ජූනි 13 වන දා ඕමාන බොක්ක ආසන්නයේ දී තෙල් නැව් දෙකකට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් මැද පෙරදිග ප්‍රදේශයේ යුධ උණුසුම යළිත් උත්සන්න වුණා. කාලයක පටන් ඉරානය එක් පසකිනුත්, ඇමරිකාව, සහ සෞදි ආරබිය ආදී රටවල් අනෙක් පසිනුත් සිටිමින් එකිනෙකාට චෝදනා කරගැනීමේ පසුබිමක මැදපෙරදිග ප්‍රදේශය අස්ථාවර වී තිබෙනවා. විශේෂයෙන්ම ලෝක බොර තෙල් නිෂ්පාදනයෙන් විශාල කොටසක් මෙම ප්‍රදේශයෙන් නිපදවෙන බැවින් මෙම තත්ත්වය ලෝක ආර්ථිකයට විශාල ප්‍රශ්නයක් ඇති කරනු ඇතැයි බියක් මතුව තිබෙනවා.
මෙම ප්‍රහාරයන් එල්ල වූයේ තෙල් නැව් හතරකට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා වරායට එපිට මුහුදේ දී එල්ල වූ බව කියන ප්‍රහාරයකින් මාසයක් ගතවූ පසුව යි. මැයි 12 වන දා ෆුජයිරා වරායට එපිට දී එල්ල වූ එම ප්‍රහාරයෙන් සෞදි තෙල් නැව් දෙකක් ද, නෝර්වීජියානු සහ එක්සත් අරාබි එමීර් නැව් එක බැගින් ද හානියට පත් වුණා. එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද සෞදි – ඉරාන ගැටුමේ දී සෞදි පාර්ශවයේ ප්‍රබල පාර්ශවකරුවෙක්.
ඉරානයට වරද පැටවීම
මැයි 12 ප්‍රහාරයෙන් පසුව ඇමරිකාව ඉරානය වෙත වරද පැටවීමට උත්සුක වූ අතර ඉරානය එම චෝදනා ප්‍රතික්ෂේප කළා. ඉරානය සඳහන් කළේ ඇමරිකාව, තම රට සමග ආරවුලක් ඇති කරගැනීමට හේතුවක් සොයමින්, හේතු නිර්මාණය කරමින් සිටින බවයි. මෙම ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ වාර්තාව මඟින් “රාජ්‍ය පාර්ශවයක්” මීට සම්බන්ධ යයි පැවසුනත්, ඉරානය පිළිබඳ ඍජුව සඳහන් වන්නේ නැහැ.
මැයි 12 ප්‍රහාරය සහ ජූනි 13 ප්‍රහාරය හේතුවෙන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ගමන් කරන තෙල් නැව්වලට ඇති තර්ජනය ඉහළ ගොස් තිබෙන බවක් පෙන්නුම් කෙරෙනවා. මෙය ලෝක තෙල් මිල කෙරෙහි එතරම් යහපත් බලපෑමක් නොවන ඇති.
මෙවරද, පසුගිය අවස්ථාවේ මෙන්ම ඇමරිකාව විසින් ඉරානය වෙත මෙම ප්‍රහාර පිළිබඳ චෝදනා එල්ල කරනවා. නමුත් කලින් අවස්ථාවේ මෙන් නොව මෙවර ඔවුන් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකා සමාජිකයන් ඊට සම්බන්ධ බවට පෙන්වන බව කියන වීඩියෝවක් ද සාක්ෂ්‍ය ලෙස ඉදිරිපත් කරනවා.
ජූනි 13 වන දා ප්‍රහාරයට ලක් වූ නෞකා දෙක වන්නේ Front Altair සහ Kokuka Courageous යන නෞකා ය. Front Altair නෞකාව තයිවානය බලා ගමන් කරමින් සිටි අතර Kokuka Courageous නෞකාව සිංගප්පූරුව බලා ගමන් කරමින් සිටියා.
ඇමරිකාව පවසා සිටින්නේ ඔවුන් විසින් ලබාගත් වීඩියෝවක ඉරාන විප්ලවවාදී හමුදාවේ සෙබල පිරිසක් Kokuta Courageous නෞකාව වෙත පැමිණ පිපිරීමට ලක් නොවූ බෝම්බයක් ඉවත් කරන ආකාරය දැකිය හැකි බව යි.
නමුත් ඉරානය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනවා. ඇමරිකාව සහ එහි මිත්‍රයින් ඉරානයට එරෙහිව කඩාකප්පල්කාරී රජ්‍යතාන්ත්‍රික කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කරන බව ඉරාන විදේශ අමාත්‍ය ජවෙඩ් සරීෆ් කියා සිටිනවා.
මෙම කලබලය අතරවාරයේ ඇමරිකාව විසින් තෙල් නැව්වලට ප්‍රහාර එල්ල වූ ප්‍රදේශය වෙත ඩිස්ට්‍රෝයර් වර්ගයේ යුධ නැවක් යවා තිබෙනවා. එරට දිගින් දිගටම කියා සිටින්නේ කරන්නේ තමන්ට යුද්ධයක් ඇති කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව යි. කෙසේ නමුත් ඉරානය අවට රටවල් ගණනක ඇමරිකන් කඳවුරුවල ඇමරිකන් භටයින් 40,000කට වැඩි පිරිසක් රඳවා තිබෙනවා.
කියවන්න: ඉරානය වටලන ඇමරිකන් කඳවුරු
යේමන සහ සිරියානු යුද්ධ
කලාපයේ පවතින එදිරිවාදිකම්වල දිගුවක් ලෙස යේමන සහ සිරියානු යුද්ධ ද දැකිය හැකියි. විශේෂයෙන්ම යේමන සිවිල් යුද්ධයේ දී ඉරානයේ සහය ලබන හූති කැරලිකරුවන් සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානයක් හා සටන් වදිනවා. ඔවුන් නිරන්තරයෙන් සෞදි ඉලක්ක වෙත පහර දෙනවා. ඒ සඳහා ඔවුන් ඩ්‍රෝන මෙන්ම මිසයිල ද යොදාගන්නා අතර සෞදි අරාබිය පවසන්නේ එම මිසයිල ඉරානය විසින් සපයනු ලබන බව යි.
හූති කැරලිකරුවන් විසින් එල්ල කෙරෙන සියළු ප්‍රහාර පිළිබඳ සෞදියෙන් හෝ එක්සත් අරාබි එමීරයෙන් පිටතට වාර්තා නොවන බවත් පැවසෙනවා. කෙසේ නමුත් වඩා ප්‍රබල ප්‍රහාර පිළිබඳ ඔවුනට සැඟවීම අපහසු යි. අනෙක් අතට හූති කැරලිකරුවන් තම මාධ්‍ය ඔස්සේ එම සිද්ධීන් පිළිබඳ නිරන්තරයෙන් ප්‍රචාරය කරනවා. මෑතක දී එවන් ප්‍රහාරයකින් නිරිතදිග සෞදි අරාබියේ ගුවන් තොටුපලක 26 දෙනෙකු තුවාල ලැබුවා.
2015 සිට සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් ආදී රටවල සන්ධානයේ ප්‍රහාරවලට හූති කැරලිකරුවන් දරුණු ලෙස ප්‍රති ප්‍රහාර එල්ල කරනවා. මෙම යුද්ධයේ දී තම සන්ධානයේ අසාර්ථකත්වය සෞදි අරාබියට මෙන්ම එරට කිරුල හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන්ට සිදු වූ පෞද්ගලික පරාජයක් වනවා.
මේ අතර සිරියාවේදී ඉරානය සහ එහි මිතුරන් ඉලක්ක කරගනු ලබන්නේ ඊශ්‍රායලය විසින්. ඉරානයේ 2011 සිට පවතින සිවිල් යුද්ධයේ දී ඉරානය සහය පළ කරන්නේ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් වෙත යි. ඉරානයේ සහය ලබන හිස්බුල්ලා සංවිධානය ද අසාද් වෙත සහය දෙනවා. අසාද්, ඉරානය, සහ හිස්බුල්ලා සංවිධානය යන තුනම ඊශ්‍රායලය විසින් සලකනු ලබන්නේ සතුරන් ලෙස යි. විශේෂයෙන්ම ඉරාන හමුදා සිරියාවේ රැඳී සිටීම පිළිබඳ ඊශ්‍රායලය සිය අප්‍රසාදය පළ කර සිටිනවා.
ඊශ්‍රායලය වසර කිහිපයක සිටම ඉඳ හිට සිරියාවේ ඉලක්ක වෙත ගුවන් හා මිසයිල ප්‍රහාර එල්ල කරනවා. ඉරාන සහ හිස්බුල්ලා ඉලක්කවලට තමන් පහර දෙන බව ඊශ්‍රායලය කියා සිටිනවා. මුලින් ඉඳ හිට මෙවන් ප්‍රහාර එල්ල වුව ද වර්තමානය වනවිට එම ප්‍රහාර නිරන්තරයෙන් එල්ල වන තත්ත්වයක් පෙන්නුම් කරනවා. මෙය ද ඉරානය සමග ආරවුලක් පටලා ගැනීමේ උත්සාහයක් වේයැ යි සැක මතු වනවා.
රුසියාව සහ මැදපෙරදිග
මෙම සියළු කරණා මැද රුසියාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විමසිලිමත් විය යුතු වනවා. රුසියානු රාජ්‍ය මාධ්‍ය ඉරානය වෙත සිය සහය පළ කරමින් සිටින බව පෙන්නුම් කෙරෙනවා. ඇමරිකාව සමග ඔවුන් දක්වන සම්බන්ධය කෙසේ වෙතත්, සෞදි අරාබිය සහ ඊශ්‍රායලය සමග රුසියාව සාමාන්‍යයෙන් හොඳ මිත්‍රත්වයක් පවත්වාගෙන යනවා. ඇත්තෙන්ම මැදපෙරදිග කලාපයේ සියළුම රටවල් සමග රුසියාව යහපත් සබඳතාවක් පවත්වනවා.
එක් අතකින් ලෝක තෙල් මිල ඉහළ යාම රුසියාවට වාසිදායක යි. එහෙයින් පර්සියානු බොක්ක කලාපයේ අවුල් සහගත තත්ත්වයක් ඇති වීම පිළිබඳ රුසියාව සම්පූර්ණයෙන්ම අකමැත්තක් නොදක්වනු ඇති. එහෙත් කලාපය යුද්ධයක් කරා ගමන් කිරීම පිළිබඳ ඔවුන් සතුටු වේයැ යි සිතන්න අපහසු යි.
කෙසේ වුණත් ඉරානය සමග ඍජුව යුද්ධයක් ඇති කරගැනීමට ද ඇමරිකාව එතරම් කැමැත්තක් නොදක්වනු ඇති. හේතුව නම් ඉරානය සැලකිය යුතු බලවත් රාජ්‍යයක් වීම යි. ඉරානය යුධමය වශයෙන් පරාජය කිරීමට විශාල ප්‍රයත්නයක් දැරීමට සිදුවනු ඇති. එහිදී සිදුවන ජීවිත හානිය, ආර්ථික බලපෑම යනාදී සියළු කරුණු සැලකීමේ දී ඍජු යුද්ධයක් කරා යාම වාසිදායක නොවන බව බොහෝ දෙනාට පෙනී යන කරුණක් වනවා.