ලොව පුරා විවිධ ස්ථානවල කාලයේ වැලිතලාවෙන් වැසී ඇති අභිරහස් බොහොමයක් වෙනවා. මේවා විටින් විට ලෝකයා වෙත නිරාවරණය වන්නේ උභතෝකෝටික රාශියක් ලෝ වැසියන්ට ඉතිරි කරමිනුයි. මින් සමහරක් කාලයාගේ ඇවෑමෙන්, වැඩිදුර අධ්‍යයනයන්ගෙන් පසු විසඳෙන අතර තවත් සමහරක් සදාකාලික අභිරහස් සේ පවතිනවා.
ඉතාලියට අයත් සිසිලි දිවයිනේ කන්‍යාරාමයක් යට පිහිටි උමං සොහොනක තිබී හමු වූ කුඩා දරුවන්ගේ මමිකෘත සිරුරු මෙලෙස බොහෝ දෙනාගේ දෙබැම රැළි ගැන්වීමට සමත් මාතෘකාවක් බවට පත් වී තිබෙනවා. විද්‍යාඥයන් කණ්ඩායමක් පසුගියදා පර්යේෂණ ආරම්භ කර තිබෙන්නේ මේ හා සබැඳි අභිරහස සම්පූර්ණයෙන් විසඳා ගැනීමට යි.
සිසිලියානු මමිකෘත දරුවන් එක්ස් රේ පරීක්ෂණයට
ඉතාලියට අයත් සිසිලි දූපතේ උතුරුදිගට වන්නට පිහිටි පලෙයාමොර් හි කැපුචින් උමං සොහොන්වල තිබී හමු වී ඇති, කුඩා දරුවන්ගේ මමිකෘත සිරුරු ගණන අවම වශයෙන් 160 ක් වෙනවා. සාමාන්‍යයෙන් මළසිරුරු මමිකරණයට ලක් කිරීම ඉතාලියට ආගන්තුක දෙයක් වන අතර, මෙලෙස මේවා මමිකරණයට ලක් වී ඇත්තේ ඇයිද යන්න අද වන තුරුත් හෙළි වී නැහැ. මේ නිසාම මේ ස්ථානය කෙරෙහි ලොව පුරා මිනිසුන්ගේ අවධානය යොමු වී තිබෙනවා. මෙම සිරුරු මමිකරණයට ලක් වූ හේතුව හා ආකාරය සොයා ගැනීමේ අටියෙන් මේවා එක්ස් රේ පර්යෙෂණවලට භාජනය කිරීමට විද්‍යාඥයන් කණ්ඩායමක් සූදානම් වී තිබෙනවා.
එම උමං සොහොනෙහි මමිකෘත හා ඇටසැකිලි බවට පත් වී ඇති මිනිස් සිරුරු අවම වශයෙන් 1284 ක් ඇති අතර මේවා විවිධ වයස් කාණ්ඩවලට අයත් ඒවා වෙනවා. මේවා වසර දහස් ගණනක් පැරණි නොවන අතර, 1590 වසරේ සිට 1880 වසර දක්වා තැන්පත් කළ සිරුරු මෙහි තිබී හමු වී තිබෙනවා. තවත් සිරුරු දෙකක් 20 වන සියවසේ මුල් භාගයේ දී මෙහි තැන්පත් කර තිබෙනවා.
පර්යේෂණයෙන් හෙළි කර ගැනීමට අපේක්ෂිත තොරතුරු
අදාළ පර්යේෂණය මහා බ්‍රිතාන්‍යයේ කලා සහ සමාජ විද්‍යා පර්යේෂණ කවුන්සිලයේ අනුග්‍රයෙන් කිරීමට නියමිත අතර, ඔවුන් එක්ස් රේ පර්යේෂණයට පළමුවෙන් ම බඳුන් කිරීම සඳහා දරුවන්ගේ මමිකෘත දේහ 41ක් තෝරාගෙන තිබෙනවා. මේවා සියල්ල කුඩා කුටි හා කොරිඩෝවල තැන්පත් කර තිබෙන අතර 1787 වසරේ සිට 1880 වසර දක්වා තැන්පත් කළ සිරුරු එහි වෙනවා.
මෙම සිරුරු එකින් එක විවිධ කෝණ රාශියකින් එක්ස් රේ පරීක්ෂණවලට බඳුන් කිරීමට නියමිත අතර, ඉන් මෙම දරුවන්ගේ අනන්‍යතාව, සෞඛ්‍ය තත්ත්වය වැනි කාරණා පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සොයා ගැනීමට අපේක්ෂිත යි. එම සිරුරු සමග තැන්පත් කර ඇති විවිධාකාරයේ ආයිත්තම් ද පරීක්ෂා කිරීමට අදහස් කර ඇති අතර, ඒවා සහ ඔවුන් හැඳ සිටින ඇඳුම් වැනි දේ මගින් ඔවුන් පිළිබඳ තව තවත් තොරතුරු හෙළිවනු ඇතැයි ඔවුන් විශ්වාස කරනවා.
පර්යේෂකයන් එක්ස් රේ පර්යේෂණ මගින් ඒ ඒ මමිවල වයස, ස්ත්‍රී පුරුෂ භාවය මෙන් ම ඔවුන්ගේ සිරුරු වර්ධනයේ දුර්වලතා සහ තවත් රෝගාබාධ සොයා ගන්නට හැකිවනු ඇතැයි පවසනු අතර, ඔවුන්ගේ ඇඳුම් සකසා ඇති ආකාරය අනුව හා උමං සොහොනේ ඔවුනට හිමි වී ඇති තැන අනුව ඔවුන්ගේ සමාජ තත්ත්ව පිළිබඳව ද ඔවුනට අදහසක් ගන්නට හැකි වනු ඇති. ඒ ඒ දරුවන් මියගිය දිනය හා මිය යනවිට සිටි වයස මේ වන විටත් සොයාගෙන තිබීම මෙම පර්යේෂණවලට මහඟු පිටුවලහක් වී තිබෙනවා.
උමං සොහොනේ ඉතිහාසය
මෙම උමං සොහොන් ඉදිකර ඇත්තේ 16 වන සියවසේ අග භාගයේදී යි. එනම් ක්‍රිස්තු වර්ෂ 1590 තදාසන්න කාලයක යි. මුල් කාලයේ දී මෙම පරිශ්‍රය යොදා ගෙන ඇත්තේ ආගමික සම්බන්ධතා ඇති අය මිහිදන් කිරීමට යි. විශේෂයෙන් ඒ හා අනුබද්ධ කන්‍යාරාමයේ අයකු හෝ පල්ලියේ අයකු මිය ගිය විට මෙහි මිහිදන් කිරීම සිදු කෙරී තිබෙනවා. මෙලෙස සියවස් දෙකකට ආසන්න කාලයක් එහි කටයුතු සිදු කෙරී ඇති අතර, 1783 වසරේදී පළමු වරට ප්‍රදේශයේ සාමාන්‍ය ජනයාට ද මෙහි දොරගුළු විවර වී තිබෙනවා. ඒ අනුව පල්ලියේ හා කන්‍යාරාමයේ සුබසිද්ධිය උදෙසා යම් මුදලක් ගෙවීමෙන් පසු තම මිය ගිය සහෘදයා මෙහි තැන්පත් කිරීමට ඔවුනට අවස්ථාව හිමි වී තිබෙනවා. විශේෂයෙන් මිය ගිය කුඩා දරුවන්ගේ මව්පියන් සිය දරුවන් මෙහි තැන්පත් කිරීමට යුහුසුළු වී ඇත්තේ විටින් විට ඔවුන් නැරඹීමට හැකි නිසා විය හැකි බවට මත පළ වී තිබෙනවා.
කැපුචින් උමං සොහොන්වල මමිකරණයට ලක් වූ සිරුරු පිළිබඳව විවිධ මත පවතිනවා. මේවා තෙවැදෑරුම් ලෙස මමිකරණයට ලක් කොට ඇති බව පිළිගත් මතය යි. මේවා සමහරක් ස්වභාවික ලෙස මමිකරණයට ලක් වී තිබෙන අතර, තවත් සමහරක් ‘කොලැටොයියෝ’ නම් විශේෂ කුටියක බහා, ආසනික් මිශ්‍ර කොට පරිරක්ෂණය කොට තිබෙනවා. ඒ ඒවා සම්පූර්ණයෙන් ම විජලනය කිරීමෙන අනතුරුව යි. තවත් සමහරක් හොඳින් පුහුණු වූ අයකු ලවා බෙහෙත් ඇතුළු කොට, එනම් සාමාන්‍ය එම්බාම් කිරීමේ ක්‍රමවේදය අනුව යමින් මමිකරණයට පත් කොට තිබෙනවා. මේ සියල්ල නිසා එහි හොඳින් පරිරක්ෂණය කළ සිරුරු දක්නට ලැබෙනවා. මින් සමහරක් අද වන විටත් ඉතා හොඳ තත්ත්වයේ පැවතීම විශේෂිත යි.
පසුවදන
ඉතාලිය හා ඒ තදාසන්න පෙදෙස්වලට මමිකරණය තරමක් ආගන්තුක වෙනවා. එහි ජීවත් වූ ජනයා ඊජිප්තුවේ මෙන් මරණින් මතු ජීවිත පිළිබඳ ව එතරම් විශ්වාස කරන්නේ නැහැ. මෙහි පර්යේෂණවල නියුතු විද්‍යාඥයන් පවසන අන්දමට මෙලෙස මෙහි සිරුරු පරිරක්ෂණය කිරීමෙහි අරමුණ වන්නට ඇත්තේ මව්පියන්ට සිය මිය ගිය දරුවන් ජීවිත කාලය පුරාවට ම ජීවමාන ලෙස දැක බලා ගැනීමට ඇති ආසාව යි. මෙම සිරුරු පරිරක්ෂණය කර ඇති ආකාරයට අනුව ජීවමාන, කුඩා බෝනික්කන් සේ පෙනෙනවා. කෙසේ නමුත් මෙහි මීට වඩා ගැඹුරු රහසක් ඇති බවටත් මත පල වෙනවා. නොබෝ දිනකින් ඒ පිළිබඳව තවත් තොරතුරු රාශියක් ලොවට හෙළිවනු ඇති.