Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දේශපාලනයට පිවිසි කඩවසම් කලාකරුවා, විජය කුමාරතුංග

මිට දශක කිහිපයකට පෙර ශ්‍රී ලාංකික කලා ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹුන කලාකරුවන්, කලාකාරියන් බොහොමයක් පිළිබඳව අප අසා ඇත්තෙමු. ඔවුන්ගෙන් සමහරෙක් තවමත් අප අතර සිටින නමුත්, බොහොමයක් දෙනා මේ වන විට මෙලොව හැර ගොසිනි. වර්තමාන තරුණ පරම්පරාව එවැනි කලාකරුවන් පිළිබඳව වැඩි යමක් නොදන්නා අය යි. ඊට වත්මන් පරම්පරාවට කලාව සඳහා වෙන්කිරීමට කාලයක් නොමැති වීම, මේ වන විට රූපවාහිනිය සහ අන්තර්ජාලය ආක්‍රමණය කර ඇති විවිධ විදෙස් රූපවාහිනී වැඩසටහන්, සහ නව නළු නිළියන් කලාවට පිවිස තිබීම හැඳින්විය හැකිය.

එය එසේ වුවත්, මිට දශක කිහිපයකට පෙර ලද ජනතාවගේ ගෞරවය අදට ද ඒ අයුරින්ම ලබන, අවාසනාවට අද අප අතර නැති විශිෂ්ට රංගන ශිල්පියෙකු, ගායකයෙකු, සහ දේශපාලනඥයෙකු ද වන විජය කුමාරතුංග පිළිබඳව නොදන්නා අයෙකු නැති තරම් ය. ඔහු ජීවත්ව සිටි ඉතා සුළු කාලය තුළ ඒ තරමටම ජනතාවට සමීපවීමට ඔහුට හැකි විය.

විජය කුමාරතුංග/pressreader

මුල් අවධිය

විජය කුමාරතුංග, යම් යම් කලා නිර්මාණවලට දායක වූ කලාකරුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි ගම්මුලාදෑනියෙකු වූ බෙන්ජමින් කුමාරතුංග සහ ක්ලේරා බියට්‍රිස් කුමාරතුංග යන යුවලට දාව 1945 ඔක්තෝබර් 09 වැනි දින සීදූවේ දී උපත ලැබීය. විජය සිය මූලික අධ්‍යාපනය ලැබුවේ කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයයෙනි. කෙසේ නමුත් එවකට පුද්ගලික පාසලක්ව පැවැති එය රජයට පවරාගැනීම සඳහා බල කිරීමේ අරගලයකට නායකත්වය ලබාදීම හේතුවෙන් ඔහුට එම පාසලෙන් ඉවත්වන්නට සිදු විය. ඉන් අනතුරුව ඔහු කඳාන ද මැසනඩ් විද්‍යාලයයෙන් සිය අධ්‍යාපනය හැදෑරුවේ ය.

පොලිස් පරීක්ෂකවරයෙකු වීම සඳහා කුඩාකල සිටම බලාපොරොත්තු තබාගෙන සිටියත්, විජයගේ මව ඇතුළු පවුලේ සාමාජිකයන් ඊට දැක්වූයේ දැඩි අකැමැත්තකි. එනිසා ඒ අදහස අත්හළ ඔහු 1963 වසරේ දී සෙරන්ඩිබ් කලායතනයට බැඳී, එහි දී නර්තනය හැදෑරුවේ ය. එම කාලයේ දීම සෙරන්ඩිබ් කලායතනය විසින් නිෂ්පාදනය කෙරුණු ‘පුරන් අප්පු’ චිත්‍රපටයේ රඟපෑමට ද ඔහුට අවස්ථාවක් හිමිවිය. කොළඹට පැමිණ වේදිකා නාට්‍ය බොහෝමයක් නැරැඹීමට තමන් පුරුදුව සිටි බවත්, එකල ඔහුගේ ප්‍රියතම වේදිකා නාට්‍ය නළුවා වූයේ ටෝනි රණසිංහ බවත් ඔහු වරෙක පවසා ඇත.

සිනෙමා දිවියේ ඇරඹුම

වර්ෂ 1969 දී, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ සුගතපාල සේනරත් යාපා විසින් අධ්‍යක්ෂණය කරන ලද, විශ්වවිද්‍යාලයයක සිද්ධි දාමයක් පදනම් කරගත් තේමාවක චිත්‍රපටයක් වූ ‘හන්තානේ කතාව’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා දායකවීමට විජයට අවස්ථාව හිමිවිය. ඔහු ඊට පෙර ද “මනමාලයෝ’ නම් චිත්‍රපටයකට රංගනයෙන් දායක වී තිබුනත් එය ප්‍රධාන ජවනිකාවක් නොවන බව චිත්‍රපට විචාරකයින්ගේ මතය යි.

විජය රඟපෑ චිත්‍රපට ජවනිකාවක්/Daily Mirror

දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට දිවෙන විජයගේ කලා ජීවිතය තුළ ඔහු චිත්‍රපට 120කට ආසන්න ප්‍රමාණයකට රංගනයෙන් දායක වන අතර, ඉන් 114කම ඔහු ප්‍රධාන චරිත නිරූපනය කිරීම අතිශයින්ම විශේෂ කරුණකි. ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපටයන් අතර ‘අහස ගව්ව’ (1974), ‘එයා දැන් ලොකු ළමයෙක්’ (1976), ‘බඹරු ඇවිත්’ (1977), ‘ගඟ අද්දර’ (1980), ‘බැද්දේගම’ (1980), ‘පාරදිගේ’ (1980), ‘මහගෙදර’ (1980), ‘කැඩපතක ඡායා’, ‘ක්‍රිස්තු චරිතය’ වැනි ඒවා ප්‍රධාන තැනක් ගනී.

දේශපාලනයට පිවිසි කලාකරුවා

1978 වසරේ පෙබරවාරි මස දී විජය කුමාරතුංග මෙරට කීර්තිමත් අග්‍රාමාත්‍යවරයෙකු වූ සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක සහ ලොව පළමු අගමැතිනිය වූ සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක යුවලගේ කණිටු දියණිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙනෙවිය සමග, කොළඹ 07 රොස්මිඩ් පෙදෙසේ පිහිටි රොස්මිඩ් නිවෙසේ දී විවාහ ගිවිසගත්තේ ය. ඒ වන විට ඔහු දේශපාලන ක්ෂේත්‍රයට ද අවතීර්ණ වී තිබිණි. චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග විවාහයෙන් පසුව ඔහු සක්‍රීය ලෙස දේශපාලනයේ නිරතවන්නට වූ අතර 1982 වසරේ දී එවකට ජනාධිපතිධුර අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුවගේ මැතිවරණ ව්‍යාපාරයේ කැපිපෙනන භූමිකාවක් ඉටුකළේ ය.

(අගමැතිනි සිරිමාවෝ ගැන වැඩිදුර තොරතුරු මේ ලිපියෙන්: ලොව ප්‍රථම අගමැතිනිය – සිරිමාවෝ බණ්ඩාරනායක. බණ්ඩාරනායක අගමැති ගැන තොරතුරු මේ ලිපියෙන්: ලංකාවේ අගමැති වුණු ආසියාවේ රිදී සීනුව)

විජය-චන්ද්‍රිකා විවාහය

එම වසරේ දීම ඉන්දියාවේ ක්‍රියාත්මක වන ‘නැක්සලයිට්’ නම් සංවිධානයක සාමාජිකයෙකු බවට චෝදනා කරමින් එවකට ජේ. ආර්. ජයවර්ධන රජය යටතේ විජය අත්අඩංගුවට පත්කෙරුනේ ය. ඔහු රඳවා තබන්නේ වැලිකඩ බන්ධනාගාරයේ යි. මාස දෙකකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඔහු පසුව නිදහස් කෙරිණි. එමෙන්ම ඔහුට විරුද්ධව කිසිදු චෝදනාවක් ඔප්පු කිරීමට එවකට පැවැති පාලනය සමත් නොවිය.

(නැක්සලයිට් ව්‍යාපාරය යනු කුමක් ද? දැනගන්න කියවන්න: ඉන්දියාවේ නැක්සලයිට් ව්‍යාපාරය​)

1983 පැවැති මහර ආසනයේ අතුරු මැතිවරණයට තරග වදින විජයට එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන්ගෙන් මරණ තර්ජන පවා එල්ල වූ අතර, එම මැතිවරණ ව්‍යාපාරය අතරතුර එල්ල වූ ප්‍රහාරයකින් ඔහුගේ මිතුරෙකුට ජීවිතයෙන් සමුගැනීමට පවා සිදුවිය. එම මැතිවරණයේ පළමු ඡන්ද ගණන් කිරීමේ දී විජය වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන සිටි නමුත්, ඡන්ද ගණන් කරන ස්ථානයේ සිදුව තිබූ විදුලි ඇනහිටීමක් යථා තත්ත්වයට පත්කිරීමෙන් පසුව සිදුවූ දෙවැනි ඡන්ද ගණන් කිරීමේ දී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා විජයට වඩා වැඩි ඡන්ද කිහිපයක් ලබාගෙන සිටියේ ය.

නිදහස් පක්ෂයෙන් ඉවත් වෙයි

www.slmp.lk

මඳ කලකට පසු විජය, සිය බිරිඳ වන චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව, තවත් කිහිපදෙනෙකුගේ ද සහයෝගය ලබාගෙන ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවන ලැබුවේ ය. එම පක්ෂය එවකට පැවැති අතුරු මැතිවරණ කිහිපයකටම ඉදිරිපත් වූ නමුත් බලාපොරොත්තු වූ ආකාරයේ ජයග්‍රහණයක් ලබාගැනීමට ඔවුන්ට හැකිවූයේ නැත.

 

 

එවකට, එනම් 1986 වසරේ දී, එල්. ටී. ටී. ඊ ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පැවැති යාපනය ප්‍රදේශයේ සංචාරය කරන විජය යාපනය සුප්‍රසිද්ධ නල්ලුර් කෝවිල වැඳ පුදාගන්නා අතර, ඉන්පසු ප්‍රදේශවාසී දමිළ වැසියන් මෙන්ම කොටි සංවිධානයේ කිහිප දෙනෙකු ද හමුවිය. යාපනයේ පමණක් නොව මුළු රටේම ජනතාවගේ සිත් තුළ විජය පිළිබඳව ඇතිවන්නේ ඉමහත් ගෞරවාදරයක් බැවින්, එවකට ක්‍රියාත්මක වූ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් ඔහු සිය ගමනට බාධාවක් වනු ඇති බව දන්නා නිසා ඔහු ඝාතනය කිරීමට සැලසුම් සකස්කිරීම අරඹන්නේ මේ කාලයේ දී ය.

විජය යාපනය සංචාරය අතරතුර/dbsjeyaraj.com

ඝාතනය වෙයි

1988 වසරේ ජනවාරි 28 දින කොළඹ කැම්බල් පිටියේ පැවැති මහජන රැළියක් අතරතුර විජය, එවකට ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, සහ ජනතා විමුක්ති පෙරමුණ, බෙදුම්වාදී අරගලය සහ ජනතාවගේ ගැටළු විසඳීමට අපොහොසත් වීම පිළිබඳව දැඩි ලෙස විවේචනය කර, ඒ සඳහා නව වැඩසටහනක ඇති අවශ්‍යතාවය පෙන්වා දෙනවා. ඔහු 1988 වසරේ දී නව දේශපාලන සන්ධානයක් පිහිටුවීම සඳහා තවත් වමේ දේශපාලන පක්ෂ කිහිපයක් සමග ශ්‍රී ලංකා මහජන පක්ෂය ගිවිසුමකට එළඹෙනවා.කෙසේ නමුත් අවාසනාවන්ත ලෙස එම සන්ධානය ගොඩනැගීමට දින කිහිපයකට පෙර විජය කුමාරතුංගට සිය ජීවිතයෙන් සමුගැනීමට සිදුවෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යයාලයේ දිවා භෝජනයක් සඳහා සහභාගී වීමට සිටි විජය කුමාරතුංග 1988 වසරේ පෙබරවාරි 16 වැනි දින, ඒ වන විට ඔහු සිය බිරිඳ සහ දරුවන් සමග පදිංචිව සිටි පොල්හේන්ගොඩ පිහිටි නිවසේ මිදුලට පැමිණ මෝටර් රථයට ගොඩවීමට සූදානම්ව සිටියේ ය. ඒ අවස්ථාවේ යතුරුපැදියකින් පැමිණි සාහසිකයෙකු ඔහුගේ හිසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කරන ලදී. නිවෙස තුළ සිටි චන්ද්‍රිකා වෙඩි හඬ ඇසී මිදුලට දිව ආවත් ඒ වන විටත් විජය හිසට සිදුවූ බරපතල තුවාල නිසා මෙලොව හැරගොස් තිබිණි.

බඹරු ඇවිත්/Suravi

 

පසුව මාර්ගයේ ගමන් කරමින් සිටි ජනතාවගේ ද සහාය ඇතිව ඔහු රෝහල කරා ගෙන ගියත්, ඒ වන විටත් ඔහු ජිවිතක්ෂයට පත් වී තිබිණි. ඔහුගේ අවසන් කටයුතු 1988 වසරේ පෙබරවාරි 21 වන දින කොළඹ නිදහස් චතුරශ්‍ර භූමියේ දී රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වූ අතර, එය මෙරට රූපවාහිනිය හරහා විකාශනය කරන ලද ප්‍රථම අවමංගල උළෙල ලෙස ඉතිහාසයට ද එක් විය. ඔහුගේ භෂ්මාවශේෂ කටුනායක පිහිටි විජය කුමාරතුංග සමාධියේ තැන්පත් කෙරුණු අතර සෑම වසරකම පෙබරවාරි 16 වන දින ඔහුගේ ගුණ සමරු උළෙලක් එම ස්ථානයේ දී පැවැත්වේ.

කලා ලොවේ ලද ජනතා ගෞරවයෙන් සහ ආදරයෙන් උඩඟු නොවී, රංගනයෙන් සහ ගායනයෙන් ජනතාව පිනවනවා සේම, දේශපාලනය හරහා ද මෙරට සියලුදෙනාට සාර්ථක හෙට දිනක් උදා කරලීමේ අරමුණින් සඳහා සිය ධනය, ශ්‍රමය කැප කරණ අතරේ සිය ජීවිතය අහිමි වුව ද, විජය කුමාරතුංග කලාකරුවා අදට ද ජනතාවගේ හද තුළ ජීවමාන ය. 

Cover image: Fragments. - Blogger

මූලාශ්‍රයයන්: sarasaviya.lk

lankadeepa.lk

Wijaya Kumaratunga by Chandrika Kumaratunga

Related Articles