Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තායිලන්තයේ මැතිවරණයට සියල්ල සූදානම්

තායිලන්තයේ මහ මැතිවරණය සඳහා දැන් සියල්ල සූදානම් බව යි වාර්තා වන්නේ. මාර්තු 24 වන ඉරිදා මෙම මැතිවරණය පැවැත්වෙනවා. 2014 මහ මැතිවරණය අහෝසි කරන ලද හෙයින් තායිලන්තය මේ මැතිවරණයක් පවත්වන්නේ වසර හතකට පසුව යි. එමෙන්ම දිගු කලක් තායිලන්ත රාජ්‍ය නායකයා වූ භූමිබෝල් අදුල්යාදෙජ් රජුගේ මරණින් පසු පවත්වන පළමු මහ මැතිවරණය ද මෙය යි.

දශක දෙකක් පුරා පැවැති පරිද්දෙන් මෙවර ද හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාගේ ඡායාව මැතිවරණය පුරා දකින්නට පිළිවන්. තක්සින් දූෂණ චෝදනා හේතුවෙන් රටින් පිටව සිටිනවා. ඔහුගේ සහෝදරිය යිංග්ලක් ෂිනවත්‍රා ද බලයෙන් නෙරපා දමන ලද්දේ දූෂණ​ චෝදනා මත යි. 2014 සිට යුධ හමුදාව රටේ බලය අතට ගත් අතර දැන් එහි සහයෙන් ක්‍රියාත්මක දේශපාලන පක්ෂයක් ද තරග බිමට පැමිණ තිබෙනවා. ඒ ෆලාංග් ප්‍රචාරත් පක්ෂය යි. තායිලන්ත අගමැති ලෙස කටයුතු කරන ජෙනරාල් ප්‍රයුත් චාන්-ඕ-චා එහි අගමැති අපේක්ෂකයා වනවා.

මැතිවරණ ක්‍රමය​

තායිලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල දෙකක් තිබෙනවා. එයින් පහළ මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීන් 500ක් ද, ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීන් 250ක් ද වනවා. මෙයින් මැතිවරණය පවත්වන්නේ පහළ මන්ත්‍රී මණ්ඩලයට යි. එහි ආසන 350ක් සඳහා මන්ත්‍රීන් පත් වන්නේ කේවල ක්‍රමයට යි. අනෙක් මන්ත්‍රීන් 150 දෙනා සමානුපාතික ක්‍රමයකට තෝරා ගැනෙනවා.

කලින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වූවන් මාර්තු 17 වනදා ඡන්දය ප්‍රකාශ කළා (Reuters)

මේ අතර ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 250 සඳහාම මන්ත්‍රීන් පත් කරන්නේ යුධ හමුදාව විසිනුයි. මේ හේතුව නිසා යුධ හමුදාවේ සහාය ලබන ෆලංග් ප්‍රචාරත් පක්ෂය මැතිවරණයෙන් පසුව ද තායිලන්තයේ බලය ස්ථාපිත කරගනු ඇතැයි විශ්වාසය පළ වනවා.

මේ අතරවාරයේ තක්සින් හිතවාදී පක්ෂ කිහිපයක් මෙවර තරගයට එක්ව තිබෙනවා. ඔවුන් බලපොරොත්තු වන්නේ කේවල ආසන හැකි පමණ ලබා ගන්නා ගමන්ම සමානුපාතික ක්‍රමය යටතේ ද ආසන යම් ප්‍රමාණයක් දිනා ගැනීම යි.

දේශපාලන පක්ෂ

මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 80කට ආසන්න ප්‍රමාණයකින් අපේක් ෂකයන් 2,700ක් පමණ ඉදිරිපත් ව සිටිනවා. මේ අතරින් ප්‍රයුත්ගේ පක්ෂය හැරුණ කල​, කලක පටන් ක්‍රියාකරී වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ද​, තක්සින් පාක්ෂික ප්‍රධානම පක්ෂය වන පියු තායි පක්ෂය ද​, නව දේශපාලන පක්ෂයක් වන Future Forward (අනාගතය ඉදිරියෙන්) පක්ෂය ද වැදගත් වනවා. මීට අමතරව භූම්ජායිතායි පක්ෂය ආදී කලක පටන් තායි දේශපාලනයේ රැඳී සිටින පක්ෂ කිහිපයක්ම​ මැතිවරණයට ඉදිරිපත් ව සිටිනවා.

මෙවර මැතිවරණ ව්‍යාපරයේ මුලදී ම ආන්දෝලනාත්මක සිද්ධියක් සිදු වුණා. තායිලන්ත ඉතිහාසයේ මින් පෙර කිසිදු විටෙක සිදු නොවූ විරූ අවස්ථාවක් සනිටුහන් කරමින් එරට රජ පවුලේ කුමාරිකාවක මැතිවරණයක අගමැති අපේක්ෂිකාව ලෙස නම් කරනු ලැබුණා.

උබොල්රතන රාජකන්‍යා සිරිවර්ධන බර්නාවදී කුමරිය (AFP/Getty Images)

හිටපු තායි අගමැති තක්සින් ෂිනවත්‍රාට හිතැති තායි රක් චාර්ට් පක්ෂයේ අගමැති අපේක්ෂිකාව​ ලෙස මෙසේ නම් කරනු ලැබුණේ තායිලන්තයේ මහා වචිරලොංග්කෝර්න් රජුගේ වැඩිමහල් සොයුරිය වන 67 හැවිරිදි උබොල්රතන රාජකන්‍යා සිරිවර්ධන බර්නාවදී කුමරිය යි. කුමරිය විදේශිකයකු හා විවාහ වූයෙන් රජපවුලේ අයිතිවාසිකම් අත හැරිය අයෙක්. නමුත් ඇයව තවමත් රජපවුලට සම්බන්ධ අයකු සේ සලකනු ලබනවා.

රජ කුමරිය අගමැති අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වීම කෙරේ රජුගේ විරෝධය එල්ල වූ අතර තායිලන්ත මැතිවරණ කොමිසම ද එම නාම යෝජනාව ප්‍රතික්ෂේප කළා. අදාල පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වීම තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් තහනම් කරනු ලැබුණා. එම පක්ෂයේ ප්‍රධාන නායකයින් පිරිසකට වසර දහයක් දේශපාලනය කිරීම ද තහනම් කරනු ලැබුණා.

ප්‍රතිඵල කෙසේ වේද​?

මෙම මැතිවරණයේදී ද තක්සින් පාක්ෂික දේශපාලන පක්ෂ සැලකිය යුතු ඡන්ද සංඛ්‍යාවක් ලබාගනු ඇති. ඔවුන් රටේ ඊසානදිග ප්‍රදේශයන්හි ඉතා ප්‍රබල වන අතර පොදුවේ ගත් විට​, ගම්බද දුගී ජනයා අතර ශක්තිමත් ජන පදනමක් ඔවුනට තිබෙනවා. මෙයට පාදක වී ඇත්තේ 2001 මැතිවරණ ව්‍යාපාරයේ දී තක්සින් ෂිනවත්‍රා ගොඩනගාගත් ජන රැල්ල යි. තායි දේශපාලනය තුළ එතෙක් පාලනය ගෙන ගිය සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට තක්සින් පාර්ශවයට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකදී අභියෝග කිරීමට තවමත් හැකියාව ලැබී නැහැ. 2011 දී පවත්වන ලද මැතිවරණයේ දී ද ආසන 500න් 265ක්ම දින ගැනීමට පියු තායි පක්ෂය සමත් වුණා. එරට අගමැති ලෙස තක්සින්ගේ නැගණිය වන යිංග්ලක් ෂිනවත්‍රා පත් වූයේ ඒ අනුව යි.

තක්සින් ෂිනවත්‍රා (Bloomberg)

මෑතකදී කරන ලද සමීක්ෂණවලට අනුව පියු තායි පක්ෂය සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 15 – 25ක් අතර ප්‍රමාණ ලබාගනු ඇතැයි අනාවැකි පළ වුණා. ප්‍රයුත්ගේ ෆලාංග් ප්‍රචාරත් පක්ෂය ඡන්දවලින් සියයට 10 – 25ක් අතර ප්‍රමාණයක් ලබා ගනිතැ යි විවිධ අනාවැකිවලින් කියැවුණා. Future Forward පක්ෂය ද සියයට 10ක පමණ ඡන්ද ලබා ගනිතැයි අපේක්ෂා කෙරෙනවා. විශේෂයෙන්ම තරුණ ඡන්ද දායකයන් අතර එම පක්ෂය ජනප්‍රියත්වය දිනාගෙන තිබෙනවා.

උත්තර මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීන් 250 දෙනා නම් කරන අය වන හෙයින් මෙම මැතිවරණයෙන් හමුදාවට එරෙහි පාලනයක් බිහි නොවනු ඇති. මෙම මැතිවරණයේ දී හමුදාවට පක්ෂ ෆලංග් ප්‍රචාරත් පක්ෂයට විශාල ඡන්ද ප්‍රමාණයක් ලබාගත නොහැකි වුවහොත් ප්‍රයුත්ට ජනතාවගේ ප්‍රසාදය නැති බව හෙළි වනු ඇති. එය ඔහුගේ අනාගත පාලනය පිළිබඳ ගැටළු ඇති කරන බව පැහැදිලි යි.

Cover Image: ජෙනරල් ප්‍රයුත් චාන්-ඕ-චා (Bloomberg)

Related Articles