නත්තලේ දී සෑම කිතුනුවකු ම සමරන්නේ ජෙසු බිළිඳාගේ උපත යි. මේ නත්තල් කාලේ ජේසු බිළිඳා වෙනුවෙන් වෙන්වුණු අප රටේ පළමු දේවස්ථානයේ ඉතිහාසය සොයා යාම කුතුහලය දනවන චාරිකාවක් වේවි.
එය ඉදි වුණු බව පැවසෙන්නේ ඕලන්ද පාලනය මුහුදුබඩ පළාත්වල පැවති කාලයක යි. දිගු අතීතයක් හිමි එම දේවස්ථානය කළුතර කලමුල්ල ජේසු බිළිඳු දෙව් මැදුර යි.
ජුසේ වාස් පියනම
ශ්‍රී ලංකාවට කිතු දහම පැමිණියේ පෘතුගීසීන්ගේ පැමිණිමත් සමඟ යි. ඉන් පසුව ලංකාවේ මුහුදුබඩ පළාත් යටත් කරගත් කතෝලික විරෝධී ලන්දේසීන් නිසාවෙන් කිතුනු ජනතාව දැඩි ලෙස පීඩනයට පත්වන්නට වුණා. මේ තත්ත්වය මඟ හැර කතෝලික දහම ලංකාවේ ප්‍රචලිත කිරීමට ඉන්දියාවේ ගෝවේ සිට ජුසේවාස් පියනම ලංකාවට පැමිණියේ 1687 දීයි.
එසේ මෙරටට හොර රහසේ ගොඩබට ජුසේවාස් පියනම ප්‍රථමයෙන් යාපනයේ ද, දෙවනුව පුත්තලමේ ද නැවතී සිටි අතර, පසුව දකුණ බලා ධර්මදූත ගමනේ යෙදුණු බව සඳහන් වෙනවා. ඒ ගමන බෙන්තර ගඟින් මෙපිටට සීමා වුණා. එනම් බස්නාහිර පළාතේ කළුතර දිසාවට පමණක්. කළුතරට එම පියනමගේ ධර්මදූත සංචාරය සිදුවූයේ 1697 දී එනම් ලංකාවට පැමිණ දස වසරකට පසුව යි.
කළුතරට පැමිණීම
ජුසේ වාස් පියනම කළු ගඟේ පලාතොට තොටුපළින් පාරුවක නැඟී ලන්දේසි ඇළ දිගේ කළුතර කලමුල්ල ප්‍රදේශයට පැමිණ වෙරළුගහ තොටුපළින් ගොඩ වී තිබෙනවා. එදා නත්තල් දින රාත්‍රිය යි. එවකට මෙම ඇළ අඩි තිස්පහක් පළලින් යුත් පාරු දෙකක් පහසුවෙන් ම මාරුවිය හැකි ලෙස ඉදිකර තිබුණා. ඇළකන්ද මත අඩි දහඅටහමාරක් වූ බරකරත්ත දෙකක් පහසුවෙන් මාරුවිය හැකි මාර්ගයක් ද පැවතුණා. කලමුල්ල ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන රැකියාව වූයේ කුළුබඩු නිෂ්පාදනය යි. ඒ අතරේ කුරුඳු පොතු නිපදවීම බහුල ව සිදුවුණා.
ජුසේ වාස් පියතුමා කලමුල්ලට පැමිණ යාචයකුගේ වෙස් ගෙන වැරහැලි ඇඳගෙන අදුර අතරින් අන්ධකාරයේ ම පැමිණියේ වෙලන්තිනුරාලගේ ගෙතුළට යි. ඔහුගේ සම්පූර්ණ නම වුණේ බෝදියා බදුගේ වෙළෙන්තිනු පෙරේරා යි. නමුත් කවුරුත් ඔහුට පවසා ඇත්තේ වෙළන්තිනු රාල කියල යි. වෙළන්තිනු රාලගේ රැකියාව වුණේ ඕලන්ද ඇළ දිගේ ගමන් කරන යාත්‍රා කරන අය ගෙන් බදු එකතු කිරීම යි. මේ නිසා ඔහු කවුරුත් දන්නා කියන කෙනෙක් වුණා.
එමෙන්ම ලන්දේසින්ට හොරෙන් කළුතර අවට කතෝලිකයන් සංවිධානය කර තිබෙන පුද්ගලයා වුණෙත් වෙළන්තිනු රාල ම යි. ජුසේවාස් පියතුමාගේ වෙලන්තිනුතිරාලගේ නිවසෙන් කෑමට යමක් ඉල්ලා සිටියා. ඉතා සතුටින් ඒ සඳහා ඉදිරිපත් වුණු වලෙන්තිනු රාල මේ අමුත්තා විශේෂ පුද්ගලයකු බව දැන ගත්තා. ජුසේවාස් පියතුමා ළඟ තිබූ සිරිකුරුසය දුටු වරෙන්තිනුරාල ඇතුළු පවුලේ සැම ඉතා කලබලයට පත්වුණා. අවසානයේ දී ජුසේවාස් පියතුමන් තමන් කවුදැයි හඳුන්වා දී තිබෙනවා.
නත්තල් රෑ දිව්‍ය පූජාව
ඒ වනවිටත් වෙලන්තිනුරාලගේ නිවසෙන් යාඥා හඬක් ඇසෙමින් පැවතුණා. සැකහැර ගත් පියතුමා තමා කව්දැයි හදුන්වා දුන්නා. මහත් සතුටට වෙලන්තිනු රාල කතෝලිකයන් එක්රැස් කර කලමුල්ලේ ‘පාළුවත්ත’ නමින් හැඳින්වෙන තැන පොල් අතු මඩුවක් තනවනවා. එහි නත්තල් රෑ දිව්‍ය පූජාව ජුසේවාස් පියතුමන් විසින් පවත්වනු ලැබුවේ ලන්දේසි පීඩනයට බියෙන් සිටි කතෝලික ජනතා සිත් සතුටු කරවමින් ජේසු උපත සමරමින්. ඒ 1697 දෙසැම්බර් 24 රාත්‍රීයේදී යි.
කලමුල්ල ජේසු බිළිඳු දෙව් මැදුර
ජුසේවාස් පියතුමා පාළුවත්තේ පොල්අතු මඩුවේ නත්තල් රෑ දිව්‍ය පූජාව පැවැත්වීමෙන් පසුව නත්තල් පූජාව පැවැත්වු අතු මඩුව ජේසු බිළිඳුන්ගේ නමින් සදාකල් පවතීවායි” ප්‍රාර්ථනා කළ බව පැවසෙනවා. එම පැතුම ඉටුකරමින් තමයි පසුව එතැන ජේසු බිළිඳු දෙව්මැදුරක් ඉදි වුණේ. අද වන විට කලමුල්ල ගමේ කලමුල්ල මීසම දෙව් මැදුරු පහක් ඉදි වු ගමක් බවට පත්ව තිබෙනවා.
ජුසේවාස් පියතුමන් කළ ආගමික සේවය සමරමින් පාප්තුමා ලංකාවට පැමිණ ඔහු ශුද්ධවරයට එසවීම සිදු කළා. ඊට පෙර කලමුල්ලේ ජනතාව තම ගෞරවය පළ කිරීමට පියනමගේ ජීවමාන ප්‍රමාණයේ පිළිරුවක් 1936 දී කලමුල්ල සාන්ත සෙබස්තියන් දෙව් මැදුරු භූමියේ ස්ථාපිත කර තිබෙනවා. එය ශ්‍රී ලංකාවේ පළමු ජුසේවාස් ප්‍රතිමාව යි.
ජුසේවාස් පියතුමන්ගේ පැමිණීම සැලවීමත් සමඟ කලමුල්ල කතෝලික ජනතාව සැවො ම මඩුව ඉදිරිපිටට වැලනොකැඩී රැස්වූණු බව ජනප්‍රවාදවල සදහන් වෙනවා. ඉන් පසු හැමෝ ම පෙරහරකින් වරෙන්තිනුරාලගේ නිවසේ සිට කුඩා මඩුව වෙතට ජුසේවාස් පියතුමන් රැගෙන පැමිණ බව සඳහන්. ජුසේවාස් පියතුමා සති තුනක පමණ කාලයක් කල්මුල්ල ප්‍රදේශයේ ගත කරනවා. පසුව පියතුමන් ගමෙන් නික්ම යාමට පෙර ඇත්දළවලින් නෙළූලකුඩා දේවමාතා හා සාන්ත අන්තෝනි ප්‍රතිමා දෙකක් වලෙන්තිනු රාළට තෑගිකර කලමුල්ල වැසියන්ට ද ආශිර්වාදකොට මහනුවර බලා නික්ම ගිය බව පැවසෙනවා.
පල්ලිය ඉදිවෙයි
ජුසේවාස් පියනමගේ පැමිණීමත් සමඟ කලමුල්ල ගම්මානය හැදින්වෙන්නට වුණේ කුඩා ගෝව යනුවෙන්. අදටත් කලමුල්ල ප්‍රදේශයේ වැඩි වශයෙන් ජීවත් වන්නේ කතෝලික බැතිමතුන්.
ඉන් පසු කලමුල්ල කතෝලික ජනතාව මඩුවට පැමිණ දෙවියන්ට යාඥා කිරීම ආරම්භ කළා. වර්ෂ 1706 දී පොල්අතු මඩුව වෙනුවට කටුමැටි වරිච්චි පල්ලියක් එතැන ඉදි කර තිබෙනවා. ඉන්පසුව රට ඉංග්‍රීසින්ට යටත්වූ කාලයේ එනම්, 1816 දී කටුගල් පල්ලියක් ලෙස දෙව්මැදුර සංවර්ධනය වී තිබෙනවා.
කටුගල් යොදා නිර්මාණය කළ මෙම පල්ලිය දිගින් අඩි තිස් දෙකක් ද, පළලින් අඩි විසි හතරකින් ද යුක්ත වුණා. මෙහි මහ දොරකඩ ඇතුළු දොරවල් හයකින් යුක්ත අතර පළු දෙකට බෑවුම් වූ පියස්ස සිංහල උළු සෙවිලි කර තිබුණා.
අලුත් පල්ලියක්
තවත් කාලයක් ගතවන විට දේවස්ථානය ගරා වැටෙමින් පැවතුණා. පල්ලියේ පැවැති වාර්ෂික උත්සවයට දින කිහිපයකට පෙර පල්ලි පියස්සේ මුදුන් ලීය පුපුරා ගොස් තිබෙනවා. ඒ පසුගිය සියවසේ මුල් කාලයේදි යි. අසරණ වූ කලමුල්ලේ ජනතාව මෙයට පිළියමක් සොයා පල්ලියේ පියතුමන් මුණගැසුණා. අලුත් පල්ලියක් සාදාගැනීමට ගම්වාසීන්ට අවශ්‍යව පැවතුණා. කලමුල්ල පල්ලියේ පියතුමන්ගේ ආරාධනය පිළිගෙන පැමිණි අන්තෝනි කුදේරු හිමිපාණන්ගේ ආශිර්වාදයෙන් පසුව අල්තාර කුටිය පමණක් නිමකළ දේවස්ථානයක් ආගමික කටයුතුවලට මුලින් ම යොදාග්තා.
විශාල උත්සාහයකින් පසුව ඉදිවුණු ජේසු පිළිඳුන්ගේ අලුත් දෙව්මැදුර 1918 දී අභිසෙස් ගන්වා තිබෙනවා. එම දෙව්මැදුර 2018 වසරේ මැයි මස දහවෙනි දින සියවස් පූර්ණ ජුබිලිය මහත් උත්සවශ්‍රීයෙන් සැමරුවා. අප රටේ විශාල දේවස්ථාන කිහිපයක් අතර මුල්තැන ගන්නා දේවස්ථානයක් වන වර්තමාන ජේසු බිළිඳු දේවස්ථානය දිගින් අඩි 100ක් ද පළලින් අඩි හැත්තෑවක් ද වෙනවා. එහි ඉදිරිපසින් උස අඩි අනූඅටක්.
ජේසු බිළිඳු දෙව්මැදුරේ ප්‍රතිමා
මෙහි විශේෂිත ප්‍රතිමා කිහිපයක් ම තැන්පත් කර තිබෙනවා. ඉන්දියාවේ ට්‍රැවැන්කෝරයෙන් ගෙන්වූ අඩි හතරක් උසැති ජේසු බිළිඳුන්ගේ ප්‍රතිමාවක්, 1972 වසරේදී චෙකෝස්ලෝවැකියාවේ ප්‍රාග් නගරයෙන් ගෙන්වූ ජේසු බිළිඳුන්ගේ කුඩා පිළිරුවත් ඒ අතර තිබෙනවා. 1845 සිට අහස් නැඟුණු විලාසය පෙන්නුම් කළ නැගිට වදාරණ සුරුවම සහ ලීයෙන් නෙළූ ජේසුතුමන්ගේ ජීවමාන ප්‍රමාණයේ ස්වර්ගරෝහණ ප්‍රතිමාවත් (මෙම ප්‍රතිමාව 1910 සිට පෙරහරේ ගෙන යයි.) විශේෂ පිළිම ලෙස සැලකෙනවා.
වර්තමානයේදී කලමුල්ල ජේසු බිළිඳු දේවස්ථානයේ දී සෑම බ්‍රහස්පතින්දාවක ම සවස හයට ජේසු බිළිඳු නුවානය පවත්වනවා. ජේසු බිළිඳු නුවානය සමඟ ම දිව්‍ය පුජාව ද පැවැත්වෙනවා.