Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යළිත් වැරදුණු අමෙරිකා ජනපති ඝාතන තැත් කිහිපයක්

‘ලෝක පොලිස්කාරයා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අමෙරිකා එක්සත් ජනපදයේ ජනපති පදවිය ලබන්නකුට ලැබෙන බලය අසීමිත එකක් ලෙස සැලකෙනවා. වසර දෙසියයකටත් වඩා අතීතයකට දිවෙන අමෙරිකා ජනපති පදවියේ ඉතිහාසය පිරික්සා බැලීමේ දී වැටහී යන කාරණාව වන්නේ එය හොබවන පුද්ගලයාට පෙනෙන තරම් නිදහසක් හෝ ආරක්ෂාවක් සපයන්නක් නොවන බව යි. 40 කට අධික අමෙරිකා හිටපු ජනපතිවරුන් අතරින් සිව් දෙනෙක් ඝාතනයට ලක් වී තිබෙනවා. 

ඒබ්‍රහම් ලින්කන් (1865), ජේම්ස් ගාෆීල්ඩ් (1881), විලියම් මැකෙන්ලි (1901) සහ ජෝන් එෆ්. කෙනඩි (1963) මේ සිව්දෙනා යි. තවත් ජනපතිවරුන් කිහිපදෙනෙක් ම ඝාතන ප්‍රයත්නවලට මුහුණ දී තිබෙනවා. ඒත් සිය ජීවිතය රැක ගැනීමට තරම් වාසනාවන්ත වී තිබෙනවා. පසුගිය ලිපියකින් අප ඔබ වෙත මෙවැනිම අසාර්ථක වූ ඇමෙරිකානු ජනපති ඝාතන ප්‍රයත්න කිහිපයක් ඔබ වෙත ගෙන ආවා. එම ලිපිය මෙතැනින් කියවන්න. 

 මේ ලිපියත් එලෙස ම අසාර්ථක වූ ඇමෙරිකානු ජනපති ඝාතන ප්‍රයත්න කිහිපයක් පිළිබඳව යි.

මානසික ආබාධයකින් පෙළෙන්නකුට ඉලක්ක වූ ඇන්ඩෲ ජැක්සන් – History.com 

 

මානසික ආබාධයකින් පෙළෙන්නකුට ඉලක්ක වූ ඇන්ඩෲ ජැක්සන්

1835 වසරේ ජනවාරි මස 30 වැනි දින, එවකට අමෙරිකා ජනපති ව සිටි ඇන්ඩෲ ජැක්සන් ඝාතනය කිරීමේ ප්‍රයත්නයක් සිදුවෙනවා. වොෂිංටන් නුවර දී සිදු වූ මෙම වෙඩි තැබීම සිදු කළේ නිවෙස් පින්තාරු කරන්නෙක් වන රිචඩ් ලෝරන්ස් නම් තැනැත්තා යි. 

පිස්තෝල දෙකක් භාවිත කරමින් ඔහු ජනපතිවරයා වෙත වෙඩි තබන මුත් එම වෙඩි දෙක ම නිසි ඉලක්කයට ඇදී යන්නේ නැහැ. කිසිදු තුවාලයක් නොමැති ව දිවි බේරා ගන්නට ජැක්සන් ජනපතිවරයා සමත් වෙනවා. වහාම ක්‍රියාත්මක වන ජනපතිවරයා, ලෝරන්ස්, නැවතත් ඔහු වෙඩි තබන්නට පෙර තමන් අත තිබූ වේවැලෙන් ඔහුට පහර දෙන්නේ පිස්තෝල විසි වන පරිදි යි. වහා ම රිචඩ් ලෝරන්ස් පොලිස් භාරයට ගැනුණු අතර, එහිදී හෙළිවන්නේ ඔහු මානසික ආබාධයකින් පෙළෙන අයෙක් බව යි. මානසික රෝහලකට යොමු කළ ලෝරන්ස් 1861 වසරේ දී  මිය යනවා.

කඩදාසි මිටියක් නිසා බේරුණු තියඩෝර් රූස්වෙල්ට් – Hulton Archive/Getty Images

 

කඩදාසි මිටියක් නිසා බේරුණු තියඩෝර් රූස්වෙල්ට්

තියඩෝර් රූස්වෙල්ට් සැලකෙන්නේ අමෙරිකා එක්සත් ජනපදය   කීර්තිමත් ම ජනපතිවරයෙක් ලෙස යි. ඔහුට ද දේශපාලනික සතුරන් සිටියා. 1912 වසරේ ඔක්තෝබර් මස 13 වැනි දා ඔහු ඝාතන ප්‍රයත්නයකට මුහුණ පානවා. මිල්වෝකි හී දී මිනිසුන් අමතා කතාවක් කරමින් සිටිය දී ජෝන් එෆ්. ශ්‍රෑන්ක් යන අය ඉදිරියට පැමිණ ඔහු වෙත වෙඩි තබනවා. කෙසේ නමුත්, ජනපතිවරයාගේ පපු පෙදෙස ඉලක්ක කර ගනිමින් එල්ල කළ උණ්ඩයේ සැර, ඔහු කබා සාක්කුවක රුවාගෙන සිටි කඩදාසි මිටියක් නිසා බාල වන අතර, ඔහුගේ ශරීරයට එය ඇතුළු වන්නේ අවම හානියක් සිදුකරමිනු යි.

ශ්‍රෑන්ක් වහාම අත්අඩංගුවට ගැනුණු අතර, එහිදී හෙළි වූයේ ඔහු උන්මත්තක භාවයකින් පෙළෙන බව හා, කිසිදු දේශපාලන කුමන්ත්‍රණයක් නිසා ඒ වෙඩි තැබීම සිදුව නැති බව යි. ජනපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් අවුල් සහගත මට්ටමකට නොපැමිණීම නිසා, එකල තාක්ෂණයට අනුව අවදානමක් නොගෙන උණ්ඩය එලෙසම ඔහුගේ සිරුරෙහි පවතින්නට හරිනවා. එය ඔහු 1919 වසරේ මිය යන තුරු ම ඔහුගේ ශරීරය තුළ පැවතුණා.

ජනපති ලෙස දිවුරුම් දෙන්නටත් පෙර ඝාතන තැතකට කොටු වූ ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් – owlcation.com 

 

ජනපති ලෙස දිවුරුම් දෙන්නටත් පෙර ඝාතන තැතකට කොටු වූ ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්

ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් ජනපති සැලකෙන්නේ අමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ දෙවරකට වඩා තේරී පත් වූ එකම ජනපති ලෙස යි. 1930 දශකයේ මුල් භාගයේ අමෙරිකාව මුහුණ දුන් දරුණු ආර්ථික අවපාතය නිසා මෙන් ම, එම දශකයේ අග භාගයේ හා 40 දශකයේ මුල් භාගයේ ඇති වුණු දෙවන ලෝක යුද්ධය නිසා මෙලෙස අමෙරිකානුවන් ඔහු ම තෝරා පත් කර ගත්තා. කෙසේ නමුත් ඔහු එක් වරක් හෝ අමෙරිකානු ජනපති ලෙස කටයුතු නොකරන්නට ඉඩ තිබුණා. ඒ 1933 වසරේ පෙබරවාරි මස 15 වැනි දා ඔහුට එරෙහි ව සිදු කළ ඝාතන ප්‍රයත්නය සාර්ථක වූවානම් ඔහු කිසිදු දිනෙක අමෙරිකානු ජනපති ලෙස වැඩ භාර නොගන්නා නිසා යි.

1933 වසරේ පෙබරවාරි මස වන විට ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් අමෙරිකානු ජනපති ලෙස තේරී පත් වී තිබුණ ද, තනතුරෙහි වැඩ භාරගෙන තිබුණේ නැහැ. මියාමි හී කතාවක් සිදුකරමින් සිටින විට, නිවාස ඉදිකරන්නෙක් වූ ගුසෙප්පෙ සැන්ගාරා ඔහුට වෙඩි තබනවා. ඔහු වෙඩි 5 ක් තබන අතර මින් චිකාගෝ නගරාධිපති ඇන්ටන් සර්මාක් මිය යනවා. එමෙන් ම තවත් සිව්දෙනෙක් තුවාල ලබනවා. කෙසේ නමුත් එකදු උණ්ඩයක් හෝ ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට්ට වදින්නේ නැහැ. නඩු විභාගයේදී සින්ගාරා පැවසුවේ තමන්ට ධනවාදීන් පිළිබඳ ව බද්ධ වෛරයක් ඇති බව යි. 

සින්ගාරා කෙටි නඩු විභාගයකින් පසු ජනපති ඝාතන තැත සඳහා වැරදිකරු වූ අතර, 1933 වසරේ මාර්තු මස 20 වැනි දා ඔහුට එරෙහි මරණ දඬුවම ක්‍රියාත්මක කෙරෙනවා.

එක ම මාසයේ දෙවරක් මරණයෙන් බේරුණු ජෙරල්ඩ් ෆෝඩ් – toledoblade.com 

 

එක ම මාසයේ දෙවරක් මරණයෙන් බේරුණු ජෙරල්ඩ් ෆෝඩ් 

ජෙරල්ඩ් ෆෝඩ් අමෙරිකා එක්සත් ජනපදයේ ජනපති බවට පත් වූ ඉතා වාසනාවන්ත පුද්ගලයෙක් ලෙසට සැලකෙනවා. ඔහු එක ම වසරක එක ම මාසයක් තුළ ඝාතන ප්‍රයත්න දෙකකින් ම දිවි ගලවා ගත්තේ කිසිදු සීරුමකින්වත් තොරව යි. එලෙස දිවි ගලවා ගත්තා පමණක් නොව, වසර 90 කටත් වඩා වැඩි කාලයක් ආයුෂ විඳින්නට ඔහුට හැකි වුණා. මෙම ප්‍රයත්න දෙකම කාන්තාවන් දෙදෙනකු සිදු කර තිබීමත් විශේෂිත යි.

ෆෝඩ්, 1975 වසරේ සැප්තැම්බර් මස 5 වැනි දා සැක්‍රමැන්ටෝ හි දේශනයක් පවත්වමින් සිටියා. ජනතාව අතරින් මතු වූ ලිනට් ෆ්‍රෝම් නම් කාන්තාවක් පිස්තෝලයක් ඉවතට ඇද ඔහුට එක්වරම වෙඩි තැබුවා. කෙසේ නමුත් ඇගේ වරදක් නිසා එය නිසියාකාර ව ක්‍රියාත්මක නොවූ අතර, ෆෝඩ් ඉක්මනින් ආරක්ෂිත ස්ථානයකට ගෙන යන්නට ආරක්ෂකයන් ක්‍රියා කළා. ලිනට් අමෙරිකානු ඝාතකයෙක් වන චාල්ස් මැන්සන්ගේ සමීපතමයෙක්. ෆෝඩ්ට මේ සිද්ධියෙන් කිසිදු හානියක් නොවුණු අතර, ලිනට් සිපිරිගෙදරට නියම වුණා.

1975 වසරේ සැප්තැම්බර් මස 22 වැනි දා, එනම් කලින් වෙඩි තැබීමට දින 17 කට පසු, එවැනි ම අත්දැකීමකට නැවත මුහුණ දෙන්නට ජනපති ෆෝඩ්ට සිදුවුණා. මෙවර ඔහුට එම අත්දැකීමට මුහුණ දෙන්නට වූයේ සැන් ෆ්‍රැන්සිස්කෝ හී දී යි. සාරා ජේන් නම් කාන්තාව පිස්තෝලයකින් ඔහුට වෙඩි තබන්නට උත්සාහ කළ ද, අසල සිටි අයෙක් ඇයගේ අතට පහර දීම නිසා ඉලක්කය වැරදී ගියා. මෙවරත් ජනපති ෆෝඩ් කිසිදු තුවාලයක් නොලබා දිවි බේරා ගත් අතර, සාරා ජීවිතාන්තය දක්වා සිර ගෙට නියම වුණා.

කවරයේ ඡායාරූපය - ෆ්‍රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් ජාතිය අමතමින්- AP 

මූලාශ්‍ර:

History.com

Timelines.latimes.com

Listverse.com

Related Articles