Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගුවන් තොටුපළ ප්‍රතිසංස්කරණය හිසරදයක් කර නොගන්නට නම්

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජාත්‍යන්තර ගුවන් තොටුපළ තමයි කටුනායක පිහිටා තිබෙන බණ්ඩාරනායක ජාත්‍යන්තර තොටුපළ. අන්තර්ජාතික ගුවන් ගමන් ක්ෂේත්‍රයේදී මේ ගුවන්තොටුපළ BIA කියලා හඳුන්වන්නේ “Bandaranaike International Airport” කියන දීර්ඝ නාමයේ කෙටි යෙදුමක් විදිහටයි. අද, නැතිනම් ජනවාරි 5 වැනිදා ඉඳලා මේ අවුරුද්දේ අප්‍රේල් 7 දක්වා මාස තුනක වගේ කාලයක් මෙහි ගුවන් පථයේ අලුත්වැඩියා කටයුතු සිදු කරන්න නියමිතයි.

ශ්‍රී ලංකාව තුළ සියලු සිවිල් ගුවන් ගමන් මෙහෙයවන සිවිල් සේවා ගමන් අධිකාරිය, නැතිනම් CAA එක (Civil Aviation Authority) කල් ඇතිවම මේ අලුත්වැඩියාව ගැන ලංකාවට මෙහෙයුම් කටයුතු කරන හැම ගුවන් සමාගමකටම දැනුම් දීලා තියෙනවා. මේ මාස තුන පුරාවට ගුවන් පථය හැමදාම උදේ 8.30 ඉඳලා හවස 4.30 දක්වා සම්පූර්ණයෙන්ම වසා දමන්න නියමිතයි. ඉතින් මේ අලුත්වැඩියාව නිසා අපේ ගුවන් ගමන් ක්ෂේත්‍රයට සිදු වෙන බලපෑම ගැන වගේම විදෙස් ගමන් වල යෙදෙන්න ඉන්න අයත්, ඒ අවට ප්‍රදේශ වල ගමන් බිමන් වල යෙදෙන අයත් දැනගෙන ඉන්න අවශ්‍ය කාරණා ගැනත් අපි අදාළ බලධාරීන්ගෙන් විමසීමක් කළා.

අලුත්වැඩියා කරන්න සිදු වුණේ ඇයි?

ගුවන් පථය මත අනතුරක් වෙන්න කලින් ඉක්මණටම අලුත්වැඩියා කරන්න වෙනවා. රූපය : airport.lk

ගුවන් පථය මත අනතුරක් වෙන්න කලින් ඉක්මණටම අලුත්වැඩියා කරන්න වෙනවා. රූපය : airport.lk

දිගින් දිගටම අබලන් වෙමින් තිබුණු ගුවන් පථය ප්‍රතිසංස්කරණය කරන්න තීරණය වුණේ 2016 අවුරුද්දේ ජූලි මාසයේදී. මේ අනුව මාස තුනක් පුරාවට දිනකට පැය 8ක කාලයක් මෙහෙයුම් කටයුතු නවත්වලා ගුවන් පථය ප්‍රතිසංස්කරණය කෙරෙන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහත්මයා ප්‍රකාශ කළා.

1986 අවුරුද්දේ BIA එක ඉදිකරපු දවසේ ඉඳන් ගුවන් පථය මතුපිට ප්‍රතිසංස්කරණයක් සිදු වුණේ නැහැ. පාරක් වගේම කාලයක් යනකොට ගුවන් පථයක් වුණත් අබලන් වෙනවා. මේ නිසා අවුරුදු 30කටත් වඩා පැරණි ගුවන් පථය අනතුරුදායක වෙන්න කලින් ඉක්මණින්ම පිළිසකර කරන්න තීරණය වුණා.

අවුරුදු ගණනාවක් තිස්සේ නිරන්තර ගුවන් ගමන් නිසා වගේම අව්ව වැස්ස නිසාත් එන්න එන්නම අබලන් වුණු ගුවන් පථය මත ගුවන් යානා ලිස්සා යන්න තියෙන ප්‍රවණතාව වැඩියි. අපහසුවෙන් වුණත් මේ කටයුත්ත අනිවාර්යයෙන්ම සිදු කරන්න වුණේ ඒ නිසා බව CAA එකේ බලධාරීන් අපිට ප්‍රකාශ කළා. නැතිනම් විශාල අනතුරක් සිදු වෙන්න පුළුවන්.

මේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට රුපියල් බිලියන 7.2ක්, නැතිනම් කෝටි 720ක් විතර වැය වේවි කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා.

සාමාන්‍යයෙන් දවසකට ගුවන් යානා 175ක් විතර කටුනායක ගුවන් පථය මත එහා මෙහා ගමන් කරනවා. මේ නිසා දවසෙන් තුනෙන් එකක් මෙහෙයුම් කටයුතු නවත්වන එකෙන් ගුවන් ගමන් වලට සෘජු බලපෑමක් සිදු වෙන්න පුළුවන්. වක්‍ර මාර්ගයෙන් හෝටල් වල ආදායමට වගේම රටේ සංචාරක කර්මාන්තයටත් යම් බලපෑමක් ඇති වෙන්න ඉඩ තියෙනවා.

උදේ 8.30 – සවස 4.30 කාල සීමාවේදී කාලයක් තිස්සේ සිදු වුණු ගුවන් ගමන් වැඩි ගණනක් දැනටමත් රාත්‍රියේ සිදු කරන්න පුළුවන් වෙන විදිහට කටයුතු සලසලා තියෙනවා. නමුත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම තමන්ට ආදායම් අහිමි වෙන එක ගැන තරමක කණස්සල්ලකින් ඉන්නේ. දැනටමත් ණය බරින් පීඩාවට පත් වෙලා තියෙන ජාතික ගුවන් සේවයට මේ ප්‍රතිසංස්කරණ කාලය තුළදී ඇමරිකන් ඩොලර් මිලියන 47ක, නැතිනම් රුපියල් බිලියන 7ක පමණ ආදායමක් අහිමි වේවි කියලා ඔවුන් ගණන් බලා තිබෙනවා.

මීට අමතරව ගුවන් සංචාරකයන්ටත් මේ ප්‍රතිසංස්කරණය නිසා තරමක කරදරයකට ලක් වෙන්න සිදු වෙනවා. නමුත් අපි මේ කියන්න යන දේවල් ගැන අවධානය යොමු කළොත් ලොකු අපහසුතාවක් නැතිව ගමන් බිමන් වල යෙදෙන්න ඔබට හැකියාව ලැබේවි:

ටිකක් කලින් ගුවන් තොටුපළට එන්න බලන්න

දිග පෝලිම් වල ඉන්න සිදු වෙන්න පුළුවන්, ඒ නිසා ගුවන් තොටුපළට ටිකක් කලින් එන්න කියලා සියලු ගුවන් සංචාරකයන්ට පොදු උපදෙසක් ලබා දීලා තියෙනවා. රූපය : Getty Images

දිග පෝලිම් වල ඉන්න සිදු වෙන්න පුළුවන්, ඒ නිසා ගුවන් තොටුපළට ටිකක් කලින් එන්න කියලා සියලු ගුවන් සංචාරකයන්ට පොදු උපදෙසක් ලබා දීලා තියෙනවා. රූපය : Getty Images

ශ්‍රී ලන්කන් එයාර්ලයින් සමාගමේ නිලධාරියෙක් අපිට කිව්වේ පුළුවන් හැම වෙලාවකම අන්තර්ජාලය හරහා “චෙක්-ඉන්” වෙන එක (පැමිණීම තහවුරු කරන එක) වඩා පහසු වේවි කියලයි. ගුවන් තොටුපළේදී මුහුණ දෙන්න සිදු වෙන ප්‍රමාදයන් අඩු කරගන්න ඒකෙන් ඉඩක් ලැබෙනවා. ඒ වගේම අන්තර්ජාලය හරහා චෙක්-ඉන් වුණත් නැතත් චෙක්-ඉන් කවුන්ටර් වලට (පැමිණීම තහවුරු කරන කවුන්ටර් වලට) ගුවන් ගමනට පැය 5-6කට කලින්වත් ඇවිල්ලා ඉන්න කියලා දැනුම් දීලා තියෙනවා.

ඒ විතරක් නෙවෙයි, ගුවන් ගමනට විනාඩි 90ක් වත් කලින් ආවේ නැතිනම් පැමිණීමේ කවුන්ටර් වලට ඇතුළු වෙන්නත් ඉඩක් නොලැබෙන බව ශ්‍රී ලන්කන් එයාර්ලයින් සමාගම දැනුම් දීලා තියෙනවා. ඉතින් ගුවන් ගමන් වල යෙදෙන්න නම් මේ කලින් එන්න කියන උපදෙස අනිවාර්යයෙන්ම පිළිපදින්න සිදු වේවි.

ඒ වගේම ගුවන් තොටුපළේ ලොබී එකට අමුත්තන්ට පැමිණෙන්න ඉඩ නොදෙන බවත් ප්‍රකාශ කෙරෙනවා.

එතකොට මත්තල ගුවන් තොටුපළ?

කටුනායක ප්‍රතිසංස්කරණ කටයුතු නිසා කාලයකට පස්සේ මත්තල ගුවන් තොටුපළටත් (MRIA) ගුවන් යානා පැමිණෙන්න පටන් ගනීවි. රූපය : lanka.com

කටුනායක ප්‍රතිසංස්කරණ කටයුතු නිසා කාලයකට පස්සේ මත්තල ගුවන් තොටුපළටත් (MRIA) ගුවන් යානා පැමිණෙන්න පටන් ගනීවි. රූපය : lanka.com

කාලයක් තිස්සේ ගුවන් යානා කිසිවක් ආපු නැති මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළට, නැතිනම් MRIA එකට දැන් ආයෙත් ගුවන් යානා කිහිපයක් හරි එන්න පටන් ගනීවි. මත්තලට අවට ප්‍රදේශ වලට සංචාරකයන් අරගෙන එන ගුවන් යානා නැති වුණත් ගුවන් යානයකින් ගුවන් යානයකට මාරු වෙන්න අවශ්‍ය මගීන්ට නම් මත්තල ගුවන් තොටුපළ වැදගත් වේවි.

විදේශ ගුවන් සමාගම් නම් තවමත් මේ වැඩේට කැමැත්තක් දක්වලා නැහැ. කොහොම වුණත් ශ්‍රී ලන්කන් සමාගම මේ විදිහේ ප්‍රකාශයක් සිදු කළා. “ශැන්ග් හයි සහ බීජිං බලා ගමන් කරන ශ්‍රී ලන්කන් සමාගමට අයත් UL868 සහ UL866 කියන ගුවන් යානා දෙක මත්තලදී නවත්වලා ගමන් කරන්න තීරණය කරලා තියෙනවා. මේ වගේ අවස්ථා වලදී සාමාන්‍යයෙන් පැය 4-5ක් වගේ මත්තල නවත්වලා තියේවි.”

ඒ වගේම ව්‍යාපාරික පන්තියේ සංචාරකයන්ට මත්තල ගුවන් තොටුපළේ මගී විවේකාගාරය (Lounge එක) නොමිලේම භාවිත කරන්නත් ඉඩ සලසන බව ඔවුන් ප්‍රකාශ කළා. ඒ වගේම සියලුම මගීන්ට මත්තලදී ආහාර ලබා ගන්න වවුචර් ලබා දෙන්නත් ශ්‍රී ලන්කන් සමාගම කටයුතු කරනවා.

ඒ වගේම ඉවත් වෙලා යන ගුවන් මගීන්ගෙන් අය කෙරෙන ප්‍රවේශ ගාස්තුව (embarkation tax එක) මේ අවුරුද්දේ ජනවාරි 1 වැනිදා ඉඳලා රුපියල් 7000 සිට රුපියල් 4250 දක්වා අඩු කරන්නත් තීරණයක් අරගෙන තිබෙනවා.

අවධානයෙන් ඉන්න

නිතරම අවධානයෙන් ඉන්න එක වැදගත්. හැම වෙලාවකම ඔබට තියෙන සියලු ගැටළු ගුවන් ගමනට හැකි තරම් කලින් ගුවන් තොටුපළ අමතලා නිරාකරණය කරගන්න බලන්න. රූපය : lanka.com

නිතරම අවධානයෙන් ඉන්න එක වැදගත්. හැම වෙලාවකම ඔබට තියෙන සියලු ගැටළු ගුවන් ගමනට හැකි තරම් කලින් ගුවන් තොටුපළ අමතලා නිරාකරණය කරගන්න බලන්න. රූපය : lanka.com

තමන්ගේ ගුවන් ගමන් කාලසටහනේ යම් වෙනසක් සිදු වුණොත් ඒ ගැන වහාම සියලුම ගුවන් මගීන් දැනුවත් කරන්න කටයුතු යොදලා තියෙන බවත් ශ්‍රී ලන්කන් එයාර්ලයින් සමාගම අපිට ප්‍රකාශ කළා.

කොහොම වුණත් හැම වෙලාවකම අවධානයෙන් ඉන්න එක ගුවන් මගියෙක් විදිහට ඔබටත් වැදගත් වේවි. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන්, ගුවන් මෙහෙයුම් වල විස්තර ගැන ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් හරි, දැන ගැනීමට අවශ්‍ය දෙයක් තියෙනවා නම් හරි 0197335555 අමතලා තොරතුරු ලබා ගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා.

ඒ වගේම ගුවන් තොටුපළේ අලුත්වැඩියා කටයුතු කරන්න අවශ්‍ය ඉදිකිරීමේ ද්‍රව්‍ය මහා පරිමාණයෙන් ගෙන එන නිසා ඒ ආසන්න ප්‍රදේශ වල මාර්ග අවහිර වෙන්නත් ඉඩක් තියෙනවා. පසුගිය ජනවාරි තුන් වැනිදා ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය මේ ගැන මාධ්‍ය නිවේදනයකුත් නිකුත් කළා. මේ කාලයේදී ප්‍රවාහන කටයුතු පවත්වාගෙන යන්න විශේෂ රථවාහන සැලැස්මකුත් ඔවුන් නිර්මාණය කරලා තියෙනවා. මේ නිසා ගුවන් මගියෙක් නොවුණත් ඔබ ජීවත් වන, නැතිනම් රැකියා හෝ අධ්‍යාපන කටයුතුවල යෙදෙන ප්‍රදේශ වල රථවාහන ගමනාගමනය ගැනත් අවධානයෙන් ඉන්න.

මාස තුනක විතර අපහසුතාවක් විඳින්න සිදු වුණත් ඉන් පස්සේ අපේ ජාතික ගුවන් තොටුපළ බොහොම අලංකාරවත්ව වැඩිදියුණු වෙලා තියේවි Roar අපිත් අපේක්ෂා කරනවා.

කවරයේ පින්තුරය: airports-worldwide.com

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ 

Related Articles