Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රිකට් තරගය අතහැර වසූරිය මැඬලන්නට ගිය ලංකා වෛද්‍යවරයා

ක්‍රිකට් ක්‍රීඩාවේ පියා ලෙසින් හැඳින්වුණු විලියම් ගිල්බට් ග්‍රේස් වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. ඔහුගේ ක්‍රිකට් දිවිය සම්බන්ධව විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් තිබුණත් අදටත් ග්‍රේස් දැක්වූ දස්කම් පිළිබඳව බොහෝ දෙනෙකු කතා කරනවා. එලෙස ග්‍රේස් නම් වෛද්‍යවරයා එංගලන්ත කණ්ඩායම නියෝජනය කළා සේම ලංකා කණ්ඩායම නියෝජනය කළ වෛද්‍යවරයෙකුත් සිටියා. චර්චිල් හෙක්ටර් ගුණසේකර නම් එම ක්‍රීඩකයා වෛද්‍ය වෘත්තීයට මෙන්ම ක්‍රීඩාවට උපන් හපන්කම් පෑ සුවිශේෂී පුද්ගලයෙක්.

චර්චිල් ගුණසේකරගේ පාසල් අවධිය 

1894 වසරේ දී උපත ලැබූ චර්චිල් හෙක්ටර් ගුණසේකර කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිප්සතර හදාරනු ලැබුවා. පාසල් අවදියේ දී ඉගෙනීමට මෙන්ම ක්‍රීඩාවට ද එකසේ දස්කම් පෑ ගුණසේකර පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරුවා. එසේම ඔහු පාපන්දු ක්‍රීඩාවට සහ මලල ක්‍රීඩාවට ද පාසල් වර්ණ දිනාගැනීම කැපී පෙණෙන සිදුවීමක් වුණා. පාසල් ජීවිතය තුළ ඉතාමත් දක්ෂ සිසුවෙකු වුණු ගුණසේකර පසුව එංගලන්තයේ ක්‍රේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා යි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටිය දී පවා අඛණ්ඩව ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණු ගුණසේකරට 1919 වසරේ දී අපූරු අවස්ථාවක් උදා වුණා.

එංගලන්තයේ ප්‍රාන්තයක් වෙනුවෙන් ක්‍රිකට් ගැසූ මුල්ම ලාංකිකයා  

වර්තමානයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු එංගලන්තයේ ප්‍රාන්තයක් වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම අරුම පුදුම සිදුවීමක් වන්නේ නැහැ. නමුත් මීට වසර 100කට පමණ පෙර ලංකා ක්‍රීඩකයෙකු එංගලන්තයේ ප්‍රාන්තයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩා කළා නම් එය තරමක් විමතිය දනවන සිදුවීමක් වනවා. එංගලන්තයේ ප්‍රාන්ත කණ්ඩායමක් නියෝජනය කළ මුල්ම ලාංකිකයා බවට පත් වුණු චර්චිල් ගුණසේකර එම අවස්ථාව උදා කරගත්තේ 1919 වසරේ දී යි. එදා මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කළ ගුණසේකර එවර තරගවාරයේ දී කඩුලු 36ක් සහ ලකුණු 351ක් ලබාගත්තේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වමින්. එහි දී සරේ ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව ලබාගත් ලකුණු 88 චර්චිල්ගේ හොඳම ඉනිම වන විට ලැංකෂයර් ප්‍රාන්ත කණ්ඩායම හමුවේ ලකුණු 15ක් තුළ ලබාගත් කඩුලු 5 ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වුණා. 

මිඩ්ල්සෙක්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ගුණසේකර 1920 වසරේ දී එංගලන්ත ප්‍රාන්ත ශූරතාවය දිනාගත් මිඩ්ල්සෙක්ස් කණ්ඩායමේ සාමාජිකයෙකු ද වුණා. ඉන් පසුව තවත් වසර 2ක් එම ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කළ චර්චිල් ගුණසේකර 1922 වසරේ දී මිඩ්ල්සෙක්ස් කණ්ඩායමෙන් ඉවත් වුණා. 

චර්චිල් 1920 වසරේ දී ප්‍රාන්ත ශූරතාවය වෙනුවෙන් ලබාගත් පදක්කම (Through the Covers)

ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්වෙයි 

විදෙස් අධ්‍යාපන කටයුතු අවසන් වී ලංකාවට පැමිණි ගුණසේකර ඉන් අනතුරුව ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබාගත්තා. ඉන් පසුව 1927 වසර පමණ වන විට ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ ඔහු මාලිබෝන් ක්‍රිකට් සමාජ කණ්ඩායම සහ නවසීලන්තය සමග පැවති ක්‍රිකට් තරගවල දී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන්නා. එම අවධියේ දී ලංකා කණ්ඩායමට තරග රැසකට සහභාගි වීමට අවස්ථාව නොලැබුණත් විදෙස් සංචාර සඳහා ලංකාව හරහා ගිය කණ්ඩායම් සමග ක්‍රිකට් තරගවලට සහභාගි වීමේ අවස්ථාව හිමි වුණා. 

 1927 ලංකා-නවසීලන්ත තරගය පිළිබඳව සමරු සටහනක් (New Zealand Museum)

ලංකා කණ්ඩායමේ මුල්ම විදෙස් සංචාරය

1932 වසරේ අග භාගයේ දී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව බලා සංචාරය කළා. එය ලංකා කණ්ඩායමක් විදෙස් ක්‍රිකට් සංචාරයකට එක්වුණු මුල්ම අවස්ථාව ලෙසින් ඉතිහාසගත වුණා. එදා වොල්ඩොක්, බ්‍රින්ට්ලි, සහ ක්ලේවර් බ්‍රවුන් යන ප්‍රබල ඉංග්‍රීසි ජාතික ක්‍රීඩකයක් තිදෙනා ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළේ නැහැ. එම නිසාම චර්චිල් ගුණසේකරගේ නායකත්වය යටතේ ඉන්දියාව බලා ගිය ලංකා කණ්ඩායම දේශීය ක්‍රීඩකයන්ගෙන් පමණක් සමන්විත වුණා. එලෙස තරගාවලිය සඳහා සහභාගි වුණු ලංකා කණ්ඩායමට පහත සඳහන් ක්‍රීඩකයන් ඇතුළත් වුණා. 

1) චර්චිල් ගුණසේකර (නායක) 

2) එඩ්වඩ් කෙලාට් (උප නායක)

3) මොහොට්ටි ඇල්බට් 

4)  චිපී ගුණසේකර 

5) සාගෝ ජයවික්‍රම 

6) M කෙලාර්ට් 

7) H.E පොලියර් 

8) නීල් ජෝශප්

9) V.C ෂොක්මන් 

10) N.D.S විජේසේකර 

11) G.S හර්බට් 

12) L.G බේකල්මන් 

13)  B.L පෙරේරා 

14) S.H කෙලාර්ට් 

මුල් තරග 2දී ලංකා ක්‍රීඩකයන්ගෙන් උසස් දස්කම් 

ලංකා කණ්ඩායම ඉන්දීය සංචාරය යටතේ මුලින්ම සහභාගි වුණේ සින්ධි කණ්ඩායමට එරෙහිව තරගයට යි. මුල සිටම ලංකා කණ්ඩායමේ ග්‍රහණයට නතුව තිබුණු එම තරගය ජයග්‍රහණය කිරීමට ලකුණු 150ක් අවශ්‍ය වුණා. නමුත් කාලය හරස් වීම නිසා තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණත් ලංකා ක්‍රීඩකයන්ගේ දස්කම් උසස් මට්ටමක පැවතුණා. එහි දී පළමු ඉනිමේ දී ලකුණු 54ක් සහ කඩුලු 5ක් දවාගෙන සාගෝ තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන විට ගුණසේකර සහ ෂොක්මන් අර්ධ ශතකයන් වාර්තා කළා. එසේම සින්ධි දෙවන ඉනිම ලකුණු 193කට සීමා කිරීම සඳහා පෙරේරා ලබාගත් කඩුලු 6 විශිෂ්ට ගණයේ එකක් වුණා. 

සාගෝ ජයවික්‍රම (Love of a Life Time)

ඉන් අනතුරව පාටියාලා කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් ලංකා කණ්ඩායම ලකුණු 63ක තියුණු ජයක් හිමිකරගනු ලැබුවා. එහි දී ලංකා ජයග්‍රහණය තහවුරු කළ බේකල්මන් ලකුණු 99කට කඩුලු 12ක් දවාගැනීමට සමත් වුණා. එදා ලංකා කණ්ඩායම සමග තරග කළ පාටියාලා කණ්ඩායමේ සිටි අමර් සිං, මොහොමඩ් නිසාර්, වසීර් ලී, නසීර් අලී යන ක්‍රීඩකයන් සිව්දෙනා එම යුගයේ දී ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කළා. එසේම නිසාර් සහ අමර් එදා ඉන්දීය ජාතික කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නන් ලෙසින් කටයුතු කළා. මෙම තරගයේ දීත් පළමු ඉනිමේ දී පන්දුවෙන් දස්කම් දැක්වූ අමර් ලකුණු 94කට කඩුලු 7ක් දවාගනු ලැබුවා.

අමර් සිං කඩුල්ලක් දවාගනිමින් (gettyimages)

කොළඹ වසූරිය පැතිරයාමත් සමගම චර්චිල් ගුණසේකර ලංකාවට යයි 

එම තරග දෙකෙන් පසුව ශ්‍රී ලංකාවට තරග කිරීමට සිදු වුණේ ඉන්දීය ජාතික කණ්ඩායමට එරෙහිව යි. එම වසරේ දී එංගලන්තයට එරෙහිව මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කර තිබුණු ඉන්දීය කණ්ඩායම සතුව ප්‍රබල ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සිටියා. එලෙස ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරගයට දින කිහිපයකට පෙර කිසිවෙකු නොසිතූ සිදුවීමක් වුණා. ඒ, කොළඹ නගරයේ වසූරිය පැතිරයාම නිසා චර්චිල් ගුණසේකරට ආපසු ලංකාව බලා යාමට සිදුවීම යි. ගුණසේකර එම කාල වකවානුව වන විට කොළඹ නගරය භාර වෛද්‍යවරයා ලෙසින් කටයුතු කළ නිසා ඔහුට වසූරිය රෝගය මර්දනය කිරීම සඳහා එකතුවීමට සිදුව තිබුණා.

චර්චිල් ගුණසේකර (ක්‍රීඩා සඟරාව)

ලංකා කණ්ඩායම තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගනියි

එලෙස නොසිතූ අවස්ථාවක සිදුවූ ගුණසේකරගේ මෙහෙය අහිමි වීමෙන් පසුව එඩ්වඩ් කෙලාර්ට් ට ලංකා කණ්ඩායම මෙහෙයවීමට සිදු වුණා. එදා ලංකා කණ්ඩායම වෙනුවෙන් සාගෝ ජයවික්‍රම මුල්ම ශතකය ලෙසින් ලබාගත් ලකුණු 130ත් නායක කෙලාර්ට් ලබාගත් කඩුලු 5ත් නිසා තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුණා. තරගය පරාජයෙන් බේරාගැනීම සඳහා ලංකා කණ්ඩායමේ අවසන් පිතිකරු යුගලය වුණු බේකල්මන් සහ වැන් ඩර් ස්ට්‍රාටන් ලකුණු 8ක නොබිඳුනු සබඳතාවයක් ගොඩනැගූ බව අවසන් වශයෙන් සිහිපත් කළ යුතු යි.

කවරයේ ඡායාරූපය- චර්චිල් ගුණසේකර (Through the covers)

මූලාශ්‍රයයන්- Through the Covers

Related Articles