මේ දිනවල ලෝකය පුරා නව කොරෝනාවෛරසය (කෝවිඩ්-19) පිළිබඳ අවධානය යොමු වෙද්දී, ලෝකයේ එක් රටක පවතින, සම්පූර්ණයෙන්ම වැළැක්විය හැකිව තිබූ වසංගතයක් පිළිබඳ එතරම් අවධානයක් යොමු වන්නේ නැහැ. ඇත්තෙන්ම, කෝවිඩ්-19 පිළිබඳ මුලින්ම අවධානය යොමු වන විටත් මෙම වසංගතයෙන් 6,000ක් පමණ මියගොස් තිබුණා.
ප්රජාතන්ත්රවාදී කොංගෝ ජනරජය අප්‍රිකාවේ පිහිටි විශාල රාජ්‍යයක්. අප්‍රිකාවේ සිතියමක් ගත්තොත්, එහි මැදට වෙන්නට පිහිටි විශාල රට තමයි කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජය නමින් හැඳින්වෙන්නේ.
කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජය විශාල රාජ්‍යයක් පමණක් නෙවෙයි; ස්වාභාවික සම්පත් අතින් ද එම රාජ්‍යය බොහොම පොහොසත්. එහෙත්, එහි ජනතාව අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙනවා. කාලාන්තරයක් තිස්සේ පැවති සිවිල් යුද්ධ, ආර්ථික කළමනාකරණය දුර්වල වීම වගේම, දූෂණය ද හේතුවෙන් රටේ යටිතල පහසුකම් තත්ත්වය ඉතා අයහපත් වනවා. ගමනාගමන සහ සෞඛ්‍ය පහසුකම් පවතින්නේ අන්ත දුර්වල තත්ත්වයක යි.
මීට හොඳ උදාහරණයක් ලෙස 2019 දී එරටින් මතු වූ සරම්ප වසංගතය දකින්න පුළුවන්. එන්නත් මඟින් පාලනය කළ හැකි රෝගයක් මෙසේ වසංගතයක් ලෙස පැතිරීම කොංගෝවේ ඇති අයහපත් තත්ත්වය පිළිබඳ ප්‍රබල සාක්ෂ්‍යයක් වනවා.
මරණ හය දහසක්
ප්රජාතන්ත්රවාදී කොංගෝ ජනරජයේ සරම්ප වසංගතය හටගත්තේ 2019 වසරේ යි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එය වසංගතයක් ලෙස ප්‍රකාශ කරන ලද්දේ එම වසරේම ජූනි මාසයේ යි. මෙම වසංගතය පැතිරෙන කාලය වන විටත් කොංගෝව ඉතිහාසයේ භයානකම ඉබෝලා වසංගතයකින් පීඩා විඳිමින් සිටියා.
කොංගෝවේ සරම්ප වසංගතය ද එකල ලෝකයේ වේගයෙන් ම පැතිරෙන වසංගතය ලෙස හඳුනා ගැනුණා. 2019 වසර තුළ සරම්ප රෝගය වැළඳුණේයැ යි සැක කෙරෙන 310,000 දෙනකු වූයේයැ යි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවා. එමෙන්ම, එම වසංගතයෙන් මියගිය ප්‍රමාණය 6,000ක් පමණ වුණා.
තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනම් එන්නත් කිරීමේ වැඩසටහනක් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ප්රජාතන්ත්රවාදී කොංගෝ ජනරජය දියත් කළා. මෙමඟින් වයස අවුරුදු 5ට අඩු ළමයින් මිලියන 18කට එන්නත් කිරීමට හැකිව තිබෙනවා.
එහෙත්, එය මෙම වසංගතය මැඩීමට කිසිසේත්ම ප්‍රමාණවත් වූයේ නැහැ. එයට එක් හේතුවක් වුණේ ගමනාගමන පහසුකම්වල අඩුපාඩු හේතුවෙන් ඇතැම් ප්‍රදේශයන්හි මෙම කටයුතු හරියාකාරව කරගත නොහැකි වීම යි. එමෙන්ම, දේශපාලන අස්ථාවරත්වය සහ සන්නද්ධ ගැටුම් හේතුවෙන් ද ඇතැම් ප්‍රදේශයන් වෙත මෙම කටයුතු පුළුල් කිරීම අපහසු වුණා. ප්රජාතන්ත්රවාදී කොංගෝ ජනරජයේ කලක් තිස්සේ පවතින සන්නද්ධ ගැටුම්වල දී සෞඛ්‍ය ක්ෂේත්රයට අයත් පුද්ගලයින්ට මෙන්ම රෝහල් ආදී ස්ථානවලට ද පහර දීම් සිදුවුණා.
මීට අමතරව අරමුදල්වල හිඟකම ද මෙම කටයුතු සඳහා බාධකයක් වුණා. විශේෂයෙන්ම, වයස අවුරුදු පහට වැඩි ළමුන් වෙනුවෙන් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල පුළුල් කිරීමට අවශ්‍ය මුදල් ලැබුණේ නැහැ. මේ හේතුව නිසා ඔවුන් අතර රෝගය පැතිරීම පාලනය කිරීමට අපහසු වුණා.
ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබුණේ, එන්නත් මඟින් වළක්වා ගත හැකි රෝගයක් හේතුවෙන් මෙසේ ජීවිත අහිමි වීම කණගාටුවට කරුණක් බව යි.
සරම්ප පැතිරීම
සරම්ප රෝගය, වෛරසයක් මඟින් හටගන්නා අතර බෝවීමේ ප්‍රවණතාව ඉහළ යි. එය වැළඳුණු වැඩි පිරිසක් සුව වන නමුත්, ඇතැම් අය මරණයට ද පත් වීමට ඉඩ තිබෙනවා. බොහෝ විට එය සිදුවන්නේ සරම්ප රෝගය වැළඳුණු පසු පෙනහළුවල හෝ මොළයේ ආසාදනයන් වර්ධනය වීමෙන්.
2019 වසරේ මුල් මාස තුනේ දී මෙම රෝගය පැතිරීම, ඊට කලින් වසරෙහි මුල් මාස තුනේ දී වූ තත්ත්වයට වඩා දරුණු වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබුණා. එනම්, 2018 මුල් මාස තුනේ දී වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව මෙන් සිව් ගුණයක් රෝගීන් 2019 දී වාර්තා වී තිබුණා. ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස රෝගීන් සංඛ්‍යාව සැලකූ විට වැඩිම රෝගීන් ප්‍රතිශතයක් වාර්තා වී තිබුණේ යුක්රේනය, ඉන්දියාව හා මැඩගස්කරය යන රටවලින්. කොංගෝවේ වසංගතය දරුණු අතට හැරුණේ එයින් පසුව යි.
මෙසේ සරම්ප රෝගය පැතිරීම වැඩි වීමට හේතු කිහිපයක් තිබෙන්නට පුළුවන්. දුගී රටවල මූලික ප්රශ්නය වන්නේ ළමුන් එන්නත් කිරීමට තරම් මූල්‍යමය ශක්තිය නොමැතිකම යි. එහෙත්, ඇතැම් රටවල මෙවන් රෝග පැතිරීමට හේතු වූයේ එන්නත් කිරීමට එරෙහි මතවාදයන් පැතිරීම හේතුවෙන් බව විශ්වාස කෙරෙනවා. මෙවන් දුර්මත හේතුවෙන් මෙම රෝගය වළක්වා ගත හැකි ප්‍රජාවන් අතර ද සරම්ප රෝගය පැතිරීම කණගාටුවට කරුණක් වනවා.
කෙසේ වෙතත්, වඩා දරුණු වසංගත ඇති වන්නේ දුගී රටවල යි. ප්රජාතන්ත්රවාදී කොංගෝ ජනරජය ඊට කදිම උදාහරණයක්.