Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හිස නොමැතිව වසර දෙකක් ජීවත් වූ ‘මයික්’

අතක්, පයක් හෝ සමහර විටෙක වකුගඩුවක් වැනි අවයවයක් නොමැති ව වසර ගණනාවක් ජීවත් වූ මිනිසුන් ලොව දුලබ නැහැ. හිස නොමැති ව මාස ගණනක් යමෙක් ජීවත් වූවායැ යි කිසිවෙකු පවසන්නේ නම් එය සම්පූර්ණ අසත්‍යයක්යැ යි පවසා එකෙනෙහි ම සිතින් බැහැර කරන්නට අපි කටයුතු කරනවා. කෙසේ නමුත් සැබැවින් ම එලෙස වසර දෙකකට ආසන්න කාලයක් ජීවත් වූ ‘ජීවියෙකු’ පිළිබඳ ව පසුගිය සියවසෙහි අග භාගයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වුණා. මේ ජීවියා මිනිසෙකු නොවන අතර, කොලරාඩෝ හි ගොවිපළක සිටි කුකුළෙකු මේ සංසිද්ධියට මුහුණ දී තිබුණා.

‘මයික්’ කරළියට පැමිණීම

1945 සැප්තැම්බර් මස 10 වන දින ඇමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්තයේ සත්ත්ව ගොවිපළක් පවත්වාගෙන ගිය ලොයිඩ් ඕල්සන් හා ඔහුගේ බිරිඳ ක්ලාරා තමන් විසින් එදිනෙදා සිදුකරන ‘මස් පිණිස කුකුළන් මැරීම’ ක්‍රියාත්මක කිරීමට සූදානම් වුණා. මෙදින කුකුළන් 40-50 අතර ගණනකගේ හිස සිඳීමට තීරණය වී තිබූ අතර, ලොයිඩ් විසින් හිස ගසා දැමීම සිදුකළා. ක්ලාරා විසින් හිස ගැසූ කුකුළන් ශුද්ධ පවිත්‍ර කිරීම සිදුකළා.

මෙදින හිස සිඳීමට භාජනය වූ කුකුළන් අතර ‘මයික්’ ද වුණා. ඒ වන අනෙක් කුකුළන් සේ ම ඔහු ද හිස ගැසීමට ලක් වූ අතර ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා අනෙක් කුකුළු කවන්ධ සමග තබනු ලැබුවා.

මයික් – Life/ Getty Images

සාමාන්‍යයෙන් හිස ගැසූ වන ම කුකුළෙකු නිසොල්මන් ව මිය යන්නේ නැහැ. ශරීරයේ ස්නායු සංවේදක ගමන් කරන තුරු කිහිපවිටක් තටු ගැසීම හෝ කලාතුරකින් ඔබමොබ දිවයාම ද සිදුවෙනවා. මෙලෙස ‘දඟලන’ කුකුළන් නිසොල්මන් වෙන තුරු යම් කූඩුවක් වැනි දෙයක දමා තැබීම සිදුවෙනවා. ‘මයික්’ ද එසේ දඟලන්නට වූ නිසා එසේ කූඩුවක දැමෙනවා.

හිස නැති කුකුළා ඇවිදියි

දඟලමින් සිටි කුකුළා කූඩුවට දමන ලොයිඩ් මස් කරන ලද අනෙකුත් කුකුළන් වෙළඳපොළට භාරදීම සඳහා නගරයට යනවා. පැය කිහිපයක ඇවෑමෙන් නිවසට පැමිණෙන ඔහු ගොවිපොළ දෙසට යන්නේ කූඩුවේ සිටින ‘මියගිය’ කුකුළා එක්කෝ පසුදිනයේ වෙළඳපොළට ගෙනයාමට සූදානම් කිරීමේ හෝ පවුලේ උදවියට ආහාරයට ගැනීම සඳහා ගෙන ඒමේ අටියෙනුයි. කෙසේ නමුත් ඔහු අත්දකින්නේ ඉතා අසාමාන්‍ය දෙයක්. කූඩුවේ තබන ලද හිස නැති කුකුළා ඒ වන විටත් මියගොස් නොසිටි අතර, ඉවතට ගත විට සාමාන්‍ය කුකුළෙකු මෙන් ගොවිපොළ පුරා සක්මන් කරන්නටත් පටන්ගත්තා.

මයික්ගෙන් උදා වූ ආදායම් උල්පත

ලොයිඩ් මෙම අරුම පුදුම හිස නැති කුකුළා අල්වාගෙන පරීක්ෂා කළා. ඔහුට පසක් වූයේ හිස් ගැසුමෙන් උගේ ආහාර මාර්ගය හා ශ්වසන මාර්ගය පෑදී තිබුණ ද, හෘද ස්පන්දනය වැනි දේ සාමාන්‍ය ලෙස සිදුවන බව යි. වහා ම ක්‍රියාත්මක වන පරිදි පෙසෙකින් සිරින්ජරයක් සොයාගත් ඔහු එමඟින් ඌට දියර කරන ලද සත්ත්ව ආහාර ස්වල්පයක් ලබාදුන්නා. සරලව ම ඔහු විසින් කුකුළාගේ ආහාර මාර්ගය වෙතට සිරින්ජරය ආධාරයෙන් ආහාර ‘වත්කිරීම’ සිදුකළ අතර, එය නිසි ලෙස උගේ ආහාර මාර්ගය ඔස්සේ ගමන් කළ බවත්, ජීර්ණ ක්‍රියාවලිය හොඳින් සිදුවන බවත් ඔහුට ඉක්මණින් ම වැටහුණා.

සිය නිවස වෙත ගිය ලොයිඩ් මේ අරුම පුදුම කුකුළා පිළිබඳ පණිවුඩය සිය නිවැසියන්ට දන්වා සිටියා. ඔවුන් ඔහුට යෝජනා කළේ මේ ‘අරුම පුදුම’ කුකුළා හොඳ ආදායම් මාර්ගයක් බවට පත්කර ගැනීමට උත්සාහ කරන ලෙස යි.

ලොයිඩ් ඕල්සන්, මයික් සමග – Bob Landry/ Getty Images

එම ඉල්ලීම පිළිගත් ලොයිඩ් තම හිස නැති කුකුළාට ‘මයික්’ යන නම තැබුවා. උජාරුවෙන් නැවත නගරය කරා ගිය ඔහු තමන් සතු ව හිස නැති කුකුළෙකු සිටින බව පැවසුවා. ඉන් නොනැවතුණු ඔහු යම් අයකිරීමක් සිදුකරමින් සිය නගරවාසීන්ට ‘මයික්’ව ප්‍රදර්ශනය කළා.

හිස නැති ‘මයික්’ පිළිබඳ ආරංචිය ලැව්ගින්නක් සේ ඇමෙරිකා එසත් ජනපදය පුරා පැතිර ගියා. ඉක්මණින් ම ඇමෙරිකාවේ නොයෙක් තැන්වලින් සිය කුකුළා ප්‍රදර්ශනය කරන ලෙස ඉල්ලීම් රාශියක් ඔහු වෙත ගලා ආවා. ‘මයික්’ වෙත ඇති ඉල්ලුම ක්‍රම ක්‍රමයෙන් වැඩිවන බැව් තේරුම් ගත් ලොයිඩ් ඒ සෑම වරක දී ම විශාල මුදල් සම්භාරයක් එම ඉල්ලුම් කරුවන්ගෙන් ඉල්ලා සිටියා. කිසිදු පැකිළීමකින් තොරව ඔහුට ඒවා ලැබුණා. මාස කිහිපයක් ඇතුළත සුළු පරිමාණ ගොවිපළක් හිමි පහළ මධ්‍යම පාන්තිකයෙකු වූ ලොයිඩ් ඕල්සන් මහා ධන සම්භාරයක උරුමකරුවෙකු වුණා.

‘මයික්’ගේ අවසානය

1947 වසර උදාවන විට ‘මයික්’ නැමති හිස නැති කුකුළා ඇමෙරිකාව පුරා ඉතා ජනප්‍රිය වී තිබුණා. කොටින්ම ඔහු හා ලොයිඩ් යම් තැනකට ගෙන්වා ගැනීමට සති කිහිපයකට කලින් දින වෙන් කරවා ගැනීමට සිදුවන තරම් මිනිසුන් හා සර්කස් වැනි දේ සංවිධානය කරන සංවිධායකයින් මේ කුකුළා සඳහා නිරන්තරයෙන් දින වෙන් කරගත්තා. හිස් ගැසුම් ලබා වසරක් ගතවන විට ද ‘මයික්’ හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවීම කාගේත් විමතියට හේතු වී තිබුණා. 1947 වසරේ වසන්ත සමයේ ඇරිසොනා ප්‍රාන්තයේ ෆීනික්ස් නුවරට මයික් ව රැගෙන එන ලෙස ලොයිඩ්ට ආරාධනයක් ලැබෙන්නේ මේ අතර යි.

හිස ගසා දමනු ලැබූ දා පටන් නිරන්තරයෙන් ‘මයික්’ට සාත්තු සප්පායම් කළේ ලොයිඩ් විසිනුයි. ඔහු විසින් දිනකට කිහිප විටක් ම සිරින්ජරයක් ආධාරයෙන් අර්ධ ඝණ ආහාර මයික්ගේ ගලනාලයට වත්කළ අතර ශ්වසන මාර්ගයේ සිරවන ශ්ලේෂ්මල ද ඉවත් කරනු ලැබුණා. කෙසේ හෝ යම් සෙයකින් ෆිනික්ස් බලා ගිය දින රාත්‍රියේ ශ්ලේෂ්මල ඉවත්කිරීම ලොයිඩ් හට මඟහැරුණා. ඔහු මධ්‍යම රාත්‍රියේ හදිසියේ අවදි වූයේ මයික් වෙතින් නැඟුණු ‘ගොර ගොර’ හඬ හේතුවෙනුයි. වහා ම මයික් ව පරීක්ෂා කළ බැලූ ඔහුට වැටහුණේ ශ්වසන මාර්ගයේ ශ්ලේෂ්මල සිරවීම නිසා මයික් ‘පණ අදින’ බව යි. වහා ම ක්‍රියාත්මක වූවත් ඔහු බේරා ගැනීමට ලොයිඩ්ට හැකිවූයේ නැහැ. මිනිත්තු කිහිපයක් තුළ මයික් මියගියා. මේ වන විට ඔහු හිස් ගැසුම් ලබා වසර දෙකකට ආසන්න කාලයක් ගත වී තිබුණා.

මයික් අනෙකුත් කුකුළන් සමග- charismaticplanet.com

‘මයික්’ හිස නොමැතිව ජීවත් වූයේ කෙසේ ද?

මයික් හිස නොමැති ව මේ තරම් කල් ජීවත් වූයේ කෙසේ ද යන්න එකල විද්‍යාඥයින් නිතර පිළිතුරු සෙවූ ගැටලුවක් වුණා. සාමාන්‍යයෙන් කුකුළෙකුගේ හිස කඳින් වෙන් කළ පසු මොළය ශරීරයෙන් වෙන් වූවත් සුෂුම්නාවේ සංවේදන කෙටි කළක් පැවතීම නිසා යම් වේලාවක් දැඟලීම සිදුවීම සාමාන්‍ය දෙයක් වෙනවා. කෙසේ නමුත් එය කිසිසේත් ම මාස 18ක් තරම් දිගු කාලයක් නොවේ.

මයික්ගේ සංසිද්ධිය පිළිබඳ වැඩිදුර පර්යේෂණ සිදුකළ විද්‍යාඥයින් අවසානයේ යම් යම් මතවලට එළැඹුණා. ඔවුන් නිගමනයකට පැමිණියේ ලොයිඩ් හිස ගසා දැමීම නිසි ලෙස සිදු කර නොමැති බව යි. මිනිසෙකුගේ මෙන් නොව කුකුළෙකුට විශාල මස්තිෂ්කයක් පිහිටන්නේ නැහැ. එමෙන්ම එය හිසෙහි පහළ අපර කොටසේ පිහිටනවා. ලොයිඩ් විසින් හිස් ගැසුම සාමාන්‍ය පමණට වඩා ඉහළින් සිදුකර ඇති අතර මේ නිසා ඇත්තෙන්ම කුකුළාට අහිමිවන්නට ඇත්තේ උගේ මස්තිෂ්කයෙන් 20%ක් පමණ ප්‍රමාණයක් බව ඔවුන් තර්ක කරනවා. සත්ත්වයාගේ හෘද ස්පන්දනය, ආහාර ජීර්ණය ඇතුළු ජීවී ක්‍රියා රාශියකට වගකියන මස්තිෂ්ක කොටස් කවන්ධයේ රැඳෙන්නට ඇති බව ඔවුන් පවසනවා. කෙසේ නමුත් හිස් ගැසුමේ දී අධික ලේ වහනයක් සිදුවීම නිසා ද කුකුළෙකු මිය යා හැකියි. අහඹු ලෙස ඇති වූ ලේ කැටියක් නිසා එය ද මඟහැරී ගොස් තිබෙනවා. මේ සංසිද්ධි සියල්ල ම එකවිට සිදුවීම නිසා හා හොඳින් සාත්තු සප්පායම් සිදුවීම නිසා මයික් දිගින් දිගටම නිරුපද්‍රිත ව සිට තිබෙනවා.

ඕල්සන්ගේ මුණුපුරු ට්‍රෝයි වෝටර්ස් මයික්ගේ ප්‍රතිමාව ඉදිරිපිට – AP

මයික් ජීවත්වන කාලයේත්, ඉන්පසුවත් තමන්ගේ ම කියා හිස නැති කුකුළෙකු තනාගන්නට ඇමෙරිකාවේ බොහෝ සත්ත්ව ගොවිපොළ හිමියන් උත්සාහ කළා. නමුත් අද වන තුරු ඒ කිසිවක් සාර්ථක වී නැහැ. පසුකාලීන ව මයික් සිහිවනු වස් ඕල්සන්ගේ ගොවිපොළ තිබූ ස්ථානයේ ප්‍රතිමාවක් ද ඉදිකෙරුණා. එය සංචාරකයින් අතර තරමක් ජනප්‍රිය යි.

 

කවරයේ පින්තූරය: මයික් ජීවත් වූ ස්ථානයේ පිහිටි ප්‍රතිමාව - earthandwood.biz

Related Articles