Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අමතක නොවන පැරණි සිංහයෝ 4- රුමේෂ් රත්නායක

1982-1993 කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ රුමේෂ් රත්නායක ප්‍රසිද්ධව සිටියේ දක්ෂ වේග පන්දු යවන්නෙකු ලෙස යි. ශ්‍රී ලංකාවට මංගල ටෙස්ට් ජයග්‍රහණය ලබාදීම සඳහා සුවිසල් මෙහෙවරක් කළ මෙම සුපිරි වේග පන්දු යවන්නා එම අවදියේ දී ප්‍රතිවාදී පිතිකරුවන්ව භීතියට පත් කළා. නමුත්, රුමේෂ් සිය තරග දිවිය තුළ දී ආබාධයන් රැසකට ගොදුරු වුණු නිසා වේලාසනින්ම ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් වුණා. රුමේෂ් එලෙස ක්‍රිකට් පිටියෙන් නික්ම යන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු ලබාගත් පන්දු යවන්නා බවටත් පත්ව සිටියා.

රුමේෂ් රත්නායකගේ ටෙස්ට් දිවියේ මතක සටහන් 

ටෙස්ට් තරග 23ක දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ රුමේෂ් රත්නායක පන්දුවාර 826.5ක් යවමින් කඩුලු 74ක් ලබාගැනීමට සමත්ව තිබෙනවා. එහි දී 5 වරක් ඉනිමක දී කඩුලු 5 බැගින් දවාගත් රුමේෂ් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ලෙසින් ලකුණු 66කට කඩුලු 6ක් ලබාගෙන ඇත්තේ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව යි. ඊට අමතරව පිත්තෙන් ද හැකි පමණින් දස්කම් දැක්වීමට සමත් වුණු රුමේෂ් ඉනිම් 36ක් තුළ අර්ධ ශතක 2ක් සමගින් ලකුණු 433ක් ලබාගත්තා. 

රුමේෂ් සිය මංගල ටෙස්ට් තරගය සඳහා සහභාගී වුණේ 1983 වසරේ දී යි 

1982 වසරේ අග භාගයේ දී එවකට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දැරූ බන්දුල වර්ණපුර ඇතුළු පිරිසක් තහනම් දකුණු අප්‍රිකානු සංචාරයක නිරත වුණා. එම නිසාම බන්දුල වර්ණපුර ඇතුළු ක්‍රීඩකයන් කිහිපදෙනෙක් දීර්ඝ තරග තහනමකට ලක් වුණා. එම සිදුවීම වී මාස කිහිපයකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයේ සංචාරය කළා. එම තරගාවලිය යටතේ පැවති පළමු ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් හිමිකර ගත් රුමේෂ් එහි දී ලකුණු 125කට කඩුලු 2ක් ලබාගත්තා. 

රුමේෂ් පන්දුවෙන් දස්කම් දැක්වූ ටෙස්ට් තරග 

රුමේෂ් රත්නායක සිය ටෙස්ට් දිවිය තුළ අවස්ථා 5ක දී කඩුලු 5 බැගින් දවාගෙන තිබෙනවා. එහි දී ඔහු 1985 වසරේ දී ඉන්දියාවට එරෙහිව පැවති ටෙස්ට් තරගයේ දී ලකුණු 125කට කඩුලු 9ක් දවාගනිමින් සිදුකළ සුපිරි පන්දු යැවීම නිසා ශ්‍රී ලංකාවට මංගල ටෙස්ට් ජයග්‍රහණය ලබාගැනීමට හැකි වුණා.

ඉන්දියාවට එරෙහිව 85/6 දවාගත්තේ 1985 වසරේ දී යි 

1985 වසරේ පැවති ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ක්‍රියාත්මක වුණේ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී යි. එම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කර මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දියානුවන්, පළමු ඉනිමට ලබාගත් ලකුණු 218ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 347ක් ලබාගැනීමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 129ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ඉන්දීය කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 130ක් ලබාගනිමින් යළි තරගයට අවතීර්ණ වුණා. එලෙස ඉන්දීය පිතිකරුවන් හොඳින් පන්දුවට පහරදෙමින් සිටි අවස්ථාවේ දී මනරම් පන්දු යැවීමක නිරත වුණු රුමේෂ් රත්නායක, ලකුණු 85කට කඩුලු 6ක් දවාගත්තේ ඉන්දීය ඉනිම ලකුණු 251කට සීමා කරමින්. එහි දී රුමේෂ් වාර්තා කළ පන්දු යැවීම එම අවදියේ ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු ටෙස්ට් ඉනිමක වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙසිනුත් සටහන් වුණු බව මෙහි දී විශේෂයෙන්ම සිහිපත් කළ යුතු යි.

ශ්‍රී ලංකාවට මංගල ටෙස්ට් ජයග්‍රහණය හිමිකර දුන් රුමේෂ්ගේ සුපිරි පන්දු යැවීම 

1985 ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය යටතේ පී සරා ඕවල් පිටියේ පැවති ටෙස්ට් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 385ක් ලබාගැනීමට සමත් වුණා. ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ලකුණු 244කට දැවීගියේ රුමේෂ් රත්නායක ලකුණු 76කට කඩුලු 4ක් දවාගනිමින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා යි. ඉන්දීය කණ්ඩායමට වඩා ලකුණු 141ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම 206/3 ලෙසින් ලකුණු ලබා සිටිය දී ඉනිම අත්හිටවූයේ ප්‍රතිවාදී කණ්ඩායමට ලකුණු 348ක ඉලක්කයක් ලබාදෙමින්. තරගයේ අවසන් ඉනිම තුළ ලකුණු 348ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම ලකුණු 198කට දැවීගියේ රුමේෂ් ලකුණු 49කට කඩුලු 5ක් දවාගනිමින් සිදුකළ දක්ෂ පන්දු යැවීම නිසා යි. එහි දී ලකුණු 78ක් ලබා සිටි කපිල් දේව් ව දවාගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළ රුමේෂ් සිය ටෙස්ට් දිවියේ තරගයක හොඳම පන්දු යැවීම වාර්තා කළේත් මෙම ටෙස්ට් තරගයේ දී යි.

රුමේෂ් රත්නායක පන්දු යවමින් (gettyimages)

ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව බෙලරීව් ඕවල් පිටියේ දී ලකුණු 66කට කඩුලු 6ක් දවාගත්තා 

1989 වසරේ දී පැවති ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ක්‍රියාත්මක වුණේ හෝබාට් නුවර බෙලරීව් ඕවල් පිටියේ දී යි. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 224කට දැවීගියේ රුමේෂ් රත්නායක ලකුණු 66කට කඩුලු 6ක් දවාගනිමින් සිදුකළ සුපිරි පන්දු යැවීම නිසා යි. එලෙස රුමේෂ් පන්දුවෙන් දැක්වූ දස්කම ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු ඕස්ට්‍රේලියානු බිමේ දී ටෙස්ට් ඉනිමක වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙසින් අදටත් ශ්‍රී ලංකා වාර්තා අතර රැඳී පවති යි. එසේම එම පන්දු යැවීම රුමේෂ්ගේ ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම බවට පත් වීමත් මෙහි දී සිහිපත් කළ යුතු යි.

නවසීලන්තයට එරෙහිව 1991 වසරේ දී ලකුණු 77කට කඩුලු 5ක් දවාගත්තා 

1991 වසරේ සෙඩොන් පාක් පිටියේ දී පැවැත්වුණු ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්තය එක් අවස්ථාවක කඩුලු 4ක් දැවී ලකුණු 239ක් ලබා සිටියේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පීඩනයක් එල්ල කරමින්. එලෙස නවසීලන්තය ප්‍රබල ස්ථානයක සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු රුමේෂ් ලකුණු 77කට කඩුලු 5ක් දවාගත්තේ ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 296කට සීමා කරමින්.  

ලෝඩ්ස් පිටියේ දී සිදුකළ අමතක නොවන පන්දු යැවීම 

1991 වසරේ ලෝඩ්ස් පිටියේ දී පැවති ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 282කට දැවීගියා. එහි දී පන්දුවෙන් සුපිරි දස්කම් දැක්වූ රුමේෂ් ලකුණු 69කට කඩුලු 5ක් දවාගත්තා. ඒ අනුව මේ දක්වා ලෝඩ්ස් පිටියේ දී ටෙස්ට් ඉනිමක කඩුලු 5ක් ලබාගත් එකම ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට පත්ව සිටින්නේ රුමේෂ් රත්නායක යි.

රුමේෂ් රත්නායක ලෝඩ්ස් පිටියේ දී පන්දු යවමින් (gettyimages)

රුමේෂ් පිත්තෙන් දස්කම් දැක්වූ ටෙස්ට් තරග 

රුමේෂ් රත්නායක සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළ පිත්තෙන් එතරම් දස්කම් පෙන්වා නොතිබුණත් ඔහු අවශ්‍ය ම අවස්ථාවල සිය පිත්ත ක්‍රියාත්මක කර තිබෙනවා. එසේ නම් රුමේෂ් සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළ වාර්තා කළ අර්ධ ශතක 2 මෙලෙස දැක්විය හැකියි.

1) ලකුණු 56- පාකිස්ථානු කණ්ඩායමට එරෙහිව ෆයිසලාබාද්හි දී (1985 වසරේ දී)

2) ලකුණු 52- එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලෝඩ්ස් පිටියේ දී (1991 වසරේ දී)

රුමේෂ් ලෝඩ්ස් ටෙස්ට් තරගයේ දී පන්දුවට පහරදෙමින් (gettyimages)

රුමේෂ් සිය මංගල එක්දින තරගය සඳහා සහභාගි වුණේ 1982 වසරේ දී යි 

1982 වසරේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණු එක්දින තරගාවලියේ තෙවන තරගය ක්‍රියාත්මක වුණේ බැංගලෝර් නුවර එම් චින්නස්වාමී ක්‍රීඩාංගණයේ දී යි. එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් ලබාගත් 28 වැනි ක්‍රීඩකයා බවට පත් වීමට රවී රත්නායකට හැකියාව ලැබුණා. නමුත් එම තරගයේ දී දස්කම් දැක්වීමට අසමත් වුණු රුමේෂ් ලකුණු 38ක් ලබා දී කිසිදු කඩුල්ලක් ලබාගත්තේ නැහැ.

රුමේෂ් පන්දුවෙන් දස්කම් දැක්වූ එක්දින තරග 

රුමේෂ් රත්නායක සිය එක්දින දිවිය තුළ අවස්ථා 2ක දී කඩුලු 4 බැගින් දවාගෙන තිබෙනවා. එහි දී ඔහු 1990 වසරේ පාකිස්ථානයට එරෙහිව ලකුණු 32කට ලබාගත් කඩුලු 5 ඔහුගේ එක්දින දිවියේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වුණා. 

ඕස්ට්‍රේලියාවට එරෙහිව 37/4 දවාගත්තේ 1985 වසරේ දී යි 

1984/1985 ඕස්ට්‍රේලියානු වාර්ෂික තුන්කොන් තරගාවලියේ 8 වැනි තරගය මෙල්බර්න් පිටියේ දී පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර යි. එම තරගයේ දී ඕස්ට්‍රේලියානු පරදවා ශ්‍රී ලංකාව කඩුලු 4ක ජයක් වාර්තා කළේ රුමේෂ් රත්නායක ලකුණු 37කට කඩුලු 4ක් දවාගනිමින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා යි. එලෙස ශ්‍රී ලංකාව ලබාගත් එක්දින තරග ජයග්‍රහණය ඔවුන් ඕස්ට්‍රේලියානු බිමේ දී ලබාගත් මුල්ම එක්දින තරග ජයග්‍රහණය ලෙසින් සටහන් වුණා.

රුමේෂ් එක්දින තරගයක පන්දු යවමින් (gettyimages)

පාකිස්ථානයට එරෙහිව 32/5 දවාගත්තේ 1990 වසරේ දී යි 

1990 වසරේ පැවැත්වුණු ශ්‍රී ලංකා-පාකිස්ථාන් එක්දින තරගාවලියේ පළමු තරගය සාජා පිටියේ දී ක්‍රියාත්මක වුණා. එම තරගයේ දී පාකිස්ථානු කණ්ඩායම ලකුණු 170කට සීමා කරමින් රුමේෂ් ප්‍රබල පන්දු යැවීමක නිරත වුණේ ලකුණු 32කට කඩුලු 5ක් ලබාගනිමින්. එලෙස රුමේෂ් ලබාගත් කඩුලු 5 ඔහුගේ එක්දින දිවියේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වුණා.

රුමේෂ් රත්නායකගේ ක්‍රිකට් දිවියේ විශේෂ කරුණු 

1) ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ඉනිමක් කඩුලු 6ක් ලබාගත් මුල්ම පන්දු යවන්නා මොහු යි.

2) 1985 වසරේ දී ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලබාගත් මංගල ටෙස්ට් ජයග්‍රහණයේ දී පන්දුවෙන් දස්කම් දැක්වූ රුමේෂ් තරගය පුරාවටම කඩුලු 9ක් දවාගත්තා.

3) ඕස්ට්‍රේලියානු බිමේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු ටෙස්ට් ඉනිමක වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වන්නේ රුමේෂ් ලකුණු 66කට ලබාගත් කඩුලු 6 යි.

4) ලෝඩ්ස් පිටියේ දී ටෙස්ට් ඉනිමක කඩුලු 5ක් ලබාගත් එකම ශ්‍රී ලංකා පන්දු යවන්නා වීමේ ගෞරවය හිමිකර ගත්තේ රුමේෂ් රත්නායක නම් පන්දු යවන්නා යි.

5) මොහු සිය මංගල ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කළේ 1983 වසරේ දී නවසීලන්තය සමග යි. එම තරගාවලිය යටතේ වෙලිංටන් නුවර බේසින් රිසව් පිටියේ පැවැත්වුණු ටෙස්ට් තරගයේ දී රුමේෂ් යැවූ පන්දුවක් ජෝන් රයිට්ගේ නාසයේ වැදීම නිසා ඔහුගේ නාසය බිඳීයාම සුවිශේෂී සිදුවීමක් වුණා.

6) මොහු ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු ලබාගත් පන්දු යවන්නා ලෙසින් වාර්තා අතරට එක්ව සිටියා.

කවරයේ ඡායාරූපය- රුමේෂ් ලෝඩ්ස් ටෙස්ට් තරගයේ දී ස්ටුවර්ට්ට සුභ පතමින් (gettyimages)

Related Articles