මිනිස් සිරුරක ආහාර ජීර්ණ පද්ධතියට අනුබද්ධව පිහිටන ඉතා වැදගත් අවයවයක්, අග්න්‍යාශය. ආහාර ජීර්ණය, රුධිර සීනි මට්ටම යාමනය ඇතුළු කර්තව්‍යයන් කිහිපයකට අග්න්‍යාශය අත්‍යවශ්‍ය සාධකයක්. මිනිස් අග්න්‍යාශය පිළිබඳව පහත දැක්වෙන අපූර්ව කරුණු පිළිබඳව ඔබ දැනුවත්දැ යි බලන්න.
අග්න්‍යාශයේ කොටස්
මිනිස් අග්න්යාශයක ප්‍රධාන කොටස් හතරක් තිබෙනවා. ඒ හිස, ග්රීවය, කඳ, හා වල්ගය වශයෙනුයි. මින් වඩාත් පළලින් වැඩි කොටස වන්නේ හිස යි. මෙය කුඩා අන්ත්‍රයේ මූලික කොටස සමග සම්බන්ධව තිබෙනවා. විශේෂයෙන් මිනිස් අග්න්යාශයක ගැටිති ඇතිවීමේ අවදානම වැඩිම පෙදෙස වන්නේ එහි හිස යි. කෙසේ නමුත් වල්ගයේ ගැටිති ඇති වූ විට එය වඩාත් මරණීය වෙනවා.
අග්න්‍යාශයික යුෂ
අග්න්‍යාශයේ වැඩි කොටසක් සෑදී ඇත්තේ බාහිරාසර්ග ග්රන්ථිවලින්. මේවා මඟින් ආහාර ජීර්ණය සඳහා වැදගත් වන එන්සයිම කිහිපයක්ම නිපදවෙනවා. ඒවා කාබොහයිඩ්රේට, ප්‍රෝටීන, සහ මේදය ජීර්ණය සිදුකරනවා. ආහාර ආමාශයට ඇතුළුවීමත් සමගම අග්න්‍යාශය මඟින් උක්ත එන්සයිම අන්තර්ගත වන අග්න්‍යාශයික යුෂය නිකුත් වෙනවා. එක් දිනකට සාමාන්‍ය පුද්ගලයෙකුගේ අග්න්‍යාශය මඟින් කෝප්ප 6-8ක පමණ අග්න්‍යාශයික යුෂය නිපදවෙනවා. මේවා කුඩා අන්ත්‍රයේ මුල් කොටස කරා නිකුත් වෙනවා. එන්සයිමවලට අමතරව මෙහි ජලය, ලවණ හා සෝඩියම් බයිකාබනේට් අන්තර්ගත යි. සෝඩියම් බයිකාබනේට් මඟින් ආමාශයෙන් කුඩා අන්ත්රය කරා නිකුත් කෙරෙන ආහාර ගුලියේ ආම්ලිකභාවය උදාසීන කරනවා. එම නිසා ඉදිරි ජීර්ණ ක්‍රියාවලිය වඩාත් පහසු වෙනවා.
අග්න්‍යාශය අන්තරාසර්ග ග්‍රන්ථියක් ලෙස
අග්න්‍යාශය අන්තරාසර්ග ග්‍රන්ථියක් ලෙස ද ක්‍රියා කරනවා. ඒ රුධිර සීනි යාමනයට අදාල එන්සයිම දෙකක් ස්රාවය කරමිනුයි. රුධිරයේ සාමාන්‍යයෙන් පැවතිය යුතු ප්‍රමාණයට වඩා සීනි මට්ටම ඉහළ ගිය විට එයින් ඉන්සියුලින් ස්රාවය වන අතර, එම හෝමෝනය මඟින් රුධිරයෙන් සීනි ඉවත් වීම කඩිනම් කොට සීනි මට්ටම සාමාන්‍ය තත්ත්වය කරා ගෙන එනවා. එමෙන්ම රුධිර සීනි මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු වූ විට ග්ලූකගොන් ස්රාවය වී වහාම එය නැවත සාමාන්‍ය මට්ටම කරා ගෙන එනවා. තවත් විශේෂතම කාර්යයක් වන්නේ මේ යාමනය සිදුකිරීමෙහි ලා, රුධිර ග්ලූකෝස් මට්ටම හඳුනාගත හැකි ‘රසාංකුර’ වැනි සෛල අග්න්‍යාශයෙහි පිහිටා තිබීම යි. මේවායින් රුධිර ග්ලූකෝස් මට්ටාම ‘රහ’ බැලිය හැකි අතර, අවස්ථානුකූලව ඉන්සියුලින් හෝ ග්ලූකගොන් ස්රාවය වීම ඉන් අනතුරුව සිදුවෙනවා.
අග්න්‍යාශයට එල්ල වන ප්‍රහාර
පළමු වර්ගයේ දියවැඩියාව යමෙකුට වැළඳෙන්නේ ඔහුගේ හෝ ඇයගේ අග්න්‍යාශය මඟින් ප්‍රමාණවත් ඉන්සියුලින් නිපදවීමක් සිදු නොවන තත්ත්වයක් ඇති වූ විට යි. මෙයට හේතු කිහිපයක් බලපෑ හැකි අතර, ප්‍රධානතම හේතුවක් වන්නේ ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය මඟින් වැරදීමකින් අග්න්‍යාශයේ ඉන්සියුලින් ස්‍රාවී ග්රන්ථිවලට පහර එල්ල කිරීම යි. මෙලෙස පහර එල්ල වූ විට ශරීරයට අවශ්‍ය තරම් ඉන්සියුලින් නිපදවීමේ හැකියාව අග්න්‍යාශයට නොමැති වන අතර, ප්‍රතිඵලය වන්නේ කෙමෙන් කෙමෙන් රුධිර සීනි මට්ටම ඉහළ යාම යි.
දෙවන වර්ගයේ දියවැඩියාවේ දී මෙන් නොව පළමු වර්ගයේ දියවැඩියාව වැළඳුණු කල්හි යමෙකු හට නිතිපතාම පිටතින් එන්නත් මාර්ගයෙන් හෝ වෙනත් ක්‍රමයකින් ඉන්සියුලින් ලබා දිය යුතු වෙනවා.
අග්න්‍යාශයට තමන් විසින්ම ජීර්ණය විය හැකියි
‘පැන්ක්රියටයිටිස්’ නමින් හැඳින්වෙන රෝගී තත්ත්වයේ දී සිදුවන්නේ අග්න්‍යාශයේ ප්‍රාදාහ තත්ත්වයක් ඇතිවීම යි. මෙය සාමාන්‍යයෙන් බලවත් රෝගී තත්ත්වයක පෙර නිමිත්තක් වන අතර, තත්ත්වය වඩාත් දරුණු වූ විට මාරාන්තික විය හැකියි.
උක්ත රෝගී තත්ත්වයේ දී සිදුවන්නේ යම්කිසි හේතුවක් නිසා අග්න්‍යාශයෙන් නිපදවෙන එන්සයිම මඟින් අග්න්‍යාශයේ සෛලම ජීර්ණය කිරීමට පටන් ගැනීම යි. මේ තත්ත්වය ඇතිවන්නට ප්‍රධාන වශයෙන් හේතු වන්නේයැ යි හඳුනාගෙන තිබෙන්නේ දැඩි ඇල්කොහොල් භාවිතය යි. කෙසේ නමුත් මීට අමතරව පිත්තාශ ගල්, අග්න්‍යාශයේ කෙඳිති ඇතිවීම, රුධිරයේ අධික ලෙස කැල්සියම් හෝ මේදය පැවතීමත් මේ තත්ත්වය ඇතිවන්නට උරදෙන කාරණා වෙනවා.
බොහෝ අවස්ථාවන්හී දී අග්න්‍යාශයික ප්‍රාදාහ තත්ත්වය මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු දින කිහිපයක් තුළ සුව වෙනවා. දිගින් දිගට ප්‍රතිකාර නොලැබුණහොත් හෝ, ඊට අදාල වන චර්යා රටාව වෙනස් නොවුණහොත් තත්ත්වය බරපතල වීමේ සම්භාවිතාව වැඩි වෙනවා.
කෘත්‍රිම අග්න්‍යාශ
2016 වසරේ සැප්තැම්බර් මාසයේ දී ඇමෙරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය ලොව ප්‍රථම කෘත්‍රිම අග්න්‍යාශයට අනුමැතිය ලබාදීම සිදු කළා. මේ අග්න්‍යාශය නිකුත් වූයේ 14 වියැති හෝ ඊට වැඩි, පළමු වර්ගයේ දියවැඩියාව වැළඳුණු පුද්ගලයින් හට යි.
මේ කෘත්‍රිම අග්න්‍යාශයෙහි රුධිර සීනි මට්ටම මනින උපකරණයක් ඇති අතර, ඊට අමතරව ඉන්සියුලින් පොම්පයක්ද තිබෙනවා. මෙමඟින් මිනිත්තු 5න් 5ට රුධිර ග්ලූකෝස් මට්ටම මැනෙන අතර, ඒ අනුව අවශ්‍ය ප්රිදි ඉන්සියුලින් ශරීරයට මුදාහැරෙනවා. කෘත්‍රිම අග්න්යාශයන් වැඩිදියුණු කිරීම පිළිබඳව නිතිපතා නවීන පර්යේෂණ සිදුවෙනවා.
දුම් පානය හා අග්න්‍යාශයික පිළිකා
අග්න්යශයික පිළිකා වැළඳෙන්නට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන තිබෙන්නේ දුම් පානය යි. දුම් පානය කරන්නන් හට අග්න්‍යාශයේ පිළිකාවක් වැළඳීමේ අවදානම, එසේ නොකරන පුද්ගලයින්ගේ මෙන් දෙගුණයක්. සාමාන්‍යයෙන් අග්න්‍යාශ පිළිකාවක් මුලින්ම වැළඳෙන්නේ එහි බහිරාසර්ග ග්‍රන්ථි ආශ්‍රිතව ඇති ප්රණාලවලට යි. මෙය මූලික අවධියේ දී හඳුනාගැනීම අපහසු වන අතර, ඉක්මනින්ම අග්න්‍යාශයේ අනෙක් කොටස්වලට ද පැතිරී යනවා.
දුම් පානයට අමතරව අග්න්‍යාශයික පිළිකාවක් වැළඳීමේ අවදානම වැඩි කරන වෙනත් කරුණු කිහිපයක්ම තිබෙනවා. අග්න්‍යාශයික පිළිහා සහිත පවුල් පසුබිමකින් පැවත එන්නෙකු හට මෙය වැළඳීමේ වැඩි අවස්ථාවක් තිබෙනවා. අග්න්‍යාශයික ප්‍රාදාහ තත්ත්වයන්, දියවැඩියාව, හා අධික ස්ථුලතාවත් අවදානම් සාධක වෙනවා. මෙවැනි පිළිකා තත්ත්වයන් ඉක්මණින් හඳුනාගැනීමෙන් එය නිට්ටාවටම සුව කර ගැනීමේ සම්භාවිතාව වැඩි වෙනවා.