Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අත් හිටවූ සිර දඬුවමක් ලද ජර්මනියේ ජේම්ස් බොන්ඩ් – වර්නර් මවුස්

ජර්මනියේ ජීවත්වන සුපිරි රහස් ඔත්තුකරුවකු ලෙස සැළකෙන 77 හැවිරිදි වර්නර් මවුස්ට එරට අධිකරණයක් විසින් අත් හිටවූ සිර දඬුවමක් දෙනු ලැබුණා.

මීට අමතරව යූරෝ 200,000 ක මුදලක් පුණ්‍ය කටයුතු සඳහා ලබාදෙන ලෙස ද ඔහුට නියම කරනු ලැබුණා.

බෝචම් නගරයේ අධිකරණයක් විසින් මෙම දඬුවම ලබා දෙන ලද්දේ වසරක් පුරා පැවති බදු ගෙවීම පැහැර හැරීම පිළිබඳ නඩු විභාගයකින් අනතුරුවයි.

අධිචෝදකයින් වසර හයකුත් මාස තුනක සිර දඬුවම් ඉල්ලා සිටි නමුත් නඩුව විභාග කළ විනිසුරුවරයා සඳහන් කළේ මවුස් විසින් ජර්මනියට කළ සේවය ද සළකා ඊට වඩා ලිහිල් දඬුවමක් ලබා දෙන බවයි.

වර්නර් මවුස් යනු කවුද​?

ජර්මන් රජය නිල වශයෙන් වර්නර් මවුස් (Werner Mauss) පිළිබඳ සඳහන් නොකරන නමුත් මවුස්ගේ පුද්ගලික වාර්තා සහ මාධ්‍ය වාර්තා අනුව ඔහු විසින් සිදු කරන ලද විවිධ මෙහෙයුම් පිළිබඳ අදහසක් ගත හැකියි. ඇතැම් ජර්මන් ජනමාධ්‍ය විසින් ඔහු හඳුන්වන්නේ ජර්මනියේ ජේම්ස් බොන්ඩ් යන නමින්.

වර්නර් මවුස් (Süddeutsche Zeitung)

1940 දී එවක තුන්වන රයිෂයේ (නට්සි ජර්මනියේ) එසෙන් නගරයේ උපන් මවුස් මුලින් වෙළෙන්දෙකුව සිට පසු කාලීනව රහස් පරීක්ෂක සේවයක් පටන් ගත් බව සඳහන් වනවා. පසුව ඔහු බටහිර ජර්මන් පොලිසියට තොරතුරු සපයන්නකු බවට පත්වුණා. ඒ 1960 දශකයේදියි. මෙකල ඔහු පොලිසියෙන් පුහුණුවක් ද ලැබූ බව සඳහන් වනවා.

1960 – 1970 දශකයන් බටහිර ජර්මනියට විශේෂ කාලයක්. 1961 දී බර්ලින් තාප්පය ඉදි කිරීමත් සමඟ සීතල යුද්ධය උත්සන්න වූ අතර එහෙයින්ම නැගෙනහිර – බටහිර ජර්මන් රාජ්‍යයන් අතර ද උණුසුම් තත්ත්වයක් පැවතුණා. මේ අතර 1960 දශකයේ අගභාගයට වන්නට යුරෝපයේ තරුණ විරෝධතා ව්‍යාපාර​, සෝවියට් දේශය විසින් චෙකොස්ලොවැකියාව ආක්‍රමණය කිරීම යනාදී කරුණු ද සමඟ අන්තවාදී වාමාංශික ත්‍රස්ත සංවිධාන ද බිහි වන්නට වුණා. ජර්මනියේ රතු හමුදා කණ්ඩායම (Red Army Faction) හෙවත් බාඩර්-මයින්හොෆ් කල්ලිය මෙයින් ප්‍රකට එකක් වූ අතර ඉතාලියේ රතු බ්‍රිගේඩය ද තවත් ප්‍රකට සංවිධානයක් වුණා. මේ අතර ඉතාලියේ මාෆියා සංවිධාන ක්‍රියාකාරීත්වය​, පලස්තීන කැරලි කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය ආදිය ද කලාපීයව බලපාන ගැටලු බවට පත්වෙමින් පැවතුණා.

මෙවන් පසුබිමක ජර්මන් පොලිසිය සහ බුද්ධි අංශ තමන්ට සහය ලබාගත හැකි පුද්ගලයන්ගෙන් තොරතුරු ලබාගත් අතර ඇතැමුන්ට විවිධ පුහුණු කිරීම් ද ලබා දුන් බව කියැවෙනවා. වර්නර් මවුස් ද එවැන්නෙක්.

මවුස් පසු කලෙක ජර්මන් ෆෙඩරල් බුද්ධි අංශය (Bundesnachrichtendienst, BND) සමඟද කටයුතු කරන අතර ඔහු දේශපාලන සබඳතා ද ගොඩනගා ගත්තා. 1990 දශකය වනවිට හෙල්මුට් කෝල් චාන්සලර් පදවිය දරන සමයේදී ඔහුගේ සබඳතා චාන්සලර් කාර්යාලය දක්වා දිව ගියා.

වන බෙනඩික් පාප්වහන්සේට වස දීමට කළ සැළසුමක් මවුස් විසින් ව්‍යර්ථ කළ බව සැළකෙනවා (Pic: L’Osservatore Romano)

මවුස් විසින් කළ ප්‍රකාශයන් සහ මාධ්‍ය වාර්තා අනුව, ඔහු විසින් සිදු කළ බව කියන මෙහෙයුම් ගණනාවක් වනවා. මාෆියා සංවිධානයක් විසින් XVI වන බෙනඩික් පාප්වහන්සේට වස දීමට කළ සැලසුමක් ව්‍යර්ථ කිරීම​, ජර්මනියේ කොලෝන් ආසන දෙව් මැදුරෙන් සොරාගත් වස්තුව සොයා ගැනීම​, කොළොම්බියානු කැරලිකරුවන් භාරයේ සිටි ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම​, රතු හමුදා කණ්ඩායම් සාමාජික රොල්ෆ් පෝහ්ල ඇතැන්ස් නුවරදී අත් අඩංගුවට ගැනීම​, ඊශ්‍රායලය සහ පලස්තීන පාලන අධිකාරිය මෙන්ම හමාස් සංවිධානය අතර සාකච්ඡා සඳහා මැදහත් වීම සහ ISIS සංවිධානයට එරෙහි කටයුතු යනාදිය මේ අතර වන බව සැළකෙනවා.

සුයිඩ්ඩොයිෂෙ සෙයිටුං (Süddeutsche Zeitung) පුවත්පත සඳහන් කරන ආකාරයට වර්නර් මවුස්ට විවිධ අනන්‍යතා සියයක් පමණ තිබී ඇති බව විශ්වාස කෙරෙනවා.

වර්නර් මවුස්ගේ එක් ව්‍යාජ අනන්‍යතාවයක් (swr.de)

මවුස්ගේ රහස් බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ ද මෙම පුවත්පත හේතුවෙන්.

බදු ගෙවීම පැහැර හැරීම​

වර්නර් මවුස් සම්බන්ධ නඩුවට අදාල බදු මුදල් ගෙවීම පැහැර හැරීම පිළිබඳ මුලින්ම හෙළි වූයේ පැනමා පත්‍රිකා නමින් ලොව සසල කරමින් හෙළිදරව් වූ ගනුදෙනු රාශියක තොරතුරු සමඟයි. මේවා හෙළි කිරීමේදී ප්‍රමුඛතාව ගත් එක් පාර්ශවයක් වූයේ සුයිඩ්ඩොයිෂෙ සෙයිටුං පුවත්පතයි. පැනමා පත්‍රිකාවල හෙළිදරව් වූ කරුණු හේතුවෙන් අයිස්ලන්තයේ අගමැතිවරයා ඉල්ලා අස්වීම​, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ට එරෙහි විරෝධතා, පාකිස්ථාන අගමැති නවාස් ෂරීෆ්ට ඉල්ලා අස් වීමට සිදුවීම යනාදී පෙරළි රැසක් සිදු වුණා.

මවුස් සම්බන්ධව හෙළිවූ කරුණු අනුව ඔහු 2002 සිට 2011 තෙක් සමය තුළ තමා සතුව වූ බැංකු ගිණුම්වල වූ යූරෝ මිලියන 50 ක පමණ මුදලක් පිළිබඳ රජය දැනුවත් කර නැහැ. ලක්සම්බර්ග්, ලීෂ්ටන්ස්ටයින් සහ බහමාස් යන රටවල මෙම ගිණුම් පවත්වාගෙන යනු ලැබුණා.

වර්නර් මවුස් කියා සිටියේ මෙම ගිණුම් 1980 දශකයේදී බටහිර රටවල සහ ඊශ්‍රායලයේ ඔත්තු සේවා විසින් විවෘත කළ ඒවා බවත් ඒවායේ අරමුණ වූයේ රහස් මෙහෙයුම් සඳහා මුදල් අවශ්‍යතා ඇතිවූ කළ ඔහුට මුදල් ලබාගැනීම පහසු කරවීම බවත්. නමුත් ඔහු ඉදිරිපත් කළ සාක්ෂිවල අඩු ලුහුඬුකම් වූ බව අධිකරණය ප්‍රකාශ කළා.

කෙසේ නමුත් මවුස්ගේ නීතීඥයන් කියා සිටියේ මෙම නඩු තීන්දුවට එරෙහිව ඔවුන් අභියාචනයක් ඉදිරිපත් කරන බවයි. නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු වීමට නියමිතව සිටි ඊශ්‍රායල ජාතික රහස් ඔත්තුකරුවකුට ඊට පැමිණීමට නොහැකි වූ බවත් එය මවුස්ට අවාසිදායක වූ බවත් ඔවුන් පවසා සිටියා.

Cover Image: වර්නර් මවුස් අධිකරණයේදී (Sven Simon)

Related Articles