Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉපැරණි දියුණු ශිෂ්ටාචාරවල නිජබිම: ඇන්ඩීස් කඳු වැටිය

ඇන්ඩීස් යනු භූගෝලීය වශයෙන් ඉතා ම වැදගත් සාධක රැසකින් සමන්විත ස්වභාවික පිහිටීමකි. ඓතිහාසික වශයෙන් ඉන්කා ශිෂ්ටාචාරය, ඇතුළු ඉපැරණි දියුණු ශිෂ්ටාචාර කීපයක නිජබිම ඇන්ඩීස් කඳුකරය යි. විවිධ දේශගුණික තත්වයන් සහ ජෛව විවිධත්වයන් සහිත අපූර්ව  කලාපයක් වන මෙය ලෝක දේශගුණික සාධක කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරයි.

මහද්වීපයක් තුළ පිහිටි ලෝකයේ දිග ම කඳුවැටිය ලෙස නම් දරා තිබෙන්නේ ඇන්ඩීස් කඳුවැටිය යි. එහි දිග කිලෝමීටර 9,000 (සැතපුම් 4,500 ) ක් වන බවට සඳහන් ය. එය උස් මුදුන් අතින් ගත්තත් අද්විතීය ස්ථානයක පවතියි. සාපේක්ෂ වශයෙන් සලකා බැලීමේ දී උන්නතාංශය හෙවත් උස පිළිබඳ සාධකයේ දී ඇන්ඩීස් කඳුකරය දෙවෙනි වන්නේ හිමාලය,හින්දු කුෂ්, සහ එහි පරිවාර කඳු මුදුන්වලට පමණි. ඇන්ඩීස් හි සාමාන්‍ය උන්නතාංශය අඩි 13,000 හෙවත් මීටර් 3,962 පමණ වේ.

ඇන්ඩීස් කඳුවැටියේ කොටසක් – peakvisor.com

පිහිටීම

ඇන්ඩීස් කඳුවැටිය දකුණු අමෙරිකානු මහද්වීපයේ පහළ සිට ඉහළට බටහිර දිශාවට වන්නට පිහිටා ඇත. ආජන්ටිනාව, චිලී, ඉක්වදෝරය, වෙනිසියුලාව, බොලිවියාව, කොලොම්බියාව සහ පේරු නම් රාජ්‍ය හත හරහා එය  ඉහළ සිට පහළට විහිදී යයි. ඒ ඒ රටවල්වල පිහිටා ඇති ඇන්ඩීස් කඳුවැටියේ කඳු මුදුන් විවිධ නම් වලින් හැඳින්වේ. බොලීවියාවේ පිහිටි ඇන්ඩීස් කඳුමුදුන හුවානා පොටෝසි ලෙස හැඳින්වෙන අතර ආජන්ටිනාවේ පිහිටි උච්ඡ කඳු මුදුන “අකොන්කාගුවා” කන්ද ලෙස හැඳින්වේ. මෙම රටවල් අතරින් ආජන්ටිනාව සහ චිලි රාජ්‍යය හැර සෙසු රටවල් පහ ඇන්ඩියන් රාජ්‍ය ලෙස ද හැඳින්වෙන අතර ඇන්ඩිස් කඳුවැටියේ උස ම කඳු මුදුන ආර්ජන්ටිනාවේ පිහිටි ඇකොන්කාගුවා කන්ද ලෙසින් හඳුන්වයි. එය මුහුදු මට්ටමේ සිට අඩි 22,841 (මීටර් 6,962) ක් උසින් පිහිටා ඇත.

ඇන්ඩිස් කඳුවැටියේ ව්‍යාප්තිය – kocyan-chile.weebly.com

 

ඇන්ඩීස් කඳුවැටියේ බෙදීම් සහ දේශගුණය

මූලික වශයෙන් ඇන්ඩීස් කඳුවැටිය කලාප තුනකට බෙදා නම් කර ඇත. උතුරු ඇන්ඩීස්, මධ්‍යම ඇන්ඩීස් සහ දකුණු ඇන්ඩීස් යනු ඒ කලාප තුන යි. මීටර් පන්දාහක පමණ උන්නතාංශවල පිහිටි ගිනිකඳු ගිරිශිඛර සහිත උතුරු ඇන්ඩීස් කලාපයට ඉක්වදෝරය,බොලීවියාව සහ වෙනිසියුලාව අයත් ය. චිලී රාජ්‍යයේ එක් කොටසක් සහ පේරු රාජ්‍යය මධ්‍යම ඇන්ඩිස් කඳු කලාපය නියෝජනය කර යි. චිලී රාජ්‍යයේ අනෙක් කොටස සහ ආජන්ටිනාව දකුණු ඇන්ඩීස් කලාපයට අයත් වේ.

ඇන්ඩීස් කඳුවැටිය පිළිබඳ භූවිද්‍යා මතය

ලෝකයේ මහද්වීප පවතින්නේ භූ තැටි මත ය. මෙම භූ තැටිවල චලන නිසා පෘථිවියෙහි බොහෝ භූමි පැන නැගීම් වගේ ම බොහෝ භූමි අතුරුදහන්වීම් මෙන් ම සුනාමි වැනි බිහිසුණු තත්වයන් ද, භූමිකම්පා ද සිදුවේ. දකුණු අමෙරිකානු මහද්වීපය පිහිටා තිබෙන්නේ “නැස්කා” නමින් හඳුන්වන භූ තැටිය මත ය. මෙම නැස්කා භූ තැටියේ විවිධ අවස්ථාවල සිදුවන වෙනස්කම් චලන නිසා එම කලාපයේ භූමිකම්පා නිරන්තර ව සිදුවන අතර අතීතයේ සිට බොහෝ ගිනි කඳු ක්‍රියාකාරිත්වයන්ට ඇන්ඩිස් කලාපයේ රටවලට මුහුණ දීමට සිදු විය.

කොටෝපැක්සි ගිනිකන්ද – ඉක්වදෝරය – latinrootstravel.com

 

කොටෝපැක්සි (Cotopaxi) යනු එවැනි බිහිසුණු ගිනිකන්දකි. එය පිහිටා තිබෙන්නේ මධ්‍යම ඉක්වදෝරයේ ය. මීටර් 5911 හෙවත් අඩි 19393ක් උස මෙම ගිනිකන්ද, ලෝකයේ පිහිටා තිබෙන උස ම ගිනිකඳුවලින් එකකි. මෙම ගිනි කන්දේ අතිශය බිහිසුණු පුපුරායාම් කිහිපයක් ඉතිහාසය වාර්තා කරයි. ඒවා වර්ෂ 1744, 1768, 1877, සහ 1904 දී සිදු වී තිබේ .මෑත ඉතිහාසය තුළ ද එය වර්ෂ 1940දී සහ 2015 දී සුළු වශයෙන් පුපුරා යාමට ලක්විය. ඇන්ඩිස් කඳුවැටිය පෘථිවිය මත නිර්මාණය වීම ආරම්භ වූයේ ජුරාසික යුගයේ දී වුව ද එය එහි වර්තමාන හැඩය දක්වා විකාශනය වන්නට වූයේ අදින් වසර මිලියන 145 කට පෙර ක්‍රිටේසියස් යුගයේදී බව භූ විද්‍යාඥයන්ගේ මතය යි.

1970 දී ඇති වූ දරුණු භූමිකම්පාව

 ඇන්ඩීස් කඳු පන්තියේ තෙවැනි උස්මුදුන වන්නේ පේරු රටේ පිහිටි “හුවාස්කරන්” කඳු මුදුන යි. හිමෙන් වැසී ගිය හුවාස්කරන් මීටර් 6768ක් උස ය. පේරු රටේ මුහුදු වෙරළට තරමක් ඈතින්, වර්ෂ 1970 මැයි මස සිදුවූ ඉහළ ම ගණයේ භූමිකම්පාවක් හේතුවෙන් හටගත් විශාල නායයාම් නිසා පේරු රටේ යුංගේ නගරය මුළුමනින් ම හිම සහ අවශේෂ සුන්බුන්වලින් වැලළී ගියේ ය. එයට වගකිව යුතු එක් හේතුවක් වූයේ හුවාස්කරන් කන්දෙන් දැවැන්ත යෝධ අයිස් කුට්ටියක් නගරයට කඩා වැටීම යි. සිදුවූ විපත තුළ 70,000ක් පමණ පුද්ගලයන් මරණයට පත් වූ බවට ජනමාධ්‍යවල වාර්තා විය.

නිදිගත් මාරයා

ආජන්ටිනාව සහ චීලිය අතර දේශසීමාවේ ඇන්ඩීස් කඳුපන්තිය මත පිහිටා ඇති “ඔජොස් ඩෙල් සලාඩෝ” ගිනි කන්ද අඩි 22615ක් හෙවත් මීටර් 6893ක් උසින් යුක්ත ය. දක්ෂිණ අර්ධගෝලයේ පිහිටි උසින් දෙවන කන්ද එය වන අතර ක්‍රියාකාරී ගිනි කඳු අතර ලෝකයේ තිබෙන උස ම ගිනි කන්ද බවට ඔජොස් ඩෙල් සලාඩෝ පත්ව ඇත. මෙයට අමතර ව ඉක්වදෝරයේ පිහිටා ඇති මීටර් 6,263 (අඩි 20,548) ක් උසින් යුක්ත, ඇන්ඩිස් කඳුවැටියට අයත් “චිම්බොරාසෝ” දැවැන්ත අක්‍රිය ගිනි කන්ද මෙයට ශතවර්ශ දහයකට පමණ පෙර අවසන් වරට පුපුරා ගොස් දැනට නිදිගත් මාරයකු සේ පවතින බව බොහෝ විද්‍යාඥයන් පිළිගන්නා කරුණකි.

ටිටිකාකා විල – www.britannica.com

 

ඇන්ඩීස්හි සුවිශේෂී භූගෝලීය පිහිටීම් සහ දේශගුණය

ඇන්ඩිස් කලාපයේ බොලිවියාව සහ පේරු අතර අඩි 12,500 (මීටර් 3,810)ක උස් බිමක “ටිටිකාකා” නම් දැවැන්ත විලක් පිහිටා ඇත. මෙය දකුණු අමෙරිකානු කලාපයේ විශාලත්වයෙන් දෙවැනි ස්ථානය ගන්නා අතර ප්‍රමාණයෙන් විශාල යාත්‍රා ගමන් කළ හැකි ලෝකයේ උස ම විල ලෙස ද නම් දරා ඇත. ටිටිකකා විල වර්ග සැතපුම් තුන්දහස් දෙසීයක් (3200) පුරා විසිර පවතියි. දේශගුණික විවිධත්වය උපරිම ආකාරයෙන් පවතින ඇන්ඩිස් කඳු පද්ධතිය තුළ, එහි සෑම කලාපයක ම ආවේණික වූ දේශගුණික ගති ලක්ෂණවලින් යුක්ත වේ.

ඇන්ඩිස් දකුණු කලාපය වර්ෂාපතනය සහිත සීතල දේශගුණයක් දක්වන අතර, ඇන්ඩිස් උතුරු කලාපය වැසි සහිත උණුසුම් කාලගුණයක් පෙන්වයි. ඇන්ඩිස් මධ්‍යම කලාපය දැඩි වියළි ස්වභාවයකින් යුක්ත වේ. කඳුවැටියේ උස්මුදුන් ඝණ අයිස් සහ හිම තට්ටුවලින් වැසී ඇත. ඇන්ඩිස් කඳුවැටියේ පිහිටීම ඉතාම සුවිශේෂී වන අතර එය දකුණු අමෙරිකානු මහද්වීපය සහ පැසිපික් සාගරය අතර සමාන්තර ව පිහිටි යෝධ පවුරක් මෙන් ක්‍රියා කරයි. මෙම පිහිටීම මුළුමහත් කලාපයට ම දේශගුණික වශයෙන් යෝධ බලපෑමක් ඇති කරයි.

 පියාසර පක්ෂීන් අතර බරින් වැඩි ම කුරුල්ලා ඇන්ඩියන් කොන්ඩෝර් – www.zmescience.com

 

ඇන්ඩීස්හි ජෛව විවිධත්වය

රළු, වියළි, උණුසුම්, තෙත්සහිත, අධික ශීතල ආදී විවිධ පාරිසරික සාධක හමුවේ ඒවාට ඔරොත්තු දිය හැකි සත්ත්ව හා ශාඛ ප්‍රජාවක් ඇන්ඩිස් කලාපය නියෝජනය කරයි. ඇන්ඩියන් කොන්ඩෝර් නම් දකුණු  අමෙරිකාවට ආවේණික විශාල ගිජුලිහිණි විශේෂය ද, විකුනා (vicuña) නම් ඔටු විශේෂය ද,මීයන් විශේෂයක් වන චින්චිලා (chinchilla) සත්ත්ව ප්‍රජාව ද, දකුණු අමෙරිකාවට ම ආවේණික කැමලිඩ් පවුලට අයත් එකිනෙකට වෙනස් සත්ත්ව විශේෂ දෙකක් වන ලාමා සහ ඇල්පකා (llamas and alpacas) සත්ත්ව ප්‍රජාව ද සත්ත්ව ගහනය නියෝජනය කරති.

සමස්තයක් වශයෙන් නිරීක්ෂණය කොට ඇති පරිදි ක්ෂීරපායී සත්ත්ව විශේෂ 500 ක් ද, විවිධ පක්ෂි විශේෂ 1,600ක් ද, උරග විශේෂ 500 ක් සහ මත්ස්‍ය විශේෂ 300 ක් ද, උභයජීවී සත්ත්ව විශේෂ 100 කට ආසන්න ප්‍රමාණයක් ද සමඟ සියලු සත්ත්ව ප්‍රජාව 3,700 ක් පමණ සංඛ්‍යාවක් එහි සිටින බවට තොරතුරු වාර්තා වී ඇත.

මැලේරියාව සඳහා ක්විනින් නිපදවීමට ගන්නා “සින්චෝනා පුබෙසන්ස්” නම් ශාකය – www.latin-wife.com

 

ඇන්ඩිස් වල ශාක සහ බෝග වර්ග

ඇන්ඩීස්හි ශාක ප්‍රභේද තිස්දහසක් පමණ හඳුනා ගෙන ඇත. ඒ අතර මැලේරියා රෝගයට ප්‍රතිකාර සපයන ක්විනින් ඖෂධය නිපදවීමට ගන්නා “සින්චෝනා පුබෙසන්ස්” නම් ශාකය ඇන්ඩිස් කලාපය පුරා විසිරී පැතිරී පවතියි. ඊට අමතර ව එය රෝස පවුලේ සාමාජික ශාක සහ තරමක් වෙනස් හැඩයකින් දිස්වෙන ශාක සමූහයක් සහිත පොලිලෙපිස් වනාන්තර වලින්ද යුක්ත ය.

ශාක වර්ගීකරණය ඇතුළත ඇන්ඩිස් කලාපීය පරිසර පද්ධතිය තුළ බහුල වශයෙන් දුම්කොළ, බඩ ඉරිඟු, බෝංචි, තක්කාලි,කලාපයට ආවේණික රනිල කුලයේ ධාන්‍ය, බෝග වගාව වශයෙන් සිදුකරනු ලබයි.විශේෂයෙන් අර්තාපල් වර්ග 3,800 ක දැවැන්ත වගා බිම වන්නේ ද ඇන්ඩිස් කලාපය යි. ඉහළ ඇන්ඩිස් කඳුකරයේ ඉතාම ජනප්‍රිය පානයක් වන කොකා තේ සඳහා භාවිතයට ගන්නා කොකා කොළ ශාකවල නිජබිම ද ඇන්ඩියන් පරිසරය යි. මීවන විශේෂ ද, විවිධ කේතුධර ගස් සහ ශාක, ඇන්ජියෝස්පර්ම් කුලවලට අයත් මල් පිපෙන ශාක ද එහි දක්නට ලැබේ.

ඇන්ඩිස්හි වාසය කරන චින්චිලා නම් මී විශේෂය – petkeen.com

 

ඇන්ඩීස් කලාපයේ මිනිස් ප්‍රජාව

වසර දහස් ගණනකට පෙරාතු ව පැවති දියුණු සහ දැවැන්ත ශිෂ්ටාචාරවල නටබුන් මඟින් කලාපයේ විවිධ කාල වකවානුවල ජීවත්වූ මානව සමාජවල ඓතිහාසික දත්ත මතු කර ගෙන ඇත. එහිදී හමු වූ ඉපැරණි ම මානව ශාක්ෂි පදනම් කරගෙන විද්‍යාඥයන් නිගමනය කරන්නේ එහි මානව ඉතිහාසය වසර 10,000 සිට 12,000 දක්වා පැරණි බවත්, ඊටත් පෙර යුගවලදී ද මිනිස් වාසය එහි තිබෙන්නට ඇති බවත් ය. වර්තාමාන ඇන්ඩිස් මානව ජනගහනය 84,500,000 ක් ලෙස සංගනනය කොට ඇති අතර, එය දකුණු අමෙරිකානු ජනගහනයෙන් තුනෙන් එකක ප්‍රමාණයක් බවට ඇස්තමේන්තුගත ය. විවිධ ඛණිජ සම්පත්වලින් යුක්ත ඇන්ඩිස් කලාපයේ මානව සමාජයේ නිෂ්පාදන කටයුතු තුළ තඹ,රිදී,රත්‍රන්,සින්ක්,ඊයම්, සහ පතල් කර්මාන්ත නිෂ්පාදන රාශියක් බහුල වශයෙන් ක්‍රියාත්මක වේ. ඊට අමතරව කෘෂිකර්මාන්තය, පිඟන් හා මැටි කර්මාන්තය සහ රෙදි විවීම වැනි කර්මාන්ත එහි නූතන මානව ප්‍රජාව අතර ව්‍යාප්ත ව ඇත.

කවරයේ ඡායාරූපය  - ඇන්ඩීස් කඳු වැටිය - hdqwalls.com

මූලාශ්‍ර:

www.adventurealternative.com

www.livescience.com

www.whatstheweatherlike.org

www.britannica.com

Related Articles