විද්‍යාවේ දියුණුවත් සමඟ එලාම් තැබිය හැකි ඔරලෝසු, ජංගම දුරකථන වැනි සියලු දේ නිපදවා තිබෙන වර්තමානයේත් රැකියාවට පිටත් ව යන සමහරුන් අවදි කරවීමට ඔවුන්ගේ නිවෙස්වල අයට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු ව ඇත. එවැනි පසුබිමක ඔරලෝසු බහුල නොවූ සහ ජංගම දුරකථන පිළිබඳ ව සිතා හෝ නොතිබූ කාලයක කාලයක රැකියා සඳහා පිටත් ව යන අයට උදෑසනින් අවදි වීම කොතරම් දුෂ්කර කාර්යයක් වන්නට ඇති ද?
රැකියා සඳහා පිටත්ව යන්නන් අවදි කරවීම රැකියාව කර ගත් පිරිසක් අතීතයේ සිටි බව කියතොත් බොහෝ දෙනකුට එය විශ්වාස කිරීමට පවා අපහසු වනු ඇත. රැකියාවට පිටත්ව යන පුද්ගලයන් උදෑසනින් අවදි කරවීම, සිය රැකියාව කොටගත් පිරිසක් කාර්මික විප්ලවය ඇති වූ කාලයේ සිට 1970 දශකය දක්වා සිටියහ. ඔවුහු උදෑසනින් ම පැමිණ අනික් අය අවදි කර, ඒ අය නියමිත වෙලාවට රැකියාවලට පිටත් කර යැවීම සිය වගකීම කරගත් පිරිසක් වූහ.
කාර්මික විප්ලවය
1760 සිට 1840 දක්වා කාලය තුළ එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය සහ අනිකුත් යුරෝපා රටවල කර්මාන්ත ක්ෂේත්රයේ ඇති වූ කැපී පෙනෙන දියුණුව කාර්මික විප්ලවය යනුවෙන් හැඳින්වේ. මිනිස් ශ්‍රමය යොදා ගෙන ක්‍රියාත්මක වූ නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර බිහි වීම සමඟ කාර්මික විප්ලවය ආරම්භ විය.
ගල් අඟුරු සහ ජල විදුලිය යොදා ගනිමින් ක්‍රියාත්මක වන කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් එකල බිහි විය. ඒවායෙන් බොහොමයක් නිමි ඇඳුම් නිෂ්පාදනය මූලික කරගත් ඒවා විය. කර්මාන්තශාලා විශාල වශයෙන් බිහි වීමත් සමඟ එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය සහ අනිකුත් යුරෝපා රටවල රැකියා අවස්ථා ද දහස් ගණනින් නිර්මාණය විය.
ඔරලෝසු මිල අධික භාණ්ඩයක් වීම
කාර්මික විප්ලවය සමඟ රැකියා අවස්ථා විශාල වශයෙන් උත්පාදනය වීම නිසා බොහෝ දෙනෙක් නව රැකියාවන්ට සම්බන්ධ වූහ. ඒත් සමඟ ම බොහෝ දෙනකුට මුහුණපෑමට සිදු වූ බරපතල ම ගැටලුව සිය රැකියාවට පිටත් ව යාම සඳහා උදෑසනින් අවදි වීමට නොහැකි වීම ය.
1787 වසරේ දී අමෙරිකානු ජාතික ලෙවි හචින්ස් එලාම් තැබිය හැකි ඔරලෝසුවක් නිපදවා තිබුණත් එකල වෙළෙඳපොළ තුළ ඒවා ඉතා සීමිත විය. එම ඔරලෝසුවල මිල ද ඉතා අධික වූ බැවින් කර්මාන්තශාලාවල සුළු රැකියා කළ බොහෝ දෙනකුට ඔරලෝසු මිල දී ගැනීමේ හැකියාවක් ද නොතිබිණි.
අවදි කරන්නෝ හෙවත් ‘knocker uppers’
රැකියා සඳහා පිටත්ව යන අයට කලට වේලාවට අවදි වීම අපහසු වූ බැවින් 1700 අගභාගයේ දී බ්‍රිතාන්‍යයේ සහ අයර්ලන්තයේ නව රැකියා අවස්ථාවක්, එනම්, ‘අවදි කරන්නන්’ බිහි විය. ඔවුහු නගරයට උදෑසනින් ම පැමිණ නිවෙස්වල දොර ජනේලවලට තට්ටු කරමින් නිවැසියන් අවදි කරවූහ. මහල් නිවාසවල ජනේලවලට තට්ටු කිරීම සඳහා ඔවුන් භාවිත කළේ තරමක් උස කෙවිටකි (බොහෝ විට උණ බම්බුවකි). දොරට තට්ටු කිරීම සඳහා යොදා ගත් මිටියක් ද අතැතිව නගරයේ සැරිසරන අවදි කරන්නන් ද එකල සුලබ දසුනක් විය. ඊට අමතර ව විවිධ ඇට වර්ග විදීමට හැකි වන ආකාරයෙන් සකස් කළ සෙල්ලම් තුවක්කු වැනි දෑ ද ඒ සඳහා භාවිත විය.
අවදි කරන්නන්ට නිවැසියන් සතියකට වරක් පැන්ස කිහිපයක් ගෙවා තිබේ. ඔවුන්ගෙන් සමහරුන් නිවැසියන් අවදි වන තුරු නොනවත්වා දොරට හෝ ජනේලයට තට්ටු කළ නමුත් බොහොමයක් අවදි කරන්නන් නිවැසියන් අවදි වනවා ද නැද්ද යන්න පිළිබඳ ව එතරම් සැලකිලිමත් වූයේ නැත. ඔවුන් කළේ වරක් හෝ දෙවරක් දොරට හෝ ජනේලයට තට්ටු කර ඊළඟ නිවස වෙත යාම ය. අවදි කරන්නන් ලෙස රැකියාවේ යෙදුණු බොහෝ දෙනෙක් වයස්ගත පුද්ගලයෝ වූහ.
අවදි කරන්නන් මුහුණ පෑ ගැටලු
මුල් කාලයේ දී ශබ්ද නගා නිවෙස්වල දොරට තට්ටු කිරීම නිසා ඔවුන්ට සිදු වූ අවාසියක් වන්නේ එම හඬ ඇසී ඔවුන්ට මුදල් ගෙවන පුද්ගලයන් මෙන්ම මුදල් නොගෙවන අනිකුත් නිවෙස්වල සිටින අය ද අවදි වීම ය. ඊට පිළියමක් ලෙස තමන්ට මුදල් ගෙවන පුද්ගලයන්ගේ නිවෙස්වලට පමණක් ඇසෙන පරිදි තට්ටු කිරීමට ඔවුහු පසුකාලීන ව වග බලා ගත්හ.
මිනිසුන් අවදි කිරීම සිය රැකියාව කරගත් උතුරු එංගලන්තයේ ජිවත් වූ වෝටර්ස් මහත්මිය 1878 වසරේ දී පුවත්පතකට සිය රැකියාව විස්තර කර තිබුණේ පහත අයුරිනි:
“අපි මුහුණදුන් එක ගැටලුවක් තමයි අපට මුදල් නොගෙවන පුද්ගලයන් අප තට්ටු කරන හඬට අවදි වීම. ඒ වගේ ම රැකියාවලට යන්නේ නැති අය පැමිණිලි කළා ඔවුන්ට උදෑසනින් ම අවදි වෙන්න අවශ්‍ය නොවුණත් අපි නිවෙස්වලට තට්ටු කරන හඬට ඔවුන් අවදි වෙනවා කියලා. ඒ නිසා අවදි කරවන්න අවශ්‍ය අයට පමණක් ඇහෙන ආකාරයෙන් තට්ටු කරන්න අපි වග බලා ගත්තා,”
වඩාත් ප්‍රචලිත වූ ප්‍රදේශ
එකල කර්මාන්තශාලාවල සේවය කළ බොහෝ දෙනකු ජනාකීර්ණ මෙන් ම නාගරික ප්‍රදේශවල තාවකාලික නවාතැන්වල ජිවත් වූ බැවින් අවදි කරන්නන් බහුල ව දක්නට ලැබුනේ එවැනි ප්‍රදේශවල ය. විශේෂයෙන් එවැනි ප්‍රදේශවල ජිවත් වූ සුළු ආදායමක් ලද කර්මාන්තශාලා සේවකයන්ට රැකියාවේ යෙදීමට සිදු වූයේ සේවා මුර ක්‍රමයකට ය. ඊට අමතර ව ඔවුන්ට ඔරලෝසු මිලදී ගැනීමට තරම් වත්කමක් නොතිබීම ද එම ප්‍රදේශවල අවදි කරන්නන් බහුල වීමට තවත් හේතුවකි.
සමහර අවදි කරන්නන්ගේ පවුල්වල සාමාජිකයන් කිහිප දෙනකු ද එම වෘත්තියේ නියැළී තිබේ. උදාහරණයක් ලෙස නැගෙනහිර ලන්ඩනයේ ප්‍රසිද්ධ අවදි කරන්නියක වූ මේරි ස්මිත් ගේ දියණිය ද එම වෘත්තියේ ම යෙදී තිබේ. මේරිගේ දියණිය ලන්ඩනයේ ජිවත් වූ අවසාන අවදි කරන්නන් කිහිප දෙනාගෙන් එක් අයකු බව ද පැවැසේ.
වෘත්තියේ අවසානය
එලාම් තැබිය හැකි ඔරලෝසු වෙළෙඳපොළ තුළ සුලබ වීමත් සමඟ අවදි කරන්නන් ගේ වෘත්තිය කෙමෙන් කෙමෙන් මියැදීම ආරම්භ විය. 1950 දශකය වන විට අවදි කරන්නන්ගේ සේවය බොහෝ දෙනකුට අවශ්‍ය නොවූ බැවින් ඔවුන් වෙනත් වෘත්තීන් වෙත යොමු වීම ආරම්භ විය. කෙසේ වෙතත් 1970 දශකය වන තුරුත් එක්සත් රාජධානියේ යම් යම් ජනාකීර්ණ සහ කර්මාන්තශාලා බහුල ප්‍රදේශවල මෙම වෘත්තියේ නියැළි පිරිස් දක්නට ලැබිණි.
සාහිත්‍යයේ සඳහන් කරුණු
බ්‍රිතාන්‍ය ජාතික ගත්කතුවරයකු වූ චාල්ස් ඩිකන්ස් ගේ කෘති කිහිපයක ම අවදි කරන්නන් පිළිබඳ සඳහන් වේ. එකල අවදි කරන්නන් ගේ තට්ටු කිරීම සාමාන්‍ය දෙයක් වූ අතර ඩිකන්ස් ඔහුගේ Great Expectations නවකතාවේ ඒ ගැන සඳහන් කළේ ය. ඊට අමතර ව ස්ටැන්ලි හුෆ්ටන් නම් ඉංග්‍රීසි නාට්‍යවේදියා නිර්මාණය කළ Hindle Wakes නාට්‍යයේ ද අවදි කරන්නන් ගේ චරිත කිහිපයක් නිරූපණය වේ.
බ්‍රිතාන්‍ය රුපවාහිනී නාළිකාවක විකාශය වූ ඉතිහාසයේ අසීරුත ම රැකියා නම් රුපවාහිනී වැඩසටහන් මාලාවේ ‘කාර්මික විප්ලවය’ නම් කොටසේ සහ තවත් ටෙලි නාට්‍ය මෙන් ම චිත්‍රපට ගණනාවක ද අවදි කරන්නන්ගේ චරිත ඇතුළත් වේ.