Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පවුල් පාලනය නිසා ලෝකෙට ණය වුණු ගැබොන් දේශය

පවුල් පාලනය ගැන කතාකිරීමත් දැන් අපේ රටේ ජනතාවට එපා වෙලා. ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට පත් ව පෝලිම් යුගයක් බිහි වී පොදු ජනතාවට දුෂ්කර ජීවිතයක් ගත කිරීමට සිදුව ඇත්තේ පවුල් පාලනය නිසා බව හැමතින් ම අසන්නට ලැබෙනවා. එවැනි ම පවුල් පාලනයක් නිසා වැනසෙන රටක් තමයි බටහිර අප්‍රිකාවේ පිහිටි ගැබොන්. ස්වභාවික සම්පතින් පිරුණු මේ රටේ බලයට කෑදර පාලකයින් රටේ පොදුජන දේපල භාවිත කිරීම සිදුකරනවා.

දූෂිත දේශපාලනයක් සහිත මේ රටේ හැබෑට මොකක්ද සිදුවන්නේ?

 ගැබොන් රටේ පිහිටීම – pinterest.com

ගැබොන් දේශය

ගැබොන් රාජ්‍යය පිහිටා තිබෙන්නේ අප්‍රිකාවේ බටහිර දිශාවේ මැදට වන්නට යි. රටේ දේශ සීමාවන් ලෙස බටහිරින් ගිනියා බොක්ක ද, වයඹින් ගිනියාව සහ උතුරින් කැමරූනය ද, නැගෙනහිරින් සහ දකුණින් කොංගෝ ජනරජය ද පිහිටා තිබෙනවා. රටේ විශාලත්වය වර්ග කිලෝමීටර 270,000 ක්. ජනගහනය ලක්ෂ 20කට මඳක් වැඩි යි. රට විශාල වුණාට කුඩා ප්‍රමාණයක ජනහනයක් තමයි ඉන්නේ.

රටේ අගනුවර මෙන් ම විශාලත ම නගරය ද වන්නේ ලිබ්‍රවීල්. රටේ විශාල වනාන්තර ප්‍රමාණයක් පිහිටා තිබෙනවා. එය මුළු බිම් ප්‍රමාණයෙන් සියයට 85ක්. මෙහි විවිධ ජන වර්ග 40ක් පමණ ජීවත් වන අතර ඉන් විශාල ම ජන වර්ගය වන්නේ ෆෑංවරු යි. අප්‍රිකාවේ පස්වැනි ඛනිජ තෙල් නිෂ්පාදකයා වන්නෙත් මේ රට යි. ගැබොන් දේශය ආදායම් විෂමතාව ප්‍රබල ව පවතින රටක් බවටත් ලොව පුරා ප්‍රකට යි.

 නිදහස් සැමරුම්- wikipedia.org

ප්‍රංශයෙන් ලද නිදහස

ප්‍රංශයට යටත් ව තිබී නිදහස ඉල්ලා සටන් කර 1960 අගෝස්තු 17 වන දා දී නිදහස ලැබූ ගැබොන් රාජ්‍යය එවක් පටන් අද දක්වා පාලනය වූයේ ජනාධිපතිවරුන් තිදෙනෙක් යටතේ පමණ යි.

පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 120ක්. ස්වභාවික සම්පත් කෙතරම් තිබුණ ද ප්‍රංශයෙන් පාලනය අතට ගත් දේශපාලනඥයන්ට රට සංවර්ධනය කිරීමට අවශ්‍යතාවක් තිබුණේ නැහැ.

 ගැබොන් මුහුදේ තෙල් ළිඳක් – gbreports.com

ඔවුන්ට අවශ්‍ය වුණේ රටේ සම්පත් තම පවුල්වල සුඛවිහරණයට භාවිත කිරීමට යි. ජනතාව කපටි දේශපාලනඥයන්ට රැවටී තම ඡන්දයෙන් ඔවුන් පත්කර ගත්ත ද එම මැතිවරණ පවා අන්ත දුෂිත බවට චෝදනා එල්ල වෙනවා.

දේශපාලන නිදහස ලැබුව ද තෙල් සම්පතින් විශාල ආදායමක් ලැබුණ ද ජනතාවට ආහාර, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපන, ගමනාගමන, විදුලිය, ජලය, ආදී අත්‍යවශ්‍ය පහසුකම් නිසි පරිදි සැපයීමට මේ රට අපොහොසත් වී තිබෙනවා. මේ නිසා රටේ ජනනහනයෙන් සියයට 60ක් දුප්පත්කමින් පීඩා විඳිනවා.

 ඉහවහා යන දුප්පත්කම – thenewhumanitarian.org

 

රටේ ආදායමින් සියයට 50කට දායක වන්නේ ඛනිජ තෙල්. නිදහස ලැබීමට පෙර දිනකට තෙල් බැරල් 3,70,000 කට වැඩි ප්‍රමාණයක් මහ පොළොවෙන් ලබා ගත් මේ දේශය අද බංකොලොත් තත්ත්වයට පත් ව තිබෙන්නේ පාලකයන්ගේ නොමනා කටයුතු නිසා යි. 2020 වන විට තෙල් ආකරවල සේවය කළ සේවක ප්‍රමාණය 7000 දක්වා පහළ බැස තිබෙනවා.

මෙහි තරුණ පරපුරත් ශ්‍රී ලංකාවේ මෙන්ම වෙනත් රටවලට යාමට උනන්දු වන බව පැවසෙනවා. පාලකයන් වැඩි උනන්දුවක් දක්වන්නේ තෙල් නිෂ්පාදනය වර්ධනය කිරීමට වඩා තෙල් ළිං වැඩි කොමිස් මුදලක් ලැබෙන පිටරට සමාගම්වලට විකිණීමට යි. රට පුරා දැඩි ආහාර හිඟයක් පවතින බවත් වාර්තා වෙනවා.

 ජනපති ලියොන් බිරියත් සමඟ 1961 දී ප්‍රංශයට ගිය අවස්ථාවක්- gettyimages.com

රටේ පාලකයෝ 

එරට මුල් ම ජනපති වුණේ ලියෝන් උම්බා යි. ෆෑන් ජන වර්ගයට අයත් වුණු ඔහු 1961 සිට 1967 දක්වා ජනපති ධුරය දැරුවා. ඔහු ඊට පෙර පැවති ප්‍රංශ පාලනය යටතේ 1959 සිට 1961 දක්වා අගමැතිකමත් දරා තිබෙනවා. ලියොන් 1967 දී මිය ගියේ හෘදයාබාධයකින්.

ඔහු ප්‍රංශයට එරෙහි ව දිගු කලක් තිස්සේ සිදු කළ නිදහස් අරගලය පාවාදුන්නේ ප්‍රංශ හිතවාදියෙක් වීමෙන්. ඔහු පවුලේ සියලු සාමාජිකයන් සමඟ රටේ මහජන දේපොල සම්පත් ඉවක් බවක් නැතිව කොල්ලකෑ බව පැවසෙනවා. පිටරට සවාරිවලින් ද ඔහුට අඩුවක් තිබුණේ නැහැ.

 ජනපති බොංගෝ බිරියත් සමඟ -gettyimages.com

දෙවැනි ජනපති ඔමාර් බොන්ගෝ

ඉන්පසු රටේ සුක්කානම බාර ගත්තේ උප ජනාධිපති ඇල්බර්ට්-බර්නාර්ඩ් බොංගෝ යි. ඔහු ගැබෝන්හි දූෂිත ම පාලකයා ලෙස වාර්තා තබා තිබෙනවා. 1973 දී ලිබියාවේ සංචාරයක් අතරතුර ඉස්ලාම් දහම වැලඳ ගත් බොංගෝ ඉන් පසුව සිය නම ඔමාර් බොංගෝ ලෙස වෙනස් කර ගත්තා.

1967 සිට 2009 ජුනි 8 වැනි දා තෙක් වසර 42 ක් ජනපති පදවිය දැරුවේ ඔහු යි. ඔහු 6 වරක් ජනපති පදවියට තේරී පත්වුණා. ඔහු ගැබෝන්හි පැවැත් වූ සියලු මැතිවරණ ඉතාමත් දූෂිත බව විපක්ෂය මෙන් ම ජාත්‍යන්තර මාධ්‍යයත් එකල හෙළි කළා.

ඔමාර් මුල් තැන දුන්නේ රටේ උගතුන්ට හෝ දක්ෂයන්ට නොවෙ යි. තමාට පාලනය කර ගත හැකි නූගතුන්ට යි. එසේ කළේ ඔහු නූගතෙක් නිස යි. රටේ සියලු ම වගකිව යුතු තනතුරුවලට ඔමාර් බොංගෝ තම ඥාතින් පත් කර ගත්තා. ඔහු 2019 දී 73 හැවිරිදි වියේ දී මියයන විට අප්‍රිකා මහා ද්වීපයේ දිගු ම කාලයක් පාලනයේ සිටි ජනපතිවරයා ලෙස වාර්තාවක් ද තබා තිබුණා.

ජනතා විරෝධය

ඔමාර් බොංගෝ තමාට එරෙහි ජනතා විරෝධය මැඩ පැවැත්වූයේ මර්දනයෙන්. මරණය සිදුවන තෙක් ම මර්දනයෙන් රටේ විරුද්ධ පාක්ෂික අදහස් මැඩ පැවැත්වීමට ඔහු ක්‍රියාකර තිබෙනවා. ඔහු විදේශ ඇමති ලෙස පත් කර ගෙන සිටියේ තම පුත්‍රයා වූ අලි බොන්ගෝ යි. විදේශ ඇමැති තනතුරට අමතර ව තම පුතා වූ අලි බොන්ගෝට ආරක්ෂක ඇමැති තනතුරක් ද බාර දී තිබුණා. බිරිය ඊඩිත් ලුසී ඇමැති මණ්ඩලයටත් ඉහළින් උපදේශක තනතුරකට පත්කර ගෙන තිබුණා.

 විශාල ධනයක් වැයකරමින් අගනුවර ඉදිකළ ක්‍රීඩාංගන සහ අහස උසට නැගුණු කුලුණු ප්‍රාසාද – africa-unit facebook page

 සම්පත් අවභාවිතය

1990 වන තෙක් ම ඔමාර් බොංගෝ ගෙන ගියේ ඒකාධිපති තනි පක්ෂ ආණ්ඩුවක්. ඔහු ප්‍රංශයේ, ප්‍රබල මිතුරෙක් ලෙසත් කටයුතු කළා. 1990 න් පසු නමට පමණක් විපක්ෂ දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට ඉඩ ලබා දුන්නා. බොංගෝගේ පාලනය විපක්ෂ කණ්ඩායම්වලට දැඩි බාධක පනවා තිබුණා. ඒ නිසා එම පක්ෂවලට නැගී සිටීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

රටේ තෙල් සම්පතින් සියයට 80ක් ම අපනයනය කරනවා. ජනපති බොංගෝ රජයේ තෙල් සම්පත් ආදායම වංචනික ලෙස එක්රැස් කර ගනිමින් සුපිරි දිවියක් ගත කර තිබෙනවා. රටේ මිලියන 2කට ආසන්න ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක් දුප්පත්කමේ ගිලී සිටිය ද ජනපති බොංගෝ ජනතා යහපතට දිගුකාලීන වැඩසටහන් කිසිවක් කර නැහැ. මරණය ආසන්නයේ දී ඔහු ප්‍රංශයෙන් මිලදී ගත් සුඛෝපභෝගී දේපොළ සම්බන්ධයෙන් ආරවුලකටත් මැදිව සිටියා. තිබිණි. ප්‍රංශ අධිකරණයක් ඔහුගේ බැංකු වත්කම් තහනම් කර තිබුණේ එහි ප්‍රතිඵලයක් ලෙස යි. 

 අලි බොංගෝ බිරිය සහ දියණිය සමඟ -medium.com

තාත්තාගෙන් පසු පුතා රජවෙයි

ජනපති තාත්තා මිය ගිය පසු ඒ වන විටත් ඉහළ ම අමාත්‍ය තනතුරු කීපයක් දරමින් සිටි ඔහුගේ පුතා වූ අලි බොන්ගෝ 2009 අගෝස්තු 30 දා ගැබොන් රාජ්‍යයේ 3 වැනි ජනපති පදවියට පත්වූ අතර ඔහු මේ දක්වා එම පදවිය දරනවා. තාත්තා ජීවතුන් අතර සිටියදීත් ජනපති පදවිය හසුරුවනු ලැබූවේ පුතා බවට කතා පැතිර තිබුණා. ඒ වනවිටත් රට මහා ණය කන්දක හිර වී අවසන්.

ජනාධිපති බොන්ගෝ 2019 දී හෘදයාබාධයකට ලක් වීමෙන් අනතුරුව රටින් බැහැර ව මොරොක්කොවේ ප්‍රතිකාර ගනිමින් සිටින අතරතුර හමුදා කුමන්ත්‍රණයක් සිදු වුණා. ගැබොන් රාජ්‍යයේ බලය අත්පත් කර ගැනීමට හමුදාව දැරූ ප්‍රයත්නයක් මැඩ පැවැත්වූ බව එකල ආණ්ඩුව සඳහන් කළා.

 ලෝකයට පෙන්වන ජනපති පවුලේ සෞභාග්‍යය බිරිය සිල්වියා සහ දූ දරුවන්-bbc.com

 

පසුගිය කාලයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණ මුදල් ඩොලර් මිලියන 160 ක් පමණ සොරකම් කළ බවට ඉහළ ම දේශපාලනඥයන් සිවු දෙනකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔවුන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මකවීමක් නම් දකින්න නැහැ. දේශපාලකයනට එරෙහි නඩු 62 කට අධික ව අධිකරණවල විභාගවෙමින් තිබුණත් එම නඩුවල ද තීන්දු බොහෝවිට ලැබෙන්නේ පාලක පන්තියට වාසිවන ලෙස යි.

 ගිනිගන්නා ගැබොන් පාර්ලිමේන්තුව – france24.com

මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවට ගිනි

ජනපති අලි බොංගෝ 2016 දී ජනාධිපතිවරණයක් පැවැත්වූවා. ජනාධිපතිවරණයෙන්  ජනාධිපති අලී බොංගෝ ම ඡන්ද ප්‍රමාණයෙන් සියයට 49.8ක් ලබාගෙන ජයග්‍රහණය කළ බව නිවේදනය කළා. ඔහුගේ ප්‍රතිවාදියා වුණු ජීං පිං ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 48.2යි. සුළු ඡන්ද වෙනසක් පැවතිය ද මෙය වංචාකාරී ජයක් බව ප්‍රකාශ වුණු අතර ඊට එරෙහි ව ජනතාව දසදහස් ගණනින් වීදි බැස්සා.  දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ආරම්භ වුණා.

විපක්ෂ උද්ඝෝෂකයන් ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් පෙළපාලි ගියා. ලිබ්‍රවිල් අගනුවර දී පොලිසිය හා විරෝධාකරුවන් අතර 2016 අගෝස්තු 31 වනදා ගැටුමක් හට ගත්තා. එදින රාත්‍රියේ එරට ජාතික සභා ගොඩනැඟිල්ලට ගිනි තබා තිබුණා. ජාතික සභාවේ පිටිපසින් ඊට ඇතුළු වුණු විපක්ෂ ක්‍රියාකාරීන් ගොඩනැඟිල්ලට ගිනි තැබූ බව වාර්තා වුණා. කෙසේ වුවත් ජනතා විරෝධතා මැද තවමත් විවිධ උප්පරවැට්ටි කරමින් අලි බොංගෝ එරට පාලනය කරනවා.

ගැබොන් දේශයේ නමට සෞභාග්‍යය

රටට ම ඇත්තේ රෝහල් 28 ක් පමණ යි. ලෝකය මෙතරම් දියුණු වුණත් මේ රටේ උපතේ දී ආයු අපේක්ෂාව අවුරුදු 52යි. රෝගීන් ලක්ෂයකට සිටිනුයේ වෛද්‍යවරුන් 29 දෙනෙක් බව සඳහන් වෙනවා. සෑම දරු උපත් 1000 කට දරුවන් 55 ක් උපතේ දී ම මිය යාම සිදුවනවා. සෑම දරු උපත් 110කට ම එක් මවක් මිය යන බවත් සඳහන්. නමුත් රටේ පාලකයන්ට සහ ඔවුන්ගේ ඥාතීන් අසනීප වූ විට මොරොක්කෝ හෝ වෙනත් රටකට රැගෙන ගොස් ප්‍රතිකාර ලබා ගැනීම සිදුවෙනවා.

කවරයේ ඡායාරූපය- ජනපති ඔමාර් බොංගෝ සහ පවුලේ සාමාජිකයන් asso- sherpa. org

මූලාශ්‍ර:
lankadeepa.lk
asidisimanaya.blogspot.com
cia.gov
bbc.com
worldbank.org
inge bongo

Related Articles