Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආදායම් බදු නිසා මහජනතාව කබලෙන් ළිපට වැටීම

මහජනතාවට බදු පැනවීම ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් ඔස්සේ සිදු විය හැකිය. පනතක් මාර්ගයෙන් නීතියක් ලෙස හෝ, එසේත් නැතිනම් අයවැය මගින් බදු නීති ගෙන ඒමේ හැකියාව තිබේ. අයවැයේ දී රටේ යම් යම් වියදම් පියවා ගැනීම සඳහා භාණ්ඩ මත හෝ ආදායම් මත බදු පනවන ක්‍රමවේදයක් පවතී. නව දේශීය ආදායම් බදු පනතින් අපේක්ෂා කෙරන්නේ මෙතෙක් කාලයක් බදු අය කරන ලද ක්‍රමවේදය සංශෝධනය කිරීමයි. එනම්, මෙම පනතින් සිදු කර ඇත්තේ අලුත් බදු හඳුන්වා දීම නොවන අතර බදු සම්බන්ධයෙන් අලුත් නීති රීති හඳුන්වා දීම වේ.

ආණ්ඩුව මෙම පනත කොතරම් සද්භාවයෙන් ගෙන එන ලද්දක් බව පෙන්වන්නට උත්සාහ දැරුවත් මෙහි මූලික අරමුණ වන්නේ රජයේ බදු ආදායම් ඉහළ නංවා ගැනීම බවත් මෙමගින් රටේ බදු අය කර ගැනීමේ ක්‍රමවේදය වෙනස් කිරීම සඳහා රජයට නීතිමය ප්‍රතිපාදනයක් ලැබී තිබෙන බවත් ආර්ථික විද්‍යා විශේෂඥයෙකු වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා Roar වෙත පැවසීය.

දේශීය ආදායම් බදු පනත සංශෝධනය කර දැනට මස දෙකක කාලයක් ඉක්ම ගොස් ඇත. බදු සංශෝධනය සාමාන්‍ය ජනතාවට කෙසේ බලපාන්නේද සහ මේ හරහා ආණ්ඩුව අපේක්ෂා කරන්නේ කුමක් ද යන්න ගැන මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා සිදු කළ විග්‍රහයකි මේ.

මහාචාර්ය මිල්ටන් රාජරත්න (pdn.ac.lk)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවය මත ගෙන ආ බදු සංශෝධනයක්

“මෙලෙස බදු නීති වෙනස් කිරීම වැනි මූල්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා බොහෝ විට උපදෙස් ලැබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF). රටට මුදල් අවශ්‍ය වන විට ආණ්ඩුව ණය මුදල් ගන්න යන්නේ ජාත්‍යන්තර අරමුදල වෙත යි. ජාත්‍යන්තරව ණය ගැනීමේ ප්‍රමාණය අඩුකර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආණ්ඩුවට කරන ලද දැනුම්දීම අනුව ණය ගැනීම අඩු කර පෙන්වීමේ ක්‍රමවේදයක් ලෙසිනුයි රට තුළම බදු අය කර ගැනීමේ ක්‍රමවේදයක් සකස් වන්නේ. ඒ අනුව රටේ ඍජු බදු ප්‍රමාණය වැඩි කරගෙන වක්‍ර බදු ප්‍රමාණය අඩුකර ගැනීමට රජය තීරණය කරනවා. ඇත්තෙන්ම මෙහි දී සිදු වන්නේ ඍජු බදු සහ වක්‍ර බදු අතර සංයුතියේ වෙනසක් පමණයි.”

“පාරිභෝගිකයන්ගේ බදු බර අඩු වෙන්නෙ නැහැ”

“රටක බදු අය කර ගැනීමේ මූලික ක්‍රම දෙක වන්නේ සෘජු බදු සහ වක්‍ර බදුයි. සෘජු බදු යනු මිනිස්සු ගන්න ආදායම්වලින් හා කරන ගනුදෙනුවලින් ලබා ගන්නා බදු වන අතර වක්‍ර බදු යනු අපි පරිභෝජනය කරන භාණ්ඩ මත පැනවෙන බදුයි. අපි භාණ්ඩයක් මිලදී ගනිද්දි එම බද්ද ගෙවීමට සිදු වෙනවා. අනෙකුත් රටවල වක්‍ර බදු හා සාපේක්ෂව බලන විට සෘජු බදු සැලකිය යුතු ඉහළ මට්ටමක පවතිනවා. දැනට තිබෙන 20% ක ඍජු බදු ප්‍රමාණය 40% දක්වා වැඩි කර ගැනීමයි රජයේ අරමුණ වී තිබෙන්නේ. එවිට 80% ක් වන වක්‍ර බදු ප්‍රමාණය අඩු කරගත හැකියි. සෘජු බදු ප්‍රමාණය වැඩි කර ගතහොත් පරිභෝජනයේ දී මිනිසුන්ට නොදැනෙන අන්දමින් අය කෙරෙන වක්‍ර බදු ප්‍රමාණය අඩුකර ගැනීමට හැකි වෙනවා.”

“වක්‍ර බදු වැඩි වීමේදී භාණ්ඩ මිල ඉහළ යාම මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට තදින්ම බලපානු ලබන්නක්. නමුත් ආදායම් මත බදු පැනවෙන විට ඍජු බදු ගෙවීමට සිදු වන්නේ ඉහළ ආදායම් ලබන අයටයි. රජය දැන් නගන තර්කය එයයි. එහි තර්ක දෙකක් තියෙනවා. එකක් සෘජු බදු ප්‍රමාණය සමස්ත බදු ප්‍රමාණයෙන් 40% දක්වා ඉහළ නංවා ගැනීම. එවිට වක්‍ර බදු 80% සිට 60% දක්වා පහළට ගෙන ආ හැකියි. නමුත් අසූවයි හැටයි, විස්සයි හතළිහයි කියන එක අපිට නිරපේක්ෂව සැලකිල්ලට ගැනීමට අපහසු කාරණයක්. සමස්තයක් ලෙස පාරිභෝගිකයන්ගේ බදු බර අඩු වෙනවා කියන එක මින් කියවෙන්නේ නැහැ.”

“බදු අයකර ගැනීමේදී දුප්පතුන්ට සාධාරණයක් එයින් සිද්ධ වන බව එක් තර්කයක්. ඉන්ධන මත, හාල්, පරිප්පු, සීනි, පිටි මත බද්දක් පැනවූ විට සියලු දෙනාටම එම බද්ද ගෙවන්න සිදු වෙනවා. සීනි පරිභෝජනය ගත්තොත් දුප්පත් පොහොසත් බේදය මත සීනි පරිභෝජනය සිද්ධ නොවන අතර සීනිවලින් රුපියල් 50 ක බදු ආදායමක් ගන්නවා නම් රුපියල් 20,000ක ආදායමක් ලබන කෙනා මෙන්ම ලක්ෂ දෙකක ආදායමක් ලබන කෙනාත් ගෙවිය යුතු වන්නේ රුපියල් 50ක්. මෙය බැලූ බැල්මට අසාධාරණයි. අනෙක් කාරණය වන්නේ උපයන කෙනාගෙන් බදු අය කරාට ප්‍රශ්නයක් නැත යන්නයි. න්‍යායානුකූලව එම තර්ක දෙකම නිවැරදි යි.”

“අපේ රටේ සෞඛ්‍යය, අධ්‍යාපනය, සමෘද්ධි සහනාධාර වැනි ක්ෂේත්‍ර සුබසාධන ක්‍රමයක් මත රඳා පවතිනවා. මේ සඳහා බදු මුදල් අවශ්‍යයි. වෙනත් රටවල්වල සෞඛ්‍යය, අධ්‍යාපනය ආදිය සුබසාධන සේවාවන් ලෙස ක්‍රියාත්මක වන ඒවා නොවේ. එම නිසා අපේ රටේ අනිවාර්යයෙන්ම බදු ආදායමක් ලබාගත යුතුය. නැතිනම් මේ සේවාවන් පවත්වාගෙන යාමට නොහැකි වෙනවා. වසර 70 කට වඩා වැඩි කාලයක් මෙවැනි සුබසාධන සේවාවන් පවත්වාගෙන යාම තුළින් අපිට ලැබී තියෙන වාසිය වන්නේ මානව ප්‍රාග්ධනය දර්ශකයේ ඉහළ තැනක් ලැබී තිබීම පමණයි. සාක්ෂරතාව, ආයුකාලය ආදිය අතින් අපි ලෝකයේ හොඳ තැනක සිටිනවා. නමුත් මෙයින් ඇති ප්‍රයෝජනය කුමක්ද? අපේ රටේ ව්‍යවසායකන් බිහි වීම, ආදායම් සොයන ක්‍රම පිළිබඳ දැනුවත්භාවය අවම අතර රැකියා ලබා දීමද විශාල ගැටලුවක් බවට පත්ව තිබෙනවා.”

nusahati.com

මානව ප්‍රාග්ධනයෙන් අපට ප්‍රයෝජනයක් ලැබී නැහැ

“ඇතැම් අය අධ්‍යාපනය, සෞඛ්‍යය ආදී සියලු පහසුකම් නොමිලේ ලබාගෙන විදේශගත වෙනවා. එයින් රජයට කිසිදු ප්‍රතිලාභයක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඔවුන් උපයන දේවල් නැවත යළි නොලැබීම තුළ රටට ඔවුන්ගෙන් වන ප්‍රයෝජනයක් ද නැහැ. අධ්‍යාපනය ලබාගෙන උපාධිධාරීන් වන අය අවසානයේ රටට බරක් වීම පමණයි සිදු වෙන්නේ. ඔවුන් ව්‍යාපාරයක් හෝ කිරීමේ සූදානමකින් තොරව ආණ්ඩුවේ රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. රජයේ රැකියාවන් ලබා ගන්නා විට නැවත වරක් ජනතාවගේ බදු මුදල්වලින් යැපෙනවා. මානව ප්‍රාග්ධනයෙන් අපේ රටට ප්‍රයෝජනයක් ගන්නේ කෙසේද යන ප්‍රශ්නය බරපතළ ලෙස අප හමුවේ තිබෙනවා. මේ හේතුව නිසයි නැවත නැවත බදු එකතු කරමින් එම අංශ සඳහා බදු මුදල් යොදවන්න සිදු වෙන්නේ.”

ආණ්ඩුව මහජනතාවගේ බදු මුදල් නාස්ති කරමින් වරප්‍රසාද බුක්ති විඳිනවා

“අනෙක් කාරණය, අපි බදුවලින් ලබාගන්න ආදායම් අරපරිස්සමින් පාවිච්චි කරන්නේ ද යන්න. හැම රජයක්ම බලයට පත් වෙද්දී නැගෙන චෝදනාවක් තමයි මහජනතාවගේ මුදල් නාස්ති කරමින් රජයේ ප්‍රධානීන් සුර සැප විඳිනවා යන්න. වර්තමාන රජයෙත් එහි වෙනසක් දක්නට නැහැ. මේ ආණ්ඩුව බලයට පත්වූ වහාම රජයේ මැති ඇමතිවරුන්ට වගේම රාජ්‍ය නිලධාරින්ටත් සුඛෝපභෝගී වාහන මිලදී ගැනීම කිසිදු පාලනයකින් තොරව සිදු කරන අන්දම පෙනෙන්නට තිබෙනවා. එපමණක් නොව ඔවුන්ගේ නිල නිවාස, අනෙකුත් වරප්‍රසාද, රජයේ ආයතන දෙපාර්තමේන්තු ආදිය සඳහා ගොඩනැගිලි මිලදී ගැනීම ආදිය සඳහා වියදම් කරන්නේ ජනතාවගේ බදු මගින් ලැබෙන ආදායම්. පසුගිය කාලයේ දී අගමැතිවරයා ඔහුට වාහන දෙකක් මිලදී ගැනීම සඳහා ලක්ෂ දෙදහස් ගණනක් වියදම් කර තිබෙනවා. මේවා රටට දරාගත හැකිද යන ප්‍රශ්ණය අප හමුවේ තියෙනවා.”

බදු ගෙවන අයටත් විශේෂ වාසියක් නැහැ

“බදු ගෙවන පුද්ගලයින්ට මේ රටේ තියෙන වාසි මොනවද? සෘජු බදු ගෙවන අයගේ වැටුපෙන් හෝ ලබන ආදායමෙන් රෝහල් නඩත්තු කිරීම සඳහා බදු විශාල වශයෙන් අයකර ගන්නවා කියා සිතුවොත් අවසානයේදී රජයේ රෝහලකට ගියොත් ඔවුන්ට විශේෂිත වරප්‍රසාදයක් ලැබෙන්නේ නැහැ. මෙහිදී තමන් බදු ගෙවන්නේ ඇයි කියන ප්‍රශ්නය සෘජු බදු ගෙවන අය නගනවා. අතීතයේදී නම් බදු ගෙවූ අයට ඡන්ද බලය හිමිව තිබුණා. රටේ තීරණ වලට සම්බන්ධ වෙන්න හැකියාව තිබුණේ ඒ අයට. නමුත් මේ කිසිදු විශේෂ වරප්‍රසාදයක් වර්තමානයේ නැහැ.”

new-img.patrika.com

පනත ප්‍රායෝගික නැහැ

“ආර්ථිකය වැටෙනවා කියන්නෙ රටේ නිෂ්පාදනයක් නොමැති වීමයි. ආදායම් ප්‍රමාණය, රැකියා ප්‍රමාණය අඩු වෙලා. මෙවැනි ආර්ථික පසුබිමක් තුළ ආදායම් බදු පනතක් ගෙනැවිත් විශාල ලෙස බදු අය කිරීමට සූදානම් වීම කෙතරම් කාලෝචිත ද යන ප්‍රශ්නය මතු වෙනවා. සමස්තයක් ලෙස බදු ක්‍රමවේදයක් ගෙන ඒම නෙවෙයි ප්‍රශ්නය වෙන්නෙ, ආර්ථිකය පවතින තත්ත්වය අනුව මෙවැනි දෙයක් සුදුසුද කියන එකයි. නුසුදුසු අවස්ථාවක මෙවැනි පනතක් ගෙන ඒමෙන් රජයට එරෙහිව මිනිසුන්ගේ විරෝධය වර්ධනය වෙනවා. පනත ක්‍රියාත්මක කිරීමට නම් රජයක් පැවතිය යුතුයි. ඊළඟ රජය බලයට ආ විට මේ පනත අහෝසි කරන බව විපක්ෂය දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා.”

“විදේශීය ශ්‍රමිකයන් එවන මුදල්වලින් බදු ගැනීම කෙතරම් සුදුසුද කියල බැලිය යුතුය. ලංකාවේ රුපියල් ලක්ෂයක් දක්වා උපයන ආදායමට බද්දක් පනවන්නේ නැති වුනත් විදෙස් රටවලින් මෙරටට මුදල් සම්ප්‍රේෂණය කළහොත් ඒ සඳහා 5% ක බදු මුදලක් අය කරනවා. ඔවුන් එම මුදල් උපයන්නේ විදේශ රටවල නිසා ලංකාවේ බදු නීති ඒ සඳහා අදාළ වන්නේ නැහැ. ඔවුන් මුදල් යැවීම අධෛර්යමත් වෙනවා වගේම බැංකු හරහා මුදල් එවන්නේ නැතුව වෙනත් අනිසි ක්‍රමවලින් මුදල් එවීමට එහෙමත් නැත්නම් භාණ්ඩ එවීමට පෙළඹෙනවා. ඉන් සිදු වෙන්නේ අපේක්ෂිත බදු මුදල් රජයට අය කරගන්න නොහැකි වීමයි. අනෙක් අතින් ජනතාවගේ මුදල් නාස්ති වීම සිදු වෙනවා. මිනිස්සු සල්ලි සැඟවීමට උත්සාහ දරනු ලබනවා.”

“අපේ ප්‍රාග්ධන හිමිකම් විකුණා එයින් ලැබෙන ලාභය මත බදු අය කිරීම සාධාරණ නැහැ. නිවෙසක් හෝ ඉඩමක් කලින් විකුණන ලද අගයයි විකුණන මුදලයි අතර වෙනස 10%ක මුදලක් අය කරන බව සඳහන්. දේපළ විකිණීමේ ව්‍යාපාරයට මේ මඟින් සෑහෙන පහරක් වදින්නට ඉඩ තිබෙනවා. රැකියාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව සෑම කෙනෙකුටම අතිරේක ආදායමක් ලැබෙන්නේ නැහැ. සමාජ රක්ෂණය කියන එක රජයෙන් දිය යුතු දෙයක් මිසක් ඒ සඳහා ඔවුන්ගෙන් බදු අය කිරීම බත් ටිකක් කන්න දීල ආපහු ගන්නවා වගේ දෙයක්. ගණන් හදා බලද්දි මෙය නිවැරදි දෙයක් මෙන් පෙනුනත් කෙනෙකුගේ විශ්‍රාම මුදලින් බදු ගැනීම සදාචාර සම්පන්න දෙයක් නොවෙයි.”

3.bp.blogspot.com

අවුරුදු 18ට වැඩි අයට බදු ලිපිගොණු විවෘත කිරීම සමාජ අසහනයට හේතුවක්

“අවුරුදු 18ට වැඩි සියලු දෙනාට බදු ලිපි ගොණු ආරම්භ කරනවා කියන එක අවුලෙන් අවුලට පත් වන්නක්. රජයේ සියලුම සේවකයන්ට බදු ලිපි ගොණු ආරම්භ කරමින් වරක් එවැනි උත්සාහයක් ගනු ලැබුවත් ඉන් ප්‍රයෝජනයක් අත් වූයේ නැහැ. වසර දෙකක් යන විට එම සියලුම ලිපි ගොනු වසා දමන්නට සිදු වුණා. ලිපි ගොනු පවත්වාගෙන යාම සඳහා සේවකයෝ බඳවා ගන්න බදු දෙපාර්තමේන්තුවට විශාල වියදමක් දරන්න සිදු වීම පමණයි සිදු වුණේ. අවුරුදු 18ට වැඩි අයට ලිපි ගොණු විවෘත කරන්න නම් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ දැනට ඉන්න සේවක ප්‍රමාණය මෙන් දෙගුණයක් සේවකයෝ බඳවා ගන්න සිදු වේවි.”

“වර්තමානයේදී බදු අය කරන්නේ රැකියාවක් කරලා වැටුප බැංකුවට යන අයෙකුගෙන් පමණයි. රූපලාවන්‍යාගාර වැනි කුඩා ව්‍යාපාර පවත්වාගෙන යමින් ඉහළ ආදායම් ලබන අය සිටින නමුත් ඔවුන් බදු ගෙවීමක් කරන්නේ නැහැ. 18 පිරුණ දරුවෙකුට බදු පෝරමයක් පුරවන්න වීමෙන් සිදු වන්නේ තරුණ අසහනය විශාල වශයෙන් වැඩි වෙන එකයි. මේ පෝරමය පුරවන එක වගේම පුරවන්නේ නැති එකත් අවදානමක්. පිරෙව්වොත් මොනවා කියයිද කියලා දන්නේ නැහැ. පෝරමය පිරෙව්වේ නැත්නම් රුපියල් 50,000ක් සහ අවුරුදු 3ට වැඩි සිර දඬුවමක් ලබා දෙන බව එහි සඳහන්. පාසල් ළමයින්ටත් මෙය ලැබීම විශාල සමාජ අසහනයක් ඇති කරන්න හේතු විය හැකියි.”

“මෙය රටේ ආර්ථිකය ඉතාම දුර්වල මට්ටමකට පත්ව තිබෙන අවස්ථාවක්. 2014 අවසානයේ 6%ක පමණ තිබු ආර්ථික වර්ධනයක ඉඳලා අවුරුදු තුනක් ගත වන විට එනම් 2017 වසර අවසානය වන විට සියයට 3.1% හෝ 3.2% ක් දක්වා ආර්ථිකය පහත වැටිලා.”

“රටක් ඉදිරියට ගෙන යද්දී බදු අය නොකිරීම කළ නොහැකි දෙයක්. අය කරන බදු වියදම් කිරීමේ දී රජයකට බොහෝ සෙයින් වගකීමකින් යුතුව කටයුතු කරන්න සිදු වෙනවා” යි රාජරත්න මහතා කියා සිටියේ ය.

Cover Image : srilankabesttours.lk

Related Articles