Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විශ්‍රාම ගැන්වීමේ වයස අඩු කිරීම හොඳ ද? නරක ද?

ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා ඉදිරිපත් කළ 2022 වසර සඳහා වන අතුරු අයවැයෙහි අන්තර්ගත කරුණු අතරින් කැපී පෙනෙන එකකි – රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති සංශෝධනය.

එම සංශෝධනය මඟින් මේ වසර මුල දී වයස අවුරුදු 65 දක්වා ඉහළ දැමූ රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ උපරිම වයස නැවැතත් අවුරුදු 60 දක්වා පහළ දමා ඇත.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව – www.leader.lk

මෙම තීරණයත් සමඟ 2022 වසර අවසානය වන විට විශ්‍රාම ගන්නා රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව අනිකුත් වසරවලට සාපේක්ෂ ව 2,000කින් පමණ ඉහළ යනු ඇතැයි වාර්තා වේ. මේ තත්ත්වය සහ රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීම සහ විශ්‍රාම වැටුප් ගෙවීම සම්බන්ධයෙන් වන වැදගත් කරුණු කිහිපයක් ගැන මේ ලිපියෙන් විමසා බලමු.

විශ්‍රාම වැටුප් ඉතිහාසය

මෙරට විශ්‍රාම වැටුප් හා වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම් ඉතිහාසය 1815 වසර දක්වා දිව යයි. එවකට බ්‍රිතාන්‍ය යටත් විජිතයෙහි සේවය කළ රාජ්‍ය නිලධාරීන්ට මාසික වැටුපක් මෙන් ම විශ්‍රාම වැටුපක් ද හිමි විය. 1947 අංක 02 දරණ ආඥා පනත යටතේ විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය ස්ථාපිත වුවත්, විශ්‍රාම වැටුප වර්ෂ 1901 සිට මෙරට නීතියේ කොටසක් බවට පත් ව ඇත.

වර්ෂ 1947 දී කෙටුම්පත් කළ ව්‍යවස්ථා සංග්‍රහය විවිධ සංශෝධනයන්ට යටත් ව දැනට 1972 මැයි 05 දිනැති සංශෝධිත විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ විධි විධාන ක්‍රියාත්මක වේ. මේ වන විට විශ්‍රාම වැටුප් ගෙවීම සම්බන්ධයෙන් වන සියලු කටයුතු රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ එන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හරහා සිදු වේ.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය – www.pensions.gov.lk

විශ්‍රාම වැටුප් ලැබීමට ඇති සුදුසුකම්

රාජ්‍ය සේවකයන් සඳහා වන විශ්‍රාම වැටුප අයිතිවාසිකමක් නොව වරප්‍රසාදයක් බැවින් සියලු රාජ්‍ය සේවකයන් තම විශ්‍රාම වැටුප් හිමිකම උපයා ගත යුතු බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. ඒ අනුව, යම්කිසි රාජ්‍ය සේවකයෙක්ට විශ්‍රාම වැටුප ලැබීමට නම් ඔහු/ ඇය විශ්‍රාම වැටුප හිමි තනතුරක් දරා තිබීම, එම තනතුරේ ස්ථිර වී තිබීම, විශ්‍රාම වැටුප සඳහා ගණනය කළ හැකි දල සේවා කාලය මාස 120කට වැඩි වීම, සහ විධිමත් පරිදි තනතුරෙන් විශ්‍රාම ගෙන තිබීම යන මූලික සුදුසුකම් සපුරා තිබිය යුතු ය.  

සමස්ත විශ්‍රාමිකයෝ

මේ වසරේ අගෝස්තු මාසය වන විට පවතින දත්ත අනුව මෙරට සමස්ත විශ්‍රාමිකයන් සංඛ්‍යාව 671,756 කි. ඒ අතර සිවිල් සේවයේ විශ්‍රාමිකයන් 360,868ක්, වැන්දඹු සහ අනත්දරු ප්‍රතිලාභීන් 187,206ක්, සන්නද්ධ හමුදා විශ්‍රාමිකයන් 117,006ක්, රජයේ අනුමත පුද්ගලික පාසල් සහ පිරිවෙන් ගුරුවරුන් 3,448ක්, පළාත් පාලන ආයතන විශ්‍රාමිකයන් 3,227ක් වේ. විශ්‍රාමිකයන් වැඩි ම පිරිසක් ජීවත් වන දිස්ත්‍රික්ක ලෙස ගම්පහ, කොළඹ, කුරුණෑගල, මහනුවර, සහ කළුතර යන දිස්ත්‍රික්ක හඳුනාගෙන ඇත. ඊට අමතර ව, විදේශ රටවල ජීවත් වන විශ්‍රාමිකයන් 6,034ක් ද අදාළ ප්‍රතිලාභ ලබති.

2022 අගෝස්තු මාසයට අදාළ විශ්‍රාමිකයන්ගේ බෙදී යාම –  www.pensions.gov.lk

විශ්‍රාම වැටුප් ගෙවීම්

ඉහත කී විශ්‍රාමිකයන් 671,756 සඳහා වන විශ්‍රාම වැටුප් සහ අනිකුත් ප්‍රතිලාභ ගෙවීම සඳහා රජය අගෝස්තු මාසයේ දී වැය කර ඇති මුදල රුපියල් මිලියන 23,528කි. ඒ අතර සිවිල් සේවයේ විශ්‍රාමිකයන් සඳහා ගෙවූ රුපියල් මිලියන 13,187ක්, වැන්දඹු සහ අනත්දරු ප්‍රතිලාභීන් සඳහා ගෙවූ රුපියල් මිලියන 5,011ක්, සන්නද්ධ හමුදා විශ්‍රාමිකයන් සඳහා ගෙවූ රුපියල් මිලියන 5,100ක්, රජයේ අනුමත පුද්ගලික පාසල් සහ පිරිවෙන් ගුරුවරු සඳහා ගෙවූ රුපියල් මිලියන 146ක්, සහ පළාත් පාලන ආයතන විශ්‍රාමිකයන් සඳහා ගෙවූ රුපියල් මිලියන 83ක් වේ.

විශ්‍රාම යාමේ වයස

2021 වසර වන තෙක්, විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය අනුව වයස අවුරුදු 55 සම්පූර්ණ වූ පසු සේවයෙන් විශ්‍රාම ගැනීමට රාජ්‍ය සේවකයන්ට හැකියාව තිබිණි. එසේ වුවත් ආයතන සංග්‍රහය සහ 1910 අංක 10 දරන රජයේ හා අධිකරණ නිලධාරීන්ගේ (විශ්‍රාම ගැන්වීමේ) ආඥා පනත අනුව අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස ලෙස අවුරුදු 60 දක්වා තිබිණි.

2022 අගෝස්තු මාසයේ දී විශ්‍රාමිකයන් සඳහා කර ඇති ගෙවීම් – www.pensions.gov.lk

සුදුසුකම් සහිත සහ නිපුණතාවෙන් හෙබි නිලධාරීන්ගේ හිඟය වැනි හේතු නිසා අනිවාර්යය වයස් සීමාව ඉක්මවා සේවය කිරීමට ඇතැම් රාජ්‍ය සේවකයන්ට අවසර දී තිබිණි. උදාහරණ ලෙස, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ නිලධාරීන්ට වයස අවුරුදු 61 දක්වා, විශේෂඥ වෛද්‍යවරුන්ට අවුරුදු 63 දක්වා, අනිකුත් වෛද්‍ය වෘත්තිකයන්ට අවුරුදු 61 දක්වා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට අවුරුදු 65 දක්වා, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට අවුරුදු 63 දක්වා, සහ මහාධිකරණ විනිසුරුවරුන්ට අවුරුදු 61 දක්වා සේවය කළ හැක.

විශ්‍රාම යාමේ වයස සංශෝධනය කෙරේ

2021 වසරේ නොවැම්බර් මස එවකට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කළ 2022 වසර සඳහා වන අයවැය මඟින් එතෙක් කල් රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ උපරිම වයස ලෙස පැවති වයස අවුරුදු 60, අවුරුදු 65 දක්වා ඉහළ නංවා තිබිණි. ඊට අමතර ව අර්ධ රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ උපරිම වයස අවුරුදු 62 දක්වා ඉහළ නංවා තිබිණි.

ඊට අදාළ ගැසට් නිවේදනය මගින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ වෙනත්  නීතිමය ප්‍රතිපාදනයක් මඟින් සුවිශේෂී විශ්‍රාම ගැන්වීමේ වයසක් පනවා නොමැති රාජ්‍ය නිලධාරීන් හැර අනිකුත් සියලු රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස  2022 ජනවාරි 1 දින සිට බල පැවැත්වෙන පරිදි අවුරුදු 65 දක්වා සහ අර්ධ රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62 දක්වා දීර්ඝ කර තිබිණි.

විශ්‍රාම ගැන්වීමේ අනිවාර්‍ය වයස 65 දක්වා ඉහළ නැංවීමට අදාළ ගැසට් නිවේදනය – www.dailymirror.lk

රාජ්‍ය සේවකයන්ගෙන් සහ තරුණ තරුණියන්ගෙන් මැසිවිලි

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ උපරිම වයස දීර්ඝ කිරීම හේතුවෙන් රාජ්‍ය සේවයේ සිටින අනිකුත් නිලධාරීන්ට උසස් වීම් ලබා ගැනීමේ දී ගැටලුකාරී තත්ත්වයක් මතු වන බවට රාජ්‍ය සේවකයෝ මැසිවිලි නැඟූහ. ඔවුන් එවකට චෝදනා කළේ ජ්‍යෙෂ්ට රාජ්‍ය නිලධාරීන් දීර්ඝ කාලයක් සේවයේ රැඳී සිටින විට ඔවුන්ගේ තනතුරු සඳහා වෙනත් අය පත් කිරීමක් සිදු නොවන බැවින් උසස්වීම් ලැබීම ප්‍රමාද වන බව යි. රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ දැමීම හරහා තරුණ තරුණියන්ට රාජ්‍ය සේවයට පිවිසීමට ඇති ඉඩකඩ ඇහිරී යන බවට ද චෝදනා එල්ල විය.

විශ්‍රාම ගැන්වීමේ වයස නැවැත සංශෝධනයට

මේ කරුණු සැලකිල්ලට ගනිමින් ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය අගෝස්තු 30 වැනි දින ඉදිරිපත් කළ 2022 වසර සඳහා වන අතුරු අයවැය මඟින් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ උපරිම වයස නැවතත් අවුරුදු 60 දක්වා පහළ දමා තිබිණි. එම යෝජනාවට අනුව මේ වන විට රාජ්‍ය ආයතනවල සේවය කරන වයස අවුරුදු 60ට වැඩි සියලු සේවකයන් 2022 දෙසැම්බර් 31 දින වන විට විශ්‍රාම ගැන්වීමට නියමිත ය.  කෙසේ වෙතත් මෙය වෛද්‍ය, හෙද, සහ අධිකරණ වැනි ක්ෂේත්‍රවල රාජ්‍ය සේවකයන්ට අදාළ නොවන අතර, ඔවුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 බවට පත් කිරීමට අදාළ කටයුතු මේ වන විට යොදමින් තිබෙන බව වාර්තා වේ.

 ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලට අනුයුක්තව සේවය කරන විශේෂඥ වෛද්‍යවරු සිව් දෙනෙක් විශ්‍රාම ගැන්වීමේ වයස 65 සිට 60 දක්වා අඩු කිරීමට ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ එහි සභාපතිවරයා එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත. ඔවුන්ගේ පත්වීමේ ලිපිවල විශ්‍රාම ගැන්වීමේ වයස ලෙස සඳහන් වන වයස අවුරුදු 65, මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තෙක් කිසිදු ආකාරයකින් වෙනස් නොකරන ලෙස බලධාරීන්ට නියෝග කරන ලෙස ඔවුහු ඉල්ලා තිබේ.

 යම් හෙයකින් වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යා යුතු වයස අඩු කළහොත් එය රට තුළ වෛද්‍යවරුන්ගේ හිඟයකට මග පාදනු ඇතැයි පාර්ශව ගණනාවක් පෙන්වා දී තිබේ. විශේෂයෙන් ම පවතින ආර්ථික අර්බුදය හමුවේ වසරක් පාසා සැලකිය යුතු වෛද්‍යවරු ප්‍රමාණයක් වෙනත් රටවල සේවය සඳහා පිටත්ව යන බැවින් රට තුළ සේවය කරන වෛද්‍යවරු වයස අවුරුදු 60 වන විට විශ්‍රාම ගැන්වීම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අර්බුදයක් ඇති කරනු ඇතැයි ඔවුන් පෙන්වා දී ඇත.

ජීවිතයේ සැඳෑ කාලය හෝ විශ්‍රාම සුවයෙන් – www.gettyimages.com

 

විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනය කිරීම පිළිබඳව කිහිප දෙනෙක් ද අප සමඟ අදහස් බෙදාගත්හ.

විශ්‍රාම ගැන්වීමේ වයස 65 සිට 60 දක්වා යළි පහත දැමීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රැකියාවක් අපේක්ෂාවෙන් සිටින උපාධිධාරියෙක් මෙලෙස අදහස් පළ කළේ ය:

“මං මේ තීරණය දකින්නේ හොඳ තීරණයක් විදියට. යම්කිසි පුද්ගලයකුට වයස අවුරුදු 65 වෙනකල් රාජ්‍ය සේවයේ යෙදෙන්න ඉඩ දෙනවා කියන්නේ එය තවත් බොහෝ පිරිසකට කරන අසාධාරණයක්. ඒ හරහා විශාල පිරිසකට රැකියා ලබා ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. සියලු දෙනාට රජයේ රැකියා අවශ්‍යයි කියලා මං කියන්නේ නැහැ, බඳවා ගත හැකි තරුණ තරුණියන් ප්‍රමාණය හරි නිසි කාලයට බඳවා ගන්නට නම් රාජ්‍ය සේවකයන් වයස අවුරුදු 60න් විශ්‍රාම ගන්වන්න සිදු වෙනවා. මෙය තවත් අවුරුදු 5කින් වගේ අඩු කරන්න පුළුවන් නම් හොඳයි කියන එකයි මගේ අදහස.”

 මේ වන විට විශ්‍රාම සුවයෙන් පසුවන ගුරුවරියක් අප සමඟ පැවැසුවේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා ඉහළ දැමීමේ යහපත් ප්‍රතිපල තිබිය හැකි නමුත් එය විශ්‍රාමිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සිදු කරන අසාධාරණයක් බව යි.

ජීවිතයේ සැඳෑ කාලය හෝ විශ්‍රාම සුවයෙන්

“සාමාන්‍යයෙන් රාජ්‍ය සේවයට ඇතුළත් වෙන්නේ විශ්වවිද්‍යාලයක හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය ලබන පුද්ගලයෙක්. ඔවුන් ජීවිතයෙන් සැලකිය යුතු කාලයක් අධ්‍යාපන කටයුතු සඳහා වැය කරනවා. ඉතිරි කාලය රැකියාව වෙනුවෙන් වැය කරනවා. සමහරුන්ට තමන්ගේ දරුවෝ සහ පවුලේ සාමාජිකයන් සමඟ ප්‍රමාණවත් කාලයක් ගත කරන්නට ලැබෙන්නේ නැති තරම්. ඒ නිසා මගේ අදහස නම් රාජ්‍ය සේවකයන්ට ජීවිතයේ සැඳෑ කාලය හෝ විශ්‍රාම සුවයෙන් ගත කරන්න ඉඩ දෙන්න ඕනි. පුද්ගලයෙක්ගේ ආයු කාලය පවා විශාල වශයෙන් පහළ ගොස් ඇති කාලයක ඔවුන් අවුරුදු 65ක් වන තෙක් තවදුරටත් රාජ්‍ය සේවයේ රඳවා ගැනීම සාධාරණ නැහැ”යි ඇය සඳහන් කළා ය.

රාජ්‍ය සේවකයන් විශ්‍රාම යාමේ වැඩි වීමක් – www.gettyimages.com

 

කෙසේ වෙතත් දැනට රාජ්‍ය සේවයේ නියුතු අයෙක් අප සමග පැවසුවේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව මේ ආකාරයෙන් වරින් වර ඉහළ පහළ දැමීම හරහා රාජ්‍ය සේවකයන්ට අසාධාරණයක් සිදු වන බව යි.

ඔහු පැවැසුවේ: “විශ්‍රාම යාමේ අනිවාර්‍ය වයස අවුරුදු 60ද 65ද කියන එක මට ගැටලුවක් නැහැ, එය මේ විදියට වරින් වර ඉහළ පහළ දැමීම හොඳ දෙයක් නෙවෙයි. බොහෝ රාජ්‍ය සේවකයන් තමන් විශ්‍රාම යන වයස සහ කාලය අනුව ඔවුන්ගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ ජීවිතයේ වැඩකටයුතු සැලසුම් කරනවා. ඒත් මේ විදියට වසරක් හෝ වසර කිහිපයක් පාසා විශ්‍රාම යා යුතු වයස සංශෝධනය වෙනවා නම් ඔවුන්ට ඒ සැලසුම් අනුව කටයුතු කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා 55, 60, හෝ 65, මේ ඕනිම වයස් සීමාවක් දීර්ඝකාලීනව නිර්දේශ කළ යුතුයි.”

රාජ්‍ය සේවකයන් විශ්‍රාම යාමේ වැඩි වීමක්?

විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා යළි පහළ දැමීමත් සමඟ පසුගිය වසරවලට සාපේක්ෂ ව මේ වසර අවසානය වන විට විශ්‍රාම යන රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව 2,000කින් පමණ ඉහළ යනු ඇති බව පසුගිය දා වාර්තා විය. සාමාන්‍යයෙන් වසරක් අවසානයේ විශ්‍රාම යන රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව 18,000ක් පමණ වුවත්, විශ්‍රාම ගැන්වීමේ වයස 60 දක්වා පහළ දැමීම හේතුවෙන් මේ වසර අවසානයේ විශ්‍රාම යන රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව ආසන්න වශයෙන් 20,000ක් පමණ වනු ඇතැයි මේ වන විට ගණන් බලා තිබේ.

රාජ්‍ය සේවක හිඟයක්?

මේ ආකාරයෙන් විශ්‍රාම ගන්නා රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යාම නිසා ඉදිරියේදී රාජ්‍ය ආයතනවල සේවා පවත්වා ගෙන යාමේදී ගැටලුකාරී තත්ත්වයන් උද්ගත විය හැකි බව වෘත්තීය සමිති ඇතුළු පාර්ශව කිහිපයක් පෙන්වා දී තිබේ. විශේෂයෙන්ම ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සීමා කොට ඇති බැවින් ඉදිරියේ දී රාජ්‍ය සේවක හිඟයක් ඇති විය හැකි බව ඔවුන් අනතුරු අඟවා ඇත.

විශ්‍රාමිකයන් සඳහා 2015 දී පැවැති වැඩමුළුවක් – www.pensions.gov.lk

රාජ්‍ය සේවය ප්‍රතිව්‍යූහගත කිරීමට සැලසුම්

කෙසේ වෙතත් මේ වන විට රජය සැලසුම් කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ යටතේ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන ගණනාවක් ප්‍රතිව්‍යූහගත කිරීමට නියමිත ය. ඊට අදාළ කරුණු ජනාධිපතිවරයා පසුගියදා ඉදිරිපත් කළ අතුරු අයවැයෙහි ද සඳහන් වේ. එම ප්‍රතිසංස්කරණ යටතේ යම් යම් රාජ්‍ය ආයතනවල අතිරික්ත සේවක පිරිස් සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණවලට එළැඹීමට නියමිත ය.

මේ අතර, මේ වන විට නිශ්චිත කාර්‍යභාරයක් නොමැති රාජ්‍ය සේවකයන් 100,000කට වැඩි පිරිසක් මෙරට රාජ්‍ය සේවයේ සිටින බව පසුගිය දා වාර්තා විය. රජය නියෝජනය කරන අමාත්‍යවරුන් කිහිප දෙනෙක් පසුගියදා සඳහන් කර තිබුණේ මෙරට රාජ්‍ය සේවකයන් අතරින් වැඩි පිරිසක් අකාර්යක්ෂම බව යි. ඇතැම් ආයතනවල සේවා ඒවායේ දැනට සිටින සේවක සංඛ්‍යාවෙන් හරි අඩකට වුවත් පවත්වාගෙන යාමට හැකි බව ද ඔවුන් සඳහන් කර තිබිණි.

කවරයේ ඡායාරූපය- www.dailynews.lk

මූලාශ්‍ර

www.pensions.gov.lk

www.dailymirror.lk

www.statistics.gov.lk

www.sundaytimes.lk

Related Articles