Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2022 වසරේ ලොව සිදුවුණු අපූරුත ම සොයාගැනීම් 

2022 වසරේ සිදුකෙරුණු සුවිශේෂී පුරාවිද්‍යාත්මක සොයාගැනීම් ත්‍රිත්වයක් ගැන තොරතුරු අපි පසුගිය ලිපියකින් ඔබ වෙත ගෙන ආවා. මේ ලිපියෙනුත් අප ඔබ වෙත ගෙන එන්නේ එවැනි ම සොයාගැනීම් ද්විත්වයක් ගැන තොරතුරු යි.

වසර 800 කට පෙර ළිඳකට දැමූ මිනිසුන් 17 දෙනාගේ අබිරහස

2004 වසරේ, එංගලන්තයේ නෝර්විච් හි සුපිරි වෙළෙඳසල් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා, පොළොව හෑරීම සිදු කළ පිරිසක් ඉතාමත් වැදගත් සොයා ගැනීම් දෙකක් සිදු කළා. ඉන් පළමුවැන්න වසර 800 ක් පමණ පැරණි ළිඳක්, දෙවැන්න, ඒ ළිඳ පතුලින් හමු වුණු මිනිස් අස්ථි රාශියක්.

මේ ගැන ඔවුන් වහාම පොලිසිය දැනුම්වත් කළ අතර, එනයින් සිදුවුණු පර්යේෂණවලින් අනාවරණය වූයේ, ඒ අස්ථි කැබලි 17 දෙනකුට අයත් බව යි. ඔවුන්ගේ අස්ථි කැබලි මෙලෙස මේ ළිඳට ආවෙ කෙසේදැයි යන්න අබිරහසක් වුණා.

ළිඳෙන් හමු වූ ශරීර කොටස් වසර 800 ක් පැරණි බවට ඔප්පු වී තිබෙනවා.- YouTube

2022 වසරේදී මේ අස්ථි කොටස් ගැන අබිරහස් කිහිපයක් ම හෙළි වුණා. ඒ ගැන සිදු කළ ඩී.එන්.ඒ පරීක්ෂණ වාර්තාවලින් හෙළි වුණේ, මේ සිරුරු කොටස් බොහෝ විට 1190 වසරේ පෙබරවාරියේ සිදු වූ සමූලඝාතනයක දී මරණයට පත් කළ ඇශ්කනාසි යුදෙව්වන් 17 දෙනකුගේ බව යි.

හිස පහළට සිටින පරිදි

පර්යේෂකයන්ට මේ 17 දෙනාගෙන් 6 කගේ ඩී.එන්.ඒ ලබා ගත හැකි වුණා. මොවුන් සියලු දෙනා ම මේ ළිඳ තුළ බහා තිබෙන්නේ හිස පහළට සිටින පරිදි යි. මෙලෙස ඩී.එන්.ඒ පරීක්ෂා කළ සය දෙනා ම ඇශ්කනාසි යුදෙව්වන් බව තහවුරු වී තිබෙන අතර, ඉන් සිව් දෙනෙක් ම ඥාතීන් බවත් හෙළි වී තිබෙනවා.

අස්ථි හමු වූ ළිඳ – sciencenordic.com

ඓතිහාසික දත්ත අනුව, මොවුන් 1190 වසරේදී මිය ගිය බවට අනුමාන කෙරුණත්, විකිරණශීලී කාබන් පරීක්ෂාවෙන් පෙනී ගොස් ඇත්තේ, මොවුන් ක්‍රි.ව 1161 සහ 1216 අතර ඕනෑම කාලයකදී මිය ගොස් සිටිය හැකි බව යි.

ඒ අනුව මොවුන් 1191 දීම නොව, වෙන කාලයක දී මියගියා වන්නටත් හැකි බවට මත පල වෙනවා. 1174 වසරේ සිදු වූ මහා විප්ලවයේදී මොවුන් මියගියා වන්නටත් විශාල සම්භාවිතාවක් තිබෙනවා.

මෙය මධ්‍යතන යුගයේ ළිඳෙන් හමුවූ එක් වැඩිහිටියෙකුගේ මුහුණේ ඩිජිටල් ප්‍රතිනිර්මාණයකි – edition.cnn.com

මොවුන් පිළිබඳ අනාවරණය වීමෙන් අනතුරුව, ඔවුන්ගේ අස්ථි කොටස් සියල්ලම ගොඩ ගෙන, ඒවා නෝර්විච් හි යුදෙව්වන් සඳහා වූ සුසාන භූමියේ වළ දමන්නට කටයුතු කෙරුණා. ඔවුන්ට ගෞරවාචාර පුද කිරීම ද සිදු කෙරුණා.

කිරිගිස්ථානයේ ගොවියකුට හමුවූ රණශූර ප්‍රතිමාව

2022 වසරේ එක් දිනෙක, කිර්ගිස්ථානයේ අර්තාපල් ගොවියකුට, ඉපැරණි, විශාල රණශුර ප්‍රතිමාවක් හමුවුණා. ඔහුට මෙය හමුවී ඇත්තේ, සිය ගොවිබිම හාමින් සිටියදී යි. 

එරික් ටුර්බයෙව් නමැති මේ ගොවියා මුලින් ම සිතා ඇත්තේ තමන්ගේ නඟුල විශාල ගලක වදින බව යි. නමුත් සුපරික්ෂාකාරී ව සොයා බැලීමේ දී ඔහුට පෙනී ගොස් ඇත්තේ, මෙය අඩි 10 ක් පමණ උසකින් යුක්ත, ඉපැරණි ශෛලමය ප්‍රතිමාවක් බව යි. 

ගල් කුට්ටිවල කැටයම් කිරීම පළමුවන සහස්‍රයේ මධ්‍යම ආසියාතිකයන් සිදු කළා. ඔවුන් එසේ කළේ මිය ගිය අය සිහිවීම සඳහා යි. නෝමැඩික් තුර්කිවරුන් එකල, වර්තමාන කිර්ගිස්ථානය පවතින භූමිය පාලනය කළ අතර, ඔවුන් අතර මේ පිළිම නෙළීම බහුල ව සිදු වුණා.

ටුර්බයෙව් සහ ඔහුට හමු වූ ප්‍රතිමාව- Ancient Origins

ටුර්බයෙව් පවසන්නේ, මේ පිළිමය හමුවීම තම ගම ලද සුවිසල් ජයක් බව යි. මේ නිසා ඒ පෙදෙසට වාසනාව උදාවනු ඇති බවට ඔහු විශ්වාස කරනවා.

මේ ප්‍රතිමාවෙන් නිරූපණය වෙන්නේ, හෙල්මටයක් සහ ශරීරයට ආරක්ෂිත ආවරණයක් පැළඳගෙන සිටින රණ ශූරයෙක්.  ඔහු එක අතකින් කුඩා කඩුවක් දරා සිටින අතර, අනෙක් අත නවා, සිය පපුව උඩින් තබා ගෙන සිටින ආකාරයක් නිරූපණය වන පරිදි, මෙය නෙළා තිබෙනවා.

ඉහළ නිලයක් තිබූ රණ ශූරයෙක්

ඉතිහාසඥයෙක් වන සැන්බොලොට් ඇබ්ඩිකෙරිමොව්, මේ ප්‍රතිමාව ඉතා සූක්ෂ්ම ලෙස පරීක්ෂා කොට තිබෙනවා. මේ ප්‍රතිමාවේ නිරූපිත රණශූරයාගේ හිසෙහි, ගෙලෙහි පැලඳ ඇති පෙන්ඩනයෙහි සහ නවාගෙන පපු පෙදෙස මත තබාගෙන සිටින අතෙහි ඇති ලකුණු මඟින්, ඉතා පැහැදිලිව ම මින් නිරූපණය වන්නේ, ඉහළ නිලයක් තිබූ රණ ශූරයෙක් බව ඔහු පවසනවා.

එහෙත්, තව දුරටත්, සූක්ෂ්ම ලෙස, එයත් එය හමු වූ වටපිටාවත් නිරීක්ෂණය නොකර, එය කුමන අවධියකට අයත් දැයි නිසි පරිදි සොයාගත නොහැකි බවත් ඔහු පවසනවා.

මියගිය ඥාති හිතමිත්‍රාදීන් සිහිවීමට ප්‍රතිමා නිර්මාණය

මේ විශාල ප්‍රතිමාව, එම පෙදෙසෙන් හමු වූ, එම වර්ගයේ පළමුවැන්න නොවේ. මීට පෙරත් ඒ පෙදෙස ආසන්න ව පිහිටා ඇති ඉසිකුල් වැව් ඉවුර ඔස්සේ ඇති කිහිප තැනකින් ම මෙවැනි ප්‍රතිමා හමු වී තිබෙනවා. මින් ඔප්පු වන්නේ, මේ ප්‍රදේශය පුරාම ජීවත් වූ පැරැන්නන්, සිය මියගිය ඥාති හිතමිත්‍රාදීන් සිහිවීම සඳහා මෙම ප්‍රතිමා නිර්මාණය කරන්නට ඇති බව යි.

” ඉසිකුල් විල ආසන්නව, ක්‍රිස්තු පූර්ව තුන් වෙනි සියවස තරම් පැරණි සුසාන භූමි පිහිටා තිබෙනවා. මේවා අක්-බුලුන් සහ ෆෘන්සේ ඉපැරණි ජනාවාස අතර පිහිටා තිබෙනවා” ඇබ්ඩිකෙරිමොව් පවසනවා. මේ අනුව, ඉපැරණි නඟරයක් ලෙස ඉතිහාස පොත්වල සටහන්ව ඇති ‘සැරිබුලුන්’ පිහිටා තිබෙන්නට ඇත්තේ, ඉසිකුල් විලෙහි නැඟෙනහිර දිගට වන්න ඇති බවට සාක්ෂි සැපයෙන බවත් ඔහු තව දුරටත් පවසනවා.

ඉසිකූල් විල අසලින් හමුවෙන ප්‍රතිමා බහුතරය, අවමංගල්‍ය චාරිත්‍ර සඳහා නිර්මිත බවට හඳුනාගෙන තිබෙනවා.- Tuul & Bruno Morandi/Getty Images

ප්‍රතිමා නෙළීම

නෝමඩික් මිනිසුන් සම්බන්ධ පැරණි ලියකියවිලිවලට අනුව නම්, ඔවුන් මෙලෙස ප්‍රතිමා නෙළීම යම් අසාමාන්‍ය තත්වයක් බැව් විද්වත් මතය යි. ඉතිහාසය පිරික්සීමේ දී, මෙවැහි පිළිම නෙළීමට තරම් දිගු කාලයක් ඔවු එක තැනක නැවතී සිට ඇත්තේ ඉතා කලාතුරකිනු යි. කෙසේ නමුත්, පසු කාලීනව, එනම් සයවන සහ සත් වන සියවස්වල, මේ ආකාරයේ අවමංගල්‍ය චාරිත්‍රවලට ඔවුන් හුරු වී තිබුණු බවට පැහැදිලි සාක්ෂි ලැබී තිබෙනවා.

ඉපැරණි තුර්කිවරුන්, මෙවැනි විශාල ප්‍රතිමා නෙළීම ආරම්භ කිරීමට හේතු වූයි මන්දැ යි යන්නට මත ගණනාවක් ඉදිරිපත් ව තිබෙනවා. මින් එක මතයකට අනුව, මේ ප්‍රතිමාවලින් නිරූපණය වන්නේ සටන්වලදී මිය ගිය විරුවන් වන අතර, ඔවුනට ගෞරවයක් ලෙස මේවා තනා තිබෙනවා.

රණශූරයන් ඝාතනය කළ සතුරන්ගේ මුහුණු

තවත් මතයකට අනුව, ඇත්තෙන් ම මේ ප්‍රතිමාවල දැක්වෙන්නේ, මියගිය රණශූරයන් ඝාතනය කළ සතුරන්ගේ මුහුණු යි. මරණින් මතු, ඔවුන් රණශූරයන්ට සේවය සපයනු ඇති බවට විශ්වාස කරමින්, ඒ අනුව මේවා තනා ඇති බවට ද විශ්වාස කෙරෙනවා.

බොහෝ ඉතිහාසඥයන් දරන්නේ මේ මත දෙකට ම අතරමැදි මතයක්. එනම් පැරණි තුර්කිවරුන් මියගිය තම පාර්ශවයේ රණ ශූරයන් මෙන් ම, සතුරන්ගේ රණ ශූරයන් ද, එක ලෙස ම අනුස්මරණය කරන්නට ඇති බව ඔවුන් පවසනවා, ඒ අනුව මෙවැනි ප්‍රතිමාවලින් දැක්වෙන පුද්ගලයන්, ඒ ඕනෑම පාර්ශවයකට අයත් විය හැකි බැව් ඔවුන්ගේ මතය යි.

කවරයේ ඡායාරූපය - unsplash.com
මූලාශ්‍ර:
Allthatsinteresting.com
Livescience.com
edition.cnn.com

Related Articles