ලෝකය පුරා පැතිරගොස් තිබෙන කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වන විට වාර්තා වී තිබෙන ආසාදිතයන් ප්‍රමාණය ලක්ෂ 64 ඉක්මවා තිබෙනවා. ඒ හේතුවෙන් මරණයට පත් වූ ප්‍රමාණය ලෙස අද (ජුනි 5) වන විට සටහන් වන්නේ 382,867ක්. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ් 19 වසංගතයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් තුන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය හා රුසියාව මේ වන විට නම් කර තිබෙනවා.
වසංගත තත්ත්වය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල සෞඛ්‍ය, ආර්ථික හා සමාජීය යන සෑම අංශයකටම එල්ල වී තිබෙන්නේ සුළුපටු බලපෑමක් නොවේ. ලෝක බැංකුව සඳහන් කරන පරිදි කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලෝක ජනතාවගෙන් මිලියන 60කට වැඩි පිරිසක් තම අවම අවශ්‍යතා පවා සපුරාගත නොහැකි අන්දමේ දිළිඳුභාවයට පත් වෙමින් සිටිනවා.
කොරෝනාවයිරස වසංගතය හේතුවෙන් මහා සාගතයක් ඇතිවීමේ අවදානමක් ඇතැ යි ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ සංවිධානයක් වන ලෝක ආහාර වැඩසටහන (World Food Programme – WFP) මීට පෙර අනතුරු අඟවා තිබෙනවා.
වැඩි දුරටත් කියවන්න – කොවිඩ් 19 නිසා සාගතයක් ඇතිවෙයි ද?
ගෝලීය වශයෙන් වසර තුනක ආර්ථික ප්‍රගමනය මකා දැමිය හැකි කොවිඩ් 19
ලෝක බැංකු සමූහය (World Bank Group) විසින් මැයි 19 දින නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ලොව පුරා මිලියන 60ක ජනතාවක් උග්‍ර දරිද්‍රතාවයට පත්විය හැකි බව යි. ඒ හේතුවෙන් ලෝකයක් ලෙස,ආර්ථිකමය වශයෙන් ලබා ගත හැකි ප්‍රගමනයන් ඉදිරි වසර තුනක් දක්වා ලබා ගත නොහැකි වනු බවත් ප්‍රකාශ කර තිබෙනවා.
උග්‍ර දරිද්‍රතාවය
ලෝක බැංකුව විසින් 2015 වසරේ දී කරන ලද සමීක්ෂණයක් අනුව ලෝක ජනගහනයෙන් මිලියන 734ක් (ලෝක ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස 10%ක්) උග්‍ර දරිද්‍රතාවයෙන් හෙවත් අන්ත දිළිඳුභාවයෙන් පෙලෙන බව හඳුනාගෙන තිබෙනවා. උග්‍ර දරිද්‍රතාවය ලෙස ලෝක බැංකුව අර්ථ දක්වන්නේ දිනකට ඇමෙරිකානු ඩොලර් 1.90ක අදායමක් සොයාගත නොහැකි වීම යි.
2020 වසරේ ලෝකයේ උග්‍ර දරිද්‍රතාවයෙන් පෙලන ජනගහනය තවත් මිලියන 49කින් ඉහළ යනු ඇති බවට ලෝක බැංකුව පුරෝකථනය කර තිබුන ද 2019 වසරේ අග භාගයේ දී ලෝකය පුරා ව්‍යාප්ත වූ කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග එම ප්‍රමාණය මිලියන 60ක් දක්වා ඉහළ යා හැකි බව යි ලෝක බැංකුවේ වර්තමාන සභාපති ඩේවිඩ් මැල්පාස් (David Malpass) සඳහන් කරන්නේ. එය වැලැක්වීම සඳහා රටවල් 100ක පමණ ලෝක බැංකු ආධාර මත විවිධ ව්‍යාපෘති ආරම්භ කිරීමට මේ වන විටත් කටයුතු කර තිබෙන බව පවසන ඔහු, වසංගතයෙන් පීඩා විදින සංවර්ධනය වෙමින් පවතින රටවල සෞඛ්‍ය සේවා, ආර්ථික පද්ධති හා සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා සහාය වීමට ඉදිරි මාස 15ක් තුළ ඩොලර් බිලියන 160ක් වැය කිරීමට ලෝක බැංකුව සූදානම් බව සඳහන් කරනවා. ඒ සඳහා සංවර්ධිත රටවල, විවිධ ලෝක, කලාපීය හා ආර්ථික සංවිධානවල සහයෝගීතාවය ලෝක බැංකුවට අවශ්‍ය කෙරෙන බව ද සඳහන් කරනවා.
දරිද්‍රතාවයෙන් උග්‍ර මට්ටමට ළඟාවෙන රටවල් ලෙස හදුන්වන්නේ
වසංගතය හේතුවෙන් ලෝක ආර්ථික වර්ධනය 5%කින් පහළ වැටෙන බව ලෝක බැංකුව විසින් පුරෝකථනය කරන අතර එහි වැඩිම බලපෑම සංවර්ධිත රටවලටත් වඩා සංවර්ධනය වෙමින් පවතින රටවලට බලපානු ලබන බව ද සඳහන් කරනවා. අප්‍රිකානු මහද්වීපයේ පිහිටි දකුණු සුඩානය, බුරුන්ඩි, මලාවි, මධ්‍යම අප්‍රිකානු ජනරජය, ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජය හා මාලි වැනි රාජ්‍යයන් ද දකුණු ඇමෙරිකානු මහද්වීපයේ පිහිටි හයිටි වැනි රටවල් ද මැදපෙරදිග කලාපයේ පිහිටි යේමනය හා සිරියාව වැනි රටවල් ද දකුණු ආසියාවේ ඇෆ්ගනිස්තානය වැනි රටවල් ද වසංගතය හේතුවෙන් විශාල ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටිනවා.
ඉහත රටවල් මේ වන විට වෛරසය මුහුණ දෙන බැවින් එම රටවල් තුළ ජන ජීවිතය අවුල් වී එදිනෙදා කාර්යයන් කරගත නොහැකි වීම හා එක්සත් ජාතින් ඇතුළු ලෝක සංවිධාන විසින් දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා කෙරෙන ව්‍යාපෘති කරගෙන යා නොහැකි වීම ද ඔවුන්ගේ දරිද්‍රතාවය තව තවත් උග්‍ර කරවීමට සමත්ව තිබෙනවා.
ඉහත රටවලට අමතරව ලෝක බැංකුව විසින් දකුණු ඇමෙරිකානු රටක් වන බ්‍රසීලයේ උග්‍ර දරිද්‍රතාවය ඉහළ යනු ඇති බවට සැක පහළ කරනවා. එයට හේතුව වන්නේ මේ වන විට බ්‍රසීලයේ, කොවිඩ් 19 වසංගතය සීග්‍රයෙන් පැතිර යාම යි. 2019 අවසානයේ බ්‍රසීල ජාතිකයන් මිලියන 13කට අධික සංඛ්‍යාවක් උග්‍ර දරිද්‍රතාවයෙන් පෙළුණු අතර ඉදිරියේ දී එය සීග්‍රයෙන් වර්ධනය වනු ඇති බව ලෝක බැංකුව සඳහන් කරනවා. බ්‍රසීල ජනාධිපතිවරයා කොවිඩ් 19 පාලනය සඳහා නිශ්චිත ක්‍රියාමාර්ගයක් නොගැනීම ඒ සඳහා බලපානු ලබන ප්‍රධාන කරුණක් ලෙස හැදින්විය හැකි යි.
ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය වැනි සංවර්ධිත රටවල ද ආර්ථිකය, වසර ගණනාවකට පසුව දරුණු ආකාරයේ කඩා වැටීමකට ලක් වී ඇති තිබෙනවා. එම රටවල මේ වන විට රැකියා වියුක්තිය සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. එබැවින් සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙන්ම සංවර්ධිත රටවල පවතින මෙවැනි ආර්ථිකමය අර්බුද සඳහා ද ඉක්මන් විසඳුම් සෙවිය යුතු බව ලෝක බැංකු සභාපතිවරයා සඳහන් කරනවා.