මළ පෙරේතයො, යක්කු, කුම්භාණ්ඩයො ඉන්නේ ලංකාව වගෙ රටවල පමණක් නොවෙයි. ආසියාතික රටවල් බොහොමයක ජනයා අතර එවැනි ආකාරයේ අමනුෂ්‍යයින් පිළිබඳව ජනප්‍රවාදයන් සහ විශ්වාසයන් පවතිනවා. එසේම ඇතැම් සංස්කෘතීන්වල එවැනි අමනුෂ්‍යයින් සැමරීමට උත්සව ද පවත්වනු ලබනවා. චීනයේ පැවැත්වෙන “සොන්ග් යුවාන් උත්සවය” එවැන්නක්.
ක්‍රි. ව. 502 පමණ කාලයේ සිට පැවත එන සිරිතක් වන සොන්ග් යුවාන් ජී, එසේත් නැත්නම් “පෙරේතයින්ගේ උත්සවය”, චීන දින දර්ශනයට අනුව සත්වන මාසයේ පහළොස්වන දින පැවැත්වෙන්නක්. දකුණු චීනයේ දී මෙය සැමරෙන්නේ දහහතර වන දිනයි. මෙය වැඩි වශයෙන්ම සමරන්නේ චීනය සහ සිංගප්පූරුව ආදී රටවල වෙසෙන බෞද්ධ සහ ටාඕ දහම අදහන පිරිස්. ටාඕ දහම අදහන්නන් විසින් “සොන්ග් යුවාන්” යනුවෙන් හඳුන්වනු ලබන මෙම උත්සවය බෞද්ධයන් විසින් හඳුන්වනු ලබන්නේ “යූලැංපෙං” යනුවෙන්. මේ දිනය යෙදෙන්නේ අපගේ කැලැන්ඩරවලින් නම් ජූලි හෝ අගෝස්තු මාසවලයි. මෙම උත්සවය සැමරෙන දිනය “මළවුන්ගේ දිනය” ලෙස සැලකෙන අතර, එම මාසය “මළවුන්ගේ මාසය” යනුවෙන් හැඳින්වෙනවා.
චීන විශ්වාසයන්ට අනුව සත්වන මසයේ දී අපායේ ගේට්‍ටු මනුෂ්‍ය ලොව වෙත විවර වෙනවා. මළවුන්ගේ නොසන්සුන් ආත්ම මිනිස් ලොවට පැමිණ මිනිසුන් අතර සැරිසැරීමට ගන්නවා ලු. එනිසා මේ මාසය තුළ චීන ජාතිකයින් තම මළගිය ඥාතීන් සැමරීමේත්, ඔවුන්ට පුද පූජා ඉදිරිපත් කිරීමේත් නියැලෙනවා.
අපගේ සංස්කෘතියේ මෙන්ම, චීන සංස්කෘතියේත් පෙරේතයින් සහ මළගිය ඥාතීන්ට පූජා පවත්වන්නේ මූලිකවම ආහාර පූජා කිරීමෙන්. උත්සවය ආරම්භයේ දී වීදි හෝ නිවාස සංකීර්ණ ඉදිරිපිට පූජාසනයක් ඉදිකරනු ලබනවා. මෙය ඉදිරිපිට අපායේ රජුගේ පිළිමයක් තබන අතර එයට සහල් පිටියෙන් තැනූ ආහාර සහ පීච් පලතුරු පූජා කරනු ලබනවා. පූජාසනය මත චීන පුරාවෘත්තවල කියැවෙන බලවත්ම ආත්මයන් තුන සඳහා වන අවමගුල් ඵලක සිටුවනු ලබනවා. සැන්දෑ කාලයේ දී එම වීථියේ සියළුම නිවෙස්වලින් කැවිලි, පලතුරු සහ හරකුන්, එළුවන්, කුකුලන්, සහ පාත්තයින් ආදී සතුන් මෙම පූජාසනය මත වන ආත්මයන් තුන සඳහා පූජා කෙරෙනවා. බෞද්ධ භික්ෂූන් මළගියවුන් සතුටු කිරීමේ මන්ත්‍ර සහ ගාථාවන් සජ්ඣායනා කරනවා.
රාත්‍රී කාලයේ දී සියළුම නිවෙස් ඉදිරිපිට හඳුන්කූරු සහ සුවඳ ද්‍රව්‍ය පුළුස්සනු ලබනවා. නිවෙස් තුළ දී සිය පවුලේ මළගිය ඥාතීන් සඳහා වන පුවරු (මළගිය ඥාතීන්ගේ නම් සඳහන් කළ පුවරු නිවෙස්වල හෝ පන්සල්වල තබාගැනීම නැගෙනහිර ආසියානු සිරිතකි) පූජාසනයක් මත තබා, ඒවා ඉදිරිපිට සුවඳ දුම් දල්වා ආහාර ආදිය පූජා කරනවා. එසේම “අපායේ මුදල්” යනුවෙන් හැඳින්වෙන උත්සව මුදල් නෝට්‍ටු වර්ගයක් නිවෙස් ඉදිරිපිට, වීදිවල, රැකියා ස්ථාන ඉදිරිපිට, හිස් ඉඩම් සහ කුඹුරුවලදී පුළුස්සා දැමීමේ සිරිතක් ද චීන වැසියන් අතර පවතිනවා. මෙම මුදල්වලට මළවුන්ගේ ලෝකයේ දී වටිනාකමක් හිමිවන බව ඔවුන් විශ්වාස කරනවා. එනිසා මියගිය තම ඥාතීන්ගේ සුවපහසුව තකා මේ කඩදාසි මුදල් නෝට්‍ටු පමණක් නොව, කඩදාසි නිවෙස්, යාන වාහන, සහ සේවකාදීන් පවා පුළුස්සා දමන්නට චීනුන් හුරුව සිටිනවා.
පෙරේතයන්ගේ උත්සවය ආරම්භ වූ ආකාරය පිළිබඳව චීන වැසියන් අතර ජනප්‍රවාද කීපයක්ම පැතිර තිබෙනවා. ඒවායින් ප්‍රසිද්ධම ජනප්‍රවාදය වන්නේ “මු ලියැං” නම් භික්ෂුවක් පිළිබඳව වූ ජනප්‍රවාදයයි (මේ මු ලියැං යනු මොග්ගල්ලාන රහතන් වහන්සේ බව සැලකිය යුතුයි). චීන ජනප්‍රවාදවලට අනුව මු ලියැං භික්ෂුවගේ මව මරණින් පසු ප්‍රේතියක්ව උපත ලැබ අපායේ දුක් විඳිමින් සිටියාලු. තම මව මෙම ඉරණමෙන් බේරාගැනීමට කිසිදු මාර්ගයක් නොදත් මු ලියැං භික්ෂුව එයට බුදුන්වහන්සේගෙන් ආධාර සහ උපදෙස් අයැද තිබෙනවා. බුදුන්වහන්සේගෙන් ලද උපදෙස් පරිදි එක්තරා මන්ත්‍රයක් (සූත්‍රයක්) සජ්ඣායනා කරමින් කිසියම් ආකාරයේ ආහාර පූජාවක් සිදුකළ පසු ප්‍රේත ආත්මයක උපත ලබා සිටි භික්ෂුවගේ මව එයින් මිදුණාලු. මෙම සිදුවීම සිදුවූයේ චීන දින දර්ශනයට අනුව සත්වන මස 15වන දින බව පැවසෙනවා.
මළවුන්ගේ මාසය තුළ සිදු නොකළ යුතු යම් යම් ක්‍රියා ද ඇති බව චීනුන් විශ්වාස කරනවා. එම නිසා වීදිවල පාවෙමින් සිටින මළවුන් මුණගැසීමෙන් වැළකීමට මෙම මාසය පුරාවටම රාත්‍රී කාලයේ දී පිටතට නොයා සිටීමට ඔවුන් උත්සාහ කරනවා. එමෙන්ම රාත්‍රියේ දී දියට නොබසින්නේ දියෙහි සිටින පෙරේතයින් තමන්ව ඇදගෙන යෑමට හැකි නිසාවෙනුයි. එමෙන්ම වීදිවල තිබෙන පූජාසනයන්ට පයින් ගැසීම, පූජා කරන ලද දෑ පෑගීම, මෙන්ම පූජාසන යටට එබී බැලීම ද නොකළ යුතු වන්නේ එයින් පෙරේතයින් කෝපයට පත්වන නිසා ලු.
එපමණක් ද නොව මෙම මාසය පුරාවටම රතු පැහැ වස්ත්‍ර නොපැළඳිය යුතු බව ඔවුන් විශ්වාස කරනවා. රතු පැහැයට පෙරේතයින් ආකර්ෂණය වන බවට ඇති විශ්වාසය මෙයට හේතු වෙනවා. රාත්‍රී කාලයේ දී හිසකෙස් කැපීම, රැවුල් බෑම සහ සේදූ ඇඳුම් නිවසින් පිටත එල්ලා තැබීම ද මෙම මාසය පුරාවටම ඔවුන් අතින් සිදුවන්නේ නැහැ. අවසාන වශයෙන්, විවාහ වීම, නව නිවසකට ගෙවැදීම, හා නව වාහන මිළට ගැනීම වැනි සුභ කටයුතුවලින් ද මෙම මාසයේ දී ඔවුන් වැළකී සිටිනවා.
මළවුන්ගේ මාසය අවසන් වන්නේ පෙරේතයන්ගේ උත්සව දිනට දින දාහතරකට පසුවයි. එදිනට නෙළුම් මල් වල හැඩයට සාදන ලද පහන් කූඩු දිය මත පාකර හැරීමෙන් උත්සවය අවසන් කරනවා. මේ පහන් කූඩු මගින් මෙලොවට පැමිණි සියළුම මළවුන්ට එලොවට යෑමේ මාර්ගය සොයාගැනීමට හැකිවෙන බව චීනුන් විශ්වාස කරනවා. පහන් කූඩු නිවී ගිය විට මළවුන් මෙලොව හැරදා නැවත අපායට ගිය බව ඔවුන් විසින් සලකනු ලබනවා.
මූලාශ්‍ර:
- eresources.nlb.gov.sg
- China.org.cn
- Chinahighlights.com
කවරයේ රූපය: http://samlim.deviantart.com