Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාව ගැන ලෝක සංවිධාන කියන උපදේශ කතා

දූෂිත දේශපාලනඥයන් ම බංකොලොත් කළ ශ්‍රී ලංකාව දැන් එම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර සහාය ඉල්ලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ආයතනවල නියෝජිතයන් පසුගිය සති කිහිපයේ ශ්‍රී ලංකාවට පැමිණ ඒ සඳහා ලබා දිය හැකි සහාය ගැන විමසා බැලුවා. ඒ සෑම නියෝජිතයෙක් ම ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව දූෂිත දේශපාලනය නිසා හට ගන්නා සිදුවීම් බව යි.

ඔවුන් ඒ පිළිබඳ තම අදහස් සෘජු ව ම ප්‍රකාශ කළත් ලංකාවේ නායකයන් තවමත් ඒවා පිළිගත් බවක් නම් පෙනී ගියේ නෑ. පසුගිය දිනවල දූෂිතයන් සහිත මහා පරිමාණ රාජ්‍ය ඇමති මණ්ඩලයක් පත්කිරීමෙන් ම එය තවත් පැහැදිලි වුණා. අපි දැන් මේ ලෝකෙට බලපෑම් කළ හැකි ලොක්කන් ලෙස සැලකෙන ජාත්‍යන්තර නියෝජිතයන් කිව්වේ මොනවද කියා බලමු.

1 මානව හිමිකම් සැසිවාරයට සහභාගි වීමට ගිය ශ්‍රී ලංකා රජයේ නියෝජිතයෝ – mfa.gov.lk

රට බංකොලොත් කළ දූෂිතයන්ට දඬුවම් දෙන්න

– මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ

බොහෝ විට රටවල මානව හිමිකම් කඩ කිරීම ගැන උනන්දු වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ ආර්ථික අපරාධ ගැන සිය අදහස පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික අපරාධ පිළිබඳ ප්‍රශ්නය මතු කර ඇති ඇය රට බංකොලොත් කිරීමට වගකිව යුතු පුද්ගලයන් නීතිය හමුවට ගෙන ඒමට අවශ්‍ය බවට අවධාරණය කළේ මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව ගැන වාර්තාවක් ඉදිරිපත් කරමින්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලය පසුගිය සැප්තැම්බර් 6 වැනිදා මෙම වාර්තාව නිකුත් කර තිබෙනවා. ඉන් පසු මේ වාර්තාව ගැන ලෝක ප්‍රජාවත් අවධානය යොමු කළා. ඒ පිළිබඳ ඔවුන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙතැනින් කියවන්න.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා හි දී 2022 සැප්තැම්බර් 12 – ඔක්තෝබර් 07 වැනි දින දක්වා පැවැත්වීම සිදුවෙනවා. සැසිවාරයට සහභාගි වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ජිනීවා නුවරට ගොස් සිටිනවා. ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරී මැදිහත්වීම සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නීතිමය කටයුතුවලට සම්බන්ධවීම නිසා නීතිඥ නුවන් බෝපගේට ජිනීවා සැසිවාරය ආමන්ත්‍රණය කිරීමට අවස්ථාවක් ලැබුණා. ඒ අනුව ඔහු පසුගිය 12 වැනි දා සැසිවාරය අමතා අදහස් දැක්වූවා. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට පසුගිය දිනවල සිට එල්ල වී ඇති රාජ්‍ය මර්දනය, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ අතුරුදහන්වුවන් ආදී කරුණු වෙනුවෙන් ශ්‍රී ලංකා රජය වගවිය යුතු බවයි ඔහු සඳහන් කර සිටියේ.

නීතිඥ නුවන් බෝපගේට ජිනීවා සැසිවාරය ආමන්ත්‍රණය කිරීමට අවස්ථාවක් ලැබුණා – facebook.com/uduwaragedara

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය පවසන්නේ ජාත්‍යන්තර ප්‍රජාව එක්ව ශ්‍රී ලංකාව නැවත ගොඩගැනීමට සහ මානව හිමිකම් කඩකිරීම් සහ ආර්ථික අපරාධ සඳහා දඬුවම් ලබාදීම ඇතුළු අර්බුදයට යටින් පවතින හේතූ ගැන විමසිලිමත් වීමට සහාය ලබාදිය යුතු බව යි.

‘‘ශ්‍රී ලංකාව දැන් පැමිණ සිටින්නේ දේශපාලනික වශයෙන් ඉතා බැරෑරුම් සන්ධිස්ථානයකටයි. වත්මන් ආර්ථික අර්බුදයට මුල්වූ සාධක හඳුනාගෙන ඒවා විසඳීමට අවශ්‍ය පියවර ගැනීම, ආර්ථිකමය අපරාධ සහ දුෂණය මැඩලීම සඳහා පියවර ගැනීම ඉතා වැදගත්‘‘ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අවධාරණය කර සිටිනවා.

මේ වන තෙක් ශ්‍රී ලංකාවේ යුද සමයේ හා ඉන් අනතුරුව ඇතිවූ මානව හිමිකම් ගැටලු පිළිබඳ ව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අවධානය යොමු කර තිබූණා. මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිවයුත්තන්ට එරෙහි ව ක්‍රියා කළ යුතු බවටත් සිය වාර්තාවෙන් ඉල්ලා සිටීම විශේෂත්වයක්.

2022 මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ ගාලුමුවදොර මුල් කර ගෙන රට පුරා, සියලු ම ජනතාව සහ විවිධ වෘත්තින්වල ශ්‍රී ලාංකිකයන්, උගත් තරුණ තරුණියන්, දූෂණයෙන් ආණ්ඩු වෙනසක් ඉල්ලා සිටීම සහ හොරුන්ට දඬුවම් ලබා දීම, වගවීම සහ ගැඹුරු දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලමින් පුළුල් විරෝධතා ව්‍යාපාරයකට එක්වී සිටි බවත් එම වාර්තාවේ සඳහන් කර තිබෙනවා. රට හමුවේ වේදනාකාරී ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බවත් තවදුරටත් ප්‍රචණ්ඩත්වයේ අවදානම ඇතුළු බොහෝ අභියෝග පවතින බවත් එහි සඳහන් තවත් කරුණක්.

ශ්‍රී ලංකාව කඩිනමින් වගවීම පිළිබඳ ප්‍රතිසංස්කරණ සහ ආයතනික, ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ සඳහා ද යොමුවිය යුතු බව එහි සඳහන් වෙනවා. වත්මන් ආර්ථික අර්බුදය සමඟ ශ්‍රී ලංකාව දේශපාලනික ව ඉතා බැරැරුම් සන්ධිස්ථානයකට පැමිණ ඇති බව ද මිෂෙල් බැෂලේ සඳහන් කරනවා.

  පීටර් බෘවර් ඇතුළු නියෝජිතයන් පුවත්පත් සාකච්ඡාව අමතමින් – npr.org

මහ බැංකුවෙන් දේශපාලනය ඉවත් කරන්න

-අයිඑම්එෆ් ණය ප්‍රාග්ධන වෙළෙඳපොළ අංශයේ ප්‍රධානී පීටර් බෘවර්

විස්තීර්ණ අරමුදල් පහසුකම අනුව සිවු අවුරුදු වැඩපිළිවෙළක් යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදලකින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජය සමඟ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබෙන බව පසුගිය දිනවල ප්‍රකාශ වුණා. ඒ බව පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රාග්ධන වෙළෙඳපොළ අංශයේ ප්‍රධානී පීටර් බෘවර් සහ ජේ‍්‍යෂ්ඨ ආර්ථික විශේෂඥ මසහිරො නොසකිගේ ප්‍රධානත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම  මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවක දී සැප්තැම්බර් පළමු වැනිදා යි. පීටර් බෘවර් එම අවස්ථාවේදී මෙසේද සඳහන් කර සිටියා:

“මහ බැංකුවේ ස්වාධීනත්වය යථා තත්ත්වයට පත් කර එය නිර්දේශපාලනීකරණය කිරීමටත් අනවශ්‍ය මුදල් මුද්‍රණය නොවීමට වගබලා ගැනීමටත් නව මහ බංකු පනත ඉතා වැදගත් වෙනවා. මූලික වශයෙන් උද්ධමනය නිසා සිදුවන්නේ දුප්පත් සහ අවදානමට ලක්වීමක්. එය හැකි සෑම කෙනෙකුටම පනවනු ලබන බද්දක් වගේ. එයට මුහුණ දීමට ඔවුන්ට දුප්පත් ජනතාවට ආර්ථික ශක්තියක් නෑ. ඒ නිසා මහ බැංකුවේ නිසි ස්වාධීනත්වය සහතික කරන මේ මහ බැංකු පනත ඉතා වැදගත් ලෙස දකිනවා. ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමේ වැදගත් අංගයක් බවට එය පත්වෙයි කියලා අපි අපේක්ෂා කරනවා.”

මෑතක දී සංවාදයට ලක් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව නිකුත් කළේ මාර්තු 25 වැනිදා යි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අවශ්‍ය නම් සහ රට ගොඩනැඟීමට හේතුවන කාරණා පහක් ගැන නිර්දේශ පහක් එහි සඳහන් කර තිබෙනවා. ඉන් එක් කරුණක් වන්නේ දූෂිත දේශපාලනය රටෙන් තුරන් කිරීම යි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක්  ඊට පෙර 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයකත් නිරත වුණා. එහිදී මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මෙන් ම තවත් රාජ්‍ය ආයතන කිහිපයක්, මූල්‍ය ආයතන, පෞද්ගලික අංශයේ, ආයතන සහ පුද්ගලයන් සමඟ සාකච්ඡා පවත්වා තිබෙනවා.

3 අයි. එම්. එෆ්. රැස්වීමක් – ua.news

 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ලබා දීමට එකඟ වී ඇති බිලියන 2.9ක ණය මුදල ලබා දීමට පෙර මහ බැංකුව නිර්දේශපාලනිකරණය කර ස්වාධීනත්වය ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බව පීටර් බෘවර් සඳහන් කරනවා.

දේශපාලන නායකයන්ට අවශ්‍ය ලෙස රටේ උද්ධමනයට හේතු වූ මුදල් මුද්‍රණය නතර කිරීමට හැකි නව මහ බැංකු පනත ක්‍රියාත්මක කරන ලෙසත් ඔහු ඉල්ලා සිටිනවා. “ශ්‍රී ලංකාවේ මිල ස්ථායිතාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා නව මහ බැංකු පනත හැකිතාක් ඉක්මනින් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්,” පීටර් බෲවර් බීබීසීය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීත් පවසා සිටියා.

රටේ හට ගෙන තිබෙන වත්මන් ආර්ථික අර්බුදයට ඉක්මනින් සහාය අවශ්‍ය වන බවත්, එය කඩිනමින් නොලැබුණහොත් ශ්‍රී ලංකාවේ මානුෂීය අර්බුදයක් ඇතිවීම වැලැක්විය නොහැකි බවත් අයිඑම්එෆ් නියෝජිතයන් මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළ තවත් කරුණක්. “මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ඉතා ඉහළ උද්ධමනයක් පවතිනවා. එක් අතකින් සිදු වෙලා තියෙන්නේ විශාල වශයෙන් රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රතිඵලයක් විදිහට. රජයට ආදායම් නොමැති විට කවුරුවත් රජයට ණය නොදෙන තත්ත්වයක් මත රජයට මුදල් සැපයීම සඳහා මහ බැංකුවේ මුදල් මුද්‍රණය කිරීම උද්ධමනය වැඩිවීමට තවත් ප්‍රධාන හේතුවක්.” පීටර් බෘවර් ඇතුළු නියෝජිතයන් පවසා සිටියා.

 සමන්තා පවර් ජනපති රනිල් හමුවෙමින්- thehindu.com

ශ්‍රී ලංකාව බංකොලොත් කර ඇත්තේ දූෂිත දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින්

– ජාත්‍යාන්තර සංවර්ධනය සදහාවු එක්සත් ජනපද නියෝජිත ආයතනයේ USAID) පරිපාලක සමන්තා පවර්

ශ්‍රී ලංකාවට තෙදිනක නිල සංචාරයකට පසුගිය සැප්තැම්බර් 10 වැනි දා පැමිණි ජත්‍යාන්තර සංවර්ධනය සදහාවු එක්සත් ජනපද නියෝජිත ආයතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් පසුගිය 12 වැනි දා රටින් පිටත් ව ගියා. පුවත්පත් කලාවේදිනියක් ලෙස ද සැලකෙන ඇය ජත්‍යාන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ 19 වැනි පරිපාලකවරිය යි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සිවිල් සමාජය, පෞද්ගලික අංශය හා USAIDහි ශ්‍රී ලාංකීය කාර්ය මණ්ඩලය සමඟ ඇය සාකච්ඡා කර ශ්‍රී ලංකාවේ වර්තමාන පසුබිම වටහා ගෙන තිබෙනවා. ඊට අමතර ව ජාඇළ – ඒකල කුඹුරුයායක දී ගොවි ජනතාව හමුවී විශේෂ සාකච්ඡාවක් ද ඇය පැවැත්වූවා.

ශ්‍රී ලංකාවෙන් පිට ව යාමට පෙර මාධ්‍ය හමුවක් පැවැත්වූ ඇය රටේ කඩා වැටීමට හේතුව දේශපාලනඥයන් සහ රජයේ ඇතැම් ඉහළ නිලධාරීන් තම නිලය අනිසි ලෙස භාවිත කරමින් වාසි ලබා ගැනීමට තැත්කිරීම ඇතුළු කරුණු රාශියක් බලපාන බව යි. ඇය මෙම මාධ්‍ය හමුව පැවැත්වූයේ ශ්‍රී ලංකාවේ අමෙරිකා තනාපති කාර්යාලයේ දි යි.

 සමන්තා පවර් කුඹුරු යායකට ගොස් ගොවි ගැටලු සාකච්ඡා කළ අවස්ථාව- lankadeepa.lk

 

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාවට විඳීමට සිදුව ඇති දුෂ්කරතා දැක තමන් කනගාටුවට පත් වූ බව ද ඇය සඳහන් කළා. අනවශ්‍ය ලෙස ගත් ණයවල අධික බර, වංචා හා දූෂණ, රසායනික පොහොර භාවිතය තහනම් කිරීම මෙන් ම දේශපාලකයන්ගේ ක්‍රියාකලාපය මෙම තත්ත්වයට මූලික හේතුව බවයි සමන්තා පවර් තව දුරටත් පවසා සිටියේ.

‘‘ශ්‍රී ලංකාවට ආධාර ලැබූ පමණින් මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකි යි. ඒ සඳහා ආර්ථික සහ දේශපාලනික ප්‍රතිසංස්කරණත් සමාන්තරව ක්‍රියාත්මක විය යුතුයි. මෙහිදී ආර්ථික හා දේශපාලනික වගවීමත් අවශ්‍ය වෙනවා. දේශපාලනඥයන් මෙන් ම රජයේ ඇතැම් ඉහළ නිලධාරීන් තම නිලය භාවිත කරමින් වාසි ලබාගැනීමට තැත්කරනවා.‘‘ ඇය සඳහන් කළා.

ශ්‍රී ලංකාවට අතිරේක සහායක් ලෙස අමෙරිකා ඩොලර් කෝටි 6ක මුදලක් ලබා දෙන ලබා දෙන බව ද සමන්තා පවර් එහිදී සඳහන් කළා.

කවරයේ ඡායාරූපය -මිචෙල් බැෂලේ, පීටර් බෘවර් සහ සමන්තා පවර්- wikipedia.org /businesslive.co.za

මූලාශ්‍ර:
bbc.com
lankadeepa.lk
usaid.gov

Related Articles