සියලු ම රටවල පාහේ ඒ රටවල ජනතාව අදහන ආගම් හා සම්බන්ධ සුවිශේෂී ස්ථාන සහ වෙනත් දෑ දැකිය හැකි යි. ශ්‍රී ලංකාවේ පිහිටි ශ්‍රී දළදා මාලිගාව, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, සමාධි බුද්ධ ප්‍රතිමාව සහ වෙනත් ආගමික වටිනාකමකින් යුතු ස්ථාන ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.
ශ්‍රී ලංකාවේ පමණක් නොව බුද්ධාගම පවතින වෙනත් රටවල ද එවැනි දෑ දැකිය හැකි ය. තායිලන්තයේ රජ මාලිගය හෙවත් “ග්‍රෑන්ඩ් පැලස්” හි තැන්පත් කර තිබෙන හරිත මාණික්‍ය (මරකත) බුද්ධ ප්‍රතිමාව හෙවත් ‘එමරල්ඩ් බුද්ධා’ ප්‍රතිමාව තායිලන්ත බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට ලක් වේ.
මෙම ප්‍රතිමාව සම්බන්ධ වැදගත් කරුණ නම් භාරත දේශයේ, එනම් ඉන්දියාවේ නිර්මාණය වූ මෙම බුද්ධ ප්‍රතිමාව ප්‍රථමයෙන් ම ශ්‍රී ලංකාවටත්, ඉන් අනතරු ව තායිලන්තයටත් ලැබීම පිළිබඳ ව ඇත්තේ රසවත් කථා ප්‍රවෘත්තියකි. වර්තමානය වන විට මෙම බුද්ධ ප්‍රතිමාව තායිලන්තයේ රාජ්‍යත්වය හා සම්බන්ධ අංගයක් බවට පත් ව ඇති අතර එය තැන්පත් කර තිබෙන ස්ථානය තායිලන්තයේ ප්‍රධාන සංචාරක ස්ථානයක් ද වේ.
බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වූ අයුරු
මෙම බුද්ධ ප්‍රතිමාව සම්බන්ධ පුරාවෘත්තය තායිලන්ත වංශකථාවක් වූ ජිනකාලමාලියේ, රතනබිම්බවංශය සහ මරකත බුද්ධ නිධාන යනාදී මූලාශ්‍රවල සඳහන් වන අතර ඒවායේ එකිනෙකට වෙනස් යම් යම් වෙනස්කම් දැක ගත හැකි වුවත් සමස්තයක් ලෙස කතා පුවත සමාන වේ. මෙම කතා පුවත දේවකථා හා සම්බන්ධ වන අතර විටෙක එය තරමක අතිශයෝක්ති සහගත බවකින් යුක්ත වේ.
බුදුන් වහන්සේ පිරිනිවන් පා වසර 500කට පසු, එනම් ක්‍රිස්තු පූර්ව 43 දී පමණ ඉන්දියාවේ පාඨලීපුත්‍ර නගරයේ විසූ නාගසේන මහරහතුන් වහන්සේ ශාසනය බැබළවීම උදෙසා බුද්ධ ප්‍රතිමාවක් කරවීමට සිතූ අතර උන්වහන්සේගේ එම අදහස පිළිබඳ ව දැනගත් ශක්‍ර දෙවියන් එම ප්‍රතිමාව නෙළීම සදහා විශ්වකර්ම නම් දෙවියන්ට භාර කළේ ය.
ඒ අනුව වේපුල්ල නම් පර්වතයෙහි කුම්භාණ්ඩයන් (අමනුෂ්‍ය කොට්ඨාශයක්) ආරක්ෂා කළ ජෝතිරතන නම් මාණික්‍යය ඒ සඳහා යොදා ගත් බව සඳහන් ය. විශ්වකර්ම දිව්‍යපුත්‍රයා ප්‍රතිමා ශිල්පියකුගේ වෙස් ගෙන පැමිණ සත් දිනක් ඇතුළත එම ප්‍රතිමාව නිර්මාණය කොට අවසන් කර ඇත. එහි උස රියනකුත් අඟලක් පමණ වූ අතර නෙළීම අවසානයේ නාගසේන රහතන් වහන්සේ සහ ශක්‍ර දෙවියන් ඇතුළු පිරිස සත් දිනක් තිස්සේ මෙම ප්‍රතිමාවට පූජෝපහාර දක්වා ඇත.
ධාතූන් වහන්සේලා තැන්පත් වීම
එම කාලය අතරතුර මෙම ප්‍රතිමාව විවිධ ප්‍රාතිහාර්යයන් පෑ අතර රහතන් වහන්සේලා ධාතූන් වහන්සේලා සත් නමක් එහි නිදන් කිරීමට අධිෂ්ඨාන කළ බව සඳහන් ය. ඒ අධිෂ්ඨානය අනුව එක් එක් ධාතූන් වහන්සේ ප්‍රතිමාවේ එක් එක් ස්ථානවල තැන්පත් විය. එක් ධාතුවක් එහි හිස මුදුනේ ද, එකක් නළල් තලයෙහි ද, එකක් හෘදයෙහි ද, ධාතූන් වහන්සේ දෙනමක් දෙඅත් වල ද, තවත් දෙනමක් දණ දෙකෙහි ද වශයෙන් තැන්පත් විය. එම අවස්ථාවේ දී එම ප්‍රතිමාවේ අනාගතය දුටු රහතන් වහන්සේ ‘මෙම ප්‍රතිමාව අනාගතයෙහි කාම්‌බෝජ-අරිමද්දන-සියම් යන දේශයන් තුනක බබළන්නේය’ යනුවෙන් අනාගත වාක්‍යයක් ද දෙසූ සේක. මෙය ජිනකාලමාලියේ සඳහන් වන කතා ප්‍රවෘත්තිය වන අතර ඇතැම් තැනක මෙම ප්‍රතිමාව නාගසේන රහතන් වහන්සේගේ අනුශාසනාවෙන් මිළිඳු රජු කර වූ බව ද සඳහන් වේ.
ලංකාවට ලැබීම සහ එය පසු ව කාම්බෝජයට ලැබුණු අයුරු
වසර 300 පමණ යන තෙක් පාඨලී පුත්‍රයේ රජ පවුලේ ද නොමඳ ගෞරවයට පාත්‍ර වූ මෙම ප්‍රතිමාව ඉන්දියාවේ යුද කෝළහල ආදිය බහුල වූ නිසා ආරක්ෂාව පිණිස නැවක නංවා ලංකාවට පිටත් කර එවා ඇත.ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 256 සිට ක්‍රිස්තු වර්ෂ 1051 දක්වා කාලය තුළ මෙම ප්‍රතිමාව මහා විහාරයෙහි තැන්පත් කොට පුද පූජා පවත්වා ඇත.
ක්‍රිස්තු වර්ෂ 105 දී පමණ බුරුමයේ රජු වූ අනවරත හෙවත් අනුරුද්ධ රජුට සම්පූර්ණ ත්‍රිපිටකය ලබා ගැනීමේ ආශාවක් හට ගත්තේ ය. ඒ අනුව රජු ලංකාවට පැමිණි අතර එවකට මෙරට රජුගේ අනුග්‍රහයෙන් ත්‍රිපිටකය හා අටුවා පිටපත් කරගෙන බුරුමය බලා පිටත් විය. කෙසේ හෝ අනුරුද්ධ රජු දඹදිවින් ලංකාවට ලැබුණු මරකත මැණික් ප්‍රතිමාව ද ලංකාවේ රජුගේ අවසරය පිට ලබා ගත්තේ ය.
කාම්බෝජයට ප්‍රතිමාව ලැබීම හා එය තායිලන්තයට ලබා දීම
ඒ අනුව අනුරුද්ධ රජු නෞකා දෙකකින් බුරුමය බලා පිටත් වූ අතර ඔහු සිටි නෞකාවේ ත්‍රිපිටකයෙන් පිටක දෙකක ග්‍රන්ථ වූ අතර අනෙක් නෞකාවේ ඉතිරි පිටකය සහ සෙසු ග්‍රන්ථත්, මරකත බුද්ධ ප්‍රතිමාවත් විය.
රජු ගමන් ගත් නැව නිරුපද්‍රිත ව බුරුමයට ළඟා වුව ද අනෙක් නැව සුළි සුළඟකට හසු වී කාම්‌බෝජයේ කාම්පොට් ප්‍රදේශයට ළඟා විය. එවකට කාම්‌බෝජයේ රජ වූ සෙනරත් රජතුමා ඒ බව දැන තම අගනුවර වූ ඉන්ද්‍රපථ මහා නගරයට ප්‍රතිමාව වඩමවා ගෙන ගොස් මහත් පුද සත්කාර කර ඇත.
එක් නැවක් කාම්‌බෝජයට ගිය බව ඇසූ අනුරුද්ධ රජු එහි ගොස් ග්‍රන්ථ සියල්ල ලබා ගත් අතර එම ප්‍රීතිය නිසා ම ඔහුට මරකත බුද්ධ ප්‍රතිමාව අමතක වී ගියේ ය.
ප්‍රතිමාව තායිලන්තයට ලැබීම
කාම්බෝජ රජු පිළිමය සැඟ වූ අතර මේ කාලයේ දී ම කාම්බෝජයට විශාල ගංවතුරක් පැමිණියේ ය. මෙම ගංවතුරට හේතුව පිළිමය වසන් කිරීම යයි සිතූ රජු පිළිමය නැවකට නංවා පාකර හැරියේ ය. එම නැව සියම් බොක්ක ඔස්සේ උතුරට ගොස් සියම් වෙරළට සැපත් වූ බව ඇසූ ආදිත්‍යවංශ නම් රජු ක්‍රිස්තු වර්ෂ 1056 දී එම පිළිමය එහි වැඩ ම වූ අතර එය එහි සිට ලවපුරයට ද, අනතුරුව වජිරපාකාර පුරයට ද වඩමවා ඇත.
ක්‍රිස්තු වර්ෂ 1373 – 1416 දක්වා කාලයේ දී ලාන්නා රාජධානියේ රජු වූ මහා බ්‍රහ්ම නම් රජෙක් මෙම වජිරපාකාර පුරය අල්ලා ගෙන එම ප්‍රතිමාව චියැං සෑං නගරයට ගෙන ගොස් පූජා පවත්වා ඇත. පසුව ලක්ඛපුරාගම නම් වෙනත් රජ කෙනෙක් තම සුළුපියා වූ මහාබ්‍රහ්ම රජු සමඟ යුද්ධ කළ නමුත් මෙම ප්‍රතිමාව ලබා ගැනීමට නොහැකි විය. ඒ යම්කිසි පිරිසක් මෙම ප්‍රතිමාව සුණු බදාම ගල්වා බදාම පිළිමයක් සේ සඟවා තැබූ නිසා ය. ක්‍රිස්තු වර්ෂ 1463 දී පමණ චියැංරායි හි තිලෝකරජ රජ සමයෙහි චෛත්‍යයකට අකුණක් පතිත වී විසුරුණු පිළිම අතර තිබී මෙම පිළිමය ද හමු ව අතර සුණු බදාමය ගැල වී යාමෙන් මෙම ප්‍රතිමාව නිරාවරණය විය.
මෙම වටිනා පිළිමය ගැන ඇසූ තිලෝකරජ රජු එය තම නුවරට ගෙන යෑමට උත්සහ කළත් එය ව්‍යර්ථ වූ අතර පසුව එය ඛේලංග හෙවත් වර්තමාන ලම්පාං නගරයට ගෙන ගොස් තැන්පත් කර ඇත. පසුව ඒ සදහා චියැංමායිහි විහාරයක් ගොඩනැගූ අතර එහි කටයුතු නිම වීමෙන් අනතුරුව ප්‍රතිමාව එහි තැන්පත් කෙරුණි. වසර 84ක් මෙම ප්‍රතිමාව එහි තැන්පත් කොට තිබුණි.
ප්‍රතිමාව ලාඕසයට ගෙන යාම හා නැවත තායිලන්තයට රැගෙන ඒම
මේ අතර ලාඕසයේ රජ කළ ලාන්චෑන් රජු මියගිය නිසා චියැංමායිහි සිටි ඔහුගේ පුත්‍ර ජයජෙට්ඨ රජුට රාජ්‍ය භාර ගන්නා ලෙස ආරාධනාවක් ලැබිණි. එම ආරාධනාව පිළිගත් ජයජෙට්ඨ රජු එහි යන අවස්ථාවේ දී මෙම මැණික් ප්‍රතිමාව ද ගෙන ගොස් ලුවාංප්‍රභාං නුවර එය තැන්පත් කරවූ අතර වර්ෂ 1777 පමණ වන තෙක් ප්‍රතිමාව එහි තැන්පත් ව තිබිණි.
පසුව බැංකොක් රාම රජ පෙළපතේ ආරම්භකයා වූ පළමු වැනි රාම රජු, රජ බවට පත් වීමට ප්‍රථම තොන්බුරියෙහි දක්ෂිණ් රජතුමාගේ සේනාපති ව සිටිය දී ලාඕසයට ගොස් එම ප්‍රදේශය යටත් කරගෙන මෙම ප්‍රතිමාව ද රැගෙන විත් දක්ෂිණ් රජුට පරිත්‍යාගය කළේ ය. එම රජු තෝන්බුරියේ අරුන් විහාරය අසල මනහර විහාරයක් කරවා පිළිමය එහි තැන්පත් කරවී ය.
රජ මාළිගාවේ ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව
දක්ෂිණ් රජතුමාගේ අභාවයෙන් අනතුරු ව මහජනයාගේ ආරාධනයෙන් රාජ්‍යය බාරගත් ප්‍රබුද්ධ යොඩ්පා නම් පළමුවැනි රාම රජු තමන්ගේ අභිශේකයට සමගාමී ව රාජ්‍යයේ අගනුවර වශයෙන් බැංකොක් තෝරා ගත් අතර එහි රජමාලිගාව ඉදි කිරීමේ දී එයට ම සම්බන්ධ විහාරයක් තනවා මෙම ප්‍රතිමාව එහි තැන්පත් කරවී ය. එතැන් පටන් අද දක්වාත් මෙම ප්‍රතිමාව තායිලන්ත රාජ්‍යත්වයේ සංකේතයක් බවට පත් ව ඇත.
කොළරාව ආදී භයානක වසංගත රෝග පවතින අවස්ථාවල දී මෙම පිළිමය පෙරහැරින් නගරය වටා වීදිවලත්, ජලමාර්ගවලත් ප්‍රදක්ෂිණා කරවීම එක්තරා කාලයක දී සිරිතක් ව තිබූ අතර එසේ ගෙන යාමෙන් ප්‍රතිමාවට අනතුරක් වේ යැයි සිතූ දෙවැනි රාම රජතුමා එය නතර කොට ඒ වෙනුවට එවැනි අවස්ථාවලදී ප්‍රතිමාවට සම්බන්ධ කොට පිරිත් හුයක් බැඳ එම පූජාවන් කිරීම සඳහා කටයුතු යොදා ඇත.
ප්‍රතිමාව හා සබැඳි විශේෂ චාරිත්‍ර
වසරේ ඒ ඒ ඍතූන් අනුව මෙම ප්‍රතිමාව රන් චීවර හා ආභරණවලින් සැරසීම සිරිතක් ව පවතී. ඒ අනුව මාර්තු මස පසළොස්වක දා ග්‍රීෂ්ම ඍතුවට සරිලන සේ ස්වර්ණාභරණ සහ ඔටුන්නක් ද, ජූලි මස පසලොස්වක දා වර්ෂා ඍතුවට ගැළපෙන සේ රනින් කොට මැණික් ඔබ්බවන ලද ඒකාංශ චීවරයක් ද, නොවැම්බර් මස පසලොස්වක දා ශීත ඍතුවට ගැළපෙන පරිදි දෙවුර ම වැසෙන සේ රනින් කළ සිවුරක් ද ප්‍රතිමාව පළඳවයි.
එම අවස්ථාවේ දී ජලයෙන් ප්‍රතිමාව පිරිසුදු කොට පිස දමා මෙම චීවර හා ආභරණ පැළඳවීම රජුගේ අතින් ම සිදු වීම සුවිශේෂීත්වයකි. එම අවස්ථාවේ දී එම බුද්ධ මන්දිරයට පිවිසීමට අවසර ඇත්තේ රජ පවුලේ සමීපතමයන්ට හා රාජ්‍යයේ උසස් නිලධාරීන්ට පමණක් වන අතර චාරිත්‍ර අවසානයේ ප්‍රතිමාව පිරිසුදු කළ ශුද්ධ ජලය පිටත රැදී සිටින පොදු මහජනතාවට ආශිර්වාද පතා ඉසිනු ඇත.
පළමු රාම රජු විසින් ගිම්හානය හා වැසි සමය සඳහා මෙම රන් කට්ටල නිර්මාණය කර ඇත. තුන්වැනි රාම රජු ශීත ඍතුව සඳහා වන රන් කට්ටලය නිර්මාණය කරවා ඇත. වසර 200ක් තිස්සේ රජවරු නව දෙනකුගේ යුගයන්හි දී පූජා සඳහා භාවිත කළ මෙම කට්ටල වෙනුවට 1996 වසරේ දී නව වැනි රාම රජු මුල් කට්ටලවලට අතිශයින් සමාන නව රන් කට්ටල නිර්මාණය කරවා ඇත. ඒ අනුව වර්තමානයේ දී දසවැනි රාම රජු චාරිත්‍ර ඉටු කිරීමට යොදා ගන්නේ තම පිය රජු තැනවූ කට්ටල වන අතර පැරණි කට්ටලය වර්තමානයේ එහි පිහිටි කෞතුකාගාරයක ප්‍රදර්ශනයට තබා ඇත.
ප්‍රතිමාවේ සම්පූර්ණ උස අඟල් 31ක් පමණ වන අතර ආසනය ද සහිතව මෙහි බර රාත්තල් 60 -70 පමණ යැයි කියනු ලැබේ. තායි බසින් ‘Phra Kaeo Morakot’ හෙවත් ‘Phra Phuttha Maha Mani Rattana Patimakon’ ලෙස මෙම ප්‍රතිමාව හඳුන්වයි. මෙය වන්දනා කිරීම සදහා මහජනයාට අවස්ථාව ලැබෙන්නේ සතියකට දෙවරකි. එනම් පොහෝ දින හා ඉරිදා දින වශයෙනි.