Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1977 මහ මැතිවරණයේ දී පරාජය වුණු වමේ ප්‍රබලයන්

1977 මහ මැතිවරණය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය උඩු යටිකුරු කළ මැතිවරණයක් බවට පත්වුණේ එක්සත් ජාතික පක්ෂය ආසන 168න් 140ක්ම ජයග්‍රහණය කරමින් 5/6ක බලයක් යටතේ ආණ්ඩුවක් පිහිටුවීම නිසා යි. එදා එක්සත් ජාතික පක්ෂය ලද එම ජයග්‍රහණයත් සමගින් එවකට බලයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම වාමාංශික පක්ෂ වුණු ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය ලැබුවේ කිසිවෙකුත් නොසිතූ ආකාරයේ අන්ත පරාජයක්. එලෙස වාමාංශික පක්ෂ එදා ලැබූ පරාජයත් සමගම එතෙක් ශ්‍රී ලංකා දේශපාලනයේ කැපී පෙණෙන භූමිකාවක් නිරූපනය කළ වමේ පක්ෂ දේශපාලන බිමෙන් අතුගෑවී ගිය නිසාම මෙම ලිපිය වෙන්වන්නේ දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමෙන් අනතුරුව 1977 මැතිවරණයේ දී පරාජය වුණු  වාමාංශික පක්ෂවල ප්‍රබල දේශපාලඥයන් පිළිබඳව තොරතුරු ඔබවෙත ඉදිරිපත් කිරීමට යි.

එන්. එම්. පෙරේරා- ලංකා සමසමාජ පක්ෂය

1947 වසරේ සිට 1977 දක්වා පැවති සෑම මහ මැතිවරණයකින්ම ජයග්‍රහණය කළ NM පෙරේරා එම කාල සමය තුළ ශ්‍රී ලංකා දේශපාලන බිමේ ප්‍රබල චරිතයක් බවට පත්ව සිටියා.එහිදී 1947 වසරේ සිට 1956 දක්වා පැවති මහ මැතිවරණ තුනේදීම රුවන්වැල්ල ආසනය ජයග්‍රහණය කළ NM පෙරේරා 1960 වසරේ සිට 1970 වසර දක්වා පැවති සෑම මහ  මැතිවරණයකදීම යටියන්තොට ආසනය ජයග්‍රහණය කළේ සර් ජෝන් කොතලාවලගේ සොහොයුරෙකු වුණු ජෝර්ජ් කොතලාවල සමග තරග වදිමින්.එලෙස ශ්‍රී ලංකා දේශපාලනයේ පතාක යෝධයෙකු බවට පත්ව සිටි NM පෙරේරා 1977 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වුණු වින්සන්ට් පෙරේරා හමුවේ පරාජය වුණේ ඡන්ද 2517කින්

NM පෙරේරා (Dailymirror.lk)

කොල්වින්  ආර් ද සිල්වා – ලංකා සමසමාජ පක්ෂය

1947 වසරේ සිට 1956 වසර දක්වා පැවති මහ මැතිවරණ තුනේ දී වැල්ලවත්ත-ගල්කිස්ස ආසනය නියෝජනය කළ කොල්වින් ඒ අතුරින් 1947 සහ 1956 මැතිවරණවල දී ඔහුගේ ආසනය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඉන් අනතුරුව 1959 වසරේ දී වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම මඟින් කරන ලද සීමා නිර්ණයට අනුව වැල්ලවත්ත-ගල්කිස්ස ආසනය දෙහිවල-ගල්කිස්ස ලෙස වෙනස් වුණු අතර පසුව 1960-1965 කාලය තුළ පැවති මැතිවරණවල දී එම ආසනයට තරග කළ කොල්වින්ට ඉන් ජයග්‍රහණය කිරීමට හැකිවුණේ 1960 ජූලි මැතිවරණයේ දී පමණයි. එම නිසාම 1967 වසරේ අගලවත්ත ආසනය සඳහා පැවති අතුරු මැතිවරණය සඳහා තරග කළ කොල්වින් එහිදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වුණු ඩේවිඩ් අප්පුහාමිව පරදවා වැඩි ඡන්ද 343කින් ආසනය ජයගැනීමට සමත් වුණා. එසේම ඔහු 1970 වසරේ පැවති මහ මැතිවරණයේ දී ද අගලවත්ත ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියා. එලෙස අවස්ථා කිහිපයක්ම පාර්ලිමේන්තුව නියෝජනය කළ කොල්වින් ආර් ද සිල්වා 1977 මහ මැතිවරණයේ දී අගලවත්ත ආසනයට තරග කර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක මෙරිල් කාරියවසම් හමුවේ පරාජය වුණේ ඡන්ද 11376කින්.

කොල්වින් ආර් ද සිල්වා පාර්ලිමේන්තුව අමතමින් (Daily Ft)

චම්ලි ගුණවර්ධන – ලංකා සමසමාජ පක්ෂය

1947 වසරේ  සිට 1970 වසර දක්වා පැවති සෑම මහ මැතිවරණයකදීම කළුතර ආසනය නියෝජනය කළ චම්ලි එහිදී ආසනය ජයග්‍රහණය කිරීමට අපොහොසත් වුණේ 1952 මහ මැතිවරණයේදී පමණ යි. එවර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වුණු ඇන්ඩෘ කුරේ හමුවේ චම්ලි ඡන්ද 332කින් පරාජය වුණත්, ඔහු 1970 වන විට මහ මැතිවරණ 6කින්ම කළුතර ආසනය ජයග්‍රහණය කර තිබුණා. නමුත් එවැනි ප්‍රබල දේශපාලනඥයකු වුණු චම්ලි ගුණවර්ධන ද 1977 මහ මැතිවරණයේ දී අන්ත පරාජයක් ලැබූ අතර එහිදී ඔහු ආසනයේ 3වන තැනට ඇද වැටුණේ එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ට පිටුපසින් සිටිමින්.

ලෙස්ලි ගුණවර්ධන – ලංකා සමසමාජ පක්ෂය

1952 වසරේ පැවති මහ මැතිවරණයේ දී මුල්ම වරට උතුරු කොළඹ ආසනය සඳහා තරග වැදුණු ලෙස්ලි එහිදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සිරිල් පෙරේරා හමුවේ ඡන්ද 3494කින් පරාජයට පත්වුණා. අනතුරුව 1956 වසරේ සිට 1970 වසර දක්වා පැවති මහ මැතිවරණ 5කදීම පානදුර ආසනය නියෝජනය කළ ලෙස්ලි එම මැතිවරණ සියල්ලන්ගෙන්ම ජය ලැබීමට සමත් වුණා. නමුත් 1977 වසරේ පැවති මහ මැතිවරණයේ දී ඔහු එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක නෙවිල් ප්‍රනාන්දු හමුවේ පරාජය ලැබුවේ ඡන්ද 11131කින්.

අනිල්  මුණසිංහ – ලංකා සමසමාජ පක්ෂය

1956 වසරේ සිට 1965 වසර දක්වා පැවති මහ මැතිවරණ 4කදී ම අගලවත්ත ආසනය නියෝජනය කරමින් ඡන්ද සටනට පිවිසි අනිල් මුණසිංහ එම සෑම මැතිවරණයක්ම ජයග්‍රහණය කිරීමට සමත් වුණා. නමුත් 1965 වසරේ දී අනිල් ලබාගත් ජයග්‍රහණයට එරෙහිව ඉදිරිපත් වුණු ඡන්ද පෙත්සම නිසා 1967 වසරේ දී ඔහුට මන්ත්‍රී ධූරය අහිමි වුණා පමණක් නොව 1970 මහ මැතිවරණයට තරග කිරීමේ අවස්ථාව ද අහිමි වුණා. නමුත් 1977 වසරේ පැවති මහ මැතිවරණයේ දී නැවතත් මතුගම අසුනින් ඡන්ද බිමට පිවිසි අනිල් මුණසිංහ එවර අන්ත පරාජයක් ලබාගත්තේ ආසනයේ තෙවන ස්ථානය ලබාගනිමින්. එදා අනිල් මුණසිංහ එසේ පරාජය ලැබුවත් නැවතත් 1989 සහ 1994 මහ මැතිවරණවල දී කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඔහුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට හැකිවුණේ පසුකලෙක ඔහුට  ජනතාවගේ ආකර්ෂණය නැවතත් දිනා ගැනීමට හැකිවුණු නිසා යි.

පීටර් කේනමන් – කොමියුනිස්ට් පක්ෂය

1947 වසරේ සිට 1970 දක්වා පැවති සෑම මැතිවරණයක දී ම මැද කොළඹ ආසනය නියෝජනය කළ පීටර් කේනමන් ඒ සෑම අවස්ථාවක දී ම පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් ලැබුවේ ඔහු ජනතා ආකර්ෂණය නොඅඩුව ලබාසිටි නිසා යි. නමුත් අඛණ්ඩව වසර 30ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ කේනමන් 1977 වසරේ මහ මැතිවරණයේ දී අන්ත පරාජයක් ලැබුවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු පත් කරන ආසනයක් වුණු මැද කොළඹ ආසනයේ 5වන ස්ථානය දිනා ගනිමින්.

පීටර් කේනමන් (pinterest)

එස්. ඒ. වික්‍රමසිංහ – කොමියුනිස්ට් පක්ෂය

1947 මහ මැතිවරණයෙන් මැද කොළඹ ආසනයේ දෙවන මන්ත්‍රීවරයා ලෙස පත්වුණු එක්සත් ජාතික පක්ෂයේ ටී.බී ජයා, 1950 වසරේ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී පකිස්තානු මහ කොමසාරිස්වරයා ලෙස පත්වුණු නිසා පුරප්පාඩු වුණු මන්ත්‍රී ධූරය සඳහා තරග වැදුනෙකුයි එස්. ඒ. වික්‍රමසිංහ. ඒ සඳහා 1950 වසරේ පැවති අතුරු මැතිවරණයට තරග වැදුණු ඔහු ඉන් පරාජය ලැබීමෙන් අනතුරුව 1952 මහ මැතිවරණයේ දී හක්මන ආසනය සඳහා තරග කර නැවතත් පරාජය ලැබුවා. නමුත් අනතුරුව 1956 වසරේ සිට 1970 දක්වා පැවති සෑම මහ මැතිවරණයක දී ම අකුරැස්ස ආසනය ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි එස්. ඒ. වික්‍රමසිංහ 1977 මහමැතිවරණයේ දී ඔහුගේම ඥාති පුත්‍රයෙකු වුණු එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක දයානන්ද වික්‍රමසිංහ හමුවේ පරාජය ලැබුවේ ඡන්ද 9303කින්.

1977 වසරේ ලද එම දරුණු පරාජයත් සමග ලංකාවේ වාමාංශික පක්ෂවල පසුබැසීම ආරම්භ වුණු අතර පසුකලෙක එවකට ජනාධිපති ජේ.ආර් ජයවර්ධන විසින් එම පක්ෂ මර්දනය කිරීම නිසා එම පක්ෂ අවසානයේ දී ක්ෂය වී ගොස් වර්තමානයේ පවතින තත්ත්වයට පත්ව තිබෙනවා.

කවරයේ ඡායාරූපය-NM පෙරේරා ජනාධිපති JR ජයවර්ධන සමග (counterpoint.lk)

මූලාශ්‍රයයන්:

මැතිවරණ ප්‍රතිඵල 1947-1977 ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව

Related Articles