ප්ලාස්ටික් නැති ලෝකයක් ගැන අද අපට හිතාගන්න පුළුවන් ද? ඒත් වර්ෂ 1950 වන විටත් ප්ලාස්ටික් ලෝකයට අත්‍යවශ්‍ය දෙයක් නොවෙයි. එක් පුද්ගලයකු සතියකට ප්ලාස්ටික් ග්‍රෑම් පහක් ආහාරයට ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානය සොයා ගෙන තිබෙනවා. එය ක්‍රෙඩිට් කාඩ් එකක බරට සමානයි. සතියකට ප්ලාස්ටික් කාඩ් එකක් ගිලින මිනිසුන් සිටින ලෝකයක අනාගතය කෙතරම් භයංකාරදැ යි අමුතුවෙන් කිවයුතු නැහැනේ. පිළිකා, චර්ම රෝග, ශ්වසන රෝග, අක්ෂි රෝග, පෙණහලු ආබාධ, උගුරේ ආබාධ, ජානමය වෙනස්වීම් ආදී රෝගාබාධ රාශියකට සිරුරුගත ප්ලාස්ටික් හේතුවන බව හුඟදෙනෙක් දන්නවා. ඒ හින්දා ධනවත් රටවල් ප්ලාස්ටික් පාවිච්චිය අඩුකරන කඩිනම් පියවර සැලසුම් කරනවා.
මයික්‍රො ප්ලාස්ටික් කියන්නේ?
ප්ලාස්ටික් ක්ෂුද්‍ර අංශු වශයෙන් ශරීරගත වන්නේ අප නොදැනුවත්වම යි. එලෙස ශරීරගතවන ප්ලාස්ටික් හඳුන්වන්නේ මයික්රොප්ලාස්ටික් හෙවත් ක්ෂුද්‍ර ප්ලාස්ටික් කැටිති කියල යි. ලන්ඩනයේ තේම්ස් නදියේ ජලය ලීටරයකට මයික්‍රෝප්ලාස්ටික් කැටිති 80ක් හමුවෙනවා. උතුරු වේල්සයේ සෙගින් ගංගාවේ ද ඒ ප්‍රමාණය හමුව තිබෙනවා.
ප්ලාස්ටික්වලම අතුරු නිපැයුමක් වන මයික්රොප්ලාස්ටික් වර්ග දෙකකට බෙදිය හැකියි. ප්‍රාථමික (ප්ලාස්ටික් අංශු වශයෙන් මිනිසා නිපදවයි) හා ද්විතියික (සාමාන්‍ය ප්ලාස්ටික්වලින් දිරා අංශු බවට පත්වන) වශයෙන්. ලෝකයේ ප්ලාස්ටික් වතුර බෝතල්වලින් 91%ක මයික්රොප්ලාස්ටික් අංශු තිබෙන බව පර්යේෂණවලින් ඔප්පු වී තිබෙනවා. ලංකාවේ ඒ ගැන නිශ්චිතව පැවසීමට තරම් පර්යේෂණ දත්ත නෑ.
මයික්‍රො ප්ලාස්ටික් යනු ප්ලාස්ටික්වලින් කැඩුණු මිලිමීටර් 5ක් – මිලිමීටර 1ක් විශාල පුංචි ප්ලාස්ටික් කැබලි. මේවා බහුතරය පුද්ගලයන් විසින් නිර්මිත අතර දිරාපත් වන්නේ ද නැහැ. එමඟින් රසායනික ද්‍රව්‍ය, විෂ ද්‍රව්‍ය රෝගකාරක පරිසරයට එක්වෙනවා. ජලයට මයික්‍රො ප්ලාස්ටික් එක්වූ විට ඇසට පේන්නේ නැහැ. මේ නිසා වායු දූෂණය ද සිදුවනවා. වායුගෝලයට මයික්‍රො ප්ලාස්ටික් එක්වූ විට කවදාවත් ඒවා ඉවත් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව මයික්‍රො ප්ලාස්ටික් වායු දූෂණය කර ලෙඩ රෝග ද නිර්මාණය කරනවා. මෙහිදී පරිසරයේ සංයුතිය ද වෙනසකට ලක්වෙනවා.
ප්ලාස්ටික් භාවිතය
1952 දී පොලිතින් නිෂ්පාදනය වෙනුවෙන් රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය හිමි වුණා. ඒ ලෝකය වෙනස් කළ සංයෝගයක් නිසා. අද වෙලා තියෙන්නෙ වදින්න ගිය දේවාලය හිසට කඩා වැටීම යි. වාර්ෂිකව ප්ලාස්ටික් ටොන් මිලියන 360ක් පමණ ලෝකයේ හදනවා. ලංකාවේ වර්ෂයක දී ප්ලාස්ටික් සහ පොලිතීන් මෙට්‍රික් ටොන් 1620කට ආසන්න ප්‍රමාණයක් එක්රැස් වන බව ගණන් බලා තිබෙනවා. එක් තැනැත්තෙක් පුද්ගලිකව ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 40ක් තරම් ප්‍රමාණයක් වර්ෂයක දී භාවිත කරනවා. ඒවා පසුව පරිසරයට අපද්‍රව්‍ය වශයෙන් එක් කරනවා. මිය ගිය තල්මසුන්ගේ කුස තුළින් පවා ප්ලාස්ටික් බෑග් හමු වී තිබෙනවා. ඒ අනුව ගොඩබිමේ දී ගවයන් අලි, ආදී සතුන් ඒවා ආහාරයට ගැනීම අමුතු දෙයක් නොවෙයි. පොලිතින් බෑග් ආහාරයට ගැනීම නිසා අලි මියයාම අපේ රටෙන් බහුලව වාර්තා වෙන සිද්ධියක්.
එක් දිනක දී ශ්‍රී ලංකාවේ රජයේ පාසල් පද්ධතිය මඟින් භාවිතයෙන් පසුව පෑන් කිලෝ ග්‍රෑම් 80ක් පමණ ඉවත දැමෙන බව පරිසර සහ අධ්‍යාපන අමාත්‍යාංශවලින් මෑතක දී කළ සමීක්ෂණයක දී හෙළිදරව් වුණා. ඒවා දිරාපත්වීමට වසර 300-500ත් අතර කාලයක් ගත වන බව පර්යේෂණ පවසනවා.
කැලණි ගඟත් ඉවරයි
අප රටේ කැලණි, කළු, මහ ඔය ආදී ජනාකීර්ණ ප්‍රදේශවලින් ගලා බස්නා ගංගා විශාල ප්ලාස්ටික් දූෂණයකට ලක්වෙලා ඉවර යි. විගණකාධිපති දෙපාර්තමේන්තුව පසුගිය දා කළ අධ්‍යයනයකට අනුව කැලණි නදිය අවට කර්මාන්තශාලා 10500ක් පවතිනවා. මේවායින් නිකුත් කරන අපජලය ගංගාව කිළිටි වීමට ප්‍රධාන හේතුවක්. භයානකම කරුණ නම් බස්නාහිර පළාතේ පානීය ජලයෙන් 80%ක් සපයන්නේ කැලණි ගංගාව වීමයි. කොපමණ මයික්රොප්ලාස්ටික් අංශු මේ පානීය ජලය සමග ශරීර ගතවනවා දැයි දන්නේ කවුද?
කැලණි ගංගාවේ මෝය ආශ්‍රිතව ජලයේ මයික්‍රෝප්ලාස්ටික් පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ වී.ජී.එන්. තක්ෂිලා සහ ආර්.ආර්.එම්.කේ.පී රණතුංග කළ අධ්‍යයනයකට අනුව, එහි ජලය ඝන මීටරයක හමුවූ අපද්‍රව්‍යවලින් 36%ක් ප්ලාස්ටික් කෙඳිති බව හෙළිවුණා. පොලිඑතිලීන්, පොලිප්‍රොපලීන්, පොලිස්ටිරින් සහ පොලිමයිඩ් යන ප්ලාස්ටික් වර්ග එහි අඩංගු බව අන්වීක්ෂීය පරීක්ෂණවලින් හෙළි වී තිබෙන කරුණක්.
වඩාත් භයානක දේ නම් ජලයේ අඩංගු මයික්රොප්ලාස්ටික් ඉතා කුඩා මී.මී. 5ක පමණ ප්‍රමාණයේ කැටිති වශයෙන් පවතින නිසා ඒවා ජල පිරිපහදු කිරීමේ පෙරණ යන්ත්‍රවලට පවා හසු නොවීම යි.
වෙරළ ප්ලාස්ටික් කසළ රඳවනයන්
ලංකාවේ සතියකට වෙරළ කලාපයේ ප්ලාස්ටික් කිලෝ ලක්ෂ 32කට වැඩි ප්‍රමාණයක් එකතු වෙනවා. අබලි ප්ලාස්ටික් කැබලි, සිගරට් බඩ්, ග්‍රොසරි බෑග්, පෙට් බොතල්, ෂැසේ ආදී මෙකී නොකී කොච්චර නම් දේවල් ද? ඒ මදිවට පසුගිය කාලෙ ඉන්දියාවෙන් ආපු අපද්‍රව්‍ය ගැනත් කියවුණා. මේ ප්ලාස්ටික් දිරා කැබලි වී ජලයට එකතු වෙනවා. ඊට පසු සාගර ජලයේ පවතින එම ප්ලාස්ටික් අංශු මසුන් ආහාරයට ගන්නවා. මාළු අප ආහාරයට ගත්විට අපේ ශරීරයටත් ප්ලාස්ටික් එනවා. මේ නිසා හැකිතරම් ප්ලාස්ටික් භාවිතය සීමා කිරීමටත්, ක්ෂුද්‍ර ප්ලාස්ටික් අඩංගු නිෂ්පාදන භාවිතයෙන් වැළකීමටත් උනන්දු විය යුතු යි. ඒ වගේම තමන් භාවිත කරන ප්ලාස්ටික් මුහුදු වෙරළට දැමීමත් ඉතා නරක වැඩක්. ඊට පස්සේ ඒවා මුහුදට එකතු වී සාගර ජලය දූෂණය වෙනවා.
ත්‍රිකුණාමලය, මීගමුව ආදී ප්‍රදේශ ඇසුරේ ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයයේ පර්යේෂණ විද්‍යාඥ මිනුරි සිල්වා කළ පර්යේෂණයක දී මෙරට සාගර කලාපය ආශ්‍රිතව ජීවත්වන මසුන් බහුතරයක් තුළ මයික්‍රෝ ප්ලාස්ටික් අන්තර්ගත බව හෙළි වී තිබෙනවා. හාල්මැස්සා, හුරුල්ලා සහ සාලයා වැනි වැඩිදෙනකු පරිභෝජනයට ගන්නා මසුන් ඇසුරෙන් එම දත්ත වාර්තා වී තිබුණා.
මයික්‍රො ප්ලාස්ටික් හැදෙන්නෙ කොහාමද?
ලොකු ප්ලාස්ටික් බෝතලයක්, ප්ලාස්ටික් නිෂ්පාදනයක් කැඩිලා බිඳිලා ගියාම ඒ කුඩා ප්ලාස්ටික් අංශු පරිසරයට එක්වෙනවා. ඒක බූමරංගයක් වගේ ආපසු අපේ ශරීරයට එකතු වෙනවා. ඊට අමතරව සමහර දන්තාලේප වර්ග, රූපාලංකාර මුහුණ ආලේපන, ස්ක්‍රබ් ආදියට මයික්රොප්ලාස්ටික් එකතු කරනවා. ඒ, මිශ්‍රණයේ රළු බව ඇතිවීමට. අපි දත් මැදලා කෙළ ගැසූවිට ඒ සමග ප්ලාස්ටික් කැටිති පරිසරයට, ජල මාර්ගවලට එක්වෙනවා. වොෂිංමැෂින්වල වොෂිං පව්ඩර් වර්ගවලිනුත් මේකම වෙනවා. දැනට අපි භාවිත කරන ජල පිරිපහදු යන්ත්‍රවලට මේ ප්ලාස්ටික් අංශු රඳවා ගැනීමට බෑ, මොකද මේවා ඉතාමත් ක්ෂුද්‍ර අංශු නිසා. බොහෝ රූපලාවන්‍ය ක්‍රීම්වල අඩංගු දේවල් අපි දන්නෙ නෑ. ඒවායේ අඩංගු ද්‍රව්‍ය වශයෙන් PE, PMMA, PET, PP වගේ නම්වලින් තිබෙන්නේ ප්ලාස්ටික්. දරුවාට අන්දන පැම්පස් එකේ සිට දත්බේත් ටියුබය දක්වා ප්ලාස්ටික් තිබෙනවා. මයික්රොප්ලාස්ටික්වල තවත් නරකක් තමයි ඒවා අවට පරිසරයේ තිබෙන දේ උරාගැනීම. විශේෂයෙන් බැක්ටීරියා වගේ විස වර්ග ඒවාට බැඳෙනවා. එවිට භයානකකම දෙගුණ වෙනවා.
පරිසරවේදී නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන සඳහන් කරන්නේ ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන අනුව මයික්රොප්ලාස්ටික් (ක්ෂුද්‍ර ප්ලාස්ටික් කැටිති) නිෂ්පාදන තහනම් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන තිබෙන බ වයි. කළ යුත්තේ ඇමැතිවරයගේ නියෝගය පාර්ලිමේන්තුවෙන් සම්මත කරගෙන එය ගැසට් පත්‍රයේ පළ කිරීම යි. ඊට පසු එය නීත්‍යානුකූල වෙනවා. පාරිභෝගික ආරක්ෂක පනතේ විධිවිධානත් එයට අනුකූල යි.
මේ ගැන පරිසරයට සම්බන්ධ රාජ්‍ය ආයතන සැලසුම් හැදුවත් ඒ ගැන දේශපාලන බලධාරීන් ක්‍රියාත්මක වන බවක් නම් පෙනෙන්නේ නැහැ. මයික්‍රො ප්ලාස්ටික් උවදුර නිහඬ මාරයෙක් විදිහට සලකන්න පුළුවන්. තවම ඒ ගැන කවුරුවත් උනන්දු වන බවක් පේන්නෙ නැහැ. මොකද මේක ඇසට පේන්නැති හින්දා.