Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1556 වසරේ දී චීනය සසල කළ භූමිකම්පාව

ලෝකයට බලපාන ස්වභාවික විපත් අතරින් වැඩිම හානියක් සිදුකරන ස්වභාවික විපත්වලට භූමිකම්පා ද අයත්. ලාංකිකයන් වන අපට භූමිකම්පා සම්බන්ධයෙන් වැඩි අත්දැකීමක් නැතත්, චීනය, ජපානය වැනි නැගෙනහිර ආසියානු රටවල ජීවත්වන ජනතාව ඒවාට නිතරම මුහුණ දෙනවා. 

1556 වසරේ ජනවාරි 23 වැනිදා චීනයේ ෂාන්ක්සි (වර්තමානයේ ෂෙන්සි) ප්‍රදේශයේ වැසියන්ටත් එවැනි බිහිසුණු අත්දැකීමකට මුහුණදීමට සිදුවුණා. එදාමෙදාතුර වාර්තා වුණු භූමිකම්පා අතුරින් වැඩිම මිනිසුන් ප්‍රමාණයක් මරණයට පත්වුණු භූමිකම්පාව ලෙසින් සැලකෙන ෂාන්ක්සි භූමිකම්පාව නිසා චීනයේ භූවිෂමතාව පවා වෙනස් වුණා!

භූමිකම්පාවක් ඇතිවන ආකාරය පිළිබඳව කෙටියෙන් 

පෘථිවිය ප්‍රධාන වශයෙන් ස්ථර හතරකට බෙදා වෙන්කෙරෙනවා. ඒවා කබොල, ප්‍රාවරණය, පිටත හරය, සහ අභ්‍යන්තර හරය යන නම්වලින් හඳුන්වනවා. කබොල යනුවෙන් හැඳින්වෙන පෘථිවිය මතුපිට ස්ථරය සහ ඉහළ ප්‍රාවරණය, “භූ තැටි” නමින් හැඳින්වෙන වෙන් වෙන් කොටස්වලින් සමන්විත යි. මෙම භූ තැටි, අර්ධ ඝණ මට්ටමේ පවතින පෘථිවි අභ්‍යන්තරය මත පාවෙමින් තිබෙනවා. භූ තැටි පාවෙමින් පවතින අතරතුර කුඩා ගැටුම් සිදුවනවා. සරලවම, භූමිකම්පා යනුවෙන් හඳුන්වන්නේ භූ තැටි දෙකක් එකිනෙක ගැටීම නිසා හෝ ඇතිල්ලීම නිසා සිදුවන කම්පනය යි. එහි දී භූ තැටි ගැටෙන හෝ ඇතිල්ලෙන ප්‍රබලතාවය වැඩිවන විට භූමිකම්පාව මඟින් සිදුවන විනාශය වැඩි වනවා.

ෂාන්ක්සි භූමිකම්පාව ඇතිවුණු හැටි 

1556 වසරේ ජූනි 23 වැනිදා උදෑසන වන විට චීනයේ ෂාන්ක්සි ප්‍රදේශයේ ජනතාව ඔවුන්ගේ දෛනික වැඩ කටයුතුවල නිරතවෙමින් සිටියා. ඉදිරි හෝරාවේ සිදුවන්නට නියමිත මහා විපත ගැන ඔවුන් දැන සිටියේ නැහැ. එක් වරම ඇතිවුණු විශාල ශබ්දයත් සමගින් පොළව දෙදරන්නට වුණා. ඉන් පසුව කෙටි කාලයක් තුළ පැවති කම්පනය හේතුවෙන් කඳු කඩා වැටී පොළවෙහි අඩි 66ක් පමණ ගැඹුරට විවරයන් ඇති වුණා. ඒ සමගින් ගංගාවල ගමන් මාර්ගය වෙනස් වී විශාල ගංවතුර තත්ත්වයක් නිර්මාණය වුණා. එසේම කඳු නාය යෑම සිදුවුණු අතරතුර දින ගණනාවක් පුරා දැල්වුණු ගිනිදැල් ෂාන්ක්සි ප්‍රදේශයට මහා විනාශයක් කළා. 

මෙම භූමිකම්පාව ඇතිවුණු අවධියේ දී එහි ප්‍රබලත්වය මැන බැලීම සඳහා කම්පනමාන උපකරණ තිබුණේ නැහැ. නමුත් එකල භූ විද්‍යාඥයන් සටහන් කර තිබූ තොරතුරු අනුව, මෙය රිච්ටර් පරිමාණයේ ඒකක 8ක පමණ භූ කම්පනයක් බවට අනුමාන කෙරෙනවා.

භූමිකම්පාව ඇතිවීමෙන් පසුව (historycollection.com)

හානි සිදුවුණු ප්‍රදේශ

මෙම භූමිකම්පාව නිසා සැතපුම් 540ක පමණ ප්‍රමාණයකට දැඩි හානි සිදුවුණා. වැඩිම හානියක් වාර්තා වුණේ ෂාන්ක්සි සහ හෙනන් යන පළාත්වලින්. එම ප්‍රදේශවල ජීවත් වුණු ජනගහනයෙන් 60%ක් පමණ මියගිය බව වාර්තා වුණා. ඊට අමතරව හුබෙයි, ෂැන්ඩොං, ගන්සු, ජියැන්ග්සු, හෙබෙයි, අන්හුයි වැනි පළාත්වලට ද දැඩි හානි සිදුවුණා. 

මෙම භූමිකම්පාවේ බරපතලබව නිසාම චීනයේ භූවිෂමතාවයේ විශාල වෙනසක් සිදුවන ආකාරය දක්නට ලැබුණා. ගංගාවන්හි ගමන් මාර්ග වෙනස් වීම, නව කඳු සහ නිම්න ඇතිවීම වැනි විපර්යාසයන් රැසක් සිදුවුණා.  

මරණ 830,000ක් 

ෂාන්ක්සි භූමිකම්පාව ඇතිවීමට පෙර වැඩිම මිනිසුන් ප්‍රමාණයක් මරණයට පත්වුණේ ක්‍රි.ව 115 දී තුර්කියේ අන්ටක්යා ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවුණු භූ කම්පනයෙන්. රිච්ටර් පරිමාණයේ ඒකක 7.5ක් ලෙසින් සටහන් වුණු එම භූ කම්පනය නිසා ආසන්න වශයෙන් 260,000ක් පමණ මිය ගියා. නමුත් ෂාන්ක්සි භූ කම්පනය නිසා මියගිය ප්‍රමාණය ඊට වඩා තුන් ගුණයකටත් වඩා වැඩි වුණා. එකල තැබූ සටහන්වලට අනුව මියගිය ප්‍රමාණය 830,000ක් ලෙසින් සටහන් වුණා. එය අදටත් භූමිකම්පාවක් නිසා මියගිය වැඩිම මිනිසුන් ප්‍රමාණය බවට පත්ව තිබෙනවා. 

පහත දක්වා තිබෙන්නේ ලෝක ඉතිහාසය තුළ වැඩිම මිනිසුන් ප්‍රමාණයක් මියගිය භූ කම්පන පහ යි.

1) ෂාන්ක්සි (චීනය)- ක්‍රි. ව. 1556 (රිච්ටර් පරිමාණ ඒකක-8)- මරණ 830,000

2) පෝට් ප්‍රින්ස් (හයිටි)- 2010 (රිච්ටර් පරිමාණ ඒකක-7)- මරණ 316,000

3) අන්ටක්යා (තුර්කිය)- ක්‍රි.ව. 115 (රිච්ටර් පරිමාණ ඒකක-7.5)- මරණ 260,000

4) අන්ටක්යා (තුර්කිය)- ක්‍රි.ව. 525 (රිච්ටර් පරිමාණ ඒකක-7)- මරණ 250,000    

5) ටැන්ග්ෂාන් (චීනය)- 1976 (රිච්ටර් පරිමාණ ඒකක-7.5)- මරණ 242,769

හයිටි භූ කම්පනයෙන් පසුව (Wired)

මරණ ප්‍රමාණය වැඩිවීමට හේතුව 

මෙම භූමිකම්පාව නිසා අසාමාන්‍ය මරණ ප්‍රමාණයක් වාර්තා වුණේ ඇයි? ඒ එකල චීන වැසියන් අනුගමනය කළ ජීවන රටාව නිසා බව යි හෙළිවුණේ. 

එදා චීන වැසියන් බහුතරයක් ජීවත් වුණේ මෘදු, සිහින් පසෙන් සාදන ලද යාදොං නමින් හැඳින්වූ නිවාසවල යි. හදිසියේම ඇති වුණු  භූ කම්පනය නිසා යාදොං නිවාස කඩා වැටී, නිවැසියන් පස්වලට යට වුණා. එම නිසා මරණ ප්‍රමාණය අසාමාන්‍ය ලෙස ඉහළ ගියා. එසේම අධික ගංවතුර තත්ත්වය සහ නායාම් හේතුවෙන් තවත් විශාල පිරිසක් මරණයට පත්වුණා. 

යාදොං නිවාස (historycollection.com)

විනාශ වුණේ ජීවිත පමණක්ම නොවෙයි  

ෂාන්ක්සි භූමිකම්පාව නිසා මිනිස් ජීවිත අහිමි වුණා සේම විශාල සංස්කෘතිකමය හානියක් ද සිදුවුණා. ෂාන්ක්සි ප්‍රදේශය තුළ 8 වන සියවසේ දී පමණ ඉදිවුණු චෛත්‍යයක උඩු මහළ විනාශයට පත් වුණා. එසේම පැරණි කෞතුකාගාරයකට දැඩි ලෙස හානි සිදුවී තිබුණා. එම කෞතුකාගාරය තුළ සියවස් ගණනාවක සිට එකතු කර තිබුණු වානේ සහ ගල් කැටයම් භාණ්ඩ එකතුවක් දක්නට ලැබුණා. ඒවායෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මෙම භූමිකම්පාව නිසා විනාශ වුණා. එලෙස විනාශ වුණු කෞතුක භාණ්ඩ අතුරින් වඩාත්ම වැදගත් වුණේ 9 වන සියවසේ විසූ චීන අධිරාජ්‍යයෙකුගේ නියෝගය මත නිර්මාණය කරන ලද චීන සම්භාව්‍ය කෘතිවලින් සමන්විත වුණු ගල් පුවරු 40 යි.  

ස්ටෙලේ ෆොරස්ට් කෞතුකාගාරය (China Tour Guide)

චීන ඉතිහාසය තුළ වාර්තා වුණු දරුණුම ස්වභාවික විපත් අතුරින් එකක් 

ෂාන්ක්සි භූ කම්පනය චීන ඉතිහාසය තුළ වාර්තා වුණු දරුණුතම ස්වභාවික විපත් තුන අතුරින් එකක්. එදාමෙදාතුර චීනයට බලපෑම් කළ විශාලතම ස්වභාවික ව්‍යසනය වුණේ 1931 වසරේ දී වාර්තා වුණු ගංවතුර තත්ත්වය යි. එම ගංවතුර තත්ත්වය නිසා ලක්ෂ 30-40 අතර ජීවිත ප්‍රමාණයක් අහිමි වුණා. එසේම 1887 වසරේ දී චීනයේ කහ නදිය පිටාර ගැලීම නිසා ලක්ෂ 9-20 අතර ජීවිත ප්‍රමාණයක් අහිමි වුණා. එම ස්වභාවික විපත් දෙකට පසුව චීනයට වැඩිම හානියක් සිදුවුණේ ෂාන්ක්සි භූමිකම්පාව නිසා යි. එදා ෂාන්ක්සි භූමිකම්පාව මඟින් සිදුකළ විනාශය නිසා අදටත් එය චීන ඉතිහාසයේ අඳුරු මතකයන් අතර රැඳී පවතිනවා.

කහ නදිය (Britannica)

කවරයේ ඡායාරූපය- ෂාන්ක්සි භූමිකම්පාව නිසා සිදුවුණු විනාශය දැක්වෙන සිතුවමක් (Live Science) 

මූලාශ්‍රයයන්- historycollection.com
                           Ourworldindata.org 

Related Articles