ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද අයත් වන්නේ හිමාල කඳුවැටියට යි. උසින් මීටර් 8,848ක් වන මෙම සුවිසල් කඳු මුදුන නේපාලයට සහ ටිබෙටයට මායිම්ව පිහිටා තිබෙනවා. ඈත අතීතයේ සිටම නේපාල වැසියන් එවරස්ට් කන්ද, පූජනීය ස්ථානයක් ලෙසින් සලකනු ලැබුවා. එනිසා ඔවුන් එය හඳුන්වන්නේ ‘සාගර්මාතා’ යන නමින්. එහි අරුත ‘දෙවිවරුන්ගේ මාතාව’ යන්නයි. එවරස්ට් කන්ද පිහිටි ප්‍රදේශයේ පවතින සුන්දරත්වය නිසා 70 දශකයේ දී ඒ ආශ්‍රිතව වනෝද්‍යානයක් ආරම්භ වුණා. ‘සාගර්මාතා ජාතික වනෝද්‍යානය’ නමින් හැඳින්වෙන එය ලෝකයේ වැඩිම උසකින් පිහිටා තිබෙන වනෝද්‍යානය බවට පත්ව තිබෙනවා. එසේ නම් මෙතැන් සිට ඔබ වෙත ඉදිරිපත් කරන්නේ සාගර්මාතා ජාතික වනෝද්‍යානයේ අසිරිය පිළිබඳව යි .
වනෝද්‍යානයේ ආරම්භය
ලෝක වනජීවී අරමුදලේ තෙවන ජාත්‍යන්තර සමුළුව ජර්මනියේ බොන් නුවර දී 1973 වසරේ පැවැත්වුණා. ඒ වන විට විනාශ වෙමින් පැවති එවරස්ට් පරිසර පද්ධතිය සහ එහි වඳවීමේ තර්ජනයට ලක්ව සිටි ජීවීන් සංරක්ෂණය කිරීම පිළිබඳව එම සමුළුවේ දී සාකච්ඡා කෙරුණා. එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් එවරස්ට් කන්ද ආශ්‍රිතව ‘සාගර්මාතා’ වනෝද්‍යානය පිහිටවීම පිළිබඳව එදින නිල වශයෙන් නිවේදනය කළා. ඉන් අනතුරුව ආරම්භ වුණු වනෝද්‍යානයේ ඉදිකිරීම් කටයුතු 1976 ජූලි මාසය වන විට අවසන් වුණා. එනිසා ජූලි 19 වැනිදා එය නිල වශයෙන් විවෘත කිරීමට හැකියාව ලැබුණා.
සාගර්මාතා වන උයන දැක්වෙන වීඩියෝවක් -NHK Tv
පිහිටීම
සාගර්මාතා ජාතික වනෝද්‍යානය නැගෙනහිර නේපාලයේ සොලුකුම්බු දිස්ත්‍රික්කය තුළ පිහිටා තිබෙනවා. හෙක්ටයාර 124,400ක භූමි ප්‍රදේශයක් පුරා විසිරී පවතින මෙම සුන්දර වනෝද්‍යානය මුහුදු මට්ටමේ සිට අඩි 9184ක් පමණ උසකින් පිහිටා තිබෙනවා. එනිසා මෙය ලොව වැඩිම උසකින් පිහිටි වනෝද්‍යානය ලෙසින් සැලකෙනවා. උස් කඳු වළල්ලකින් වටවුණු මෙම වනෝද්‍යානය අතිශය රළු භූමි ප්‍රදේශයක පිහිටා තිබෙන ආකාරය දැකගන්නට පුළුවන්. එම කඳු අතුරින් බාරුන්ට්ස්, ලොට්ස්, නුප්ට්සේ, පුමෝරි, ගුවාචුං කැන්ග්, චෝ-ඔයූ සහ නන්ග්පායි ගොසුම් යන කඳු වැඩි උසකින් පිහිටා තිබෙනවා. මෙම වනෝද්‍යානය පිහිටි ස්ථානයට වඩාත් ආසන්නව පිහිටා තිබෙන්නේ ‘නැම්චේ බසාර්’ ජනාවාසය යි. එනිසා සාගර්මාතා වනෝද්‍යානය නැරැඹීම සඳහා පැමිණෙන බොහෝ සංචාරකයන්ගේ නවාතැන්පොළ වන්නේ නැම්චේ බසාර් ප්‍රදේශය යි.
ප්‍රදේශයේ දේශගුණය
සාමාන්‍යයෙන් අර්ධ ශුෂ්ක සහ උප නිවර්තන දේශගුණික ලක්ෂණවලින් යුත් මෙම භූමි ප්‍රදේශයට වැඩිපුර වර්ෂාව පතිතවන්නේ මෝසම සක්‍රීය වන කාල සමයේ දීයි. මෙම ප්‍රදේශයට ලැබෙන මුළු වාර්ෂික වර්ෂා ප්‍රමාණයෙන් 80%ක් පමණ ලැබෙන්නේ ජූනි සිට සැප්තැම්බර් දක්වා යි. එයිනුත් වැඩිම වර්ෂාපතනයක් ලැබෙන්නේ ජූලි සහ අගෝස්තු මාසවල දීයි. මෙම ප්‍රදේශයට අඩුම වර්ෂාපතනයක් ලැබෙන්නේ වසරේ අවසන් මාස තුනේදී යි. සාගර්මාතා වනෝද්‍යානය මුහුදු මට්ටමේ සිට අඩි 9184ක උසකින් පිහිටා තිබෙන නිසා එහි පවතින්නේ අධික ශීත දේශගුණයක්. මෙම භූමි ප්‍රදේශය තුළ අධිකම සීතලක් පවතින්නේ ජනවාරි මාසයේදීයි. ජනවාරි මාසයේ මෙහි උෂ්ණත්වය පරාසය සෙල්සියස් ඍණ (17- 8) තරම් පහළ පරාසයක පවතිනවා. සාගර්මාතා වනෝද්‍යානය ආශ්‍රිතව උපරිම උෂ්ණත්වයක් වාර්තා වන්නේ අගෝස්තු මාසයේ දීයි. එම මාසයේ මෙහි උෂ්ණත්ව පරාසය සෙල්සියස් (1-6) අතර පවතිනවා. වැඩි උෂ්ණත්වයක් පවතින කාලයට වනෝද්‍යානය ආශ්‍රිත ප්‍රදේශයට අධික වර්ෂාවක් ලැබෙන බව නිරීක්ෂණය කරන්නට පුළුවන්. එලෙස අධික වර්ෂාව පවතින කාල සමයේ අවට කඳු මුදුන්වල තිබෙන ග්ලැසියර දියවී ගංගා දිගේ පහළට ගලාගෙන ඒම නිසා ගංවතුර තත්ත්වයන් ඇතිවීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක්.
ස්වභාවික වෘක්ෂලතා
සාගර්මාතා ජාතික වනෝද්‍යානයට අයත් මුළු භූමියෙන් 70%ක පමණ ප්‍රදේශයක් නිසරු බිම් බවට පත්වෙද්දී, 26%ක භූමි ප්‍රදේශයක තණබිම් පිහිටා තිබෙනවා. ඉතිරි 4%ක භූමිය ප්‍රමාණය වනාන්තරවලින් වැසී තිබෙන ආකාරය දැකගන්නට පුළුවන්. ඒ අයුරින් වනෝද්‍යානය ආශ්‍රිතව පිහිටා තිබෙන වනාන්තර පද්ධතිය උන්නතාංශය අනුව (මුහුදු මට්ටමට සාපේක්ෂව පෘථිවියේ ඕනෑම ස්ථානයක් අතර සිරස් දුර) ප්‍රධාන කලාප 6කට වෙන්කර ඇති ආකාරය දැකගන්නට පුළුවන්. එලෙස වෙන්කරන ලද කලාපවල දී එකිනෙකට වෙනස් ලක්ෂණ සහිත ශාක වර්ග දක්නට ලැබෙනවා. මෙම වනෝද්‍යානය තුළ දී පයින්, ඇල්පයින්, ස්ක්‍රබ්, ජුනිපර්, බර්ච්, රෝඩෝඩ්‍රෙන්ඩන්, ලයිකන, පාසි, වාමන තෘණ, පන් වැනි ශාක විශේෂ නිරීක්ෂණය කරන්නට පුළුවන්.
සාගර්මාතා වනෝද්‍යානය ආශ්‍රිත කලාපයේ වෘක්ෂලතාවල වර්ධනය මන්දගාමීව සිදුවීම හේතුවෙන් නේපාල රජය එය ස්වාරක්ෂක කලාපයක් ලෙසින් නම් කළා. 2002 වසරේ සිට ක්‍රියාවට නැංවුණු එම නීතියට අනුව උද්‍යානයෙන් ලැබුණු මුළු ආදායමෙන් 30%ක මුදලක් ස්වාරක්ෂක පද්ධතියේ සංවර්ධනය වැඩ කටයුතු සඳහා යෙදවුණා. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය දශක 2ක පමණ කාලය තුළ මෙම කලාපයේ ජෛව සංරක්ෂණය හොඳින් සිදුවුණු බව වාර්තාවල දැක්වෙනවා.
දක්නට ලැබෙන සතුන් වර්ග
මෙම අපූරු වනෝද්‍යානය ආශ්‍රිත පරිසර පද්ධතියේ දී එකිනෙකට වෙනස් සතුන් ප්‍රභේද විශාල ප්‍රමාණයක් දැකගන්නට පුළුවන්. ක්ෂීරපායි ස්ත්ත්ව විශේෂ 28ක්, කුරුළු විශේෂ 152ක්, ජලජ පක්ෂි විශේෂ 19ක්, සමනල විශේෂ 30ක් මෙම වනෝද්‍යානයෙන් දැනට වාර්තා වී තිබෙනවා. රතු පැන්ඩා, හිම දිවියා, කස්තුරි මුවා, හිමාලයානු තාහර්, හිමාලයානු මූසික හාවා, හිම කුකුළා, ඉම්පේන් පක්ෂියා, අළු වෘකයා, මාටෙන්ස් ඒ සත්ත්ව විශේෂ අතුරින් කිහිපයක්. සාමාන්‍යයෙන් වනෝද්‍යානය ආශ්‍රිතව වැඩි වශයෙන් සත්ත්වයන් දැකගන්නට ලැබෙන්නේ උදය කාලයේ දී යි. එනිසා සංචාරකයන් වැඩි ප්‍රමාණයක් සතුන් නැරඹීම සඳහා මෙහි පැමිණෙන්නේ උදය කාලයේ දී යි.
සංචාරය සඳහා හොඳම කාලය
සාගර්මාතා වනෝද්‍යානය ආශ්‍රිත ප්‍රදේශයට අඩුම වර්ෂාපතනයක් ලැබෙන්නේ ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසවල දී යි. එනිසා එම කාලයට සංචාරකයන් වැඩි ප්‍රමාණයක් මෙහි පැමිණෙනවා. මාර්තු සිට මැයි දක්වා දිවෙන වසන්ත කාලයේ වනෝද්‍යානය මල්වලින් පිරී සුන්දර අයුරින් දිස්වනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසවල දී වනෝද්‍යානය සංචාරකයන්ගෙන් පිරී පවතිනවා. පැමිණෙන සංචාරකයන්ට වනෝද්‍යානය තුළ මෝටර් බයිසිකල් සහ මවුන්ටන් බයිසිකල් භාවිත කිරීමට අවසර හිමිවන්නේ නැහැ. මීටර් 6000කට වඩා උසින් අඩු කඳුවලට නැගීම සඳහා නේපාල කඳු නැගීමේ සංගමයෙන් අවසර ලබාගත යුතුයි. මෙම භූමිය තුළ වාණිජ මට්ටමේ රූගත කිරීමක් සිදුකිරීම සඳහා ඩොලර් 1000ක මුදලක් ගෙවිය යුතුයි. එය මෙම උද්‍යානයට මුදල් ලැබෙන හොඳම මාර්ගයක් බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.
යුනෙස්කෝ ලෝක උරුමයක්
යුනෙස්කෝ සංවිධානය ලෝක උරුම ලෙස නම් කරන ස්ථාන ප්‍රධාන වශයෙන් කාණ්ඩ 6කට වෙන් කෙරෙනවා. ඒ ස්වභාවික ලෝක උරුම, සංස්කෘතික ලෝක උරුම, මිශ්‍ර ලෝක උරුම, විනාශවීමේ තර්ජනයට ලක්ව තිබෙන ස්වභාවික ලෝක උරුම, විනාශවීමේ තර්ජනයට ලක්ව තිබෙන සංස්කෘතික ලෝක උරුම, සහ විනාශවීමේ තර්ජනයට ලක්ව තිබෙන මිශ්‍ර ලෝක උරුම යන කාණ්ඩ 6 යි. එලෙස යුනෙස්කෝව මුල්ම වරට ලෝක උරුම ප්‍රකාශයට පත්කිරීම ආරම්භ කළේ 1978 වසරේ දීයි. එම ලැයිස්තුව සඳහා ප්‍රසිද්ධ ස්ථාන 12ක් ඇතුළත් වුණා. ඒ අයුරින් 1979 වසරේ දී නම් කළ යුනෙස්කෝ ලෝක උරුම අතරට මෙම සුවිශේෂී වනෝද්‍යානය ද ඇතුළත් වුණා. එදා සිට මෙම සුවිශේෂී පරිසර පද්ධතිය මුළු ලෝකයේම අවධානය දිනාගත් ප්‍රදේශයක් බවට පත්වුණා. එනිසා අද වන විට සාගර්මාතා වනෝද්‍යානය වඩාත් ජනප්‍රිය සංචාරක ඉසව්වක් පත්ව තිබෙනවා.