Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හමර්: යුධබිමෙහි සිට නවීණත්වය සොයා යන ගමන

HUMMER හි ඉතිහාසය ආරම්භ වන්නේ 1979 දී යුධ හමුදාවේ යුධමය අවශ්‍යතා සපුරාලීම සඳහා අධි සංචලතා බහුකාර්ය රෝද සහිත වාහන (HMMWV) තෝරාගැනීම සඳහා වන තරගයෙනි. එම තරගය ආරම්භ වන විටත්, ටෙලිඩයින් සහ ක්‍රයිස්ලර් ඩිෆෙන්ස් (පසුව ජෙනරල් ඩයිනමික්ස් වෙත විකුණන ලදී.) යුධමය වාහන නිපදවා තිබුණි.

AM ජෙනරල් සමාගමේ මූලාකෘතිය වන හමර්, 1980 ජූලි මාසයේ දී නෙවාඩා කාන්තාරයේ දී පරීක්ෂා කිරීම සිදුකළේ එය සැලසුම් කර මාස එකොළහක් පමණ කෙටි කාලයකින් පසුව වන අතර, ඒ තුළින් සමාගමේ දැනුම හා නායකත්වය පෙන්නුම් කෙරුණි. යුධ හමුදාව විසින් විධිමත් ලෙස වාහන පරීක්ෂා කිරීම 1981 පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන ලදී. කර්මාන්තශාලා හයකින් වාහන ඉදිරිපත් කර තිබූ අතර, හමුදාවේ H.M.M.W.V පිරිවිතරයන්ට අනුව ඒවා ඇගයීමට ලක් කරන ලදී. එහි දී වඩාත්ම අනුකූල මෝස්තර තුන තෝරාගෙන 1981 ජුනි මාසයේ දී ජෙනරල් ඩයිනමික්ස්, ටෙලිඩයින් සහ AM ජෙනරල් වෙත කොන්ත්‍රාත්තු ප්‍රදානය කරන ලදී. සෑම සමාගමකින්ම ලබා ගත යුතු පරීක්ෂණ වාහන අතර TOW Carrier, Cargo Troop Carrier සහ Mini සහ Maxi ගිලන්රථ ප්‍රභේද ඇතුළත් විය යුතු බවත් ප්‍රකාශ කරන ලදී.

පළමුව නිපදවූ හමර් M1151 හම්වී රථයක් (Photo by: amgeneral.com)

අභියෝගය

සැහැල්ලු සන්නාහය, ජලය සහිත වගුරු බිම්වල ගමන් කිරීමට හැකි වීම, කඳු නැගීමේ හැකියාව, ආක්ටික් හා කාන්තාරයේ මෙහෙයුම් හැකියාව, කල්පැවැත්ම සහ නඩත්තු කිරීමේ හැකියාව, ද්‍රව්‍යමය යෙදවුම් ප්‍රගතිය සඳහා කැඳවන ලද වාහන බර සීමාවන් සමග හමුදා පිරිවිතර අතිශයින් පරික්ෂාවට ලක්විය. මේ සියල්ල සමග එය කිරීමට මාස දහයක් වැනි කෙටි කාලයක් ලබාදීමත් AM ජෙනරල් සමාගමට තවත් විශාල අභියෝගයක් විය.

අභියෝග මැදින් ඉදිරියටම

පරීක්ෂණ වාහන සම්පූර්ණ කළ පළමු සමාගම බවට පත්වීමත් සමග නැවත වරක් AM ජෙනරල් සිය දක්ෂතාවය ඔප්පු කළේ ය. මූලාකෘති HUMMER වාහන ඇබර්ඩීන් සහ යූමාහි යුධ පරීක්ෂණ සිදුකිරීමේ භූමියට සහ 1982 අප්‍රේල් මාසයේ දී හන්ටර්-ලිගෙට් හි පරීක්ෂණ ස්ථානයට ද ලබාදෙන ලදී.

අභියෝගාත්මක ධාවනයක් අතරතුර M1167 (Photo by: old car online)

යුද හමුදාවේ පරීක්ෂණ අදියර මාස පහක කාලයක් තුළ කර තිබූ අතර, ඉන් අනතුරුව කොන්ත්‍රාත්කරුවන්ගෙන් නිෂ්පාදන ටෙන්ඩර් කැඳවනු ලැබුණි. කල්පැවැත්ම, සැහැල්ලු සහ ඉහළ කාර්යය සාධනයක් සහිත ශ්‍රේණිගත කිරීම් සමග HUMMER ඉහළම ලකුණු ලබාගත්තේ ය.

ගිලන්රථ මොඩලය M997A3 (Photo by: amgeneral.com)

AM  ජෙනරල්ගේ නිෂ්පාදන ටෙන්ඩරයෙන් පසුව, මෙම “සුපිරි මිලිටරි” වාහනවලට 1983 මාර්තු මාසයේ දී ආරම්භක හමර් නිෂ්පාදන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කරන ලද අතර, වසර පහක කාලයක් තුළ වාහන 55,000ක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ ය. 1983 දී මෙම දිනයේ දී පෙන්ටගනය විසින් අධි සංචලතා බහුකාර්ය රෝද සහිත වාහන 55,000ක් (H.M.M.W.V) සංවර්ධනය කිරීම සඳහා ඩොලර් බිලියන 1කට වඩා වටිනා නිෂ්පාදන කොන්ත්‍රාත්තුවක් AM ජෙනරල් කෝපරේෂන් වෙත ප්‍රදානය කෙරුණි. ‘හම්වී’ යන නාමයෙන් නම් කර ඇති මෙම රථ හමුදා සෙබළු සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා නිර්මාණය කර ඇති අතර, 1989 දී පැනමාව ආක්‍රමණය කිරීමේ දී සහ 1990 දශකයේ මුල් භාගයේ පර්සියානු ගල්ෆ් යුද්ධයේ දී ඇමරිකානු හමුදාව විසින් මේවා භාවිතා කරන ලදී.

පළමු නිෂ්පාදනය වූ ‘හම්වී’ (HMMWV)/ H1

හම්වී (HMMWV) යනු සාපේකෂව සැහැල්ලු, ඩීසල් බලයෙන් ධාවනය වන, රෝද හතරේ වාහනයක් වන අතර එම හම්වී වාහන සඳහා පොදු M-998 චැසිය යොදාගෙන ඇත. මැෂින් තුවක්කු සහ ටැංකි නාශක මිසයිල දියත් කිරීම් ඇතුළු මිලිටරි උපකරණ රැගෙන යාම වෙනුවෙන් නිෂ්පාදිත මෙම වාහනය අඩි 6ක් උස, අඩි 7ක් පළල සහ අඩි 15ක් දිගු වේ. චැසිය, රේල් පීලි සහිත වානේ රාමුවක් වන අතර ඉහළ ශ්‍රේණියේ මිශ්‍ර වානේවලින් සාදන ලද හරස් ආධාරක පහකින් සමන්විත වේ. බඳ ඇලුමිනියම්වලින් සාදා ඇති අතර, එය බර අඩු කරනවා මෙන්ම  විඛාදනයට ඉහළ ප්‍රතිරෝධයක් සපයයි. M-998 හම්වී හි දළ වාහන බර ශ්‍රේණිගත කිරීම අනුව (GVWR) 7,700lb වන අතර එහි බර 5,200lb වේ. වාහනයේ උපරිම වේගය පැයට සැතපුම් 65කි. ආසන වින්‍යාසය 1 + 1 හෝ 2 + 2 විය හැකි අතර ඊට 12V / 24V විදුලි පද්ධතියක් හා 95 L ධාරිතාවයකින් යුත් ඉන්ධන ටැංකියක් ඇත.

හම්වී M1165 යුද රථයක් (Photo by: amgeneral.com)

හම්වී හි රෝද හතරේම තැටි තිරිංග (Disk Brakes) සවි කර ඇත. M-998 හම්වී හි 6.2 L V8 ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන්, දියර මඟින් සිසිල් කරන ලද ඩීසල් සම්පීඩන ජ්වලන එන්ජිමකින් සමන්විත වන අතර එය 3,000rpm දී 150hp බලයක් උත්පාදනය කරයි. එහි වේගවත්, ස්වයංක්‍රීය වේග තුනකින් සමන්විත ගියර සම්ප්‍රේෂණයක් ද ඇත. වඩාත් සුලභ මොඩලය, බර 2.5t වන අතර එය ටර්බෝචාජ් 6.5l V8 ඩීසල් එන්ජිමකින් බල ගැන්වේ. මෙම මාදිලියේ ප්‍රධාන වාහන වන්නේ M1113, M1114, M1116, M1151 w / AC, M1151A, M1151A1 w / B1, M1152 w / AC, M1152A1, M1152A1 w / B2, M1165 w / AC, M1165A1 සහ M1165A1 w / B3 ය.

ටර්බෝචාජ් 6.5l V8 ඩීසල් එන්ජිම

පසුබෑම

මෙම සන්නද්ධ හම්වී රථ හමුදා සඳහා වැඩි ආරක්ෂාවක් ලබා දුන් අතර පසුකාලීනව ඇෆ්ගනිස්ථානයට යවන ලදි. රළු පාරවල් සහ කඳුකර ප්‍රදේශ හරහා ගමන් කිරීමටත්, මඟීන් ආරක්‍ෂිතව තබා ගැනීමටත් හැකි වූ නිසා භට පිරිස් විසින් මෙම රථ වැඩිපුර යුධ කටයුතු සදහා භාවිත කරන ලදී. අවාසනාවකට මෙන්, අයි.ඊ.ඩී රථ හඳුන්වාදීමත් සමග යළිත් වරක් හම්වී අවදානමකට ලක් විය. 2006 දී, හම්වී රථවල ගමන් ගත් භටයන් 60කට වැඩි පිරිසක් මිය ගිය අතර, ආරක්ෂාව වැඩි කිරීම සඳහා, හමුදාව විසින් වාහනවලට නව ආයුධ කට්ටල සවි කිරීමට තීරණය කළහ. එය න්‍යායිකව හොඳ චින්තනයක් වූ අතර, එය පෙරට වඩා වාහනය සහ ඇතුළත සිටි අයව වඩා හොඳින් ආරක්ෂා කළේ ය. නමුත් පසුබෑම වූයේ, එය අධික බරකින් යුක්ත වීම යි. සන්නාහ කට්ටල කොතරම් බරක් එකතු කර ඇත්ද යත්, චැසියට හානි සිදු වූ අතර ඊට අමතරව මෙම දැවැන්ත සන්නද්ධ දොරවල් විවෘත කිරීම අසීරු බවත්, වාහනය අධික බරකින් යුක්ත බවත් භට පිරිස් ඉක්මනින් සොයාගත්හ.

ඇෆ්ගනිස්ථාන යුද්ධයේ දී (Photo by: military.com)

ඉවත්වීම

2007 දී එක්සත් ජනපද මැරීන් බලකාය හම්වී වෙනුවට M.R.A.P රථ යොදාගැනීම ආරම්භ කිරීමට තීරණය කළේ ය. ඉතිරි හම්වී රථ මිනිසුන් රහිත භූගත වාහන (U.G.V) බවට පත් කර “ජංගම ප්‍රහාරක රථ” ලෙස සේවය කිරීම සඳහා ඔවුන්ගේ සන්නාහය ගලවා වඩා හොඳ ක්‍රියාකාරීත්වයක් ලබා දිය හැකි බවට යෝජනා විය. 

නවීකරණය කළ හම්වී M1100 රථයක් (Photo by: classiccars.com)

දෙවන කොටසේ දී, මෙම මිලිටරි වාහනය හමර් H2 හා H3 ලෙස සුඛෝපභෝගී රථයක් වූයේ කෙසේ ද යන්න ගැන කතා කරමු.

Related Articles