Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජොන්බෙනේ රැම්සි ඝාතනය කළේ කවුද?

ආර්ථික අතින් සවිමත්ව සිටිය ද, ආරක්ෂාව අතින් ලොව ඉහළ ස්ථානයක වැජඹුණ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙනුත් විටින් විට අපරාධයන් වාර්තා වෙනවා. 1996 වසරේ දී වාර්තා වූ ‘ජොන්බෙනේ රැම්සි’ සිද්ධියත් එවැන්නක්. සිද්ධිය සිදුවීමෙන් අනතුරුව කලක් ගතවන තුරු එය ඇමෙරිකානු මාධ්‍යය නිතරම කතා කළ ප්‍රමුඛතම පුවතක් වූ අතර, ඉතා යුහුසුළුව පොලිස් පර්යේෂණ කටයුතු ද සිදුවුණා. කෙසේ නමුත් අද වන තුරුත් ඇගේ ඝාතකයන් පිළිබඳව නිසි ලෙස අනාවරණය කරගන්නට කිසිවෙකුත් සමත්ව නැහැ.

සිද්ධිය සැකෙවින්

ජොන්බෙනේ රැම්සි- smh.com.au

ජොන්බෙනේ රැම්සි උපත ලැබුවේ 1990 වසරේ අගෝස්තු මස 6 වන දා ඇමෙරිකා එක්සත් ජනපදයේ, ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලන්ටාහි දී යි. ඇයගේ දෙමාපියන් ධනවත් අය වූ අතර, 1996 වසරේ දෙසැම්බර් මස 26 වන දා ඇය කොලරාඩෝ ප්‍රාන්තයේ, බෝල්ඩර්හි පිහිටි සිය නිවසේදී ඝාතනය වනවා. මේ සිද්ධිය වසර ගණනාවක් තිස්සේ සාර්ථක ප්‍රතිඵල නොලබමින් ඇමෙරිකානු පොලිසිය විසින් මුල සිට අගටත්, අග සිට මුලටත් පර්යේෂණ පැවැත්වූ එකක්. විශේෂයෙන් කිහිප විටෙක දීම මෙය විසඳීමට ඉතා ආසන්න බැව් පෙනී ගියත් පසුකාලීනව නැවතත් පරීක්ෂණ පළමු අඩියටම ඇදවැටුණා. මේ නිසා සිද්ධිය සිදුවී වසර 23කට ආසන්න කාලයක් ගත වී තිබුණත් එහි වාර්තා අදටත් පවතින්නේ ඇමෙරිකානු පොලිසියේ ‘නොවිසඳුණු’ ලේබලය සහිත ලිපිගොනුවක් තුළ යි.

අකාලයේ මුකුලිත කළ මල

ජොන්බෙනේ පැට්‍රීෂියා රැම්සි උප්පතිය ලැබුවේ ධනවත් ව්‍යාපාරිකයෙකු වූ ජෝන් බෙනට් රැම්සිට දාව පැට්‍රීෂියා රැම්සිට යි. දරුවන් දෙදෙනෙකුගෙන් යුක්ත පවුලක කණිටු දරුවා ලෙස උපත ලැබූ ඇයට බෘක් නම් වැඩිමහල් සොයුරෙක් වුණා. දෙමාපියන් ඇයට නම තබා තිබුණේ සිය නාමයන් ද්විත්වයම එක්කාසු කොටගෙන යි.

ජොන්බෙනේ රැම්සි ගේ දෙමව්පියන්- Erik S. Lesser/Getty Images

ඉතා සුරූපී හා ක්‍රියාශීලී බිළිඳියක වූ ජොන්බෙනේ කුඩා කළ පටන්ම ‘තරුවක් වන ලකුණු පෙන්නුම් කළා. පැරණි රූපසුන්දරියක වූ ඇගේ මවගේ අඩිපාරේ තමනුත් යන බැව් ප්‍රකට කළ ඇය හට රන්වන් පැහැ කෙස් කළඹකුත් ආකර්ෂණීය සිනහවකුත් පිහිටා තිබුණා. බිලියනපතියෙකු වූ ඇගේ පියා සිය දියණිය වෙනුවෙන් නොමසුරුව වියහියදම් කළ අතර, ජොන්බෙනේ මවත් සමග එක්ව කුඩා දරුවන් සඳහා වූ ‘රූපසුන්දරිය’ තරග කිහිපයකටම ඉදිරිපත් වූ අතර, ඇය ඉන් ජයග්‍රහණයන් රාශියක් අත්පත් කරගත්තා. මේ හේතුව නිසා සය හැවිරිදි වන විට ඇය ඇමෙරිකා එක්සත් ජනපදය පුරා ජනයාගේ අවධානය තමන් වෙත යොමු කරවාගත් ‘සුපිරි තරුවක්’ බවට පත්ව තිබුණා. කම්කටොළු යන්න කුමක් ද වත් නොහැඟෙන අන්දමින් ඇගේ පියා ඇය පෝෂණය කළේ දහසින් බැඳි පියළි රිසි සේ විසි කරමිනුයි. කෙසේ නමුත් 1996 වසරේ නත්තල් දිනට පසුදින මේ සියළු දේ උඩු යටිකුරු වුණා.

ඛේදජනක සිදුවීමක්

1996 වසරේ දෙසැම්බර් මස 26 වන දා උදෑසන හදිසියේම ජොන්බෙනේ නිවසේ නොමැති බැව් ඇගේ මවට පෙනී යනවා. ඇය සොයන අතරතුර ඇයට කප්පම් ඉල්ලා ලියන ලද සටහනක් හමුවනවා. එහි සඳහන් වූයේ දැරිය නැවත නිරුපද්‍රිතව ලබාදීමට නම් තමන්ට ඇමෙරිකානු ඩොලට් 118,000ක කප්පම් මුදලක් ලබාදිය යුතු බව යි. මෙය ජෝන් බෙනට් හට ඒ තදාසන්නව තම ව්‍යාපාරවලින් ලැබුණු ලාභයට හරියටම සමාන මුදල් ප්‍රමණයක් වීම සුවිශේෂී වුණා. පැට්‍රීෂියා වහාම මේ පිළිබඳ පොලිසිය දැනුවත් කළ අතර එහිදී සිදුකළ පරීක්ෂණවල දී නිවසට කිසිවෙකු බලෙන් ඇතුළු වූ බවට කිසිදු සාක්ෂියක් හමුවූයේ නැහැ. මින් පැය 8කට පසු නිවසේ බිම් මහලෙහි තිබී ජොන්බෙනේගේ නිසල දේහය හමුවන අතර, ඇගේ අත් පා බැඳ ලිංගික අඩන්තේට්ටම්වලට ද ලක් කළ සෙයක් දිස් වුණා. කෑගැසිය නොහැකි වන ලෙස ඇගේ මුව වැසෙන පරිදි ටේප් පටියක් අලවා තිබුණා. ඇගේ හිස්කබලේ ද පිපුරුමක් තිබුණා.

ජොන්බෙනේ රැම්සි ගේ සොහොන් කොත- Youtube

අයාලේ ගිය පර්යේෂණ

ජොන්බෙනේ රැම්සිගේ මරණය සැලවීමත් සමග ඇමෙරිකානු පොලිසිය හා මාධ්‍යය ඒ පිළිබඳව ඉතා දැඩි ලෙස උනන්දු වූයේ ඒක් අතෙකින් ඇය සය වියැති කුඩා දරුවෙකු වීම මෙන්ම අනෙක් අතින් ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ පුද්ගලයෙකු බවට පත් වෙමින් සිටි නිසා යි. කෙසේ නමුත් යුහුසුළු බව මධ්‍යයේ ඉතා බරපතල ‘අත්වැරදීම්’ රැසක් පොලිසිය අතින් සිදුවී තිබුණා. විශෙෂයෙන් ජෝන් රැම්සි හට දැරියගේ සිරුර අදාල ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය විසින් අවසර ලබා දී තිබුණේ නිසි ලෙස ඒ අවට පරීක්ෂා කිරීමටත් පෙර යි. එමෙන්ම රැම්සි යුවල වෙන් වෙන්ව තබා ප්‍රශ්න කිරීම ද පොලිසිය විසින් සිදුකර තිබුණේ නැහැ. මේ අතර මාධ්‍ය විසින් ප්‍රකාශ කරන්නට යෙදුණේ දැරියගේ අතුරුදන්වීමෙන් පසු පොලිසිය එන තුරු රැම්සි යුවල සුවසේ නිදා සිට ඇති බව යි. එමෙන්ම කප්පම් ඉල්ලා ලියා තිබූ ලිපිය නිවස තුළ දීම ලියූ එකක් බවට පරීක්ෂණ හරහා පෙනීගිය බැවින් ජොන්බෙනේගේ ඝාතනය පිළිබඳව ඇගේ දෙමව්පියන් දෙසට ඇඟිලි දිගුවන්නට පටන්ගත්තා.

බොහෝ දෙනෙකුගෙන් ප්‍රශ්නකිරීම් කළත්, ජොන්බෙනේ ඝාතනයෙන් වසර කිහිපයක් ගතවන තුරු ඇගේ ඝාතනය පිළිබඳ කිසිවෙකුට එරෙහිව චෝදනා ගොනුවූයේ නැහැ. කෙසේ නමුත් ඇගේ දෙමව්පියන් පිළිබඳව සැකය වඩාත් තීව්‍ර වන කරුණු කිහිපයක් නම් ඉවතට පැමිණියා. විශේෂයෙන් පොලිස් පරීක්ෂණවල දී විටින් විට පැට්‍රීෂියා ලබා දුන් කට උත්තරවල වෙනස්කම් තිබූ අතර ජොන්බෙනේගේ නිසල දේහයේ තිබී එදින පැට්‍රීෂියා හැඳ සිටි ඇඳුම්වල කෙඳි හමුවුණා. මේ හේතු නිසා 1999 වසරේ දී අධිකරණය හමුවේ ජෝන් හා පැට්‍රීෂියා හට පෙනී සිටින්නට වූ අතර, ජූරිය විසින් ඔවුන් වරදකරුවන් කළත්, විනිසුරු ඔවුනට දඬුවම් නියම නොකළේ සාක්ෂි මඳ බැව් හුවා දක්වමින්. මින් ටික කාලයකට පසු පැට්‍රීෂියා ඩිම්බකෝෂ පිළිකාවක් හේතුවෙන් මියයනවා. 

බෲක් රැම්සි- Dr. Phil/Peteski Productions

2006 වසරේ දී ජෝන් මාක් කාර් නම් තැනැත්තෙක් තමන් ජොන්බෙනේ රැම්සි ඝාතනය කළ බවට ‘පාපොච්ඡාරණය’ කරනවා. කෙසේ නමුත් ඔහුගේ ප්‍රකාශවලින් සෑහීමකට පත් නොවූ බලධාරීන් ඔහු අරබයා ඩී.එන්.ඒ පරීක්ෂණයක් කරනවා. එහිදී අනාවරණය වන්නේ ජොන්බෙනේ ඝාතනයකට ඔහුගේ සම්බන්ධයක් නොමැති බව යි. මේ කාලයේ දීම ඩී.එන්.ඒ පරීක්ෂණයකින් ජොන්බෙනේ ඝාතනයට ඇගේ දෙමාපියන්ගේ සම්බන්ධයක් නොමැති බවත් නිශ්චිතවම ඔප්පු වනවා. මුල දී ඇගේ ශරීරයේ තිබී හමු වූ සාම්පලවල අඩංගු වී ඇත්තේ ආගන්තුක පිරිමි අයෙකුගේ ඩී. එන්. ඒ බැව් පැවසුණත් 2016 වසරේ දී නැවතත් කියැවෙන්නේ වාර්තාවල ගැටළුකාරී තැන් ඇති බැවින් නැවත පරීක්ෂණ කළ යුතු බව යි. සාම්පලවල කිහිපදෙනෙකුගේම ඩී.එන්.ඒ අඩංගු වී තිබෙන බැව් පෙනීයාම ඊට හේතුව යි. විශේෂයෙන් ඇගේ සොයුරු බෘක්ව ද එක් අවස්ථාවක දී ඝාතනය සම්බන්ධයෙන් සැක කෙරුනත් ඉක්මණින්ම එය එසේ නොවන බැව් පෙනී ගියා.

ජොන්බෙනේ රැම්සි ඝාතනය පිළිබඳ පසුගිය දශක දෙක තුළ පර්යේෂණ රාශියක් සිදුවූ අතර කිහිප දෙනෙක්ම පිළිබඳව සැකපිට පරීක්ෂා කෙරුණා. නමුත් ඒ කිසිවෙක් සිද්ධිය හා සම්බන්ධයැ යි ඔප්පු වූයේ නැහැ. මේ සිද්ධිය හා සම්බන්ධ නියම ඝාතකයා හෙළිවන තුරු ඇමෙරිකානු ජනතාව අදටත් බලා සිටිනවා.

Related Articles