඳහා යි.

එවැනි සෙනඟක් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණේ යැයි අපේක්ෂා කළ නිසා පාපන්දු ලෝක කුසලානයේ ආරක්ෂාව සඳහා ආයුධ සන්නද්ධ ආරක්ෂක භටයන් කිහිපදෙනෙක් ද එහි රඳවා තිබුණා. ඔවුන් පැය 24 පුරා ම කුසලානයට ආරක්ෂාව ලබා දුන්නා. 

මුද්දර ප්‍රදර්ශනය අතරතුර පාපන්දු ලෝක කුසලානයත් ප්‍රදර්ශනයේ – gettyimages.com

 

මහ දවල් සිදු වුණු කුසලාන සොරකම 

මුද්දර ප්‍රදර්ශනයේ පළමු දිනයේ දී මහා සෙනඟක් එහි පැමිණිය ද කුසලානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු තර්ජනයක් එල්ල වුණේ නැහැ. එනිසා ප්‍රදර්ශන සංවිධායකයන් කුසලානයේ ආරක්ෂාව පිළිබඳ ව පනවා තිබුණු දැඩි නීතිරීති ලිහිල් කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රදර්ශනය පැවති දෙවන දිනයේ උදෑසන 11 සිට දහවල් 12.10 දක්වා ප්‍රදර්ශනය වසා තැබීමට කටයුතු කළා. ඒ ඉරිදා දේව මෙහෙයක් එම ගොඩනැඟිල්ල තුළ පැවති නිසා යි. 

එම අවස්ථාව වන විට මුද්දර ප්‍රදර්ශන භූමියේ සිදුවෙමින් පැවති දේ හොඳින් නිරීක්ෂණය කරමින් සිටි පුද්ගලයන් කිහිපදෙනෙක් අවදානම් ක්‍රියාවක නිරත වීමට තීරණය කළා. ඒ මුද්දර ප්‍රදර්ශනය පැවති ගොඩනැඟිල්ලට හොර රහසේ ඇතුළු වී එහි තිබුණු කුසලානය සොරා ගැනීම යි. එම පිරිස ගොඩනැඟිල්ලේ පිටුපස දොරටුව කඩා එහි තිබුණු පාපන්දු ලෝක කුසලානය සොරා ගත්තා. ඉන් පසුව කුසලානය සූක්ෂම අයුරින් එම ස්ථානයෙන් පිටතට රැගෙන ගියා. 

කුසලානය සොරකම් කිරීමෙන් පසු එය රඳවා තිබූ ප්‍රදර්ශන කවුළුන දිස් වූ අයුරු – gettyimages.com

 

කුසලානය අතුරුදහන් වීම නිසා මහා කලබලයක් 

දේව මෙහෙයේ කටයුතු අවසන් වීමෙන් පසුව ගොඩනැඟිල්ල මුද්දර ප්‍රදර්ශනයට නැවත විවෘත කළා. කුසලානය රඳවා තිබුණු ස්ථානය වෙත ගිය එහි සංවිධායකයන්   දුටුවේ කුසලානය රඳවා තිබුණු කුටියේ අගුල කඩා එය රැගෙන ගොස් තිබුණු ආකාරය යි. ඒ සමඟ ම එහි සිටි පිරිස මහත් කලබලයට පත් වුණා. ප්‍රදර්ශනයේ සංවිධායකයන් කරන්නේ කුමක් දැයි සිතා ගත නොහැකි ව එහෙ මෙහෙ දිව යන්නට වුණා. පාපන්දු ලෝක කුසලානය සොරකම් කළ පුවත වැඩි වෙලාවක් යන්නට පෙර ලන්ඩන් නගරය පුරා පැතිර ගියා. 

එම පුවත ආරංචි වීමත් සමඟ ම එංගලන්ත පාපන්දු සම්මේලනයේ ඉහළ නිලධාරින් තුෂ්ණිම්භූත වුණා. ඒ ඔවුන් එවැනි දෙයක් බලාපොරොත්තු නොවුණු නිසා යි. එහි දී ඔවුන් මුද්දර ප්‍රදර්ශනයේ සංවිධායකයන්ට තදින් ම දෝෂාරෝපණය කළා පමණක් නොව එංගලන්ත පාපන්දු සම්මේලනයේ කීර්තිනාමයට සිදු කළ හානිය සඳහා විශාල වන්දියක් ද ඉල්ලා සිටියා. එම සිදුවීම පිළිබඳ ව දැනගත් වහාම එහි පැමිණි ආරක්ෂක අංශ සෝදිසි කිරීම් සිදු කළා. එහි සිටි පුද්ගලයන්ගෙන් සාක්ෂි ද සටහන් කර ගත්තා. කිසිදු සැක සහිත පුද්ගලයකු දුටු බව කිසිවෙක් එහිදී පැවසුවේ නැහැ. එවැනි තත්ත්වයක් යටතේ ආරක්ෂක අංශ මෙම පරීක්ෂණය ස්කොට්ලන්ඩ් යාඩ් රහස් පොලිසිය වෙත භාර දුන්නා. 

පාපන්දු සම්මේලන ප්‍රධානියාට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුම 

1966 මාර්තු 21 වැනිදා, එනම් සොරකම සිදු වුණු දිනට පසු දින එංගලන්ත පාපන්දු සම්මේලනයේ ප්‍රධානියා වුණු ජෝ මියර්ස්ට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබුණා. එහි දී නාඳුනන පුද්ගලයකු පවසා සිටියේ ඔවුන් සන්තකයේ පාපන්දු ලෝක කුසලානය තිබෙන බවත්, එය ආපසු ලබා ගත හැකි ආකාරය දන්වා ලිපියක් හෙට දිනයේ දී මියර්ස් වෙත ලැබෙනු ඇති බවයි. 

ජෝ මියර්ස් – gettyimages.com

 

ඔවුන් දැන්වූ ආකාරයට ම පසු දිනයේ දී මියර්ස් වෙත ලිපියක් ලැබුණා. එම ලිපිය මඟින් කුසලානය ආපසු ලබා දීම සඳහා පවුම් 15000ක කප්පමක් ඔවුන් ඉල්ලා තිබුණා.  එම කප්පම්  මුදල ලබා දීමට එකඟ නම් ඒ පිළිබඳ ව සංකේතාත්මක දැන්වීමක් ‘The Evening News’ පුවත්පතේ පුද්ගලික දැන්වීම් තීරුවේ පළ කරන මෙන් එහි දක්වා තිබුණා. එම උපදෙස්වලට පටහැණි ව ක්‍රියාකරමින් මෙම ලියුම පොලිසියට භාර දුන්නොත් කුසලානය දිය කර හරින බව එහි අවසානයට දක්වා තිබුණා. 

මියර්ස් අවදානම නොතකා පොලිසියට යයි 

ලියුම ලැබුණු දිනයේ සවස ජැක්සන් ලෙස හඳුන්වා දුන් පුද්ගලයකුගෙන් මියර්ස්ට දුරකතන ඇමතුමක්  යළි ලැබුණා. එහි දී ඔහු පවසා සිටියේ ලියුමේ තිබුණු පිළිවෙළට වැඩ කටයුතු සිදු කළොත් එළඹෙන සිකුරාදා වන විට කුසලානය යළි ලැබෙනු ඇති බව යි. එම දුරකතන ඇමතුම ලැබීමෙන් පසුව අවදානම නොතකා ඒ පිළිබඳ ස්කොට්ලන්ඩ් යාඩ් පොලිස් පරීක්ෂක චාල්ස් බගී වෙත දැන්වීමට මියර්ස් ක්‍රියා කළා.

එහි දී බගී පවසා සිටියේ කොල්ලකරුවන්ගේ විශ්වාසය දිනා ගැනීම සඳහා ‘The Evening News’ පුවත්පතේ සංකේතාත්මක දැන්වීමක් පළ කරන ලෙස යි. එසේ ලැබුණු උපදෙස්වලට අනුව ක්‍රියා කළ මියර්ස් මාර්තු 24 වැනිදා අදාළ පුවත්පතේ එම දැන්වීම පළ කළා. 

ස්කොට්ලන්ඩ් යාඩ් පොලිස් මූලස්ථානය – gettyimages.com

 

පොලිසියෙන් රහස් මෙහෙයුමක් 

මියර්ස් පිළිබඳ කප්පම්කරුවන් තුළ යම් විශ්වාසයක් ගොඩනැඟෙන්නට එලෙස පළ කළ දැන්වීම උපකාරී වූවා. එයින් ප්‍රයෝජන ගත් බගී ඇතුළු රහස් පරීක්ෂකයන් කප්පම්කරුවන් කොටු කර ගැනීමට මෙහෙයුමක් ඇරඹුවා. එහි දී ව්‍යාජ පවුම් නෝට්ටු වැඩි ප්‍රමාණයක් යොදමින් ක්ප්පම් මුදල සකස් කළ පොලිස් පරීක්ෂකයන් අදාළ මුදල කප්පම්කරුවන් වෙත ලබාදීමට යන අවස්ථාවේ ඔවුන් කොටු කර ගැනීමට සැලැස්මක් සකස් කළා.

එම සැලැස්ම සකස් කරමින් සිටින අතරතුර ජැක්සන්ගෙන් මියර්ස්ට තවත් දුරකතන ඇමතුමක් ලැබුණා. කප්පම් මුදල යම් ස්ථානයකට රැගෙන එන මෙන් එම ඇමතුමෙන් ඔහුට දන්වා සිටියා. කප්පම් මුදල නියමිත පරිදි එහි තිබුණොත් වැඩි වෙලාවක් යන්නට පෙර කුසලානය යළි ලැබෙනු ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා. 

ජැක්සන් පොලිස් අත්අඩංගුවට 

කප්පම් මුදල ලබා දීමට පොරොන්දු වුණු දිනයේ දී තම නියෝජිතයන් දෙදෙනෙක් අතේ එම මුදල එවන බවට ජැක්සන්ට මියර්ස් දන්වා සිටියා. එහි දී මියර්ස්ගේ නියෝජිතයන් ලෙස පෙනී සිටියේ චාල්ස් බගී සහ තවත් ස්කොට්ලන්ඩ් යාඩ් රහස් පරීක්ෂකයෙක්. නියමිත දිනයේ ව්‍යාජ ලෙස සැකසූ කප්පම් මුදල රැගෙන බැටර්සී පාක් නම් ස්ථානයට ගිය බගී සහ ඔහුගේ සහායකයාට ජැක්සන් හමු වුණා. ජැක්සන් එම ස්ථානයට පැමිණ සිටියේ ඔහුගේ අනන්‍යතාව හඳුනා ගත නොහැකි පරිදි හැඳ පැළඳගෙන යි. 

ලන්ඩනයේ බැටර්සී පාක් නම් ස්ථානය 60 දශකයේ දී – gettyimages.com

 

එම අවස්ථාවේ කප්පම් මුදල රැගෙන හොර රහසේ පැන යාමට ජැක්සන් සැලසුම් කර තිබුණා. පොලිස් පරීක්ෂක බගී සහ ඔහුගේ සහායකයා ඒ වන විටත් සිය නිලධාරින් අදාළ තැන්වල රඳවා තිබුණේ ජැක්සන්ට පලා යා නොහැකි වන ආකාරයට යි. අවසානයේ දී සිය නිල හැඳුනුම්පත ජැක්සන්ට පෙන්වූ බගී වහාම ඔහු අත්අඩංගුවට ගත්තා. 

බලාපොරොත්තු කඩ වෙයි 

පොලිස් අත්අඩංගුවට ගත් ජැක්සන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වුණේ ඔහුගේ නියම නම එඩ්වඩ් බෙච්ලි බව යි. මෙම පුද්ගලයා ඊට පෙර කුඩා සොරකම් සම්බන්ධයෙන් චෝදනා ලබා තිබුණා. පාපන්දු ලෝක කුසලාන හොරකම තමා සිදු නො කළ බව ඔහු පුන පුනා පවසා සිටියා. එහි දී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ පාපන්දු ලෝක කුසලානය හොරකම් කිරීමේ සිද්ධිය මුවාවෙන් එංගලන්ත පාපන්දු බලධාරීන් රවටා කප්පම් ගැනීමට තමන්ට අවශ්‍ය වුණු බව යි. 

එඩ්වඩ් බෙච්ලි – gettyimages.com

 

ඒ අයුරින් පාපන්දු බලධාරීන් නොමඟ යැවූ බෙච්ලි පසු ව සිදු කළ  නඩු විභාගයකින් අනතුරු ව වසර 2ක සිර දඬුවමකට යටත් කෙරුණා. ජැක්සන් හරහා පාපන්දු ලෝක කුසලානය යළි ලබා ගැනීමට නොහැකි වීම නිසා එංගලන්ත පාපන්දු බලධාරීන්ගේ බලාපොරොත්තු කඩ වුණා. එනිසා ඔවුන් පාපන්දු ලෝක කුසලානය සොරා ගත් පුද්ගලයන් හසු වුණොත් ඔවුන්ට දැඩි දඬුවම් ලබා දීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවට නිවේදනය කළා. 

පික්ල්ස් නම් සුනඛයා කරළියට පැමිණීම 

දකුණු ලන්ඩනයේ නෝර්වුඩ් හි ජීවත් වුණු ඩේවිඩ් කෝබට් මාර්තු 27 වැනිදා සිය නිවසින් පිටත් වුණේ පික්ල්ස් නම් සිය සුරතල් සුනඛයා ඇවිද්දවීම සඳහා යි. එම ගමන අතරතුර ඔහු නිවසට යාබද ව පිහිටා තිබුණු දුරකතන කුටියට ගියේ සිය සහෝදරයාට දුරකතන ඇමතුමක් ලබාගැනීම සඳහා යි.

ඩේවිඩ් එම ඇමතුම ලබා ගන්නා අතරතුර පික්ල්ස් එම දුරකතන කුටියට යාබද ව පිහිටි කුඩා කැලෑ රොදක් වෙත ගොස් එහි තිබුණු කුඩා පාර්සලයක් සොයා ගත්තා. ඉන් පසු ඌ නොනවත්වා ම බුරන්නට වුණු නිසා ඩේවිඩ් වහාම එම ස්ථානය වෙත ගියා. 

ඩේවිඩ් කෝබට් සහ පික්ල්ස් සුනඛයා – gettyimages.com

 

පත්තර කොළවලින් ඔතා තිබුණු එම පාර්සලය දුටු විට ඩේවිඩ් තරමක් බියට පත් වුණා. ඔහු මුලින්ම අනුමාන කළේ එය බෝම්බයක් විය හැකි බව යි. එහි හැඩය පරීක්ෂා කළ පසුව එය බෝම්බයක් නොවන බව ඩේවිඩ්ට අවබෝධ වුණා. එම පාර්සලයේ යටින් ඉරා බැළූ විට එහි බ්‍රසීලය, බටහිර ජර්මනිය සහ උරුගුවේ යන වචන එහි තුළ වූ යමක කොටා තිබුණා. ඒවා රටවල් බව දැන සිටියත් එහි තිබුණේ කුමන ආකාරයේ දෙයක් දැයි වටහා ගැනීමට ඩේවිඩ්ට හැකි වුණේ නැහැ. එම අවස්ථාවේ ඇති වුණු දැඩි කුතුහලය නිසා ඩේවිඩ් පාර්සලයේ ඉහළ කොටස ද විවෘත කර බැලුවා. 

 භාජනයක් වැනි වස්තුවක් හිසට ඉහළින් තබාගෙන සිටින කාන්තාවකගේ රූපය එවිට ඔහුට දැක ගන්නට ලැබුණා. ඒ සමඟම ඔහුට ජූල්ස් රිමේ පාපන්දු ලෝක කුසලානය මතකයට නැඟුණා. ඔහු එම කුසලානයේ හැඩරුව පත්තරවලින් දැක තිබුණා. එම අවස්ථාවේ ඩේවිඩ්ගේ හදවත ගැහෙන්නට පටන් ගත්තා. අතිශයින් ම කලබලයට පත් වුණු ඩේවිඩ් පාපන්දු කුසලානය සහිත පාර්සලය ද රැගෙන අසල තිබුණු පොලිස් ස්ථානයට යාමට තීරණය කළා. 

මුලින් සැකකරුවෙක් වී පසුව නිවැරදිකරුවෙක් වුණු ඩේවිඩ් 

ඩේවිඩ්, සොයා ගත් පාපන්දු ලෝක කුසලානය ද රැගෙන ජිප්සි හිල් නම් පොලිස් ස්ථානය වෙත ගියා. එහි ගිය ඩේවිඩ් පොලිස් නිලධාරින් හමුවේ පවසා සිටියේ සිය නිවස අසල පිහිටි කැලෑ රොදකින් පාපන්දු ලෝක කුසලානය සහිත පාර්සලය තම සුනඛයා සොයා ගත් බව යි. එය ඇසූ පොලිස් නිලධාරින්ට ඩේවිඩ් පිළිබඳ ව දැඩි සැකයක් ඇති වුණා.

ඔහු මෙම කුසලානය සොරකම් කිරීමෙන් පසු ව එය අසුවීමට යන නිසා පොලිසියට ගෙනවිත් භාර දුන්නා ද යන සැකය ඔවුන්ගේ හිතේ හොල්මන් කළා. එනිසා ඩේවිඩ් සහ පාපන්දු කුසලානය ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය වෙත යැවීමට ජිප්සි හිල් පොලිසියේ නිලධාරින් තීරණය කළා. ස්කොට්ලන්ඩ් යාඩ් පොලිස් නිලධාරින් ඩේවිඩ්ගෙන් දිගින් දිගට ම ප්‍රශ්න කළා. අවසානයේ දී ඔවුන් තීරණය කළේ ඩේවිඩ් මෙම සොරකම සම්බන්ධයෙන් නිවැරදිකරුවෙක් බව යි. 

පික්ල්ස් සුනඛයා පාපන්දු ලොවේ වීරයෙක් බවට පත්වීම 

ඩේවිඩ් කෝබට් නිවැරදිකරුවෙක් බවට  තහවුරු කර ගැනීමෙන් පසු ව පාපන්දු ලෝක කුසලානය හමු වුණු බව ස්කොට්ලන්ඩ් පොලිසිය එංගලන්ත පාපන්දු මූලස්ථානය වෙත දැනුම් දුන්නා. ඒ සමඟ ම කුසලානය සොයා ගත් පික්ල්ස් නම් සුනඛයා පිළිබඳ විස්තර එංගලන්තයේ පමණක් නොව ලෝකය පුරා ප්‍රසිද්ධියට පත් වුණා. පික්ල්ස් පාපන්දු ලොවේ වීරයෙක් බවට පත් වුණා.

එංගලන්තයේ කීර්ති නාමය ආරක්ෂා කරමින් නැති වුණු පාපන්දු ලෝක කුසලානය සොයා දුන් ඩේවිඩ්ට සහ ඔහුගේ සුනඛයාට පවුම් 6000ක ත්‍යාගයක් එංගලන්ත පාපන්දු සම්මේලනය මඟින් ප්‍රදානය කළා. එපමණක් නොව පික්ල්ස්ට චිත්‍රපටවල පෙනී සිටීමට පවා අවස්ථාව ලැබුණා.

ඩේවිඩ් කෝබට් පික්ල්ස්ට ලැබුණු මුදල් ත්‍යාගය සමඟින් – indiatoday.in

 

පික්ල්ස්ට උපහාර කළ එංගලන්ත පාපන්දු කණ්ඩායම 

1966 ජූලි 11 වැනි දින ආරම්භ වුණු පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී ඉතාමත් හොඳින් ක්‍රීඩා කළ එංගලන්තය අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. අවසන් තරගයේ දී බටහිර ජර්මනිය ගෝල 4-2ක් ලෙස පරාජය කළ එංගලන්තය පාපන්දු ලෝක කුසලානය මුල් ම වරට දිනා ගත්තා. ඉන් පසුව පැවැත්වුණු රාත්‍රී භෝජන සංග්‍රහයට පික්ල්ස් සහ ඔහුගේ ස්වාමියාට ද ඇරියුම් ලැබුණා. එය ඔවුන් දෙපළ කළ මෙහෙවරට එංගලන්ත පාපන්දු ක්‍රීඩකයන්ගෙන් ලැබුණු විශාල උපහාරයක් වුණා. 

 පික්ල්ස්ට ලැබුණු උපහාර – gettyimages.com

කවරයේ ඡායාරූපය- පික්ල්ස් සුනඛයා - gettyimages.com

මූලාශ්‍ර:

fifa.com

bbc.com

goal.com

mirror.co.uk

*Topics- Sports, Football  

Related Articles