පිරවුම් හල්වලට ඉන්ධන නොලැබෙන බව බලධාරින් පසුගිය දිනවල කීවත් පිරවුම් හල් ළඟ ඉන්ධන ගන්නට බලාපොරොත්තුවෙන් ඇති දිග පෝලිම් තවමත් එහෙමම යි. තවත් පිරිස් බෝතල්, කෑන් අරගෙන තෙල් ගන්නට මාර යුද්ධයක. රට ම දුවන්නේ රෝද හතරක් උඩ යයි සිතෙන තරමට හැම දෙයක් ම බිඳ වැටිලා.
අද තෙල් නැව් එනකම් අපි සිටියත් මෙරට මුහුදේ දෙවරක් ම තෙල්-ගෑස් නිධි සොයා ගෙන ඇති බව ගවේෂණවලින් හෙළි වී තිබෙනවා. ඒ විතරක්ද? තෙල් කැණීමට වෙනම අධිකාරියක් විවෘත කළෙත් ගිය අවුරුද්දේ.
ඛනිජ තෙල් ගවේෂණ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවට මුහුදේ වර්ග කිලෝ මීටර 420 ක් සහ ගොඩබිම වර්ග කිලෝ මීටර 75 ක භූ කම්පන දත්ත එකතු කළා. ඒ 1967 වර්ෂයේ ”කැම්පේන් ජෙනරල් ද ජියොෆිසික්” නැමැති ප්‍රරශ සමාගම හා, ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එක්ව කළ සමීක්‍ෂණයකින්. ඒ මගින් උතුරු මුහුදේ තෙල් හා ගෑස් ඇති බවට මූලික සාධක හමුවුණා.
1970 දී බලයට පත්වූ සිරිමා බණ්ඩාරනායක රජයේ උනන්දුව මත සෝවියට් දේශය (වත්මන් රුසියාව) මුහුදු කම්පන දත්ත වර්ග කිලෝ මීටර 4837 ක පෙදෙසක එකතු කළා. ඉන් ලැබුණු ධනාත්මක ප්‍රතිඵල මත 1974 දී සෝවියට් දේශය, මන්නාරම දූපතේ පේසලේ ආශ්‍රිත ව ඛනිජ තෙල් කැණීම් ආරම්භ කළේ රට තුළ විශාල උනන්දුවක් ඇති කරමින්. නමුත් ඉන් සාර්ථක ප්‍රතිඵල ලැබුණේ නැහැ.
පේසාලේ තෙල් බොරුව
සෝවියට් දේශයේ සමාගම පේසාලේ හැරූ තෙල් ළිඳ අඩි 250ක් පමණ ගැඹුරට කැණීම් කළ විද්‍යාඥ කණ්ඩායම එය අතරමඟ නවත්වා වෙනත් රාජකාරියකට මහනුවර බලා පිටත් වී ගොස් තිබෙනවා. ඒ අතර එහි කටයුතු ලංකාවේ නිලධාරින් අධීක්ෂණය කරමින් සිටියා. මේ අතරේ දි නොකඩවා වතුර පොම්ප කරමින් සිටින විට තෙල් ගතියකින් යුතු අමුතු වතුර මතු වී තිබෙනවා. වහා ම එම වතුර, කුප්පියකට ගත් නිලධාරියා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිට ඒ බව දුරකතනයෙන් දන්වා කොළඹ බලා පිටත්ව තිබෙනවා.
ඔහු අතරමඟදි තේ පානය කිරීමට වාහනය කඩයක් අසල නවත්වන විට ගුවන්විදුලියේ රාත්‍රි 9.00 ප්‍රවෘත්තිවලින් අපූරු ප්‍රවෘත්තියක් ප්‍රචාරය වනු ඇසුණා. ඒ දවස 1974 ජූලි 30 වැනිදා යි. පේසාලෙන් තෙල් සොයාගෙන ඇති බවත් අවුරුදු 75කට ප්‍රමාණවත් තෙල් සොයාගෙන තිබෙන බැවින් තෙල් අපනයනය කළ හැකි බවත් එයින් විදේශ විනිමය ඉතිරි වන බවත් ප්‍රවෘත්තිවලින් මුළු රටටම අහන්න ලැබුණා.
සපුගස්කන්ද පිරිපහදු රසායනාගාරයේ විශ්ලේෂකයන් මෙම අමුතෙල් සාම්පලය පසුව පරීක්ෂා කළා. එම පරීක්ෂණවල දී මේ තෙල් අමුතෙල් නොවන බව ද, එය පිළිස්සුණු ලිහිසි තෙල් මඩ සහ වතුර සහිත මිශ්‍රණයක් බවත් පැහැදිලි වුණා. විද්‍යාත්මක පරීක්ෂණයේ ප්‍රතිඵල ලබා ගැනීමට ප්‍රථම, නිලධාරින් පිරිසක් ශ්‍රී ලංකාවේ අමුතෙල් ලැබුණු බව ඇමැතිවරයාට පවසා අනතුරු ව ඒ පිළිබඳ ව පුවත්පත්වලට නිවේදන ද යොමු කර තිබෙනවා.
තෙල් පුවතින් රට කැලැඹේ
මෙම පුවතින් ලංකාව ම විස්මිත වුණු අතර තෙල් කැණීම් බිම නැරඹීමට ඛනිජ තෙල් සංස්ථාව පේසාලේ බලා විශේෂ දුම්රියක් ද යෙදවූවා. ඇමතිවරුන් හා මාධ්‍යවේදින්ට අමතරව එහි වැඩි වශයෙන් ම ගමන් කළේ ශ්‍රිලනිප වෘත්තීය සමිතිවල සාමජිකයන්.
මේ කාලෙ තෙල් ලැබීම ගැන ශ්‍රීලනිපයට ගැති පිරිස් කියූ කවියක් ගැන ද අහන්න ලැබෙනවා:
“තව මොනවද අඩු
මෙන්න බොලේ බඩු
යූඇන්පිය කුඩු
යමුද මචෝ මඩු”
“පේසාලේ තෙල් නැහැ” යනුවෙන් දවස පුවත්පතේ ප්‍රවෘත්තියක් පළ කළා. ඒ නිසා එහි ප්‍රධාන කර්තෘ ගුණදාස ලියනගේට පුවත්පත් මණ්ඩලයෙන් සිතාසි එව්වේ එය ව්‍යාජ පුවතක් බවට චෝදනා කරමින්. පේසාලේ තෙල් කතාවේ ඇත්ත හෙළිකරමින් 1975 ඔක්තෝබර් 7 වැනිදා ‘‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ ආයතනයෙන් පළවුණු ‘ලංකාදීප’ පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය ලෙස ‘‘පේසාලේ බොරු තෙල් ප්‍රෝඩාවේ රහස් හෙළි කරති’’ යනුවෙන් පුවතක් පළ වුණා. ඉන් පසු ජනතාව ආණ්ඩුවට චෝදනා කළේ බොරු කියා තමන් රැවටීම ගැන යි.
තෙල් ගවේෂණ යළිත්
1976 දී Western Geophysical සමාගම මගින් දිවයින වටා කිලෝ මීටර 1947 ක භූ කම්පන දත්ත සටහන් කර තිබෙනවා. ඉන් පසුව Pexamin Pacific සමාගම මුහුදු වෙරළේ ගවේෂණය සඳහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ ගිවිසුමක් අත්සන් කළා. 1976 දී Marathon Petroleum සමාගම Pexamin Pacific සම්බන්ධ කර ගනිමින් කාවේරි ද්‍රෝණියේ පෝක් බොක්ක -1 සහ ඩෙල්ෆ්ට් -1 යන තැන්වල ගවේෂණාත්මක ළිං දෙකක කැණීම් කළත් එම උත්සාහයන් ද අසාර්ථක වී තිබෙනවා.
වර්ෂ 1981 දී ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව කාලේ Cities Services සමාගම මන්නාරම් බොක්කේ ඊසානදිග කොටසෙහි මීටර් 3050 ක් ගැඹුරට ළිං කැණීම් කළත් තෙල් හා ගෑස් ලැබුණේ නැහැ. මන්නාරම් ද්‍රෝණි ප්‍රදේශයේ මේ දක්වා ඇති එකම තෙල් ළිඳ මෙය බවට පත් වී තිබෙනවා.
මෑත අතීතයේ ගවේෂණ
තෙල් හා වායු ගවේෂණ කටයුතු යළි කළ එළි බසින්නේ 2001 දියි. පසුව 2008 දී ශ්‍රී ලංකා රජය කේන් ලංකා (පුද්ගලික) සමාගම සමඟ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය කිරීමේ ගිවිසුමකට අත්සන් කළා.
මන්නාරමෙන් යළිත් තෙල් නිධි
මන්නාරම් ද්‍රෝණියේ M2 ගවේෂණ මධ්‍යස්ථානයේ Dorado සහ Barracuda නම් ස්වාභාවික වායු නිධි දෙකක් 2011 දී සොයා ගැනුණා. මෙම සොයා ගැනීම් දෙකත් සමඟ මඟින් මන්නාරම් ද්‍රෝණියේ සක්‍රීය ඛනිජ තෙල් පද්ධතියක් ඇති බව විද්‍යාත්මකව හෙළි වුණා.
මන්නාරම් ද්‍රෝණියේ පමණක් තෙල් බැරල් බිලියන 2 කටත් වැඩි ප්‍රමාණයක් සහ ස්වාභාවික වායු ඝන අඩි ට්‍රිලියන 9 කට වැඩි ප්‍රමාණයක් නිපදවීමට හැකි බව කලාපීය විශේෂඥයන්ගේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය ගණන් බලා තිබෙනවා. 2011 ඔක්තෝබර 2වැනි දා එවකට ජනපති මහින්ද රාජපක්ෂ මන්නාරම් ද්‍රෝණියෙන් අතිවිශාල බොරතෙල්, ගෑස් නිධියක් මතු වී ඇති බව දළදා මාලිගාවේ පැවැති උත්සවයක දී පවසා සිටියා.
ජාතික ප්‍රතිපත්තියක්
ස්වාභාවික වායු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය 2021 ජනවාරි මාසයේදි ගැසට් කළා. මන්නාරම් දෝණියේ M2 කලාපය තුළ ස්වාභාවික වායු ගවේෂණයට හා නිෂ්පාදනය කිරිම සදහා ජාත්‍යන්තර සමාගම්වල සහයෝගය ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් පැවසුණා.
මෙම ප්‍රතිපත්තිය මඟින් බලාපොරොත්තු වන්නේ 2030 වසර වන විට ආනයනික පොසිල ඉන්ධන මත යැපීම වර්තමාන මට්ටමෙන් අඩකටත් වඩා අඩු කර ගැනීම හා 2030 වන විට ස්වාභාවික වායුවේ භාවිතාව සමස්ත පොසිල ඉන්ධන පරිභෝජනයෙන් තුනෙන් එකක් වත් ළඟා කර ගැනීම බව පැවසෙනවා.
තෙල් සිතියම සැකසේ
දිගු කාලීන ව ලංකාවේ ඛනිජ තෙල් තිබිය හැකි ප්‍රදේශ බිම් කැබලි 20කට වෙන් කර තිබුණා. තනි සමාගමකට එක් බිම් කැබැල්ලක් ගවේෂණයට දිගු කාලයක් හා විශාල මුදලක් වැය වන නිසා මුහුදේ බිම් කැබලි 20 කුඩා කොටස් 873 කට වෙන් කොට එම සිතියම නැවත සකස් කෙරුණා.
ශ්‍රී ලංකාවට පැමිණෙන ඛනිජතෙල් ආයෝජකයන් තමන් ගවේෂණය සඳහා තෝරා ගත යුත්තේ කුමන කැබැල්ල දැයි තීරණය කිරීමට නම් එම කැබලිවල විද්‍යාත්මක දත්ත හා තොරතුරු අවශ්‍ය වෙනවා. සිතියම් සකස් කළත් ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණයට ආයෝජකයන් පැමිණෙන බවක් නම් පේන්න නැහැ.
තෙල් ගන්න අලුත් අධිකාරියක්
2021 ඛනිජ තෙල් සම්පත් පනත යටතේ ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටු වීම පසුගිය වසරේ නොවැම්බරයේ සිදුවුණා. 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතින් පිහිටු වූ නව අධිකාරිය මඟින් ඛනිජතෙල් කර්මාන්තය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වන ප්‍රතිපත්ති උපදේශක කමිටුව වෙත නිර්දේශ කිරීම, ඛනිජ තෙල් සම්පත් පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සිදුවෙනවා.
මෙම අධිකාරිය පිහිටුවීමේ උත්සවයේදී බලශක්ති සංවර්ධන ඇමැතිවරයා වූ උදය ගම්මන්පිල පැවසුවේ දැන් තියෙන්නෙ ඉතිං ගෑස් සහ තෙල් ගොඩ ගැනීම පමණ යි. ඒ වගකීම මේ අධිකාරියට භාරයි කියා යි. 2022 මාර්තු මාසය වන විට දැනට ගෑස් නිධි නිශ්චිතව ම හඳුනාගෙන ඇති බිම් කැබැල්ල ප්‍රසිද්ධ වෙන්දේසියක් කර සුදුසු ආයෝජකයෙක් සොයා ගැනිමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසුවා. තෙල් ළිං හෑරීම කෙසේ වෙතත් තෙල් පෝලිම්වල අර්බුදය විසඳීමටවත් ආණ්ඩුව තව ම සමත් වෙලා නැහැ.