Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඩොලර් ගිලින ශ්‍රීලංකන් බහිරවයාගේ කතාව

ජාතික ගුවන් සේවය යයි පවසමින් ආණ්ඩුව පවත්වා ගෙන ගිය ශ්‍රීලංකන් ගුවන් සේවය පාඩු ලැබීමෙන් වාර්තාවක් තැබීමට සමත් වෙලා. ඉතා අධික වැටුප්වලට නිලධාරින් රැසක් ඉහළ තනතුරු හොබවන එහි දිනක පාඩුව රු. මිලියන 84ක්. එම පාඩුවව වන්දි ගෙවීමට රටේ සියලු දෙනාට ම සිදු වෙලා. පසුගිය කාලයේ දිගට ම එයට මුදල් පොම්ප කිරීම නිසා ජාතික ආර්ථිකයට විශාල වැය බරක් දරා ගැනීමටත් සිදු වෙලා.

ශ්‍රිලංකන් අඳුරේ -couterpoint.lk

ශ්‍රීලංකන් පෞද්ගලීකරණය කරනවාද?

වර්තමානයේ දී ශ්‍රීලංකන් ගුවන් සේවය රටවල් හතළිස් අටක ගමනාන්ත එකසිය එකොළහක් වෙත ගුවන් මෙහෙයුම් සිදුකරන බව වාර්තා වාර්තා වෙනවා. ශ්‍රීලංකන් ගුවන් සේවය බංකොලොත් වුණු ශ්‍රී ලංකා ආර්ථිකයට දරා ගත නොහැකි බරක් බවත් එය පෞද්ගලීකරණය කළ යුතු බවත් ජාතිය අමතමින් නව අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය දා පැවසුවා.

මෙතරම් පාඩු ලබන ආයතනයක් වුණත් පසුගිය අප්‍රෙල් මාසයේ දී වාර්තා වුණේ තවත් ගුවන් යානා 21ක් බද්දට ගැනීම සඳහා මිල ගණන් කැඳවීමට තීරණය කළ බව යි. එයට ජනතාවගෙන් විශාල විරෝධයක් එල්ල වුණා.

ශ්‍රීලංකන් ගුවන් යානා කිහිපයක්- routesonline.com

 

2015 වන විට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානා ඇණිය පුළුල් බඳ සහිත ගුවන් යානා 13 කින් හා පටු බඳ සහිත ගුවන් යානා 8 කින් සමන්විත වුණා.  ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ ගුවන් යානා නඩත්තුව සහ කල්බදු සඳහා අදාළ පිරිවැය ඉහළ යාම හේතු කර ගෙන ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් වියදම 2015 දී රුපියල් බිලියන 4.9 ක් වී තිබූ අතර 2016 දී එය බිලියන 14.1 ක් දක්වා ඉහළ ගිය බව යි.  

2015 දී පත්වුණු ජනපති මෛත්‍රී සහ අගමැති රනිල් පාලනය කළ යහපාලන රජයටත් ශ්‍රීලංකන් එයාර් ලයින් ලාභ උපයන ආයතනයක් බවට පරිවර්තනය කර ගැනීමට නොහැකි වී තිබුණා. ඒ වන විට ශ්‍රීලංකන් එයාර්ලයින් ආයතනය ලබා ඇති සමස්ත පාඩුවෙන් සියයට 51 ක් ම බැංකුවලින් ලබා ගත් ණය මුදල් වෙනුවෙන් වූ පොලිය බවයි පැවසෙන්නේ. ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමට යහපාලන රජය කාලයේ සුදුසු විදේශ ආයෝජකයකු සෙව්වත් එහි ණය බර සමඟ ආයතනය බාර ගැනිමට ආයෝජකයන් කැමති වුණේ නැහැ.

අකාර්යක්ෂමතාවෙන් උපන් ණය බර

ලාබදායී ශ්‍රීලංකන් පාඩු ලැබූ අයුරු

වර්ෂ 2007 දෙසැම්බර් අවසානයෙන් පසුව එවකට පැවති රාජපක්ෂ රජයේ නියෝගය මත එමිරේට්ස් සමාගම ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ඉවත් වුණා. වර්ෂ 1998 සිට 2008 මාර්තු 31 දක්වා ශ්‍රී ලංකා රජයට කිසිදු වැය බරකින් තොරව ආදායම් බදු ගෙවමින් සිටි ගුවන් සේවය නැවත ශ්‍රී ලංකා රජයේ පාලනයට නතු කර ගත්තේ, ලන්ඩනයේ සිට ලංකාවට පැමිණීමට රාජපක්ෂ පවුලේ යම් පිරිසකට හා හිතවතුන් සහිත 35ක කණ්ඩායමකට හදිසියේ ප්‍රවේශපත් ලබා නොදීම නිසා බවයි පැවසෙන්නේ.

වෙනත් ගුවන් මගීන් වෙන්කර ගෙන සිටි ගුවන් ටිකට්පත් අවලංගු කර රාජපක්ෂ හිතවතුන්ට ටිකට්පත් ලබා දෙන ලෙස කළ ඉල්ලීම ගුවන් සේවා ප්‍රධානි පීටර් හිල් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉන් කෝපයට පත් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ ගුවන් සේවයේ ගිවිසුම දීර්ඝ නොකර එය නැවත ශ්‍රී ලංකා රජයට පවරා ගත්තා. එහි මුල් පුටුවලට සිය ඥාතීන් පත් කළා.

 සංග්‍රහශීලී ගුවන් සේවය – moontravelerblog.com

ආණ්ඩුව පාලනය බාර ගත් පසු ඊට වසරකට පෙර රුපියල් කෝටි 440 ක ලාභයක් ඉපැයූ ශ්‍රීලන්කන් ගුවන් සේවය නව පාලනාධිකාරිය යටතේ පළමු වසරේ ම, එනම් 2009 වර්ෂයේ රුපියල් මිලියන 930 ක අලාභයක් වාර්තා කළා. වර්ෂ 2008 වර්ෂයේ සිට එමිරේට්ස් සමාගමෙන් එය නැවත ශ්‍රී ලංකා රජයට පවරා ගැනීමෙන් පසු ගෙවුණු වසර 13 තුළ සිදුවී ඇති සමස්ත පාඩුව රුපියල් කෝටි 27,720 ක්.

2022 වසරේ ගෙවුණු මාස හතරකට පමණක් ලබා ඇති පාඩුව රුපියල් කෝටි 2480 ක් බව වාර්තා වෙනවා. මෙතරම් පාඩු ලබන ශ්‍රීලංකන් ගුවන් සේවයට පසුගිය 2021 නොවැම්බර් මාසයේ 73 හැවිරිදි රිචඩ් නුටෝල් නම් විදේශ ජාතිකයකු නව විධායක නිලධාරියා ලෙස පත් කළ අතර ඔහුගේ වැටුප සියලු පහසුකම් ද සහිත ව රුපියල් ලක්ෂ 90ක් බව මාධ්‍යවල වාර්තා වුණා.

එමිරේට්ස් සහ ශ්‍රීලංකන් සබඳතාවක් – youtube.com

 ලාබ ලද ආසියාවේ විශිෂ්ට ගුවන් සේවයක්

ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ පාලන කාලයේදිත් එවකට එයාර් ලංකා නමින් හැඳින්වූ ජාතික ගුවන් සේවය පාඩු ලබන තත්ත්වයකයි තිබුණේ. එය වලක්වා ගැනීමට විදේශ ආයෝජකයකු ලෙස ඩුබායි එමිරේට්ස් ගුවන් සමාගම සමඟ කළමනාකරණ ගිවිසුමකට 1998 දී අත්සන් තැබුවා. ගිවිසුම අනුව ගුවන් සේවයේ අඩක් ශ්‍රී ලංකා ආණ්ඩුවටත් අයත් වන සේ වසර 10 ක කාලයක් සඳහායි එයට අත්සන් කළේ. එමිරේට්ස් සමාගම අමෙරිකා ඩොලර් මිලියන 70 ක වටිනාකමින් යුත් 40% ක කොටස් (පසුව 43% දක්වා ඉහළ නැංවිණි) මිල දී ගෙන, එම ගුවන් සේවයේ කාර්යක්ෂමතාව වර්ධනය කළා. ගුවන් සේවයේ ආයෝජනය හා කළමනාකරණ තීරණ ගැනීමට එමිරේට්ස් සමාගමට පූර්ණ අයිතිය හිමි වුණා.

එය පාලනය වුණේ විදේශීය ප්‍රධාන විධායක නිලධාරියකු යටතේ. ඔවුන් ගුවන් සේවයේ නම ශ්‍රීලංකන් ලෙස වෙනස් කරමින් එහි පැවති සුප්‍රකට මොනර ලාංඡනය ද වෙනස් ආකාරයකට සැලසුම් කළා. අනවශ්‍ය වැය අඩුකර ගුවන් සේවයේ ප්‍රතිරූපය ඉහළ නැංවීමේ ප්‍රචාරණ වැඩසටහන් ලොව පුරා ක්‍රියාත්මක කළා. ගුවන් සේවයේ නම වෙනස් කිරීමට සහ ලාංඡනය වෙනස් කිරීමට එරෙහි ව එවකට දැඩි විරෝධයක් පළවුණා.

නව කළමනාකරණය තම ගමනාන්න සහ මගීන්ට ලබාදෙන සත්කාර වඩාත් පුළුල් කරමින් කටයුතු කළ අතර ක්‍රමයෙන් එය ලාබ ලබන්නට වුණු අතර වසරින් වසර ලාබය වැඩිකර ගැනීමටත් සමාගම සමත් වුණා. මෙම ලාභයෙන් කොටසක් කොටස් හිමි ආණ්ඩුවට හිමි වුණා. ලාභයට සාපේක්ෂව විශාල බදු ආදායමක් ද ආණ්ඩුවට ලැබෙමින් තිබුණා. එවන් ගුවන් සේවයක් වළපල්ලට යවා රටට බරක් කර ඇත්තේ අමනොඥ දේශපාලනඥයන්ගේ පෞද්ගලික කෝපයක් නිසා යි.

එයාර් සිලෝන් සිට ශ්‍රීලංකන් දක්වා- twitter.com

එයාර් ලංකා ඇරඹේ

ප්‍රථම වරට ලාංකික ගුවන් සේවයක් ලෙස එයාර් සිලෝන් ඇරඹුණේ 1947 දී සුද්දන්ගේ කාලෙදි යි. 1947 ජුනි මාසයේදී එවකට ඇමැති ජෝන් කොතලාවලගේ යෝජනාවකට අනුව වැදගත් ලේඛන ප්‍රමාණයක් රැගෙන ඒම සඳහා විහාරමහාදේවි නම් යානය ලන්ඩන් නගරය බලා පියාසර කරවූවා. එය ලංකා ගුවන් සේවය පියාසර කළ මුල් ම රාජකාරි ගුවන් ගමන යි. එම ඓතිහාසික ගුවන් ගමනට දින 9ක් ගතව තිබෙන බව සඳහන්. 1970 දශකය වන විට එයාර් සිලෝන් ගුවන් සේවය පාඩු ලබන්නට වුණා.

මේ නිසා 1977 දි බලයට පත් ජේ. ආර්. රජයට ගුවන් සේවයේ ප්‍රතිසංස්කරණයක් කිරීමට අවශ්‍ය වුණා. වර්ෂ 1979 දී එයාර් ලංකා නමින් නව ගුවන් සේවයක් මෙරට ආරම්භ වුණේ ඒ අනුව යි. හොඳ ගුවන් යානා අපට නොතිබූ නිසා සිංගප්පූරු ගුවන් සේවයෙන් බදු ගත් බෝයිං 707 ගුවන් යානා 2කින් තමයි එයාර් ලංකා මුලින් ම ආරම්භ වුණේ. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මූලික කරගෙන එය ක්‍රියාත්මක වුණා.

 පාඩුව වැඩි කළ එයාර් ටැක්සි -srilankana air taxi facebook page

වැලිඅමුණ කමිටුව

පසුගිය යහපාලන රජය මගින් ශ්‍රීලංකන් ගුවන් සේවයට එල්ල වූ අක්‍රමිකතා චෝදනා සොයා බැලීමට ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණගේ ප්‍රධානත්වයෙන් විමර්ශන කමිටුවක් පත් කළා. ඒ මගින් එයට පෙර පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශ්‍රීලංකන් තුළ සිදු වී ඇති මුදල් නාස්තිය පිළිබඳ ව පිටු 136 ක වාර්තාවක් රජයට ඉදිරිපත් කර තිබුණා. එවකට නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව එයාර් ටැක්සි මිලදී ගෙන ඇති අතර වසර 40 ට වඩා පැරණි භාවිත කළ එයාර් ටැක්සි ගුවන් යානා ගෙන්වා තිබූ බව ද සඳහන් වෙනවා.

සිවිල් ගුවන් සේවා නීතියට අනුව වසර 15 කට වඩා පැරණි ගුවන් යානා ගෙන්වීම තහනම් බව පැවසෙනවා. විනිවිද භාවයෙන් තොරව ගෙන්වා ගෙන ඇති එයාර් ටැක්සි සේවය නිසා වාර්ෂික ව රුපියල් මිලියන 338 ක පාඩුවක් ලබා තිබූ බව වාර්තාවේ සඳහන්.   

අලුත් ගුවන් යානා මිලදී ගැනීමට සහ පද්ධතිය නවීකරණය කිරීමට සමාගම වැය කළ මුදල රුපියල් බිලියන 290 ක් වන අතර ආයතනය දරුණු මූල්‍ය පිරිහීමකට ලක්වීමට එයට හේතු වූ බව වැලිඅමුණ වාර්තාවේ කියවෙනවා.

 පාඩුවට ගුවනේ සැරිසරමින් …- traveltradejournal.com

2019 කෝප් කමිටු හෙළිදරව්ව

කෝප් කමිටුව ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරින් මුලින් ම එම කමිටුව හමුවට කැඳවුයේ 2019 අගෝස්තු මාසයේදි යි. එහිදී 2009 සිට 2019 දක්වා ආයතනයේ පාඩුව රු. බිලියන 240ක් බව හෙළිදරව් වුණා. එහි වාර්ෂික පාඩුව රු. බිලියන 12 සිට 2015 වනවිට රු. බිලියන 40 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් පැවසුණා. ගුවන් යානා මිලදී ගැනීමේ අක්‍රමිකතා ඇතුළු දුෂණ රැසක් ද එහි සිදුව තිබෙන බව කියවුණු කරුණක්. ගුවන් සේවයේ දිනක පාඩුව රු. මිලියන 84ක් බවත් කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබෙනවා. ඉන් පසු කෝප් කමිටු රැස්වීමක දී යළිත් හෙළි ව තිබුණේ 2021 මාර්තු වනවිට එය ආණ්ඩුවට අත්පත් කරගත් දා සිට ලැබූ පාඩුව රු. මිලියන 45674ක් බව යි.

කවරයේ ඡායාරූපය - ශ්‍රීලංකන් ගුවන් යානයකට භාණ්ඩ පටවමින් - aircargonews.net 

මූලාශ්‍ර :
Parliament.lk
ECONOMYNEXT.com
srilankan.lk
lankadeepa.lk

Related Articles