යුනෙස්කෝ සංවිධානයේ උපත සිදුවුණේ 1945 වසරේ නොවැම්බර් 16 වැනිදා ප්‍රංශයේ පැරිස් නුවර දී යි. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක, සහ සංස්කෘතික සංවිධානය යන දිගු නමින් හඳුන්වන මෙහි අරමුණ වන්නේ සාමාජික රටවල අධ්‍යාපනය, ස්වාභාවික විද්‍යාව, මානව විද්‍යාව, සන්නිවේදනය, සහ සංස්කෘතිය වැනි අංශයන් දියුණු කිරීම යි.
1978 වසරේ දී මේ සංවිධානය ස්වභාවික සහ සංස්කෘතික වටිනාකමක් ඇති ස්ථාන ලෝක උරුමයන් ලෙස නම් කිරීම ආරම්භ කළා.
ලෝක උරුම බෙදෙන කාණ්ඩ 6ක්
යුනෙස්කෝ සංවිධානය ලෝක උරුම ලෙස නම් කරන ස්ථාන ප්‍රධාන වශයෙන් කාණ්ඩ 6කට වෙන් කෙරෙනවා. ඒ කාණ්ඩ පහත ආකාරයට දක්වන්න පුළුවන්.
1) ස්වභාවික ලෝක උරුම
2) සංස්කෘතික ලෝක උරුම
3) මිශ්‍ර ලෝක උරුම
4) විනාශවීමේ තර්ජනයට ලක්ව තිබෙන ස්වභාවික ලෝක උරුම
5) විනාශවීමේ තර්ජනයට ලක්ව තිබෙන සංස්කෘතික ලෝක උරුම
6) විනාශවීමේ තර්ජනයට ලක්ව තිබෙන මිශ්‍ර ලෝක උරුම
නමුත් 1978 වසරේ දී යුනෙස්කෝව විසින් මුල්ම වරට නම් කෙරුණු ලෝක උරුමයන් 12 අතරට අයත් වුණේ සංස්කෘතික ලෝක උරුම 8ක්, සහ ස්වභාවික ලෝක උරුම 4ක් පමණ යි.
කැනඩාවේ ලෑන්ස් ඕ දෙණිබිම
ලෑන්ස් ඕ දෙණිබිම කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් දූපතේ පිහිටා තිබෙනවා. නෝවිජියානු පුරාවිද්‍යාඥවරියක වුණු ඈන් ඉන්ග්සටාඩ්, සිය සැමියා වූ පුරාවිද්‍යාඥ හෙල්ගෙ ඉන්ග්ස්ටාඩ් සමග 1960 වසරේ දී මෙම භූමිය සොයාගනු ලැබුවා. මෙම භූමිය ඓතිහාසික වශයෙන් වැදගත් වන්නේ 11 වන සියවසට අයත් වයිකිං ජනාවාසවල නටබුන් පිහිටා තිබෙන නිසා යි. ඒ අනුව මෙය උතුරු ඇමරිකා මහද්වීපයෙන් සොයාගන්නා ලද පළමු සහ එකම වයිකිං ජනාවාසය බවට පත්වුණා.
ලෑන්ස් ඕ දෙණිබිම්වල ඓතිහාසික වැදගත්කම පිළිබඳව තේරුම්ගත් කැනඩා රජය 1968 නොවැම්බර් 28 වැනිදා එය ජාතික උරුමයක් ලෙස නම් කරනු ලැබුවා. යුනෙස්කෝ සංවිධානය මෙහි තිබුණු වැදගත්කම ගැන සලකා 1978 වසරේ දී ප්‍රකාශයට පත්කරන ලද මුල්ම ලෝක උරුම ලැයිස්තුවට මෙය ඇතුළත් කළා.
ඉක්වදෝරයේ ක්වීටෝ නගරය
ඉක්වදෝරයේ අගනුවර වන ක්වීටෝ නගරය මුහුදු මට්ටමේ සිට අඩි 9350ක උසකින් පිහිටා තිබෙනවා. මෙය ලොව දෙවනියට උසම අග නගරය යි. ඇන්ඩීස් කඳුවැටියේ උතුරු ප්‍රදේශයට ඉහළින් පිහිටි කඳුකරයේ පිහිටා තිබෙන මෙය, පැරණි ඉන්කා නගරයක නටබුන් මත 1534 වසරේ සිට ගොඩනැගුනා. ඉතාමත් සුන්දර භූමි ප්‍රදේශයක පිහිටා තිබෙන මෙම නගරය තුළ සියවස් ගණනාවක් පැරණි නටබුන් දක්නට ලැබෙනවා. එම නටබුන් අතර දක්නට ලැබෙන ගොඩනැගිලි බොහොමයක් මැටි ගඩොල් භාවිතා කරමින්, අලංකාර ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම අනුගමනය කරමින් නිර්මාණය කර තිබෙනවා.
ක්වීටෝ නගරය පිහිටා තිබෙන ප්‍රදේශයේ නිතරම භූමිකම්පා ඇතිවනවා. නමුත් මෙම නගරයට එම භූමිකම්පාවලින් විශාල හානියක් සිදුවී නැහැ. ක්වීටෝ නගරයේ දක්නට ලැබෙන එම සුවිශේෂී ලක්ෂණ නිසා එය මුල්ම යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් වුණා.
ඉතියෝපියාවේ සිමියන් ජාතික උද්‍යානය
1969 වසරේ දී ආරම්භ කෙරුණු මෙම උද්‍යානය, උතුරු ඉතියෝපියාවේ අම්හාරා ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. මුහුදු මට්ටමේ සිට මීටර් 3600ක පමණ උසකින් පිහිටා තිබෙන මෙම උද්‍යානයේ වාලියා අයිබෙක්ස් එළුවන්, ඉතියෝපියානු වෘකයන්, ජෙලඩා බැබුන් වැනි දුර්ලභ සත්ත්ව විශේෂයයන් දැකගන්නට පුළුවන්. එසේම මෙම උද්‍යානය තුළ දී එරිකා, ලොබෙලියා වැනි අලංකාර ශාක විශේෂත්, ඉතියෝපියාවට ආවේණික තෘණ විශේෂත් දැකගන්නට පුළුවන්.
මෙම වනෝද්‍යානයේ සුන්දරත්වය තවත් වැඩිවී තිබෙන්නේ එහි පිහිටි සිමියන් කඳුවැටිය නිසා යි. එම කඳුවැටියේ උසම කඳු මුදුන වන රාස් ඩෂෙන් මීටර් 4553ක උසකින් යුක්ත යි. සුන්දර ස්ථාන රැසක් පිහිටා තිබෙන මෙම ජාතික උද්‍යානය තුළ දුර්ලභ සතුන් සහ ශාක ද දක්නට ලැබෙන නිසා ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය තීරණය කළා.
පෝලන්තයේ වාවල් මාළිගය
පෝලන්තයේ රජවරුන්ගේ වාසස්ථානය වුණු වාවල් මාළිගය මධ්‍යකාලීන යුගයේ දී ඉදිකරනු ලැබුවා. අවස්ථා දෙකක දී මෙම මාළිගය ගින්නෙන් විනාශ වුණු නිසා 17 වන සියවසේ අගභාගය වන විට මෙය අරාජික තත්ත්වයකට පත්ව තිබුණා. 18 වන සියවසේ අග භාගයේ දී මෙම මාලිගය ඔස්ට්‍රියානු හමුදාවන් යටතට පත්වුණා. ඉන් පසුව මාළිගයේ කොටස් හමුදා බැරැක්ක, ගබඩා, සහ රෝහල් බවට පත්කළා.
විනාශවුණු මාළිගය පිළිබඳව පෝලන්ත වැසියන්ගේ අවධානය යළි යොමුවුණේ 20 වන සියවස ආරම්භයේ දී යි. එදා පෝලන්ත සමාජ ක්‍රියාකාරීන් රට පුරා ඇවිදිමින් මුදල් එකතු කළේ ඔස්ට්‍රියාවෙන් බලකොටුව මිල දී ගැනීම සඳහා යි. වසර කිහිපයක් ඇතුළත එකතු කරගත් මුදලෙන් ඔස්ට්‍රියාවෙන් නිදහස් කරගත් මාළිගය පසුව කෞතුකාගාරයක් බවට පරිවර්තනය කළා. වාවල් කෞතුකාගාරයේ වැදගත්කම ගැන සැලකූ යුනෙස්කෝව එය ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබුවා.
ජර්මනියේ ආචෙන් ආසන දෙව්මැඳුර
ජර්මනියේ ආචෙන් ප්‍රදේශයේ ඉදිකර තිබෙන මෙම දේවස්ථානයේ ඉතිහාසය ක්‍රි. ව. 8 වන සියවස දක්වා දිවයනවා. ක්‍රි. ව. 796 දී චාල්මාග් අධිරාජ්‍යා විසින් මෙහි ඉදිකිරීම් ආරම්භ කළා. වසර 9ක පමණ කාලයක් තුළ ගොතික් සම්ප්‍රදායට අනුව නිමකළ දේවස්ථානය තෙවන ලියෝ පාප්තුමා විසින් කැපකරනු ලැබුවා. ක්‍රි. ව. 9 වන සියවසේ දී වයිකිංවරුන් එල්ල කළ ප්‍රහාරයකින් විනාශ වුණු දේවස්ථානය ක්‍රි. ව. 983 වන විට යළි ප්‍රතිසංස්කරණය කළා. ඉන්පසු ගෙවුණු සියවස් 8ක පමණ කාලය තුළ දෙව්මැඳුරේ විවිධ ආකාරයට වෙනස් කරනු ලැබුවා.
වර්තමානයේ දී එහි දක්නට ලැබෙන පැලටීන් දේවස්ථානය ඉදිවුණේ 18 වන සියවසේ දී යි. එහි දිග සහ පළල පිළිවෙලින් මීටර් 73 සහ 56ක් ද උස මීටර් 72ක් ද වනවා. දෙවන ලෝක යුද සමයේ දී මිත්‍ර පාක්ෂික හමුදා එල්ල කළ කාලතුවක්කු ප්‍රහාර හේතුවෙන් මෙම දෙව්මැඳුරට විශාල හානියක් සිදුවුණා. අනතුරුව දෙව්මැඳුරේ විනාශවුණු සමහර කොටස් ප්‍රතිසංස්කරණය කළත්, ඇතැම් ඒවා යළි පෙර පැවති තත්ත්වයට පත්කිරීමට හැකිවුණේ නැහැ.
කැනඩාවේ නහනි ජාතික උද්‍යානය
කැන්ඩාවේ දර්ශනීය දකුණු නහනි ගංගාව ආසන්නයේ මෙය ස්ථාපිත කර තිබෙනවා. කැනඩාව තුළ දක්නට ලැබෙන අලංකාරම දිය ඇල්ලක් වන වර්ජිනියා දිය ඇල්ල පිහිටා ඇත්තේ ද මෙම උද්‍යානය තුළ යි. එසේම උණුසුම් ජල උල්පත්, ගැඹුරු අගාධ, හුණුගල් ගුහාවන්, සහ ග්‍රැනයිට් කඳු මුදුන් නහනි ජාතික උද්‍යානය තුළ පිහිටා තිබෙනවා. විශේෂිත පක්ෂි විශේෂ 180ක් සහ ක්ෂීරපායීන් වර්ග 42ක්, මාළු විශේෂ 16 පමණ මෙහි වාසය කරනවා. ඒ අතරට ආක්ටික් බිම් ලේනුන්, කළු වලසා, මාමට්, ඇමරිකානු කෙස්ට්රල්, සහ ලූන් වැනි ක්ෂීරපායි සතුන් සහ පක්ෂි විශේෂ අයත්.
මෙම උද්‍යානයේ තිබෙන වැදගත්කම නිසා 1972 වසරේ දී ජාතික උරුමයක් ලෙස නම් කිරීමට කැනඩා රජය කටයුතු කළා. ඊට වසර 6කට පසුව යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසින් නම් කළ මෙම ජාතික උද්‍යානය අද වන විට සංචාරකයන් අතර ජනප්‍රිය ස්ථානයක් බවට පත්ව තිබෙනවා.
ඉක්වදෝරයේ ගැලපගෝස් දූපත්
ඉක්වදෝර වෙරළේ සිට කි.මී 1000ක් දුරින් තිබෙන ගැලපගෝස් දූපත් පිහිටන්නේ පැසිෆික් සාගරයේ යි. විශාල දූපත් 13කින් සහ කුඩා දූපත් 6කින් සමන්විත වුණු මෙහි විශාලතම දූපත වන්නේ ඉසබෙලා දූපත යි. අදින් වසර මිලියන 3-4කට පමණ පෙර සිදුවූ යමහල් පිපිරීමක ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වුණු මෙම දූපත ප්‍රසිද්ධියට පත්වුණේ 1835 වසරේ දී චාල්ස් ඩාවින් මෙම දූපත ආශ්‍රිතව සිදුකළ පරීක්ෂණ නිසා යි. බ්ලූ ෆූටඩ් බූබ්, යෝධ ඉබ්බන්, මුහුදු සිංහයන්, සමුද්‍ර ඉගුවානා වැනි සතුන් මෙම දූපතේ ජීවත් වනව. එසේම ඒක දේශික ශාක 150කට වැඩි ප්‍රමාණයක් මෙම දූපත්වල දක්නට ලැබෙනවා.
1959 වසරේ දී සමුද්‍ර රක්ෂිතයක් ලෙසින් නම්කළ ගැලපගෝස් දූපත්වල ඇති වැදගත්කම යුනෙස්කෝ සංවිධානයත් හඳුනාගත්තා. එම නිසා 1978 වසරේ දී ඔවුන් මෙය ලෝක උරුමයක් ලෙසින් නම් කරනු ලැබුවා.
ඇමරිකාවේ යෙලෝස්ටෝන් ජාතික උද්‍යානය
1872 වසරේ මාර්තු 1 වැනිදා පිහිටවනු ලැබූ යෙලෝස්ටෝන් ලොව පළමු ජාතික උද්‍යානය යි. වයොමිං, අයිඩහෝ, සහ මොන්ටානා ප්‍රාන්ත දක්වා විහිදෙන මෙම උද්‍යානය ව. කි. මී. 8983ක භූමි ප්‍රදේශයක පිහිටා තිබෙනවා. මෙම උද්‍යානයේ යමහල් ක්‍රියාකාරිත්වයක් තිබෙන නිසා උණුදිය උල්පත් විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙනවා.
බ්ලැක් ග්ලාස් කන්ද, උතුරන මඩ තටාක, මිනර්වාහි ඛණිජ තට්ටු, යෙලෝස්ටෝන් විල, යෙලෝස්ටෝන් ගංගාව වැනි අපූරු ස්ථාන මෙහි දී දැකගන්නට පුළුවන්. අළු වෘකයා, අළු වලසා, සුදු වල්ගැති මුවා, කඳුකර එළුවා වැනි ක්ෂීරපායි සතුන් ද මෙම උද්‍යානයේ වාසය කරනවා. උද්‍යානයෙන් 80%ක භූමියක් වනාන්තරවලින් වැසී තිබෙන අතර ඉතිරි 20%ක ප්‍රදේශය තණබිම්වලින් වැසී තිබෙනවා. මෙම උද්‍යානය පුරා නිල වශයෙන් නම් කරන ලද දිය ඇලි 45ක් තිබෙනවා. නම් නොකරන ලද දිය ඇලි ප්‍රමාණය 200කට අධික යි. දිනපතා සංචාරකයන් විශාල ප්‍රමාණයක් එකතුවෙන උද්‍යානයක් මේ.
පෝලන්තයේ වීලිස්කා රාජකීය ලුණු පතල
යුරෝපයේ පැරණිතම ලුණු පතලක් වන මෙය 13 වන සියවසේ දී ඉදිකරනු ලැබුවා. 13 වන සියවසේ සිට 1996 වසර දක්වාම වාණිජ ලුණු කැණීම සඳහා මෙම පතල යොදාගත්තා. පහත වැටෙන ලුණු මිලත්, පතලට පැමිණෙන ගංවතුරත් නිසා 1996 වසරේ සිට මෙහි වාණිජ ලුණු කැණීම් කටයුතු නවතා දැමුවා. නමුත් පතල 2007 වසර දක්වාම ක්‍රියාත්මක වුණා. අද වන විට පෝලන්ත ඓතිහාසික ස්මාරකයක් බවට පත්ව තිබෙන මෙම ලුණු පතල තුළ භූගත විලක්, දේවස්ථාන 4ක්, පතල් කම්කරුවන් ලුණුවලින් සාදන ලද පිළිම දක්නට ලැබෙනවා. එසේම අතීතයේ දී ලුණු කැණීම සඳහා භාවිතා කළ තාක්ෂණය පිළිබඳව ද මෙහි දී දැකගන්නට පුළුවන්.
සෙනගාලයේ ගෝරි දූපත
සෙනගාලයේ ඩකාර් වෙරළට ඔබ්බෙන් පිහිටා තිබෙන ගෝරි දූපත 15වන සියවසේ සිට 19වන සියවස දක්වා අප්‍රිකාවේ විශාලතම වහල් වෙළද මධ්‍යස්ථානය බවට පත්ව තිබුණා. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි සහ ප්‍රංශ යන ජාතීන් හතරේ පාලනයට යටත්ව තිබුණු මෙම දූපත තුළ වහළුන් සඳහා ඉදිකර තිබුණු අඳුරු නිවාසත්, වහල් වෙළඳුන් සඳහා ඉදිකර තිබුණු අලංකාර නිවාසත් දැකගන්නට පුළුවන්.
1960 දී සෙනගාලය නිදහස ලබාගෙන වසර 15ක් ගතවෙද්දී මෙම දූපත එරට ජාතික උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත්කළා. ඉන් වසර 3කට පසුව යුනෙස්කෝව එය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කළේ මානව වර්ගයාගේ අඳුරුතම අවස්ථා සිහිපත් කිරීමක් ලෙස යි.
ඇමරිකාවේ මේසා වර්ඩ් ජාතික උද්‍යානය
මේසා වර්ඩ් ජාතික උද්‍යානය ඇමරිකාවේ කොළරාඩෝ ප්‍රාන්තයේ පිහිටා තිබෙනවා. 6 වන සියවසේ සිට 12 වන සියවස දක්වා මෙම ප්‍රදේශවල ජීවත්වුණු ස්වදේශික පුවෙබ්ලෝ ඇමරිකානුවන්ගේ වාසස්ථානවල නටබුන් තවමත් මෙහි දක්නට ලැබෙනවා. මෙම ස්ථානයේ තිබෙන ඓතිහාසික වැදගත්කම තේරුම්ගත් ඇමරිකානු ජනාධිපති තියඩෝර් රූසවෙල්ට් 1906 වසරේ දී මෙය ජාතික උද්‍යානයක් ලෙසින් ප්‍රකාශයට පත්කළා. 1932 දී මෙහි නටබුන් ආශ්‍රිතව කැණීම් කටයුතු ආරම්භ වුණා. එහිදී මතුවුණු පුරාවස්තු තැන්පත් කිරීම සඳහා කෞතුකාගාරයක් ද ඉදිවුණා.
මේසා වර්ඩ් උද්‍යානයේ තිබුණු වටිනාකම පිළිබඳව තේරුම්ගත් ඇමරිකානු රජය 1996 වසරේ දී මෙය එරට ඓතිහාසික ස්ථාන පිළිබඳ ජාතික ලේඛනයේ ලැයිස්තුගත කළා. ඉන් වසර 12කට පසුව යුනෙස්කෝව විසින් මෙය ලෝක උරුමයක් ලෙසින් නම් කරනු ලැබුවේ පුවෙබ්ලෝ ඇමරිකානුවන්ගේ අතීත නටබුන්වල ඇති වැදගත්කම නිසා යි.
ඉතියෝපියාවේ රොක් හෙවන් පල්ලි
ඉතියෝපියාවේ ලස්ටා කඳුකරයේ මීටර් 2600ක පමණ උසකින් පිහිටා තිබෙන ලලිබෙලාහි වූ ගලින් කපන ලද පල්ලි, 13 වන සියවසේ දී ලලිබෙලා නම් රජුගේ අණ පරිදි ඉදිකරනු ලැබුවා. 1187 වසරේ දී මුස්ලිම්වරුන් ජෙරුසලම අල්ලාගැනීම නිසා කිතුණුවන්ට ශුද්ධ භූමිය වන්දනා කිරීමට ඉඩක් ලැබුණේ නැහැ. එනිසා මෙම රජතුමා ජෙරුසෙලමට සමාන අයුරින් මෙය ඉදිකළා.
ඉතියෝපියාවේ ජෝර්දාන් ගඟ ආසන්නයේ පිහිටා තිබෙන මෙම අලංකාර පල්ලි සෑදීම සඳහා ගිනිකඳු පාෂාණ භාවිතා කර තිබෙනවා. මෙම ගල් පල්ලිවල දක්නට ලැබෙන අපූර්වත්වය නිසා 1978 වසරේ දී ලෝක උරුමයක් ලෙසින් නම් කිරීමට යුනෙස්කෝව තීරණය කළා.