Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොරෝනා රෝගීන් හඳුනාගන්නා PCR පරීක්ෂණය

පසුගිය දිනවල ශ්‍රී ලංකාව පුරා පැතිරී ගිය කොරෝනා වසංගතයත් සමගම අපට නිතර අසන්නට ලැබුණු වචන කිහිපය අතුරින් එකක් වුණේ PCR පරීක්ෂණය යන වචනය යි. සෑම දිනකම පාහේ මාධ්‍ය තුළින් අසන්නට ලැබෙන මෙම පරීක්ෂණය යොදාගන්නේ කොරෝනා රෝගීන් හඳුනාගැනීම සඳහා යි. අපේ රටේ බොහෝ දෙනෙකුට PCR පරීක්ෂණය නුපුරුදු එකක් වුණත් මෙය පිළිබඳව මුල්ම වරට ලෝකයට ඉදිරිපත් කරනු ලැබුවේ 1983 වසරේ දී යි. එදා කේරි මුලිස් නම් ඇමරිකානු විද්‍යාඥයා සොයාගත් මෙම පරීක්ෂණ ක්‍රමය කොරෝනා වසංගතය ඇතිවීමට පෙර සිටම විවිධ කාර්යයන් සඳහා යොදාගනු ලැබුවා. 

PCR පරීක්ෂණය යොදාගන්නා වෙනත් කාර්යයන්

ඉතාමත් කුඩා DNA සාම්පලයක පිටපත් විශාල ප්‍රමාණයක් සාදාගෙන සවිස්තරාත්මකව අධ්‍යයනය කිරීම සඳහා භාවිතා කරන්නේ PCR පරීක්ෂණය යි. සාමාන්‍යයෙන් පුද්ගලයාගෙන් පුද්ගලයාට DNA වෙනස්වන නිසා අධිකරණ වෛද්‍ය විද්‍යාවේ දී අපරාධකරුවන් හඳුනාගැනීම සහ වෙනත් කාර්යයන් සඳහා මෙම පරීක්ෂණය යොදාගනු ලබනවා. ශ්‍රී ලංකාව තුළ මුල්ම වරට ඝාතනයක අපරාධකරුවන් සොයාගැනීම සඳහා මෙම පරීක්ෂණය යොදාගනු ලැබුවේ 1999 වසරේ සිදු වුණු හෝකන්දර සය පුද්ගල ඝාතනයේ දී යි. ඊට අමතරව යමෙකුගේ දෙමාපියන් හඳුනාගැනීම සඳහා මෙන්ම විවිධ ආසාදනයන් හඳුනාගැනීමට මෙම පරීක්ෂණය භාවිතා කරනවා. 

වෛරසයක් හඳුනාගැනීම සඳහා PCR පරීක්ෂාව කළ හැකි ද?

කොරෝනාවෛරසය තුළ ඇත්තේ RNA නම් වුණු න්‍යෂ්ටික අම්ලය යි. RNA හඳුනාගැනීම සඳහා PCR පරීක්ෂණය සිදු කළ නොහැකියි. එම නිසා RNA පිටපත් කර හඳුනාගැනීම සඳහා එන්සයිමයක් භාවිතා කරමින් RNA, DNAවලට පරිවර්තනය කරගත යුතු යි. එහි දී යොදාගන්නා Reverse Tranceiptase නම් එන්සයිමය මඟින් සිදුවන්නේ RNAවලට අනුරූප DNA නිර්මාණය කිරීම යි. එම පරිවර්තනය කිරීමෙන් පසුව ලැබෙන DNAවලට PCR පරීක්ෂණය සිදු කළ හැකියි.

DNA අණුවක් සහ RNA අණුවක් (Vecteezy) 

 PCR පරීක්ෂණය සිදුකරන ආකාරය 

1) මෙම පරීක්ෂණය සිදුකිරීමේ දී මුලින්ම අදාළ අයගෙන් සාම්පල ලබාගත යුතු යි. ඒ සඳහා දිග cotton bud එකක් වැනි දෙයක් නාසයෙන් හෝ මුඛයෙන් ඇතුළු කර උගුර සහ නාස් කුහරය කෙළවර ආසන්නයෙන් සෙම සාම්පලයක් ලබා ගන්නවා. 

2) ඉන් පසුව  ලබාගත් සෙම සාම්පල PCR පරීක්ෂණය සඳහා රසායනාගාර වෙත යොමු කරනු ලබනවා. මෙහිදී සාම්පල පැය 48ක් තුළ රසායනාගාරය වෙතට යැවිය යුතු යි. එලෙස යවන සාම්පල ප්‍රවාහනයේ දී සහ ගබඩා කර තැබීමේ දී නිර්දේශ කර ඇති උෂ්ණත්ව පරාසවල රඳවා තැබිය යුතු යි. 

3) RNA අණු පවතින්නේ යුගල දෙකක හෙලික්සීය ව්‍යුහයක් ආකාරයට යි. ඒ අනුව පරීක්ෂණයේ පළමු පියවරේ දී සිදුකරන්නේ එම හෙලික්සීය ව්‍යුහය දෙකඩ කිරීම යි. ඒ සඳහා මුලින්ම RNA අඩංගු මිශ්‍රණය රත් කිරීම සිදු කරනු ලබනවා. එහි දී ලැබෙන උෂ්ණත්වය මඟින් RNA අණුවේඇති හයිඩ්‍රජන් බන්ධන බිඳී යනවා. එමඟින් RNA අණුවේ පොටවල් දෙක වෙන් කර ගැනීමට හැකියි.

4) ඉන් අනතුරුව RNA අඩංගු මිශ්‍රණය සිසිල් වන්නට ඉඩ හරිනවා. එම පියවරේ දී ප්‍රයිමර්ස් (primers) හෙවත් පිටපත් කිරීමට අවශ්‍ය RNA කොටස් හඳුනාගැනීමට ලැබෙනවා. ඉන් පසුව Reverse Tranceiptase නම් එන්සයිමය භාවිතා කරමින් RNAවලට අනුරූප DNA නිර්මාණය කර ගත හැකියි. එලෙස නිර්මාණය කරගත් DNA කෘතිමව පිටපත් කරන අවස්ථාවේ දී ලබාගත් සාම්පලයේ වෛරසය තිබුණා නම් ඒවා දෙගුණ තෙගුණ වෙමින් පිටපත් බිලියන ගණනක් ප්‍රයිමර්ස්වලට පිටපත් වනවා. එමඟින් කොරෝනා රෝගියෙකු හඳුනාගැනීමට පුළුවන්.

5) මෙම පරීක්ෂණය සිදුකිරීමෙන් පසුව රෝගය නොමැති බව සනාථ කරගත් අයගෙන් යම් ප්‍රතිශතයකට රෝගය තිබිමේ හැකියාවක් පවතිනවා. ඒ අනුව රෝගියාගේ ආසාදන තත්ත්වය තීරණය කිරීම සඳහා පරීක්ෂණයේ ප්‍රතිපල මෙන්ම රෝගියාගේ ඉතිහාසය සහ වෙනත් රෝග පිළිබඳව තොරතුරු වසංගත විද්‍යාත්මක අංශයට යැවිය යුතු වනවා. මුල් PCR පරීක්ෂණයෙන් පසුව රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු වුණු රෝගියෙකුගෙන් පසුව රෝග ලක්ෂණ පෙන්වීමට ඉඩ තිබෙන නිසාම නිරෝධානය වන පුද්ගලයන්ට දින 14ක් තුළ දෙවරක් මෙම පරීක්ෂණය කරනු ලබනවා. 

PCR පරීක්ෂණය සිදුකරමින් (Live SCience) 

ශ්‍රී ලංකාව තුළ PCR පරීක්ෂණය කරන ස්ථාන 

මෙවැනි සුවිශේෂී පරීක්ෂණයක් සාමාන්‍ය රසායනාගාරක් තුළ කිරීමට අපහසු යි. ඒ සඳහා විශේෂයෙන්ම සකස් කළ පරීක්ෂණාගාර සහ උසස් දැනුමක් සහිත තාක්ෂණවේදීන් සිටිය යුතු යි. ශ්‍රී ලංකාවට කොරෝනා වසංගතය ඇතුළු වුණු මුල් දිනවල මෙම පරීක්ෂණය සිදුකරනු ලැබුවේ වෛද්‍ය පර්යේෂණ ආයතනය, කරාපිටිය ශික්ෂණ රෝහල, මහනුවර ජාතික රෝහල වැනි ස්ථානවල දී යි. නමුත් මේ වන විට රජයේ සහ පෞද්ගලික රෝහල් රැසක දී මෙම පරීක්ෂණය සිදුකරනු ලබනවා. මෙවැනි පරීක්ෂණයක් කිරීමට හැකියාව තිබෙන විශේෂිත තාක්ෂණවේදීන් ප්‍රධාන වශයෙන් බිහිකරන පාඨමාලාවන් 3ක් තිබෙනවා.

1) සෞඛ්‍යය විද්‍යා අමාත්‍යාංශයේ වෛද්‍ය රසායනාගාර තාක්ෂණය පිළිබඳව උසස් ඩිප්ලෝමාව 

2) වෛද්‍ය රසායනාගාර විද්‍යා විශේෂ උපාධි වැඩසටහන් 

3) අණුක ජීව විද්‍යාව පිළිබඳව විශේෂ උපාධි වැඩසටහන් 

කොරෝනා වසංගතයට එරෙහිව සටන් කරන මෙම අවස්ථාවේ දී PCR පරීක්ෂණය කරන තාක්ෂණවේදීන් සිදුකරන මෙහෙය අගය කළ යුතු වනවා. යම් හෙයකින් ශ්‍රී ලංකාව තුළ මෙම පරීක්ෂණය සිදු කිරීමට අවශ්‍ය තාක්ෂණවේදීන් නොසිටියා නම් මෙම සාම්පල ඉන්දියාවට යවා පරීක්ෂා කරගත යුතු වනවා. එවැනි තත්ත්වයක් ඇති වුණා නම් මෙම වසංගතයෙන් ශ්‍රී ලංකාව විශාල බැට කෑමකට ලක්වීමට ඉඩ තිබුණා. 

PCR පරීක්ෂණයේ දී ඇතිවිය හැකි ගැටලු

PCR පරීක්ෂණය රෝග කාරකයන්ට සුවිශේෂී වන ජානමය තොරතුරු හඳුනාගැනීම සම්බන්ධයෙන් ඇති ඉතාමත් සංවේදී පරීක්ෂණයක්. නමුත් මෙම පරීක්ෂණයේ තිබෙන සංවේදීතාවය පහත  කරුණු කිහිපය මත රඳා පවතිනවා.

1 පරීක්ෂණය මඟින් හඳුනාගැනීමට අවශ්‍ය අවම වෛරස ප්‍රමාණය 

2 පරීක්ෂණයේ සංවේදීතාවය සහ අදාල රෝගකාරකය සඳහා වන විශේෂිත බව.

3 නිදර්ශක එකතු කිරීමට වැයකරන කාල පරාසය

4 ලබාගන්නා නීදර්ශකයේ ගුණාත්මක බව 

ඒ අනුව ඉහත කරුණු ගැන නොසලකා හැරීමෙන් පරීක්ෂණය සිදුකරනු ලැබුවොත් ලැබෙන ප්‍රතිඵලය දෝෂ සහිත එකක් වනු ඇති.

කවරයේ ඡායාරූපය- PCR පරීක්ෂණය සිදුකරන අවස්ථාවක් (Live SCience) 

මූලාශ්‍රයයන්- npr.org

                        මොකක්ද මේ නිතර ඇසෙන PCR- රවී කුමුදේශ්

Related Articles