Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රැජන ගේ අභාවයත් සමඟ යළි පණ ගැන්වෙන ජනරජ සිහිනය

දෙවන එළිසබෙත් රැජන ගේ අභාවය වෙනුවෙන් ලෝකය පුරා ශෝකය ප්‍රකාශ වන කාල වකවානුවක් තමයි අප ගත කරමින් සිටින්නේ. ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මාධ්‍ය බොහෝමයකත් රැජන ගේ අභාවය සහ ඒ ආශ්‍රිත පුවත්වලට වැඩි ඉඩක් ලබා දී තිබෙනවා. ඒ පුවත් අතරින් එක්සත් රාජධානියේ කිරීටයේ අනාගතය සම්බන්ධයෙන් පළ වන තොරතුරු ගෝලීය දේශපාලනික මට්ටමෙන් ඉතා වැදගත් වෙනවා. රැජන ගේ අනුප්‍රාප්තිකයා වශයෙන් පත් වූ තෙවැනි චාල්ස් රජු ගේ රාජ්‍ය සමය සම්බන්ධයෙන් දැනටමත් විවාදාත්මක ස්වභාවයක් ඇති වී තිබීම ඊට හේතුව යි.

තවමත් එක්සත් රාජධානියේ කිරීටය යටතේ පවතින රාජ්‍ය දුසිමකට අධික ගණනක් තිබෙනවා. කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඉන් ප්‍රකට උදාහරණ කිහිපයක්. රැජන ගේ අභාවයත් සමඟ තවදුරටත් කිරීටය යටතේ සිටිය යුතු ද යන්න ගැන කතිකාවතක් මෙම රාජ්‍ය තුළ ගොඩනැඟෙමින් පවතිනවා. ඒ කතිකාවත කැරීබියානු කලාපයේ ප්‍රබල ව දක්නට ලැබෙන අතර, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ ඇතැම් දේශපාලන පක්ෂ පවා ස්වාධීනත්වයේ වැදගත්කම ඉස්මතු කර තිබෙනවා. ඒ අනුව ඉදිරි අවුරුදු කිහිපය තුළ ලෝකයට අලුත් ජනරජ කිහිපයක් එකතු විය හැකි යි.   

බාබඩෝස් හි ජනරජ දිනයේ දර්ශනයක් – www.aljazeera.com 

රැහැන කපා දැමූ බාබඩෝස්

විසිවන සියවසේ මුල් භාගය වනවිට ලෝක දේශපාලනයේ ඇති වූ බල පෙරළි, ලෝක යුද්ධ සහ නිදහස් අරගල හේතුවෙන් යටත් විජිත බොහෝ ගණනකට නිදහස ලබා දීමට ඉංග්‍රීසින් කටයුතු කළා. ඉන් ඇතැම් ප්‍රදේශ පූර්ණ නිදහස ලබා ගත්තේ නැහැ. එම ප්‍රදේශ ව්‍යවස්ථානුකූල ව සංවිධානය වූ රජයක් ගොඩ නඟා ගත් පසු එක්සත් රාජධානියේ කිරීටය සමඟ පාලන බලය බෙදාගත් ක්‍රමයක්, එනම්, ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් ආකාරයෙන් ක්‍රියාත්මක වුණා.

මේ රැහැන කපා දැමූ නවතම රාජ්‍යය වන්නේ බාබඩෝස් දේශය යි. 

 ඔවුන් 2021 නොවැම්බර් 29 දක්වා ම දෙවැනි එළිසබෙත් මහ රැජන තම නායිකාව ලෙස පිළි ගත් අතර, නොවැම්බර් 30 වැනිදා සිට ජනරජයක් ආකාරයෙන් ක්‍රියාත්මක වීම ඇරඹුවා. බාබඩෝස් හි ක්‍රියාකලාපය, තවමත් කිරීටය යටතේ සිටින කැරීබියානු දූපත්වලට යම් ආදර්ශයක් සැපයූවා. මහ රැජන ගේ මරණය තෙක් ජනරජයක් වීම ප්‍රබල අවශ්‍යතාවක් ලෙස ඔවුන් දුටුවේ නැහැ. මහ රැජන ගේ ජනප්‍රියත්වය සහ දශක ගණනාවක් ඇය යටතේ සිටීමෙන් ඇති වුණු “සුපුරුදු බව” ඊට හේතු වන්නට ඇති. තෙවැනි චාල්ස් රජුට එවැනි ජනප්‍රියත්වයක් තිබේ ද යන්න සැක සහිත යි.

ඉතිහාසයෙන් ම වින්දිතයන් වූ ජැමෙයිකානු ජනයා තවමත් යුක්තිය ඉල්ලා සිටිනවා – www.politicalfiber.com 

ජැමෙයිකාවේ සූදානම

මෙතැන් පටන් අප අවධානය යොමු කරන්නේ තවමත් එක්සත් රාජධානියේ කිරීටය යටතේ පවතින රාජ්‍ය කිහිපයක අනාගත සැලසුම් කිහිපයක් පිළිබඳව යි. එහි දී ලෝකයේ නවත ම ජනරජය වීමේ වඩාත් ඉඩකඩ සහිත රාජ්‍යය වන්නේ ජැමෙයිකාව යි.

“අපි ඉදිරියට යනවා.”

ජැමෙයිකාවේ අගමැති ඇන්ඩෲ හොල්නස්, මෙම වසර මුල දී එරටට පැමිණි විලියම් කුමරුට පවසා තිබුණා. එය තරමක ස්ථිරසාර පණිවිඩයක් වූ අතර, බාබඩෝස් ජනයා ගේ තීරණය අනුගමනය කිරීමට ජැමෙයිකානුවන් ද සූදානම් බව ඉන් හැඟවුණා.

මෑත කාලීන සමීක්ෂණවලට අනුව ජැමෙයිකානුවන් ගෙන් 50% කට වැඩි පිරිසක් ස්වාධීනත්වයට කැමති බව හෙළි වූ අතර, දෙවැනි එළිසබෙත් මහ රැජන ගේ අභාවයත් සමඟ ජනරජ ක්‍රියාවලිය වේගවත් වන බවක් පෙනෙන්න තිබෙනවා.

ජැමෙයිකාවේ අගමැති ඇන්ඩෲ හෝල්නස් සහ විලියම් කුමරු හමු වූ අවස්ථාව – www.bbc.com 

“සංවාදය නැවත ඇරඹෙනවා. අපි ඒ ගැන වැඩි වැඩියෙන් කතා කරන තරමට ජැමෙයිකානුවන් අවදි වෙනවා. අපෙන් වසං කළ, අපට පාසල්වල ඉගැන්වූ නැති ඉතිහාසය ඔවුන් ඉගෙන ගනිමින් සිටිනවා.”

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින මහාචාර්ය රොසාලියා හැමිල්ටන් එසේ පවසා සිටිනවා. ඇය “ද ඇඩ්වොකසි නෙට්වර්ක්” හි සම්බන්ධීකාරක ලෙස ක්‍රියා කරන අතර, ස්වාධීන ජැමෙයිකාවක් වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කරමින් සිටිනවා.

ඉතිහාසයෙන් ම වින්දිතයෝ

එක්සත් රාජධානිය සම්බන්ධයෙන් ජැමෙයිකාවට ඇත්තේ සුන්දර ඉතිහාසයක් නොවෙයි. සීනි සහ කොකෝවා වගාව හරහා දහඩිය වගුරවමින් ඔවුන් මහා බ්‍රිතාන්‍යයට ධනය සොයා දුන් අතර, වහල් සේවයේ කුරිරු මතක සටහන් ඔවුන් ගේ මනසෙන් තවමත් ගිලිහිලා නැහැ. සිදු වූ අසාධාරණයට ජැමෙයිකානුවන් අදටත් යුක්තිය ඉල්ලා සිටිනවා.

“ජැමෙයිකානුවන් ඉදිරියේ ඇති ගැටලුව සරල යි. ඔබට රාජ්‍ය නායකයා ලෙස අවශ්‍ය වන්නේ සමාව ගැනීමට හෝ වරද නිවැරදි කිරීමට සූදානම් නැති, පසුතැවීම හා වගකීම ප්‍රදර්ශනය කිරීමට සූදානම් නැති රජෙක් ද?”

රොසාලියා තර්කයක් ගෙන එනවා. ඇයට අනුව වහල් සේවයෙන් ඓතිහාසික ව වින්දිතභාවයට පත් වූ ජැමෙයිකානුවන් වෙනුවෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාමාර්ගයක් එක්සත් රාජධානියෙන් ලැබිය යුතු යි.

වහල්භාවයේ බිහිසුණු සහ කුරිරු බව

 තෙවැනි චාල්ස් රජු ජැමෙයිකාවට තවමත් විධිමත් සමාවක් නිකුත් කර නැහැ. ඔහු පසුගිය වසරේ දී බාබඩෝස් හි ජනරජ ක්‍රියාවලියට සහභාගී වෙමින් පවසා සිටියේ “අප ගේ ඉතිහාසය සදහට ම කැළැල් කරන” වහල්භාවයේ බිහිසුණු සහ කුරිරු බව නොපිළිගන්නා බව යි.

  ජැමෙයිකානුවන් දෙවැනි එළිසබෙත් මහ රැජනට ආදරයක් දැක්වූවා. ඒ ආදරය එලෙස ම තබා ගනිමින් ජැමෙයිකාවේ නව පරපුර ජනරජයක් වීමේ සිහිනය දකිමින් සිටිනවා.

ඇන්ටිගුවා සහ බාබුඩා රාජ්‍යයේ පිහිටීම – ontheworldmap.com 

ඇන්ටිගුවා සහ බාබුඩා

ඇන්ටිගුවා සහ බාබුඩා යනු ජැමෙයිකාව මෙන් ම ස්වාධීනත්වය ගැන වැඩි වශයෙන් කතාබහ කරන කැරීබියානු රාජ්‍යයක්. දෙවැනි එළිසබෙත් රැජන ගේ අභාවයෙන් පසු ඇන්ටිගුවා සහ බාබුඩා ජනරජයක් කිරීමේ කැමැත්ත, අකමැත්ත විමසමින් ඡන්දයක් පැවැත්වීමට එරට අගමැතිවරයා (ගැස්ටන් බ්‍රවුන්) බලාපොරොත්තු වෙනවා. ඔහු ගේ තක්සේරුව අනුව වසර තුනක් ඇතුළත ජනමත විචාරණයක් පැවැත්විය හැකි යි. ස්වාධීනත්වය කරා පිය නඟන ගමන කිසිසේත් ම කිරීටයට එරෙහි ව ගන්නා පියවරක් නොවන බව ඔහු අවධාරණය කර තිබෙනවා. ගැස්ටන් බ්‍රවුන් මේ සියල්ල ප්‍රකාශ කළේ තෙවැනි චාල්ස් රජු සිය රාජ්‍යයේ නායකයා ලෙස පිළි ගන්නා අතරතුරේදී යි.

ඇන්ටිගුවා සහ බාබුඩා රාජ්‍යයට එළඹෙන වසර මැතිවරණ වර්ෂයක් වන අතර, නැවත අගමැති තනතුර සඳහා තේරී පත් වුවහොත්, ජනමත විචාරණය හඳුන්වා දීමට ගැස්ටන් අපේක්ෂා කරනවා. කෙසේ නමුත්, ජනමත විචාරණයක අවශ්‍යතාවක් එරට ජනයා මතුකර නැහැ. 

“මං හිතන්නේ බොහෝ අය ඒ ගැන සිතන්නටවත් උනන්දු වෙන්නේ නැහැ.”

ජනමත විචාරණය සම්බන්ධයෙන් ඇන්ටිගුවා සහ බාබුඩා හි ජනතාව දරණ මතය ගැන අදහස් දක්වමින් ගැස්ටන් පවසා තිබුණා.

තත්ත්වය එසේ වුව ද සැබෑ ස්වෛරී රාජ්‍යයක් බවට පත් වීම සඳහා ගත යුතු අවසාන පියවර සම්බන්ධයෙන් එරට දේශපාලනය තුළ යම් උනන්දුවක් ඇති වී තිබෙනවා. 

ජනමත විචාරණයේ ප්‍රතිපල අනුව ඕස්ට්‍රේලියාව ජනරජයක් කිරීමේ යෝජනාව හකුළා ගැනුණා – www.reddit.com 

ජනරජ සිහිනය ඕස්ට්‍රේලියාවටත්..?

ඕස්ට්‍රේලියාවේ ග්‍රීන්ස් පක්ෂයේ නායක ඇඩම් බෑන්ට්, ට්විටර් පණිවිඩයක් හරහා රැජන ගේ අභාවයට ශෝකය ප්‍රකාශ කළ අතර, ඕස්ට්‍රේලියානු පරිපාලනය අනාගතයේ දී ක්‍රියා කළ යුතු ආකාරය ගැනත් යම් ඉඟියක් ලබා දුන්නා.

“දැන් ඕස්ට්‍රේලියාව ඉදිරියට යා යුතු යි. පළමු ජාතීන් සමඟ ගිවිසුමක් අපට අවශ්‍ය වන අතර, අපි ජනරජයක් විය යුතු යි.”

ජනරජයක් වීමේ අවශ්‍යතාව මුලින් ම මතු කළ පුද්ගලයා ඇඩම් බෑන්ට් නොවෙ යි. එය බොහෝ කාලයක් මුළුල්ලේ ඕස්ට්‍රේලියා දේශපාලනය තුළ පවතින එහෙත්, විශාල වශයෙන් ඉස්මතු නොවුණු කාරණයක්.

ස්වාධීන ඕස්ට්‍රේලියාවක් වෙනුවෙන් සහාය දක්වන “ඕස්ට්‍රේලියානු ජනරජ ව්‍යාපාරය” වටා ඒකරාශී වූ ඕස්ට්‍රේලියානුවෝ – republic.org.au 

බ්‍රිතාන්‍ය රජු හෝ රැජන වෙනුවට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් රාජ්‍ය නායකයා ලෙස පත් කිරීමේ අරමුණක සිටින “ඕස්ට්‍රේලියානු ජනරජ ව්‍යාපාරය”, රැජන ගේ අභාවයට සමගාමී ව ජනරජයක් වීමේ දේශපාලන අවස්ථා ගැන යම් අදහස් දැක්වීමක් සිදුකොට තිබෙනවා. ඔවුන් ප්‍රථමයෙන් ඕස්ට්‍රේලියානු ජනතාව ගේ ස්වයං නීර්ණයට ගරු කළ දෙවැනි එළිසබෙත් රැජන ගේ අභාවයට ශෝකය පළ කළ අතර, ඇය ගේ පාලන සමය තුළ ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය කටයුතු සඳහා එක්සත් රාජධානියේ මැදිහත්වීම් සීමා කිරීම පිළිබඳවත් ගෞරවයෙන් සිහිපත් කොට තිබෙනවා.

“ඇයගේ පාලන කාලය තුළ ඕස්ට්‍රේලියාව පරිණත සහ ස්වාධීන රාජ්‍යයක් බවට පත් වුණා. ඕස්ට්‍රේලියා ජනතාව ගේ ගෞරවයට පාත්‍ර වූ හෝ අගය කරන රාජාණ්ඩුවක් අපට නැවත කිසි දිනෙක දැකගත නොහැකි වේවි.”

රැජන ගේ අභාවය වෙනුවෙන් නිකුත් කළ ප්‍රකාශය අවසාන කරමින් ඕස්ට්‍රේලියා ජනරජ ව්‍යාපාරයේ සභාපති පීටර් ෆිට්ස්සීමන්ස් සඳහන් කර සිටිනවා.

1999 දී පැවති ඕස්ට්‍රේලියානු ජනමත විචාරණය සඳහා යොදාගත් ඡන්ද පත්‍රිකා – www.aph.gov.au 

තෙවැනි චාල්ස් රජු යටතේ එවැනි ගෞරවණීය කාලයක් ඕස්ට්‍රේලියානු ජනරජ ව්‍යාපාරය අපේක්ෂා නොකරන බව මින් හැඟවෙනවා. එසේ නම්, ඔවුන්ට අනුව ස්වාධීනත්වය කරා යා යුතු සුදුසු ම කාලය වන්නේත් මෙය යි.

ක්‍රියාවලිය සංකීර්ණ යි

බාබඩෝස් වැනි කුඩා දූපත් රාජ්‍යයකට ජනරජයක් වීම තරමක පහසු ක්‍රියාවලියක් වන අතර, ඔවුන් සිය පැරණි අග්‍රාණ්ඩුකාරවරිය ජනාධිපතිනිය ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනරජයක් බවට පත් වුණා. නමුත්, කිරීටය යටතේ සිටිමින් ෆෙඩරල් ක්‍රමයක් ඔස්සේ ක්‍රියාත්මක වන විශාල ජාතියක් ජනරජයක් කරා යන ගමනේ දී සංකීර්ණ ගැටලුවලට මුහුණ දිය හැකි යි.

1990 න් ඇරඹුණු දශකයේ පටන් රාජාණ්ඩුව අත්හැරීමේ අදහසක් ඕස්ට්‍රේලියානු පරිපාලකයන්ට තිබුණා. එහි දී පවතින පරිපාලන පද්ධතිය අලුතින් ම ප්‍රතිස්ථාපනය කිරීමේ අවශ්‍යතාවක් ද මතු වුණා. 90 දශකයේ මැද භාගයේ සිට ඕස්ට්‍රේලියා පුරවැසියන් ගෙන් බහුතරයක් කිරීටයෙන් නිදහස් වීමට කැමැත්තෙන් සිටි බව ද සඳහන්. ඒ අනුව 1999 දී ජනමත විචාරණයක් කැඳවූ අතර, එහි තෝරා ගැනීම් දෙකක් තිබුණා.

1. ඕස්ට්‍රේලියාව ජනරජයක් ලෙස පිහිට වීම අනුමත කරමි/නොකරමි.

2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නව පූර්විකාවක් එක් කළ යුතු යි/ එක් නොකළ යුතු යි.

 ඉදිරිපත් කළ යෝජිත ව්‍යවස්ථාමය වෙනස්කම් දෙක ඕස්ට්‍රේලියානු ඡන්දදායකයන් අනුමත කළේ නැහැ. ඒ අනුව ද්විත්ව බහුතරයට ඉඩ දෙමින් අදාළ යෝජනා දෙක ඉදිරියට ගෙන යෑම අත්හිටුවූවා. ඕස්ට්‍රේලියා ඡන්දදායකයන් මෙහි දී බුද්ධිමත් ලෙස ක්‍රියා කළ බවක් පෙනෙන්නට තිබුණා. එකල රැජන ගේ නායකත්වයෙන් නිදහස් වීමට ඔවුන් තුළ කැමැත්තක් තිබුණත්, ජනරජයක් බවට පත් වූ පසු ජනාධිපති තෝරා ගන්නා ක්‍රමයට ඔවුන් කැමති වුණේ නැහැ. ඡන්දදායකයන් ගේ සෘජු තෝරා ගැනීම වෙනුවට දේශපාලකයන් ජනාධිපති තෝරා පත්කර ගන්නා ක්‍රමයට ඕස්ට්‍රේලියානුවන් විරුද්ධ වූ අතර, ජනාධිපතිවරයාට අත්වන බලතලවලටත් ඔවුන් එකඟ වුණේ නැහැ.

සාධනීය දේශපාලන ප්‍රතිසංස්කරණ යෝජනාවලියක්

 මින් පෙනී යන්නේ සාධනීය දේශපාලන ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් ඉදිරිපත් වේ නම් ජනරජයක් බවට පත් වීමේ විභවයක් ඕස්ට්‍රේලියාව තුළ තවමත් පවතින බව යි. 1999 දී ඉදිරිපත් වූ යෝජනාවලිය දේශපාලකයන්ට වඩාත් වාසි සහගත බවක් පෙනී ගිය නිසා ඕස්ට්‍රේලියානුවන් දිගට ම කිරීටය යටතේ සිටීමට තීරණය කළා.

හදිසි අවශ්‍යතාවක් නොවුණත්, සිය ජීවිත කාලය ඇතුළත නවසීලන්තය ජනරජයක් වනු ඇතැයි ජසින්ඩා ආඩන් අපේක්ෂා කරනවා – www.bloomberg.com 

අපිට හදිසියක් නැහැ!

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩන්, ජනරජයක් බවට පත් වීමේ සූදානමට අදාළ ප්‍රශ්න සියල්ල ඉවත දමමින් පවසා සිටින්නේ ඒ සඳහා හදිසි අවශ්‍යතාවක් නොමැති බව යි. අභියෝග රාශියක් ඔවුන් හමුවේ තිබෙන බැවින්, ජනරජයක් බවට පත් වීම ඉක්මනින් සිදුවිය යුතු ක්‍රියාවක් සේ නොසිතන ලෙස ඇය ඉල්ලා සිටිනවා. එහෙත්, ජසින්ඩා ආඩන් ද සිය මව්බිම ජනරජයක් බවට පත් වීම කෙරෙහි කැමැත්තක් දක්වන්නියක්.

“නවසීලන්තය නියමිත වේලාවේ දී ඒ සඳහා ගමන් කරනු ඇති බව මා විශ්වාස කරනවා. මගේ ජීවිත කාලය ඇතුළත එය සිදුවනු ඇති බවත් මා විශ්වාස කරනවා.”

ඒ අනුව නවසීලන්තය ජනරජයක් බවට පත් වීමේ යෝජනාවක් අනාගතයේ දී ඉදිරිපත් වුවහොත්, ජසින්ඩා ආඩන් ඊට සහාය දැක්වීමේ ඉඩකඩක් තිබෙනවා.

 ලිපියෙන් ආවරණය කළ රටවලට අමතර ව කිරීටය යටතේ පවතින තවත් බොහෝමයක් රාජ්‍ය සිය ස්වාධීනත්වය කෙරෙහි නිල හෝ නොනිල මට්ටමින් අවධානය යොමු කර තිබෙනවා. ඇතැම් විට ජනරජයක් වීමේ අවශ්‍යතාව මතු කරන්නේ ඒ ඒ රටවල කිසියම් දේශපාලන පක්ෂයක් හෝ පක්ෂ කිහිපයක් පමණ යි. තත්ත්වය එසේ වුව ද දෙවැනි එළිසබෙත් රැජන ගේ බල ප්‍රදේශයට සාපේක්ෂ ව තෙවැනි චාල්ස් රජු යටතේ පවතින බල ප්‍රදේශය හැකිළී යාමට ඉඩක් ඇති බවට මත පළවෙනවා. ඒ මතවල සත්‍ය අසත්‍ය බව ඉදිරි අවුරුදු පහ ඇතුළත තහවුරු විය හැකි යි.

කවරයේ ඡායාරූපය: දෙවැනි එළිසබෙත් මහ රැජන ගේ අභාවයත් සමඟ තවමත් කිරීටය යටතේ සිටින රටවල ජනරජ සිහිනය නැවතත් පණ නැංවෙමින් තිබෙනවා - www.triplem.com.au

මූලාශ්‍ර :

www.bbc.com

republic.org.au

www.cbc.ca 

www.civicsandcitizenship.edu.au

www.aec.gov.au

www.bbc.com

time.com 

Related Articles