ගෝලීය කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ පෙර වසරට වඩා තරමකින් හෝ සුබදායී වාතාවරණයක් 2021 දී ලෝකයේ ඇති වෙමින් තිබෙනවා. ලෝකය පුරා ක්‍රියාත්මක වන විවිධාකාරයේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන් එයට ප්‍රබල උදාහරණයක්. සංචරණ සීමා නිසා ආර්ථික හා සමාජීය ක්‍රියාකරකම් පැත්තෙනුත් ලෝකය පසුගිය කාලයේදී ප්‍රබල පසුබෑමකට ලක් වුණා. ඇතිවූ අලුත් වාතාවරණයට (New Normal) අනුගත වෙමින් එදිනෙදා කටයුතු කරගෙන යෑමට දැන් දැන් මානව සංහතිය පුරුදු වෙමින් සිටිනවා.
එන්නතකින් කරන්නේ රෝගකාරකයකට එරෙහිව අපගේ ශරීරයෙහි ප්‍රතිශක්තිය තීව්‍ර කිරීමක්. මානව ප්‍රජාව නැවතත් ප්‍රකෘති තත්ත්වයට පැමිණීමට නම් කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩපිළිවෙළ අතිශයින් සාර්ථක වීම වැදගත්. එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන විටත් අපට අලුත් අලුත් අභියෝගවලට මුහුණ දෙන්න සිදු වෙනවා. අප මුහුණ දෙන එවැනි වත්මන් අභියෝගයක පසුබිම පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් ඔබ වෙත ගෙන ඒමටයි මේ සූදානම.
පළමු මාත්‍රාව සහ ඇස්ට්‍රාසෙනෙකා හිඟය
ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිපදවන ඇතැම් රටවල ඇති වූ අර්බුදකාරී වාතාවරණ නිසා ගෝලීය එන්නත් හිඟයක් නිර්මාණය වීමේ අවදානමකට පසුබිම සැකසුණා. ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඇණවුම් කර තිබූ රටවල පළමු එන්නත් මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට එහි දෙවන මාත්‍රාව ලබාදීමේ ගැටලුවක් ඒ අනුව නිර්මාණය වුණා.
මෙවැනි පසුබිමක් හමුවේ ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව සඳහා වෙනත් එන්නතක් භාවිත කිරීමේ හැකියාව, ප්‍රතිදේහ ජනනය සිදු කිරීම සඳහා දෙවන මාත්‍රාව ලබා දිය යුතු කාල පරතරය, වැනි කරුණු ගැන පසුගිය කාලයේ පර්යේෂණ සිදු වුණා. බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය එවැනි ගැටලුවලට පිළිතුරු සෙවීම සම්බන්ධයෙන් ඉදිරිගාමී කාර්යභාරයක් ඉටු කරනවා.
මෙම පර්යේෂණවල පසුබිම සහ නිගමනයන් දෙසට අවධානය යොමු කිරීමට කලින්, අපි ඇස්ට්‍රාසෙනෙකා යනු ඇත්තටම කුමනාකාරයේ කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ එන්නතක්ද යන්න වග සොයා බලමු.
ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ ස්වරූපය
මේ වනවිට විවිධ වර්ගවල කොවිඩ් එන්නත් කරළියට පැමිණ තිබෙනවා. අදාළ රෝගකාරක වෛරසයට එරෙහිව මෙම එන්නත් සකසා තිබෙන ආකාරයේ වෙනසකුත් ඒ අනුව දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් දුර්වල කළ සජීවි වෛරසයක්, අක්‍රිය වෛරසයක්, වෛරස් රෝගවාහක, ප්‍රෝටීන උප ඒකක හෝ RNA, DNA න්‍යෂ්ටික අම්ල ද්‍රව්‍ය භාවිත කරමින් ප්‍රතිශක්තීකරණ එන්නතක් සංවර්ධනය කළ හැකි යි.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත, “අනුපිටපත් නොකරන වෛරස රෝගවාහක” නම් එන්නත් ස්වරූපයට අයත් කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ එන්නත් වර්ගයක් වෙනවා. ඒවායෙහි ප්‍රතිදේහ අඩංගු නොවන අතර, ශරීරයේ සෛල මාර්ගයෙන්ම ඒවා නිෂ්පාදනය කරනවා. මානව සෛලවලට ප්‍රතිදේහ නිකුත් කිරීම සඳහා උපදෙස් ලබාදෙන ජානමය කේතයක් ඇතුළත් වෛරසයක් (එනම්, රෝගවාහකය) භාවිතයෙන් මෙම අරමුණ ඉටු කරගත හැකි යි. එමඟින් ප්‍රතිශක්තිමය ප්‍රතිචාර මිනිස් ශරීරය තුළ වර්ධනය වීම සිදු වෙනවා.
කාලය බාධාවක් ද?
ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට දෙවන මාත්‍රාවේ ප්‍රමාදය සම්බන්ධයෙන් ගැටලුකාරී වාතාවරණයක් ඇති වුණා. එම ප්‍රමාදය හමුවේ දෙවන මාත්‍රාව ලබාගත්තත්, අපේක්ෂිත ප්‍රතිශක්තිකරණය ලබාගත හැකිද යන්න වගත් සැක මතු වුණා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන වාර්තා අනුව මෙම “ප්‍රමාදය” වෙස් වලාගත් ආශිර්වාදයක් බවටයි පෙනෙන්න තිබෙන්නේ. දෙවන එන්නත් මාත්‍රා ප්‍රමාදය හමුවේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පලදායිතාව පිළිබඳ වූ අධ්‍යයනයක් සඳහා ඔවුන් පිරිසක් සහභාගී කරවා ගත්තා. එහිදී පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රාව අතර සති හතළිස් පහක කාල පරතරයක් තිබීම වඩාත් උචිත බව හෙළිදරව් වුණා. ප්‍රමාදවී ලබා ගත් දෙවන මාත්‍රාවෙන් පසු පරීක්ෂණයට සහභාගී වූවන්ගේ ප්‍රතිදේහ මට්ටම ඉහළ ගොස් තිබීම එයට හේතුව යි. ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා පළමු සහ දෙවන මාත්‍රාව අතර සැලකිය යුතු ප්‍රමාදයක් පැවතීම ප්‍රයෝජනවත් විය හැකි අතර, එමඟින් ප්‍රතිදේහ ජනනය වඩාත් හොඳින් සිදුවී ප්‍රතිශක්තීකරණ ප්‍රතිචාරය වැඩි විය හැකි යි.
ඔක්ස්ෆර්ඩ් සරසවියේ ළමා ආසාදන හා ප්‍රතිශක්තිය පිළිබඳ මහාචාර්ය ශ්‍රීමත් ඇන්ඩෲ පොලාර්ඩ්, කොවිඩ් එන්නත් අත්හදා බැලීම සම්බන්ධයෙන් ප්‍රධාන විමර්ශකයෙකු ලෙසත් ක්‍රියා කරනවා. ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාවේ ප්‍රමාදය ගැන වද වෙන බොහෝ රටවලට මෙය සැනසිලිදායක පුවතක් වනු ඇති බව ඔහුගේ අදහස යි. ඇතැම් රටවල් අනාගතයේ දී තුන්වන එන්නත් මාත්‍රාවක් කෙරෙහි අවධානය යොමු කිරීමේ ප්‍රවණතාවක් පවතිනවා. තුන්වන එන්නත් මාත්‍රාවක බලපෑම පිළිබඳ අධ්‍යයනය කළ පර්යේෂකයන් පවසන්නේ තුන්වන මාත්‍රාවක් සමඟ ප්‍රතිදේහ මට්ටමත් සැලකිය යුතු ලෙස වර්ධනය කරගත හැකි බව යි.
විකල්පය ෆයිසර් ද?
ඇස්ට්‍රාසෙනෙකා පළමු සහ දෙවන එන්නත් මාත්‍රාව අතර සැලකිය යුතු කාල පරාසයක් පැවතීම යහපත් බව අප කලින් සඳහන් කළා. ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් වැඩි වන වේගය හමුවේ එන්නත් හිඟයක් පැවතීම කිසිසේත් සුදුසු වන්නේ නැහැ. ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා එන්නත් හිඟයට මුහුණ දීම සඳහා විකල්ප එන්නතක් දෙවන මාත්‍රාව සඳහා යොදාගැනීමේ හැකියාව ගැන සොයා බැලුණා. පසුව ෆයිසර් එන්නත ඇස්ට්‍රාසෙනෙකා හි දෙවන මාත්‍රාව සඳහා විකල්පය ලෙස වඩාත් සුදුසු බව හඳුනා ගැනුණා.
රෝග පතුරුවන විෂබීජවලින් (වෛරස හෝ බැක්ටීරියා) ලබාගත් ජානමය ද්‍රව්‍ය ආශ්‍රයෙන් ප්‍රතිශක්තිමය ප්‍රතිචාර උත්තේජනය කරන අන්දමේ ක්‍රියාවලියක් ෆයිසර් එන්නත නිසා සිදුවෙන බව සඳහන්. ෆයිසර් එන්නත පිටුපස ඇති තාක්ෂණය සාපේක්ෂව නවමු එකක් ද වෙනවා.
මිශ්‍ර එන්නත්කරණ වැඩපිළිවෙළ
ඇස්ට්‍රාසෙනෙකා එන්නතට පසුව ෆයිසර් එන්නත හෝ ෆයිසර් එන්නතට පසුව ඇස්ට්‍රාසෙනෙකා එන්නත යොදා ගැනීමෙන් ඉහළ ප්‍රතිදේහ සාන්ද්‍රණයක් ශරීරය තුළ නිපදවා ගත හැකි බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම් පවසනවා. සැලකිය යුතු කාල පරතරයකින් යුතුව මෙම “මිශ්‍ර එන්නත්කරණ වැඩපිළිවෙළ” ක්‍රියාත්මක කිරීම වඩාත් උචිත බව ඔවුන්ගේ අදහස යි.
ආරක්ෂිත කරුණු මත පදනම් ව යුරෝපාකරයේ බොහෝ රටවල් ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන් සඳහා වෙනත් විකල්ප එන්නතක් දෙවන මාත්‍රාව සඳහා යොදාගන්නා ලෙස දැනටමත් නිර්දේශ කර තිබෙනවා. කොවිඩ්-19 එන්නත් මිශ්‍ර කිරීමේ සහ ගැළපීමේ ක්‍රමවේදය නිසා ඉදිරියේදී එකම එන්නතෙන් ලබා දෙන මාත්‍රා හමුවේ ඇති වන ප්‍රතිශක්තියට වඩා වැඩි ප්‍රතිශක්තියක්, මිශ්‍ර එන්නත්කරණ වැඩපිළිවෙළ හරහා ලැබෙනු ඇතැයි පර්යේෂකයන් අපේක්ෂා කරනවා. එය නිතර එන්නත් සැපයුම් උච්චාවචනය වන රටවල් සඳහාද හොඳ විසඳුමක් වනු ඇති.
ශ්‍රී ලංකාවේ තත්ත්වය
ශ්‍රී ලංකාවේ පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් පුද්ගලයන් 600,000 ආසන්න පිරිසකට තවමත් දෙවෙනි මාත්‍රාව ලැබී නැහැ. ඒ අනුව එන්නත් හිඟයට මුහුණ පාන රටවල් අතර ශ්‍රී ලංකාවත් සිටිනවා. නොවැලැක්විය හැකි ගෝලීය ප්‍රවණතා හමුවේ එවැනි අර්බුදවලට මුහුණපෑම සාමාන්‍යයෙන් සිදු වන්නක්. ඒ නිසා ගෝලීය වසංගත තත්ත්වයක් හමුවේ විකල්ප ක්‍රම කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත්.
ඇස්ට්‍රාසෙනෙකා හිඟය හමුවේ විද්වතුන් යෝජනා කළ විකල්පයන්ට ශ්‍රී ලංකාවත් දැන් අවතීර්ණ වෙමින් පවතිනවා. ශ්‍රී ලංකාව වෙත පසුගිය දා ෆයිසර් එන්නත් 26,000ක් ලැබුණා. එම ෆයිසර් එන්නත් දෙන්නේ, පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලැබුණු පුද්ගලයන්ට පමණක් බව නවතම වාර්තාවල සඳහන්.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගත් පුද්ගලයන්ට, දෙවෙනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීමට යුරෝපයේ රටවල් ගණනාවක් ද පියවර ගෙන ඇති බව ඖෂධ නියාමන සහ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ද පවසන අදහසක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) තාක්ෂණික ඇගයීම් පත්‍රිකාවක් මගින් ද එය නිර්දේශ කර ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.
ඒ අනුව මිශ්‍ර එන්නත්කරණ ආකාරයේ වැඩසටහනක් ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් එන්නත් මූලික කරගනිමින් ශ්‍රී ලංකාව තුළත් අදින් ඇරඹෙනු ඇති. ඉදිරියේදී අදියර කිහිපයක් ඔස්සේ රජය මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 200,000 ක් පමණ අප රටට ලැබීමට නියමිත යි.
මිශ්‍ර එන්නත්කරණයේ අතුරු ආබාධ?
ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් කොවිඩ් එන්නත් පිළිවෙළින් පළමු සහ දෙවෙනි මාත්‍රා ලෙස ලබාදීමෙන් පසු වැඩිහිටියන්ට සුළු හා මධ්‍යස්ථ සංකූලතා ඇති වීමට ඉඩක් නැති බව කිව නොහැකි යි. විවිධ එන්නත් මාත්‍රා මිශ්‍ර කර ලබාදුන් විට හට ගත් සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය, මාංශ පේශී වේදනාවන් ගැන වාර්තා වී තිබෙනවා. මෙයින් ඇතිවන අහිතකර ප්‍රතික්‍රියා කෙටි කාලීන වන අතර, ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතුවී නැහැ. ලොව පුරා සිටින සෞඛ්‍ය විශේෂඥයන් පොදුවේ එකඟ වන්නේ එන්නත් වර්ග මිශ්‍ර කර ලබාදීම ආරක්ෂිත බව යි.
එන්නතකින් කරන්නේ රෝගකාරකයකට එරෙහිව අපගේ ශරීරයෙහි ප්‍රතිශක්තිය තීව්‍ර කිරීමක්. කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ එන්නත්කරණය නිසා සිදු වෙන්නේ බරපතළ රෝග තත්ත්වයක් ඇති නොවී කොවිඩ් රෝගය මැඩ පවත්වා ගැනීමට ශරීරය සූදානම් කිරීමයි. මේ එන්නත්කරණය සම්පූර්ණ කළ අයට ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ද ඉහළ ආරක්ෂාවක් ලබන බව පර්යේෂණ මගින් පෙනී යනවා.
ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ඉහළ ආරක්ෂාවක්
එන්නත්කරණය නිසා රෝගය උත්සන්න වීමට ඇති ඉඩ බොහෝ අවම වුවත් එය 100%කින් උත්සන්න වන්නේ නෑ. ඒ නිසා ඇතැම් අයට සම්පූර්ණ එන්නත් මාත්‍රා දෙකම ලබා තිබියදීත් රෝගය වැලඳෙන්නට හා අසාධ්‍ය වන්නටත් පුළුවන්. එන්නත යනු කොවිඩ් පැරදවීමට කරන සටනේ දී අප සතු බලවත් මෙවලමක් වුවත් එන්නත් මාත්‍රා දෙකම ලබාගැනීමෙන් පසුවත් නියමිත සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම වැදගත්.
කොවිඩ්-19 හමුවේ ශ්‍රී ලංකාව ගත කරමින් සිටින්නේත් එතරම් හොඳ කාල වකවානුවක් නොවෙයි. ඒ නිසා ඔබට ලැබෙන්නේ එකම එන්නතක්ද, මිශ්‍ර එන්නතක් ද යන්න වග නොසලකා, එන්නත් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් කරන දැනුම්වත් කිරීම්වලට අවධානය යෙදීම ඉතා වැදගත්. ඔබ පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් කෙනෙක් නම්, ඉදිරි එන්නත්කරණ වැඩපිළිවෙළ ගැන විමසිල්ලෙන් සිටීම විශේෂයෙන්ම ප්‍රයෝජනවත් වේවි.