Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකයා අනතුරේ හෙළන ප්‍රති එන්නත් ව්‍යාපාරය

මිනිසාගේ පරම ආයුෂ ලෙස සැලකෙන්නේ එකසිය විසි වසරකුයි. එනමුත් ජානමය හා වෙනත් පරිසර සාධක අනුව මෙය බොහෝ විට වසර 80කට පමණ සීමා වෙනවා. ලොව සමහරක් දෙනා ස්වභාවික හේතූන්වලින් මියයන විට, තවත් සමහරක් ලෙඩරෝග වැළඳී අකාලයේ මියයාමට තරම් අවාසනාවන්ත වෙනවා.

ලොව සෑම රෝගාබාධයකටම ප්‍රතිකාර සොයාගෙන නැහැ. එනමුත් මීට වසර සිය ගණනකට පෙර වැළඳුණහොත් මරණය නියත රෝගාබාධ රැසකට අද වන විට ඉතා සාර්ථක ප්‍රතිකර්ම සොයාගෙන තිබෙනවා. මින් සමහරක් රෝගාබාධ අද වන විට බොහෝ දෙනා තකන්නේත් නැති තරම් වන අතර, තවත් සමහරකට ප්‍රතිරෝධී වන ලෙස මිනිසුන් හැඩගස්වන නිසා ඒවා ලෝකයෙන් තුරන් වී පවා තිබෙනවා. වසූරිය ඊට හොඳම උදාහරණයක්.

රෝග පාලනය සහ වැළැක්වීම උදෙසා ඖෂධ නියම කාලයේ දී එන්නත් කිරීම උක්ත ප්‍රතිකර්මවල එක් කොටසක් වෙනවා. විශේෂයෙන් යමෙකුට උපතේ සිට කෙටි කලක් තුළ ලබාදෙන ත්‍රිත්ව එන්නත වැනි දෑ නිසා ඔවුනට ගලපටලය ඇතුළු රෝගාබාධ ළදරු කළ වැළඳී සංකූලතා ඇතිවීම වැළකෙනවා. මේ නිසා එන්නත් කිරීම ලෝක සෞඛ්‍ය මට්ටම ඔප්නැංවීමට ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරනවා.

ලොව සියළු දෙනා එකම මතයක් දරන්නේ නැහැ. එදා පටන්ම මෙම එන්නත්කරණයට විරුද්ධ අයවළුන් ලොව සිටියා. ඔවුන් ආගමික විශ්වාස ඇතුළු තවත් හේතූන් නිසා මීට විරුද්ධ අතර සිය දරුවන්ට මේවා එන්නත් කිරීමෙන් වළකිනවා. වර්තමානය වන විට ඔවුන් විසින් ‘ප්‍රති-එන්නත් ව්‍යාපාරය’ නම් සංසදයක් ද නිර්මාණය කර ඇති අතර සමාජ මාධ්‍ය මඟිනුත් එය ප්‍රවර්ධනය කෙරෙනවා. විද්වතුන් පවසන්නේ මේ ප්‍රවනතාවය ප්‍රබලව නැගී ඒම සිදුවුවහොත් අද වන විට මර්දනය කර ඇති රෝගාබාධ පවා නැවත හිස එසවිය හැකි මට්ටමේ ලෝක සෞඛ්‍ය ගැටළුවක් නිර්මාණය වනු ඇති බව යි.

ප්‍රති එන්නත් ව්‍යාපාරය හා සබැඳි ඉතිහාසය

එඩ්වඩ් ජෙනර් දරුවෙකු එන්නත් කරමින්- www.wsj.com

ප්‍රති එන්නත් ව්‍යාපාරයට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. එය මුල්බැසගෙන ඇත්තේ ලොව මුල්ම එන්නත් සොයාගත් අවධියේම යි. මෙහි සම්භවය 1763 වසරේ ප්‍රංශයේ සිදු වූ බවට සැලකෙනවා.

ප්‍රති එන්නත් ව්‍යාපාරය ඇරඹීමට හේතු ගණනාවක් බලපා තිබෙනවා. මින් එක් ප්‍රධානතම කාරණයක් වන්නේ මේ එන්නත්වල විශ්වාසනීයත්වය පිළිබඳව මේ ව්‍යාපාරයට සම්බන්ධව සිටින්නන්ගේ සිත් තුළ කුකුසක් තිබීමයි. මීට අමතරව ඒවායේ සාර්ථකත්වය පිළිබඳව ද ඔවුන් විවේචන ඉදිරිපත් කරනවා. මේ කාරණාවලට අමතරව මානව හිංසාව, ශාරීරික පීඩා මෙන්ම සොබාදහම ඉක්මවා යාමත් ඔවුන් එන්නත් කිරීමට විරුද්ධ වීමට හේතු වශයෙන් ඉදිරිපත් කරනවා. තවත් සමහරෙක් මින් වැළකෙන්නේ විවිධාකාරයේ විශ්වාසයන් හා ආගමික මත නිසා යි. ඔවුනට මෙම ක්‍රියාවලිය මෙන්ම, එන්නත් නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය මෙන්ම පර්යේෂණ ක්‍රියාවලීන් පිළිබඳව ගැටළු තිබෙනවා.

උක්ත කාරණයන් කරණ කොටගෙන මොවුන් වර්තමාන ලෝකයෙහි ‘අත්‍යවශ්‍ය’ යැයි සැලකෙන එන්නත් නොගෙන සිටින අතර, සිය දරුවන්ටත් ඒවා ලබා දෙන්නට ඔවුන් උත්සුක වන්නේ නැහැ. රුබෙල්ලා එන්නත, ත්‍රිත්ව එන්නත වැනි දේ මින් ඉදිරියෙන්ම තිබෙනවා.

එන්නත්වල අවධානම් සාධක

ත්‍රිත්ව එන්නත, පෝලියෝ, රුබෙල්ලා වැනි එන්නත්වල අන්තර්ගත වන්නේ අඩපණ කරන ලද එම විෂබීජය යි. එය ශරීරගත වූ විට රෝගය ඇති කිරීමට තරම් ප්‍රබල නොවූවත්, මේ නිසා ඊට එරෙහිව ප්‍රතිදේහ මානව ශරීරයේ හටගන්නවා. මේ නිසා මෙම එන්නත් ලද අයෙකුට ඊට අදාල රෝගාබාධයට එරෙහි ප්‍රතිශක්තිය ගොඩනැගෙන නිසා එම රෝගය හටගන්නේ නැහැ.

ඉතිහාසය පිරික්සීමේ දී එන්නත් කිරීම නිසා මිනිසුන් ‘අමාරුවේ වැටුණු’ අවස්ථා ද ඉඳහිට හමුවනවා. 1955 වසරේ දී කැලිෆෝනියාවේ එක්තරා විද්‍යාගාරයක නිපදවූ පෝලියෝ එන්නතක අඩපණ කරන ලද රෝගකාරකය වෙනුවට සජීවී රෝගකාරකය අන්තර්ගතව තිබුණා. මේ නිසා මරණ කිහිපයක් ද සිදු වූ බැව් ප්‍රකාශ වුණා. එමෙන්ම 1974 වසරේ දී එංගලන්තයේ රෝහලක ත්‍රිත්ව එන්නත ලබා දීමෙන් පසු, එය ලද දරුවන්ට විවිධ සංකූලතා ඇති බැව් වාර්තා වුණා. මීට අමතරව 1998 වසරේ දී එන්නතක තිබූ රසදිය අඩංගු සංඝටකයක් නිසා පුද්ගලයෙක් මියයාමේ පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වුණා. කෙසේ නමුත් වෛද්‍ය ක්ෂේත්‍රය දිනෙන් දින දියුණු වන බැවින් වර්තමානය වන විට එවැනි ‘අතපසුවීම්’ සිදුවීම අවම වී තිබෙනවා.

ඇමෙරිකාවේ ප්‍රති එන්නත් ව්‍යාපාර- Maggie Fox / NBC News

එන්නත් කිරීම හා ඔටිසම්

1998 වසරේ බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයෙක් රුබෙල්ලා එන්නත හා ඔටිසම් යන රෝග තත්ත්වය අතර සම්බන්ධයක් හුවාදක්වමින් ලියන ලද පර්යේෂණාත්මක ලිපියක් ප්‍රසිද්ධියට පත් කළා. මේ නිසා සමහරෙක් සිය දරුවන්ට රුබෙල්ලා එන්නත ලබාදීමෙන් වැලකී සිටියා. 2007 වසරේ දී ඇමෙරිකානු ජාතික රංගන ශිල්පිණි‍යක වන ජෙනී මැකාතිගේ පුත්‍රයාට ඔටිසම් රෝගය වැළඳී ඇති බැව් සොයාගත් අතර ඇය ඒ සඳහා චෝදනා කළේ රුබෙල්ලා එන්නතට යි. කෙසේ නමුත් 2011 වසරේ දී එම පර්යේෂණාත්මක ලිපියේ අඩංගු කරුණු සාවද්‍ය බැව් සොයාගැණුනා. එනමුත් ඒ වන විටත් බොහෝ දෙනෙකු එම කරුණු සත්‍ය යැයි සලකා සිය දරුවන්ට එන්නත් දීමෙන් වැළකී තිබූ අතර, මේ හේතුවෙන් ඇතැමෙක් මරුමුවට පවා පත් වී තිබුණේ රුබෙල්ලා වැළඳීමෙනුයි.

එන්නත් නොදීම නිසා ඇතිවන ලෝක මට්ටමේ ගැටළු

ලොව බොහෝ භයානක රෝගාබාධවලට එරෙහිව වර්තමානය වන විට සාර්ථක එන්නත් නිපදවා තිබෙන අතර, ඒවායින් සමහරක් මේ නිසා සදහටම ලොවෙන් තුරන් වී තිබෙනවා. තවත් සමහරක් පාලනය වී තිබෙන්නේ නිරතුරු දරුවන්ට එන්නත් ලබාදීම සිදුවන නිසා යි. මේ එන්නත්කිරීම් නිසා වසරකට ලොව පුරා මිලියන 2-3 වැනි ප්‍රමාණයක ජීවිත ආරක්ෂා වෙනවා.

මෑත යුගයේ සමාජ මාධ්‍ය නිසා එන්නත් කිරීමට විරුද්ධ මතවලට වේගයෙන් පැතිරීමේ අවකාශ ලැබී තිබෙනවා. මේ නිසා අතීතයට වඩා වැඩි දෙනෙක් සිතා මතාම සිය දරුවන්ට එන්නත් ලබාදීමෙන් වැළකී සිටිනවා.

පසුගිය වසර කිහිපය තුළ ලොව පුරා සරම්ප වැළඳීමේ සිද්ධීන්වල 30% ක වර්ධනයක් දක්නට ලැබෙන අතර 2000 වසරේ දී ඇමෙරිකාවෙන් තුරන් කරනු ලැබුයේ යැයි සැලකුණු එය 2013, 2014 හා 2015 යන වසරවල නැවතත් වසංගත තත්වයෙන් එහි පැතිරී ගියා. මෑතක සිට එක්සත් ජනපදය පුරා පැතිර යමින් ඇති සරම්ප වසංගතයත් මෙයට හොඳ උදාහරණයක්. මීට ප්‍රධානතම හේතුව ඊට ආදාල එන්නත් එම රෝගය වැළඳුණු පුද්ගලයින්ගේ ශරීර ගත නොවී තිබීම බැව් වෛද්‍යවරුන් පවසනවා.

සරම්ප වැළඳුණු ඇමෙරිකානු දරුවෙක්- Maggie Fox / NBC News

නිසි අධ්‍යයනයකින් තොරව විවිධ විශ්වාසයන්හි එල්බගෙන සමහර එන්නත් ලබාගැනීමෙන් වැළකී සිටියහොත්, දැනට සෑහෙන දුරකට පාලනය කර ඇති බෝවෙන රෝග රාශියක් වසංගත ලෙස ලොව පුරා නැවත පැතිරී යනු ඇති බවට විද්‍යාඥයින් අනතුරු හඟවනවා. මේ වෛරසවල ජානමය විකෘතිතා ඇතිවීමේත් විශාල සම්භාවිතාවක් පවතින බැවින්, එසේ වුවහොත් ඒවායේ ප්‍රතිරෝධය වර්ධනය වී දැනට පවතින එන්නත්වලින් ද ඒවා මැඬීම අපහසු වනු ඇති.

කවරයේ පින්තූරය- expatliving.hk

Related Articles