Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉරානයේ සහය ලබන කලාපීය සන්නද්ධ සංවිධාන

ඉරානය 1979 ඉස්ලාමීය විප්ලවයේ සිටම ඇමරිකාව, ඊශ්‍රායලය සහ ඇතැම් මැදපෙරදිග කලාපයේ රටවල් සමග බරපතල එදිරිවාදිකමක පැටලී සිටිනවා. ඔවුන් 1980 සිට 1988 දක්වා ඉරාකය සමග යුද්ධයක ද පැටලී සිටියා. එමෙන්ම කලාපයේ සිදුවීම් පිළිබඳ ඔවුන් අවධානයෙන් සිටිමින් සිය ආරක්ෂක වැඩපිළිවෙල සකස් කරගන්නවා.

රටක ආරක්ෂක ප්‍රතිපත්ති ප්‍රහාරාත්මක (offensive), ආරක්ෂාකාරී (defensive), ප්‍රතිවාදියා වළක්වාලන (deterrent) ආදී විවිධ මතවාදයන් ඔස්සේ සැකසෙනවා. යුධ උපක්‍රම සැකසීම, පුහුණුව, අවි ආයුධ සපයා ගැනීම යන කරුණු සඳහා මෙම මූලික මතවාදය වැදගත්.

ප්‍රහාරාත්මක මතවාදය සතුරා විනාශ කිරීම මූලිකව අරමුණු කරගන්නා අතර, යුද්ධයක පළමු පියවර ගැනීමත්, සතුරු ප්‍රදේශවල යුද්ධ කිරීමත් සඳහා සූදානම් වීම එහි අංගයක්. ආරක්ෂාකාරී මතවාදයක් අනුගමනය කරන රටවල් අන් රටවල් හා ගැටුම් අවම කරගන්නා අතරම සිය රටෙහි ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානය යොමු කරනවා. ප්‍රතිවාදියා වළක්වාලන මතවාදයෙහි අරමුණ වන්නේ යම් රටක් තමන්ට පහර නොදෙන තරමට සිය ශක්තිය වර්ධනය කරගැනීම යි. එසේ පහර දුනහොත් ඊට බරපතල විපාක භුක්ති විඳින්නට වන බව සතුරාට පෙන්වා දීම මෙහි අරමුණ යි.

ඉරානයට, සිය ප්‍රතිවාදීන්ට සාපේක්ෂව නවීන අවි ආයුධවල අඩුවක් තිබෙනවා. එහෙයින් ඔවුන් ප්‍රහාරක මතවාදය කරා යොමුවීමේ නැඹුරුවක් මෑතක් වනතෙක් තිබුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ආරක්ෂාකාරී හා ප්‍රතිවාදියා වළකන ක්‍රමවේදයන් අනුගමනය කළා. ප්‍රතිවාදී සන්නද්ධ ශක්තියට අභියෝග කළ හැකි බැලිස්ටික් මිසයිල වැඩසටහනක් වෙත ඔවුන් යොමු වූයේ ඒ අනුව යි.

එහෙත් පසුගිය වසර අටක පමණ කාලය තුළ ඔවුන් සතුරා වෙත යුද්ධය රැගෙන යාම වේගවත් කර තිබෙනවා. එය සිදු වන්නේ ඍජුව ඔවුන්ගේ හමුදා යෙදවීමෙන් නොවේ (කෙසේ වෙතත් සිරියාවේ යුද්ධය සඳහා ඔවුන් තම හමුදා යෙදවූවා). ඉරානය මෙහිදී සිදු කරන්නේ වෙනත් කලාපීය රටවල ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායම් වෙත ආධාර කිරීම යි.

ලෙබනන සහ හිස්බුල්ලා ධජ පසුබිමෙහි සිටින හිස්බුල්ලා සාමාජිකයෙක් (Middle East Monitor)

ඉරානය කලක පටන් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය වෙත සහ හමාස් මෙන්ම පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය වෙත සහය දැක්වූවා. නමුත් දැන් ඔවුන්ගේ සහය ලබන සංවිධාන වඩා පුළුල් වී තිබෙන අතර එසේ ලැබෙන සහයෝගය ද ප්‍රමාණාත්මක ලෙස වැඩි වී තිබෙන බවක් පෙනී යනවා.

හිස්බුල්ලා සංවිධානය 

ලෙබනන සිවිල් යුධ සමයේ දී, 1980 දශකයේ මුල් කාලයේ මෙම සංවිධානය බිහි වුණා. මෙහි නමෙහි අර්ථය “දෙවියන්ගේ පක්ෂය” යන්නයි. ඊශ්‍රායලයට එරෙහිව සටන් වදින සංවිධානයක් ලෙස මෙය කැපී පෙනෙනවා. ලෙබනනයේ යුධ හමුදාවට වඩා සන්නද්ධ ශක්තියක් මෙම සංවිධානය සතු යි. එමෙන්ම ලෙබනනයේ ප්‍රබල දේශපාලන ව්‍යාපාරයක් ලෙස මෙම සංවිධානයේ දේශපාලන අංශය ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙනවා. එම සංවිධානය 2018 මහ මැතිවරණයේදී ලෙබනන පාර්ලිමේන්තුවේ ආසන 128න් 13ක් හිමි කරගත්තා. එමෙන්ම එය ලෙබනන රජයේ ද කොටස්කරුවකු වනවා.

කියවන්න​: ලෙබනනය විනාශ කළ සිවිල් යුද්ධය

අරාබි ලීගය මෙන්ම ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ඊශ්‍රායලය යනාදී රටවල් හිස්බුල්ලා සංවිධානය සලකන්නේ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස යි. එහෙත් යුරෝපා සංගමය හා ඇතැම් අන් රටවල් එහි සන්නද්ධ අංශය පමණක් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබෙනවා.

හිස්බුල්ලා සංවිධානය 2006 දී ඊශ්‍රායලය සමග බරපතල සටනකට පැටළුණා. ඉන්පසුව ද ඔවුන් ඊශ්‍රායලයට තර්ජනයක් වනවා. මේ අතර, 2011 සිට සිරියානු යුද්ධයේ දී ඉරාන සේනාංක සහ හිස්බුල්ලා සංවිධානය බෂාර් අල් අසාද් පාලනය ආරක්ෂා කිරීමට විශාල වැඩකොටසක් ඉටු කළා.

කියවන්න​: සිරියාවේ සිවිල් යුද්ධයෙහි හිස්බුල්ලා සංවිධානයේ ක්‍රියාකාරීත්වය

හමාස් සංවිධානය

පලස්තීනයේ ක්‍රියාත්මක හමාස් සංවිධානය මුස්ලිම් සහෝදරත්වය සංවිධානය තුලින් බිහි වූවක්. 1987 දී පිහිටුවන ලද මෙය ඊශ්‍රායලයට බරපතල ලෙස එරෙහි වන්නක්. මුලින් පලස්තීන විමුක්ති සංවිධානයට ප්‍රතිවිරුද්ධ ප්‍රධානම පලස්තීන සන්නද්ධ සංවිධානය වූ මෙය පලස්තීන සාම වැඩපිළිවෙලට ද එරෙහි වුණා. කෙසේ වෙතත් පසුකාලීනව එය පලස්තීන පාලන අධිකාරියේ මැතිවරණ සඳහා ඉදිරිපත් වුණා. 2006 මැතිවරණයෙන් ජයගත්තේ හමාස් සංවිධානය යි. පසුව එය සහ ෆටා සංවිධානය (පලස්තීන විමුක්ති සංවිධානයේ ප්‍රධානම සාමාජිකයා) අතර සිවිල් යුද්ධයක් හටගත් අතර හමාස් සංවිධානය ගාසා තීරයේ බලය අල්ලාගත්තා.

ගාසා තීරයේ හමාස් පෙළපාලියක අවස්ථාවක් (AFP)

හමාස් සංවිධානයේ මුල් කාලීන ස්ථාවරය වූයේ ඊශ්‍රායලය විනාශ කළ යුතු බව යි. එහෙත් 2017 දී ඔවුන් “රාජ්‍ය දෙකේ විසඳුම” පිළිගත්තා. ඔවුන් කියා සිටින්නේ 1967 සය දින යුද්ධයට පෙර පැවති දේශසීමා ඔස්සේ පලස්තීන රාජ්‍යයක් තමන් පිළිගන්නා බව යි. නමුත් එම යෝජනාවට ඊශ්‍රායලය පක්ෂ නොවන බව පැහැදිලි කරුණක්.

පලස්තීන ඉස්ලාමික් ජිහාඩ්

පලස්තීනයේ ක්‍රියාත්මක තවත් සන්නද්ධ සංවිධානයක් වන මෙහි ආරම්භය සිදු වන්නේ 1980 දශකයේ මුල යි. ඊට මුල් වන්නේ ඊජිප්තු ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය සමග සම්බන්ධ වූ පිරිසක්. මෙම සංවිධානය ගාසා තීරයේ ප්‍රබලව ක්‍රියාත්මක අතර බටහිර ඉවුරේ ද ඔවුන් කටයුතු කරනවා. හමාස් සංවිධානය සිය මතවාදය යම් තරමකට වෙනස් කරගත්ත ද පලස්තීන ඉස්ලාමික් ජිහාඩ් සංවිධානය දිගටම කියා සිටින්නේ ඊශ්‍රායලය මුලිනුපුටා දැමිය යුතු බව යි. එමෙන්ම පලස්තීන පාලන අධිකාරියේ දේශපාලන කටයුතු ද ඔවුන් පිළිකෙව් කරනවා.

පලස්තීන ඉස්ලාමික් ජිහාඩ් සාමාජික පිරිසක් (Reuters)

කියවන්න​: ඊශ්‍රායලය සමග ගැටෙන පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය

පලස්තීන ඉස්ලාමික් ජිහාඩයෙහි සන්නද්ධ අංශය අල් කුද්ස් බ්‍රිගේඩය යි (අල් කුද්ස් යනු යෙරුසලමට අරාබි බසින් කියවෙන නම යි. එමෙන්ම ඉරානයේ ඉස්ලාමීය විප්ලවකාරී ආරක්ෂක බලකායේ විශේෂිතම ඒකකය ද කුද්ස් බලකාය ලෙස හඳුන්වන බව ඔබට මතක ඇති). පලස්තීන ඉස්ලාමික් ජිහාඩය මෑතක දී සිය ක්‍රියාකාරකම් වැඩි කරමින් සිටින අතර ඉරානයෙන් ලැබෙන ආධාර ඊට හේතුවන බව විශ්වාස කෙරෙනවා.

අන්සර් අල්ලාහ් (හූති ව්‍යාපාරය)

සාමාන්‍යයෙන් හූති ව්‍යාපාරය ලෙස හඳුන්වන අන්සර් අල්ලාහ් (දෙවියන්ට සහය දෙන්නෝ) ව්‍යාපාරය යේමනයේ ශියා මුස්ලිම් කණ්ඩායම්වල මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන්නක්. අරාබි වසන්තයෙන් පසු මෙම ව්‍යාපාරය යළි කරලියට පැමිණියේ ජනාධිපති අලි අබ්දුල්ලා සාලෙහ්ට එරෙහිව යි. පසුව, 2015 දී, යේමන සිවිල් යුද්ධයට සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානයක් මැදිහත් වූ අතර හූති ව්‍යාපාරය ඔවුන් හා දරුණු ගැටුමක මැදිව සිටිනවා. හූති මිසයිල සෞදි ඉලක්ක කරා නිරන්තරයෙන් ළඟා වන අතර ඇතැම් අවස්ථාවන්හි සෞදි හමුදාවන්ට ද දරුණු හූති ප්‍රහාර එල්ල වුණා.

හූති කැරලිකරුවන් පිරිසක් (AP)

ඉරානය හූති ව්‍යාපාරයට සහය දෙන බවට වන චෝදනා එම රට ප්‍රතික්ෂේප කරනවා. එහෙත් හූති ව්‍යාපාරය සතුව මෙතරම් සවිමත් මිසයිල බලකායක් ඇත්තේ ඉරාන සහය හේතුවෙන් බව යි විශ්වාස කෙරෙන්නේ.

මහජන ජංගමගත කිරීමේ ඒකක

ඉරාකයේ ක්‍රියාත්මක අල්-හෂ්ද් අල්-ෂාබි හෙවත් මහජන ජංගමගත කිරීමේ ඒකක (මහජන ජංගමගත කිරීමේ බලකා) සංවිධානය ෂියා මුස්ලිම් සංවිධානයක්. මෙය ප්‍රබල ලෙස ඉරානය හා සම්බන්ධ වී සිටින අතර ඉරාක රජය සමග ISIS සංවිධානය පරාජය කිරීමේ සටන්වල නියැළුණා. එහිදී මෙම සංවිධානය ඉතා වැදගත් කාර්යයභාරයක් ඉටු කළා.

කියවන්න​: ඉරානයේ සුප්‍රකටම හමුදා නිලධාරියා ඇමරිකන් ප්‍රහාරයකින් මරුට​!

පසුගිය දා ඉරානයේ කුද්ස් බලකා ප්‍රධානී කාසෙම් සුලෙයිමානි මරා දමන ලද අවස්ථාවේ මෙම සංවිධානයේ ප්‍රබලයකු වූ අබු මහ්දි අල්-මුහන්දිස් ද ඝාතනය වුණා.

Cover Image: අල්-හෂ්ද් අල්-ෂාබි පෙළපාලියක් (Reuters)

Related Articles