කොළඹ මුලින්ම හැඳින්වුණේ “කොළොන්තොට”, නැත්නම් “කොළොම්තොට”, කියලයි. නැව් නවත්වන තොටක් ලෙස පැවතුණු කොළඹට 14 වන සියවස වන විට මරක්කල හා ‘හම්බන්’ නමින් හඳුන්වන ඉස්ලාම් භක්තිකයන් රෙදිපිළි, කුරුඳු, ඇත්දළ, රන්, රිදී, මැණික් වෙළඳාම පිණිස පැමිණ තිබෙනවා. මෙසේ අරාබින් හා සම්බන්ධ වෙළෙද කටයුතු වර්ධනයත් සමග කොළඹ දකුණු ඉන්දීය කලාපයේ වැදගත් වරායක් බවට පත් වුණා.
කොළඹ බලකොටුවක් මුලින්ම ඉදිවන්නේ 16 වන ශතවර්ෂයේ මුල් සමයේ දී පෘතුගීසීන් ලංකාවට ගොඩබැසි පසුව යි. කොළොන්තොට වෙළෙදාම අත්පත් කරගත් පෘතුගීසීන්, මේ වෙළෙඳ මධ්‍යස්ථානය ආරක්ෂක මධ්‍යස්ථානයක් හා වරායක් ලෙස සංවර්ධනය කිරීම ආරම්භ කළා. කුඩා බලකොටුවක් ඉදිකරගත් ඔවුන් කෝට්ටේ රාජධානියට ද තර්ජන එල්ල කළා. ඊට පසුව පැමිණි ලන්දේසින් මේ බලකොටුව තවත් ශක්තිමත් සහ විශාල කර ඉදිකළා. ඉංග්‍රීසි සමයේ බලකොටුවේ ඉදිකිරීම් නොකළත් කොටුව තුළ අලුතින් ගොඩනැගිලි ඉදිකළා. අද අපි කොළඹ කොටුව කියලා කියන්නේ එදා බලකොටුවට අයත් ප්‍රදේශය යි. කොටුවේ ඇවිදින අතර දැකබලා ගත යුතු වැදගත් ස්මාරකයන් රාශියක් අතරින් කිහිපයක් ගැන කියන්න යි අපි මේ සූදානම් වන්නේ.
සුද්දන්ගේ කොටුව
බ්‍රිතාන්‍යයන් විසින් ලන්දේසීන්ට අයිතිව තිබූ මුහුදුබඩ ප්‍රදේශ වර්ෂ 1796 දී අත්පත් කරගැනීමත් සමගම කොටුව ඔවුන්ගේ පරිපාලන මධ්‍යස්ථානය බවට පත්කර ගත්තා. රටේ ප්‍රධාන කාර්යාල වගේම ආණ්ඩුකාරවරයා ඇතුළු ඉහළ නිලතල දැරූ කවුරුත් වාසය කළේ කොටුව තුළ යි.
රටේම බලය තහවරු කරගත් ඉංග්‍රීසීහු නගරයේ සංවර්ධනයට එය බාධාවක්යැ යි සැලකූ නිසා 1870 දී බලකොටුවේ බිත්ති කඩා බිම දැම්මා. මේ නිසා කොළඹ පුරාණ කොටුව අද දක්නට ලැබෙන්නේ ඡායාවක් වශයෙන් පමණ යි. ලන්දේසි ගොඩනැගිලි රාශියක් ද මෙලෙසම විනාශකර දැම්මා. ඒ වෙනුවට වැඩි පහසුකම් සහිත ඉංග්‍රීසි පන්නයේ නව ගොඩනැගිලි ඉදිකරවූවා. 1948 දී සුද්දන්ගෙන් අප නිදහස ලැබුවත් පාර්ලිමේන්තුව ඇතුළු පරිපාලන කේන්ද්‍රස්ථාන 1980 දශකය වන තුරුම පැවතියේ කොටුව තුළ යි.
ශාන්ත පීතර දේවස්ථානය
කොටුවේ පැරණිම පල්ලිය වන මෙය, වරාය අධිකාරිය ඉදිරිපිට පොලිස් මූලස්ථානයට නුදුරින් පල්ලිය වීදියේ පිහිටා තිබෙන ස්මාරකයක්. මෙම ස්ථානයේ මුලින්ම ඩොමිනිකන් නිකායේ පූජකවරුන්ට දේවස්ථානයක් ඉදිකෙරුනේ 1627 දී පෘතුගීසින් විසින්. ලන්දේසීන් කොළඹ අත්පත්කරගත් පසු එම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර කොළඹ ආණ්ඩුකාරයාගේ නිල නිවස ලෙස යොදාගත්තා. ඒ 1680 දී යි. මුහුද දෙසට මුහුණ ලා පිහිටි එය ඉදිරිපසින් මහල් දෙකක් සේ ඉදිකර තිබුණා. එය එවකට නගරයේ තිබූ විශාලතම පෞද්ගලික ගොඩනැල්ල බව ලන්දේසි කෘතිවල සඳහන් වෙනවා. මේ පිළිබදව ආර්. එල්. බ්‍රොහියර් මෙසේ සදහන් කරනවා:
“කොටු බැම්ම තුළ පිහිටි ඉතා උත්කෘෂ්ඨ ගොඩනැගිල්ල. එහි වහල පැතලි ය. ආරුක්කු සහිත පෝටිකෝවක් සහ කවුළු රාශියක් මාර්ගයෙන් වාතාශ්‍රය සැපයිණි. බිම් මහලේ ආගන්තුකයන් පිළිගැනීම සදහා කාමර යුගයක් ද අඩි 300ක් දිග ශාලාවක් ද විය…”
(කොළොම්පුර පුරාවෘත්තය, බ්‍රොහියර් පි.31)
බ්‍රිතාන්‍ය පාලන සමයේ දී ආණ්ඩුකාර ෆෙඩ්රික් නෝර්ත් (1798-1805) ද මෙහි වාසය කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණ රැස්වීම් සඳහා ද කලක් භාවිත කර තිබෙනවා. 1804 වසරේ දී එය ප්‍රතිසංස්කරණය කර ‘ශාන්ත පීතර ඉංග්‍රිසි ගැරිසන් දේවස්ථානය’ නමින් දේවස්ථානයක් බවට පත් කළා. වර්ෂ 1881 දී නැවත කළ ප්‍රතිසංස්කරණවලින් පසුව දේවස්ථානයට තවත් අංග කීපයක් අලුතින් එකතු කර තිබෙනවා. වර්ෂ 1930 දී නැවත ප්රතිසංස්කරණයක් කර තිබෙනවා. ඕලන්ද හා බ්‍රිතාන්‍ය ප්‍රභූන්ගේ සොහොන් ගල් පුවරු රැසක් ද මෙහි තැන්පත් කර තිබෙනවා.
ගල්බොක්ක ප්‍රදීපාගාරය
චැතැම් වීදියේ පිහිටි පැරණි ප්‍රදීපාගාරයට අවට ඉදිවූ ගොඩනැගිලිවලින් බාධා වූ නිසා නව ප්‍රදිපාගාරයක් 1952 දී ගල්බොක්ක තුඩුවේ ඉදිකර විවෘත කළා. චෛත්‍ය පාරේ ගොස් මේ වෙතට පැමිණිය හැකියි. වරාය අධිකාරිය මඟින් පාලනය වන මෙය මීටර් 34ක් උස යි. කොටුවට පැමිණෙන සංචාරකයන් අතර ජනප්‍රිය ස්ථානයක් බවට ගල්බොක්ක ප්‍රදීපාගාරය පත්ව තිබෙනවා.
මෙයට පෙර පැවති පැරණි ප්‍රදීපාගාරය කොටුවේ මහබැංකුවට නුදුරින් චැතැම් වීදියේ දී අදත් දැකගත හැකියි. එය මෙරට ඉදිකළ මුල්ම ඔරලෝසු කුලුන වශයෙන් ද වැදගත්. වර්ෂ 1857 දී ඔරලෝසු කුලුන ඉදිකළ අතර, 1867 දී පහනක් සවිකර ප්‍රදීපාගාරයක් බවට පත් කර තිබෙනවා. 1952 දී මෙම ප්‍රදීපාගාරය ක්‍රියා විරහිත කළේ ගල්බොක්ක ප්‍රදීපාගාරය ඉදිකිරීමෙන් පසුව යි.
කයිමන් දොරකඩ
කයිමන් දොරකඩ නමින් හැඳින්වෙන්නේ එදා කොටුවේ සිට පිටකොටුවට ඇතුළු වීමට නැගෙනහිර දෙසින් පැවැති ආරක්ෂක දොරටුව සහ ඝණ්ඨාර කුලුන යි. මෙම කුලුන සහිත දොරටුවේ ඉහළ කොටස ආරක්කු හැඩයකින් යුක්ත යි.
පිටකොටුව පැරණි නගර ශාලාවෙන් බටහිර දෙසට වන්නට කෙළින් වීදිය අද්දර මෙම කුලුන පිහිටා තිබෙනවා. පෘතුගීසි හා ඕලන්ද යුගයේ දී කොළඹ නගරයේ ප්‍රධාන වීදිය වූයේ කෙළින් වීදිය යි. එම ස්ථානය දක්වා පෘතුගීසි සමයේ ‘ශාන්ත ජෝන්’ නම් වූ ඇළක් කපා කොටුව වෙන් කර තිබුණා. බේරේ වැවේ සිට එම ඇළ ඔස්සේ පැමිණෙන කිඹුලන් මෙහි නිතර ගැවසීම නිසා කිඹුලන් හැඳින්වීමට යෙදූ ‘කෙයිමන්’ (Keymen) යන වදන හේතුවෙන් කයිමන් දොරටුව ලෙස එම ස්ථානය හැඳින්විණැ යි පැවසෙනවා. ඝණ්ඨාරයේ ලතින් භාෂාවෙන් “ආවේ මරියා ග්‍රාන්සියා ප්ලේනා දෝමිනුස් තේ කුමි බෙනදික් තා තු මුලියේරිබුස්” නම් ආගමික පාඨය කොටා තිබෙනවා.
මෙම ඝණ්ඨාරය කෝට්ටේ ශාන්ත ප්‍රැන්සිස් දේවස්ථානය කඩා බිම දැමීමෙන් පසු ලන්දේසීන් ගෙනවිත් සවිකළ බව පැරණි වාර්තාවල දැක්වෙනවා. මෙය අද්දර එකල මුර සෙබළෙක් සිටි බවත් මුර කුටියක් තිබූ බවත් සඳහන් වෙනවා. කයිමන් දොරකඩ දැක්වෙන පැරණි පින්තූරවල පෙනෙන්නේ වෙනත් උස් ගොඩනැගිලි නොතිබූ පුරාණයේ එය නගරයේ කැපීපෙනෙන අංගයක්ව තිබූ බව යි. අද නම් එය ගොඩනැගිලි අතර හිරවූ ස්වභාවයක් තමයි පේන්නේ.
කොටුවෙන් ඔබ මොබ යන්නන්ට එහි දොරටුව වසන වේලාව දැන්වීමට මෙම ඝණ්ඨාරය නාද කිරීම සිදුවුණා. වුල්ෆැන්ඩාල් පල්ලියේ දේව මෙහෙයන් දැනුම් දීම පිණිසත් නාද කර තිබෙනවා. මෙය අවසන් වරට නිල වශයෙන් නාදකර තිබෙන්නේ 1926 ජනවාරි 21 දා සහ 28 වැනිදා යි. ඒ පස්වෙනි ජේර්ජ් රජුගේ අභාවප්‍රාප්තවූ බව දැනුම් දෙන්න යි. 1945 දෙවන ලෝක යුද සමයේ දි නැවතත් නාද කර ඇත්තේ ජනතාවට අනතුරු ඇඟවීමේ මාධ්‍යයක් වශයෙන්.
කොටුවේ ලන්දේසි රෝහල
1686 වර්ෂයේදී ලන්දේසින් විසින්, ඔවුන්ගේ නිලධාරීන්ට හා සේවකයන්ට ප්‍රතිකාර සේවා ලබාදීමට කොටුව තුළ අගංසම්පූර්ණ රෝහලක් ඉදිකළා. එයට නුදුරින් පිහිටි මාර්ගය අදත් හඳුන්වන්නේ රෝහල් වීදිය කියලයි. හෙක්‌ටයාර භාගයක පමණ භූමි භාගයක ඉදිකොට ඇති මෙම රෝහල් ගොඩනැගිල්ල යුරෝපීය ගොඩනැඟිලි කලාවට සමීප ලන්දේසි ලක්‍ෂණ පෙන්නුම් කරනවා. රෝහලේ සැලසුම කුරුසියක හැඩය ගෙන තිබෙනවා. රෝහල තනා තිබෙන්නේ මැද මිදුලක් සහිතව යි.
මුල්වරට රෝහල ඉදිකිරීමෙන් පසු එම පැරැණි ගොඩනැඟිල්ල වෙනුවට එම ස්‌ථානයේම නව ගොඩනැඟිලි සංකීර්ණයක් ලන්දේසින් තැනුවා. වර්ෂ 1771 දී මෙම ඉදිකිරීම අවසන් වූ බව සඳහන් වෙනවා. ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම සතු කිසිදු යටත් විජිතයක නොවූ විශාලම රෝහල ලෙස මෙය ඉදිවූ අතර, එහි නේවාසික රෝගීන් තුන් සියයකට ආසන්න ප්‍රමාණයකට ප්‍රතිකාර ගත හැකිව තිබුණු බව සදහන් වෙනවා.
රෝහලේ මැද මිදුල සිව් දෙසින්ම වටවී තිබෙන්නේ හතරැස් කුලුනු යෙදූ ආලින්දයකින්. වීදුරු රහිත දිගු දැව ජනෙල් පියන් මෙයට යොදා තිබූ අතර දොරටු හා ජනේල වාතාශ්‍රය හා හිරු එළිය ලැබෙන ලෙස විශාලව සවිකර තිබුණා.
1980 වසර වන විට මෙම ගොඩනැගිල්ලේ කොටුව පොලිස් ස්ථානය පවත්වාගෙන ගියා. කාලයත් සමග ගරාවැටීමට ලක්ව තිබූ ගොඩනැගිල්ල, සුපිරි සාප්පු සංකිර්ණයක් බවට පත්කොට 2011 වර්ෂයේ දෙසැම්බර් මස 2 වන දින දී යළිත් විවෘත කෙරුණා.
රාජසිංහ සිර කුටිය
කොටුවේ සෙලින්කෝ මන්දිරය අසල මාර්ගය අද්දර පිහිටි වක්‍රාකාර කුටිය මෙරට පාලනය කළ අන්තිම රජ වන ශ්‍රී වික්‍රම රාජසිංහ, 1815 දී අල්ලාගත් පසු ඉන්දියාවට පිටුවහල් කිරීමට පෙර රඳවා තිබූ සිර කුටිය බව සාමාන්‍ය පිළිගැනීම යි. එය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ද ප්‍රකාශයට පත්වී තිබෙනවා. මේ කුටියේ එක් පැත්තක් පමණක් ඕවලාකාර හැඩයෙන් යුක්ත යි. එම ඕවලාකාර පැත්තට වන්නට පිහිටා ඇති පිවිසුම් දොරටුව යකඩෙන් තනා තිබෙනවා. ඒ අයුරින් මෙය නිර්මාණය කර තිබෙන නිසා, එය සිර මැදිරියක් සේ දිස්වෙනවා. මේ කුටිය තුළ වර්ගඵලය, අඩි 8 x 8ක් පමණ යි. වහල ගෝලාකාර හැඩයක් ගන්නවා. මේ රාජසිංහ රජු සිටි සිරකුටිය නොවන බව කොළඹ ගැන පර්යේෂණයක් කළ ආර්. එල්. බ්‍රෝහියර් සදහන් කර තිබෙනවා. මෑත කාලීනව ක්‍රිෂාන් මෙන්ඩිස් නම් පර්යේෂකයා ද එම මතය තහවුරු කරනවා. මේ කුටිය ඇත්තටම කුමක් ද? බ්‍රෝහියර් සදහන් කරන්නේ දැනට කඩා බිඳ දමා ඇති එචිලන් චතුරස්‍රයේ ගොඩනැඟිලිවල පිහිටි බ්‍රිතාන්‍ය ආරක්ෂක බලකායේ දොරටුව අසල පැවති මුරකුටිය මෙය බවයි. පුරාණ සේයාරූ පරීක්ෂා කිරීමෙන් එය පැහැදිලි කරගත හැකියි.
බ්‍රෝහියර් පවසන්නේ රජු පිටුවහල් කරන තුරු රදවා තැබූවේ මෙම කුටියට නුදුරින් පිහිටි දෙමහල් නිවසක බව යි. ඒ ගැන ඔහු දක්වන්නේ මෙලෙසින්:
“දෙවැනි කන්ද උඩරට ආක්‍රමණය සම්බන්ධ කෙටි ප්‍රත්‍යවලෝකනයේ අවසාන කොටස පිළිබඳ සාධක එක්තරා පැරැණි ලන්දේසි නිවෙසක රැඳී තිබිණි. පසුව ඩාර්ලි බට්ලර් වෙළෙඳ ආයතනයට මෙය අයත් විය. අත්තනෝමතික පාලනය පිළිබඳ චෝදනා ලැබූ රජු තාවකාලිකව සිර කර තැබුවේ මේ නිවෙසේ ය. ඒ මදුරාසි රජයට අයිති වෙල්ලෝරයට ඔහු පිටුවහල් කරන තුරු ය. ඒ නිවෙස පිහිටි තැන අද මහල් සහිත උස් වූ රමණීය ගොඩනැඟිල්ලක් ඇත. ඒ කොළොම්පුරයේ අහස සිඹින උසම ගොඩනැගිලි අතුරෙන් එකක් වන සෙලින්කෝ හෝටලය යි…”
(කොළොම්පුර පුරාවෘත්තය, පිට 57)
ඉතිහාසඥයකු වන හෙන්රි මාර්ෂල්, මේ ඉපැරැණි ලන්දේසි නිවෙස පිළිබඳව මෙසේ ලියා තිබෙනවා:
“එය විශාල නිවෙසකි. දර්ශනීය අන්දමින් ඇතුළ සකසා තිබුණේ, සිංහල රාජ වංශයේ අවසාන පාලකයාට උචිත වන අන්දමිනි. ‘නරක දසාවකට පිළිපන් රජතුමා ද, බිසව ද, රජ වාසල සෙසු ස්ත්‍රීහු ද, රජුගේ නැන්දණියෝ ද, මේ නිවෙසේ ගරු සැලකිලි ඇතිව රඳවනු ලැබූහ.”
(කොළොම්පුර පුරාවෘත්තය, පි.57)