Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රෙඩ්වුඩ් ගසක් උඩ වසර දෙකක් විප්ලව කළ ජූලියා

ජීවිත ගමනේ දී අපට විවිධාකාර අරමුණු, බලාපොරොත්තු, සිහින පොදි බැඳගත් මිනිස්සු හමුවෙනවා. බොහෝ විට ඒ අරමුණු, සිහින කේන්ද්‍ර වෙලා තිබෙන්නේ අදාල පුද්ගලයාගේම සුබ සිද්ධිය වටා යි. ඒ අතර, තමන්ට කිසිවක් නොලැබෙන, ඇතැම් විට තමන්ට දැනටමත් හිමි දේ පවා අහිමි කරගනිමින් මුළු ලෝකයක් වෙනුවෙන් පෙනී සිටින දුර්ලභ ගණයේ මිනිසුන් ද සිටිනවා. පරිසරවේදීන් කියන්නේත් මේ කුලකයට ඇතුළත් කළ හැකි පරාර්ථකාමීන් කොටසක්. නමුත් දිනෙන් දින පරිභෝජනවාදී ජීවිතයකට ලොබ බඳින මිනිසුන් හමුවේ පරිසරවේදීන් තම ක්‍රියාකාරකම් සිදුකරගෙන යන්නේ පෙරටත් වඩා අභියෝගාත්මක වටපිටාවක සිට යි. ඇතැම් සමුද්‍ර පරිසරවේදීන් මහා සාගරයේ මාස ගණනක් ගත කරමින්, අනවසර ධීවර කටයුතුවලට එරෙහිව ක්‍රියාකරමින් කරන සේවය සුළුපටු නැහැ. ඉතින් මේ ලිපියෙන් සූදානම් වන්නේ එවැනි පරිසරවේදිනියකගේ ජීවිත කතාවෙන් බිඳක් ඔබ හමුවට ගෙන ඒමට යි. නමුත් පරිසරය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන්නට ඇය තීරණය කළේ, ජීවිතය පිළිබඳව වෙනස් විදිහට හිතන්න පොළඹවපු සිදුවීම් කිහිපයක් ඇයගේ ජීවිතය තුළ සිදුවූ නිසා යි.

වසර දෙකක් පුරා ලූනා මත ගතකළ ජීවිතය ගැන ඇතුළත් ග්‍රන්ථයක් පසු කලෙක ජූලියා ප්‍රකාශයට පත්කළා/amazon.com/

ජූලියා “බටර්ෆ්ලයි” හිල්

1974 වර්ෂයේ පෙබරවාරි මස 18 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ මිසූරි ප්‍රාන්තයට අයත් මවුන්ට් වර්නන් ප්‍රදේශයේ දී ජූලියා ලොරේන් හිල් උපත ලබනවා. ඇයගේ පියා ඉවැන්ජලික දේවගැතිවරයෙකු වූ අතර, එනිසා ජූලියා ඇතුළු පවුලේ සැමට රට පුරා තැනින් තැනට යන්නට සිදුවුණා. ළමා කාලයේ දී ඇයගේ පියා දේශනා පවත්වන ප්‍රදේශවල වනාන්තර සහ ගංගා අසබඩ සෙල්ලම් කරමින් විනෝද වෙන්න ඇයට ඇති තරම් අවකාශ ලැබුණා. සොබාදහම සමග සමීපව සිටිමින් පවුලක් ලෙස ඔවුන් ගතකළ නිදහස් ජීවිතය නිසා පුංචි ජූලියාට කුඩාකල පටන්ම තමා ජීවත්වන ලෝකය ගැන හැඟීමක් ඇති වුණා.

ජූලියා හය හැවිරිදි දැරිවියක්ව සිටි කාලයේ දී අපූරු අත්දැකීමකට මුහුණ දෙනවා. ඇය තමාගේ පවුලේ අය සමග එක්තරා කන්දක් තරණය කරමින් සිටින අතරතුරේ දී කොහේදෝ සිට පියඹා පැමිණි සමනලයෙක් ඇයගේ ඇඟිල්ලක වසනවා. ජූලියාගෙන් ඉවතට පියඹා යන්න මේ සමනලයට කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. කඳු තරණය පුරාවටම මේ සමනලයා ජූලියාත් සමග ගමන්ගත්තා. එතැන් පටන් ජූලියා ලොරේන් හිල් යන නාමය වෙනුවට ජූලියා “බටර්ෆ්ලයි” හිල් නමින් ඇයව දන්නා උදවිය හඳුන්වන්න පටන් ගත්තා. සොබාදහමත් සමග ජූලියාගේ විශේෂ බැඳීමක් තිබෙන බවට ඉඟි පළකළ මුල්ම සිදුවීම ලෙස එය ජූලියාගේ මතක සටහන්වලට එකතු වුණා.

හම්බෝල්ට් ප්‍රදේශයේ වන විනාශයට එදිරිව නැගී සිටි පරිසර ක්‍රියාකාරීන්/timeline.com/

1996 වර්ෂයේ දී විසි දෙහැවිරිදි වියේ පසුවූ ජූලියා තම ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයකට එළඹෙනවා. ඒ වන විට ජූලියාගේ පවුල පදිංචිව සිටියේ ආකැන්සස් ප්‍රාන්තයේ යි. ඇය ආකැන්සස් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයයේ ඉගෙනුම ලබන අතරේ ෆයෙට්විල් ප්‍රදේශයේ විවිධ අවන්හල්වල සේවය කළා. ජූලියා තම දිවියේ අරමුණු කෙරෙහි ළඟා වෙන්න වෙහෙස වෙන අතරතුර බීමත් රියදුරෙකු හමුවේ දරුණු රිය අනතුරකට මුහුණ පාන්නේ ඔය කාලයේ යි. එම අනතුරෙන් ඇයගේ හිස් කබලට හානි පැමිණුන අතර, නැවත පෙර පරිදි ඇවිදීම සහ කතා කිරීමේ හැකියාව ලබා ගැනීමට බැරෑරුම් ශාරීරික සහ සංජානන චිකිත්සාවලට වසරකට ආසන්න කාලයක් තිස්සේ සහභාගී වෙන්න ජූලියාට සිදු වුණා. නමුත් මේ දරුණු අනතුරට ඇය ස්තූතිවන්ත වුණා. ඇයගේ ජීවිතයේ නියම මාර්ගය සොයා ගැනීමට මෙම සිදුවීම උපකාරී වූ බව  පසුකලෙක ඇය මෙසේ පවසා තිබුණා.

“මේ දරුණු අනතුර මගේ ජීවිතය නව දිශාවකට රැගෙන ගියා. මම සුවපත් වෙමින් සිටින විට ජීවිතයේ සමබරතාවය මගෙන් ගිලිහී ගොස් ඇති බව මට වැටහුණා. මම මගේ වෘත්තීය ජීවිතය, සාර්ථකත්වය, සහ ද්‍රව්‍යමය දේවල් පසුපස ඕනෑවට වඩා හඹා ගොස් තිබුණා. මේ බිඳවැටීම නිසා මා අවදිවූ අතර, ගතවන මොහොතේ තිබෙන වැදගත්කම ගැන මට අවබෝධ වුණා. අනාගතයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට මට හැකි සෑම දෙයක්ම ඒ අනුව මම සිදු කළා.”

ජූලියාට ලූනා හමුවුණ හැටි

වසර දහසකටත් වඩා පැරණි රෙඩ්වුඩ් ගස් විනාශ කිරීමේ සූදානම ඇයට දරාගත නොහැකි වුණා/timeline.com/

ජීවිතය පිළිබඳ නව මානයකින් දකින අතරේම සුවය ලැබූ ජූලියා, පසුකලෙක කැලිෆෝනියාවේ චාරිකාවක නිරත වෙනවා. ගතවෙමින් තිබුණේ 1997 වර්ෂය යි. මෙම සංචාරය අතරතුර උතුරුදිග කැලිෆෝනියාවේ, හම්බෝල්ඩ් ප්‍රදේශයට ළඟාවන විට ජූලියා අමුතුම අත්දැකීමකට මුහුණ දෙනවා. එම ප්‍රදේශයේ වසර දහස් ගණනක් පැරණි යෝධ රෙඩ්වුඩ් ශාකවලින් ගහණ වනාන්තරයක් රැක ගැනීමට වෙර දරන ස්වෙච්ඡා කණ්ඩායමක් ජූලියාගේ ඇස ගැටෙනවා. පැසිෆික් ලම්බර් සමාගම (දැව සමාගමක්) මෙම වනාන්තරයේ ගස් කැපීමට නියමිතව තිබූ නිසා එයට විරෝධය පාන්න මෙම කණ්ඩායම එකතු වී තිබුණා. අවසානයේ දී ඇයත් මේ විරෝධතා කණ්ඩායමත් සමග එක්වීමට තීරණය කරනවා.

පරිසර ක්‍රියාකාරිනියක් ලෙස පෙර අත්දැකීම් හෝ උදාර අරමුණු නොමැති නමුත්, ජූලියාට එක් වැදගත් ගුණාංගයක් තිබුණා. ඇයට තමාව අවශ්‍යයැ යි සිතෙන ඕනෑම මොහොතක නොමසුරුව තම දායකත්වය සැපයීමේ හෝ සහභාගී වීමේ හැකියාවක් තිබුණා. වසර දහසකට අධික කාලයක් මේ වනාන්තරය තුළ විරාජමානව නැඟී සිටින යෝධ රෙඩ්වුඩ් ගස් එක ඇසිල්ලකින් කපා දැමීමට නියමිත බව ඇයට විශ්වාස කිරීමටත් අපහසු වුණා. නමුත් තනි පුද්ගලයෙකුට වුණත් ලෝකයේ උන්නතිය වෙනුවෙන් කළ හැකි බලපෑම ගැන අනගි උදාහරණයක් සැපයූ පුද්ගලයෙක් තමයි ජූලියා කියන්නේ.

ඉපැරණි ගස් ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ගැන මිනිසුන්ගේ අවධානය යොමු කරවා ගැනීම සඳහා මෙම යෝධ රෙඩ්වුඩ් ගසකට නැගී, එහි රැඳීමට කැමති කෙනෙක් මේ විරෝධතාකරුවන්ට අවශ්‍ය වුණා. එවිට කිසිවෙකුටත් මේ ගස් කපා දැමීමට නොහැකි වෙනවා. නමුත් කිසිවෙකු ස්වෙච්ඡාවෙන් මෙම ක්‍රියාවට ඉදිරිපත් නොවූ නිසා අපේ කථා නායිකාව එම පියවර ගන්නවා. 1997 දෙසැම්බර් මස 10 වැනිදා ආරක්ෂිත පටි පැළඳගන්නා ඇය, “ලූනා” ලෙසින් නම් කෙරූ අඩි 180ක් උස රෙඩ්වුඩ් ගසට නැග්ගා. ජූලියා සහ අනෙක් සාමාජිකයන් මේ හරහා දින කිහිපයකින්ම ඔවුන්ගේ අරමුණට ළඟාවීමට හැකි වේවි කියා සිතන්නට ඇති. නමුත් සමාගම සමග සටන් කිරීම ලෙහෙසි පහසු වුණේ නැහැ. එනිසා ජූලියා සිය උදාර අරමුණ වෙනුවෙන්, මේ ගස උඩ තැනූ අඩි 6 ක් දිග, අඩි 6 ක් පළල අට්ටාලයේ අවුරුදු දෙකක් සහ දින අටක් ගත කළා! අදාළ දැව සමාගම ලූනා නම් ගස සහ ඒ අවට ප්‍රදේශය ආරක්ෂා කිරීමට එකඟවීමෙන් පසු ජූලියා මේ අපූරු විරෝධතාවය අවසාන කරනවා.

ගසේ අඩි 180ක් උසකින් අටවා තිබූ කුඩා අට්ටාලයක් මත ජූලියා වසර දෙකක් ජීවත් වුණා/geographicalinsights.blogspot.com/

ලූනා මත ජීවිතය

අඩි 180 උස දැවැන්ත ගසක් මුදුනේ ඉතා කුඩා අට්ටාලයක වසර දෙකකට වැඩි කාලයක් ජීවත්වීම සැබැවින්ම අභියෝගයක්. ආහාර රත්කර ගැනීම සඳහා කුඩා ප්‍රොපේන් උඳුනක් සහ නිදා ගැනීම උදෙසා භාවිතා කළ මල්ලක් ඇය සතුව තිබුණා. අවම පහසුකම් මැද සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන දුරකථනයක් භාවිතා කරමින් ජූලියා ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය දිනාගත් වාර්තාකාරියක් බවට පත් වුණා. සැතපුම් දෙකහමාරක් දුර කන්දක් තරණය කරමින් ස්වෙච්ඡා සේවකයන් ජූලියාට අවශ්‍ය ආහාර සහ වෙනත් සැපයුම් ලබා දීම පිණිස නිරන්තරයෙන් පැමිණියා. මෙම කාලය තුළ ජූලියාට දරුණු ශීත ඍතු, එල් නිනෝ කුණාටු තත්ත්වයන් විඳ දරාගෙන ගස උඩටම වී සිටින්නට සිදුවූ අතර, වසරේ බොහෝ කාලයක් ඇය තෙතමනය සහ ශීතල හේතුවෙන් පීඩාවට පත්වුණා. සුළඟ හමුවේ වේගයෙන් වැනෙන ලූනාගේ අතු තරයේ බදා ගනිමින් ඇය මරණයත් සමග සටන් කළා. සොබාදහමෙන් ලැබුණු අභියෝග ඉදිරියෙ පමණක් නොව මිනිසුන්ගෙන් එල්ල වුණු අභියෝගවලට පවා ඇය මුහුණ දුන්නා. දැව සමාගම්වල අනුග්‍රහයෙන් පැමිණි හෙලිකොප්ටරවලින් ඇය හිරිහැරයට ලක්වුණා. ජූලියාගේ සටනට විරුද්ධ වූ ඇතැමුන් ඇය ජීවත් වූ ගස ආශ්‍රිත අනෙකුත් ගස් කපා දමමින් ඇයට අනතුරු හැඟෙව්වා.ඒ අතර මරණ තර්ජනත් ඕනෑ තරම් තිබුණා. පැසිෆික් ලම්බර් සමාගම කුලියටගත් මැරයින් ඇයව වටකර ගෙන සිටියා.

වසර දෙකක් පුරා ලූනා මත කළ ජීවිතය ඉතා දුෂ්කර යි. නමුත් ජූලියාගේ අරමුණ ඒ සියල්ලටම වඩා ප්‍රබල යි/juliabutterflyhill.com/

ඇයගේ ධෛර්යය සහ ස්ථාවරභාවය ජාත්‍යන්තර මාධ්‍යවල අවධානයට ලක්වූ අතර, ජූලියා හිල් පරිසර හිතකාමී පුද්ගලයකු ලෙස ජනප්‍රියවීමට පටන්ගත්තා. ජූලියා හිල් අත්පත් කරගත් ජනතා ආකර්ෂණය ඒ අයුරින්ම සෘණාත්මක ලෙස පැසිෆික් ලම්බර් සමාගමට බලපෑවා. ජනතාවගෙන් එල්ල වූ විරෝධය හමුවේ වෙහෙසට පත් සමාගම, වර්ෂ 1999 දී ලූනා ඇතුළු අනෙකුත් ඉපැරණි රෙඩ්වුඩ් ගස් වටා අඩි 200ක ආරක්ෂිත කලාපයක් ඇති කිරීමට එකඟ වුණා. ඊට අමතරව තිරසර වන විද්‍යාව පිළිබඳ පර්යේෂණ කටයුතු සඳහා කැලිෆෝනියාවේ හම්බෝල්ට් රාජ්‍ය විශ්වවිද්‍යාලයයට ඩොලර් 50,000ක මුදලක් ලබා දීමට ද සමාගම එකඟ වුණා. ඒ අනුව වසර දෙකකට මඳක් වැඩි කාලයක් ලූනා නම් රෙඩ්වුඩ් ගස මත සිට කළ සත්‍යග්‍රහය අවසාන කරමින් ජූලියා ගසෙන් බිමට බැස්සා.

ඒ අවුරුදු දෙක පුරාවට මොනම හේතුවක් නිසාවත් ඇය මහ පොළොව ස්පර්ශ කළේ නැහැ. තනි පුද්ගලයෙකුගේ අප්‍රතිහත ධෛර්යය සහ කොන්දේසි විරහිතව උපකාර කිරීමට ඉදිරිපත් වූ මිනිස් කැලක් නිසා වසර දහස් ගණනක් පැරණි රෙඩ්වුඩ් ගස් ඛේදනීය ඉරණමකින් ගැලවුණා. නමුත් ලූනා ඉදිරිපිට වූ අනතුර ජූලියාගේ ජයග්‍රහණයෙන් වසරකට පසුත් ඉවත්ව ගියේ නැහැ. කිසියම් පිරිසක් දම්වැල් කියතකින් ලූනාගේ කඳට හානි පමුණුවා තිබුණා. එම කැපුම අඟල් 32 ක් පමණ ගැඹුරු යි. නමුත් රුක් වගාව පිළිබඳ හසල දැනුමැත්තන්ගේ කැපවීමෙන් වානේ කේබල් යොදා ගස ස්ථාවර කොට ලූනාගේ ජීවිතය බේරා ගැනීමට ඔවුන් සමත් වුණා.

ලූනාගෙන් පසු ජූලියාගේ ජීවිතය

ලූනා නමැති රෙඩ්වුඩ් ගස මත සිටිමින් ඇය කළ සටන නිසා ජීවිතයේ ඉතිරි කාලය පරිසර ක්‍රියාකාරිනියක් ලෙස ගත කිරීමට ජූලියා තීරණය කළා. ලූනා මත වසර දෙකක් පුරා ගත කළ ජීවිතය, තම අත්දැකීම් සහ සිතුවිලි ඇතුළත් කොට “The Legacy of Luna” නමින් අපූරු ග්‍රන්ථයක් ඇය පසුකලෙක එළි දක්වනවා. එම ග්‍රන්ථය සාර්ථක ලෙසින් අලෙවි වුණා. පසුව ඇය “One Makes the Difference” නමින් පාරිසරික අත්පොතකුත් එළි දැක්වූවා. එමෙන්ම ඇය “Circle of Life Foundation” නම් ලාභ නොලබන සමාජ ක්‍රියාකාරී කණ්ඩායමේ සම නිර්මාතෘවරියක් ද වෙනවා.

ජූලියාගේ ජයග්‍රහණයෙන් පසුවත් ලූනාට කරදර සිදුවුණා. වානේ ආධාරක යොදා ලූනාව රැකගන්නා අපූරුව ඔබට පෙනේ ද?/pressdemocrat.com/

ජූලියා 2002 වර්ෂයේ වරෙක ඉක්වදෝරයේ දී පොලිස් අත්අඩංගුවට පත්වෙනවා. ඇන්ඩීස් වනාන්තර පෙදෙස්වලට තර්ජනයක් එල්ල කරමින් ඉදි වෙන තෙල් නළ මාර්ගයකට විරෝධය පාන අතරතුර තමයි ඇය අත්අඩංගුවට පත්වෙන්නේ. නමුත් පසුව ඇය සහ ඇයත් සමග සිටි අනෙකුත් විරෝධතාකරුවන් ඉක්වදෝරයෙන් පිටුවහල්කර තිබෙනවා. මෙලෙස මහත් වූ අභියෝගවලට මුහුණ දෙමින් තම ඊළඟ පියවර ගැන නිතරම සිතමින් ජූලියා “බටර්ෆ්ලයි” හිල් සොබාදහමේ උන්නතිය වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටිනවා.

“යමෙකු ගසක් ආරක්ෂා කිරීමට ගන්නා උත්සාහය ඔබ දුටු විට, එම සමාජයේ සෑම ස්ථරයක්ම අසමත් වී ඇති බව ඔබ දන්නවා. පරිභෝජකයින් අසමත් වී ඇති බව ඔබ දන්නවා. සමාගම් සහ රජය අසමත් වී ඇති බව ඔබ දන්නවා”

ජූලියා විසින් රචිත “The Legacy of Luna” ග්‍රන්ථයේ එවැනි සංවේදී ඡේදයක් සටහන් වී තිබෙනවා.

 

Cover photo: khsu.org/

මූලාශ්‍රයයන්: thespruce.com/

treesisters.org/

goodreads.com/

Related Articles