Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජර්මන් දේශපාලනය උඩු යටිකුරු කරන්නට තනන අවුරුදු 28ක තරුණයා

කෙවින් ක්‍යුනර්ට් (Kevin Kühnert) අවුරුදු 28ක් වයසැති ජර්මන් තරුණයෙකි. තවමත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ඔහු හදාරන්නේ දේශපාලන විද්‍යාව යි. වර්තමාන ජර්මන් දේශපාලනයට ක්‍යුනර්ට් වැදගත් චරිතයක් වන්නේ මීළඟ ජර්මන් ආණ්ඩුව බිහි වීම හෝ නව මැතිවරණයක් කරා යාම හෝ පිළිබඳ තීරණය ඇතැම් විට ඔහු මත රඳා පැවතිය හැකි බැවිනි.

2017 සැප්‍තැම්බර් 24 වනදා ජර්මන් මැතිවරණය පවත්වනු ලැබුණා. මෙහිදී ඇන්ගෙලා මර්කල්ගේ ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික එකමුතුව (CDU) සහ එහි සන්ධානගත ක්‍රිස්තියානි සමාජ එකමුතුව (CSU) වැඩිම ආසන ප්‍රමාණය ලබාගත් නමුත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඔවුන් ලබාගත් ආසන සංඛ්‍යාව ප්‍රමාණවත් වූයේ නැහැ. මර්කල්ගේ CDU පක්ෂය ආසන 200 ක් දිනා ගනිද්දී පක්ෂය ආසන 46 ක් දිනාගත්තා. මේ අතර, ජර්මනියේ අනෙක් ප්‍රධාන පක්ෂය වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (SPD) ආසන 153 දක්වා පසු බැස්සා. අන්ත දක්ෂිණාංශික ජර්මනිය සඳහා විකල්පය (AfD) පක්ෂය ආසන 94 ක් දිනාගත් අතර ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (FDP) ආසන 80 ක්, හරිතවේදී පක්ෂය (GRÜNE) ආසන 66 ක් සහ වාම පක්ෂය (DIE LINKE) ආසන 64 ක් දිනාගත්තා.

ඇන්ගෙලා මර්කල් (Reuters)

2013 – 2017 සමයේ ජර්මනිය CDU/CSU, SPD පක්ෂවල මහා සභාගයක් (Grand Coalition) ලෙස පැවති අතර 2017 මැතිවරණ ප්‍රතිඵලවලින් පසුව නායක මාර්ටින් ෂුල්ට්ස් කියා සිටියේ නැවත මහා සභාගයක් කරා නොයන බවයි. AfD පක්ෂය හෝ වාම පක්ෂය සමඟ රජයක් පිහිටුවීම කළ නොහැකි වූ හෙයින් CDU/CSU, FDP, GRÜNE පක්ෂ අතර “ජැමේකා සන්ධානයක්” පිහිටුවීම මර්කල් සතු එකම විකල්පය වුණා.

නමුත් ඒ සඳහා වන සාකච්ඡා බිඳ වැටුණ අතර පක්ෂය සභාගයක් සඳහා ඉදිරිපත් නොවන පසුබිමක මර්කල් සතුවූ එකම විකල්පය වූයේ නැවත මැතිවරණයක් පැවැත්වීමයි. කෙසේ වෙතත් මේ අවස්ථාවේ ජර්මන් ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ෂ්ටයින්මෙයර් යෝජනා කළේ නැවත මහා සභාගයක් සඳහා ඇති ඉඩකඩ සොයාබලන ලෙසයි. මේ අනුව 2017 නොවැම්බරයේදී මාර්ටින් ෂුල්ට්ස් සිය මුල් අදහස වෙනස් කරගනිමින් මහා සභාගයක් පිහිටුවා ගැනීම පිළිබඳ අදහස් පළ කර සිටියා.

තරුණයන්ගේ විරෝධය​

කෙසේ වෙතත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කොටසක් ෂුල්ට්ස්ගේ මෙම තීරණයට එරෙහිව කරුණු දක්වනවා. මේ අතරින් ප්‍රමුඛයා බවට පත්ව තිබෙන්නේ එම පක්ෂයේ තරුණ සංගමය වන ජුසොස් (Jusos) හි නායක 28 හැවිරිදි කෙවින් ක්‍යුනර්ට්.

ක්‍යුනර්ට් යනු ෂුල්ට්ස්ගේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ප්‍රතිරූපයක් බඳු අයෙක්. යුරෝපා පාර්ලිමේන්තුවේ කීර්තිමත් සාමාජිකයකු වූ ෂුල්ට්ස් සම්පූර්ණ යුරෝපීය ඇඳුමින් සැරසී ඕනෑම අවස්ථාවකට සහභාගී වන අයෙක්. ක්‍යුනර්ට් සාමාන්‍ය කමිසයක් ඇඳ එය ඩෙනිම් කලිසමකට උඩින් දමාගෙන මාධ්‍ය අමතන්නෙක්. නමුත් මේ අවස්ථාවේදී ජනමාධ්‍යවලට මෙන්ම පොදුවේ ජර්මන් දේශපාලනයට වඩා වැදගත් වී ඇත්තේ ක්‍යුනර්ට්ගේ පණිවිඩයයි.

ෂුල්ට්ස් සමඟ ක්‍යුනර්ට් (Tagens Spiegel)

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෙතරම් ජනප්‍රියත්වයෙන් හීන වීමට එක් හේතුවක් වූයේ කලක් තිස්සේ එය දක්ෂිනාංශික CDU පක්ෂය සමඟ සභාගවලට එළඹීම බව වඩාත් වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ මතයයි. එමගින් CDU සහ SPD පක්ෂ අතර වන වෙනස පිළිබඳ ජනතාවට අමතකව ඇතැයි ඔවුන් කියා සිටිනවා. ක්‍යුනර්ට් මෙම කණ්ඩායමේ ප්‍රකාශකයා බවට පත්ව තිබෙන අතර​ ඊට හේතු වී ඇත්තේ පක්ෂයේ තරුණ සංගමයේ සාමාජිකයන් අති බහුතරයක් ඔහු සමඟ එකඟ වීමයි. මේ අනුව පක්ෂයේ වාමාංශික කඳවුරේ වඩාත් ම ප්‍රබල තැනැත්තා බවට ක්‍යුනර්ට් පත්ව තිබෙනවා.

SPD පක්ෂයේ සම්මේලනය ජනවාරි 21 වනදා පැවැත්වීමට නියමිතයි. මෙහිදී මහා සභාගයක් කරා යාම පිළිබඳ විවාදයට ගනු ලැබෙනු ඇති. ක්‍යුනර්ට් බලාපොරොත්තු වන්නේ මෙහිදී පක්ෂ සම්මේලන නියෝජිතයන් බහුතරයක් ඔහු වෙත හරවා ගැනීමෙන් සභාග යෝජනාව අහෝසි කරවීමයි. ඒ ආකාරයෙන් SPD පක්ෂයේ අනුමැතිය සභාග යෝජනාවට නොලැබුණහොත් ඇන්ගෙලා මර්කල් සතුව ඊළඟට පවතිනුයේ විකල්ප දෙකක් පමණයි. එක්කෝ ඇය සුලුතර රජයක් පවත්වාගෙන යා යුතු වන අතර නැතහොත් නව මැතිවරණයක් පැවැත්විය යුතුයි.

මේ හේතුවෙන් සමස්ථ ජර්මනියම 21 වනදා පවත්වනු ලබන SPD පක්ෂ සම්මේලනය පිළිබඳ අවධානයෙන් පසු වනවා.

Cover Image: ZDF

Related Articles