Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පසුගිය සතියේ කතාබහට ලක් වූ සිදුවීම් ගැන විමසුමක්

උද්ගත වී ඇති ආර්ථික සහ දේශපාලන අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව පිළිබඳව ලොව පුරා රටවල අවධානය යොමු වේ. ශ්‍රී ලාංකිකයෝ  ද වෙනත් කාලවලට වඩා රටේ සිදුවීම් පිළිබඳ ව දැනගැනීමට වැඩි උනන්දුවක් දක්වති.

ඒ නිසා රටේ පසුගිය සතිය තුළ වැඩි වශයෙන් කතාබහට ලක් වූ දේශපාලන, ආර්ථික සහ සමාජ ක්ෂේත්‍රයන්හි සිදුවීම් පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එන්න Roar සිංහල අපි තීරණය කළා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ තායිලන්තයට පැමිණි අවස්ථාවේ ඡායාරූපයක් – infotourism.news

ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයට

දැවැන්ත මහජන විරෝධතා හමුවේ ප්‍රථමයෙන් ම මාලදිවයිනට, සහ ඉන් අනතුරු ව සිංගප්පුරුවට පලා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගෝස්තු 11 වැනි දින එහි සිට තායිලන්තය බලා පිටත් ව ගොස් තිබේ. පූර්ණකාලීන රැකවරණය ලබා දීමට වෙනත් රටක් එකඟ වන තුරු, මානුෂිය හේතු මත, ඔහුට තායිලන්තයේ රැඳී සිටීම සඳහා එරට බලධාරීන් අවසර දී ඇති බව වාර්තා වේ. එරට රැඳී සිටින කාලය තුළ කිසිදු දේශපාලන කටයුත්තක නොයෙදිය යුතු බවට ද තායිලන්ත අග්‍රාමාත්‍යවරයා, ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී තිබේ.

හදිසි නීතිය ගැන අතිවිශේෂ ගැසට් නිවේදනයක්

මහජන ආරක්ෂක පනත යටතේ එවකට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජූලි 18 වැනි දින ප්‍රකාශයට පත් කළ හදිසි නීති රෙගුලාසි කිහිපයක් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්  පසුගිය සිකුරාදා නිකුත් කර තිබිණි. ජනාධිපතිවරයා නිකුත් කළ මෙම ගැසට් නිවේදනය මගින් සෝදිසි කිරීම් සහ අත්අඩංගුවට ගැනීම පිළිබඳ දණ්ඩ නීති සංග්‍රහයේ එන වගන්ති කිහිපයක් ඉවත් කර, තවත් වගන්ති කිහිපයක් ඊට ඇතුළත් කර ඇත.

හදිසි නීති රෙගුලාසි යටතේ සමරිසි පුද්ගලයන් රැඳී සිටින ස්ථාන සෝදිසි කිරීමට සහ ඔවුන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට බලය පැවරෙන වගන්ති සම්බන්ධයෙන් පාර්ශව ගණනාවක් සිදු කළ විරෝධතාවට ප්‍රතිචාරයක් වශයෙන් අදාළ වගන්ති ඉවත් කර ඇත.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත – www.parliament.lk

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට අගෝස්තු 10 වැනි දින ඉදිරිපත් කළේය. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ලෙස හැඳින්විය යුතු වුවත්, සමගි ජන බලවේගය සකස් කළ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් මේ වන විටත් ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇති බැවින් මෙය 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස හැඳින්වේ. මෙම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් බොහෝ පාර්ශව සිය ප්‍රසාදය පල කර තිබේ. මෙහි ජනාධිපතිවරයාගේ යම් යම් බලතල සීමා කිරීම, ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීම, සහ ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කිරීම වැනි කරුණු රැසක් ඇතුළත් වේ.

මරණ තර්ජන එල්ල වූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ ජනාධිපති ධුරය සඳහා සුදුසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තෝරා ගැනීම සඳහා පසුගිය දා පැවති ඡන්ද විමසීමට පෙර තමන්ට මරණ තර්ජන එල්ල වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් සහ සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් චෝදනා කළහ.

ඔවුන් චෝදනා කළේ විවිධ අල්ලස් ලබා දී රනිල් වික්‍රමසිංහට ඡන්දය ලබා දෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලපෑම් එල්ල වූ බවත්, එවැනි අල්ලස් භාර නොගත් සමහර මන්ත්‍රීවරුන්ට මරණ තර්ජන එල්ල වූ බවත් ය. මෙම චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන, පොලිස්පති චන්දන වික්‍රමරත්නට දැනුම් දී තිබේ.

2018 දී එවකට කතානායක කරූ ජයසූරියට පහර දීමට උත්සහ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු – www.stuff.co.NZ

පාර්ලිමේන්තුවට වෙන ම නීතියක්ද?

පොදු දේපළ පනත හෝ වෙනත් සාමාන්‍ය නීති පාර්ලිමේන්තුව තුළ හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අදාළ නොවන බවට කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පසුගියදා සඳහන් කළේ ය.ජනාධිපති මන්දිරය වැනි රජයේ ගොඩනැඟිලිවලට පසුගිය දිනවල  ඇතුළු වූ පුද්ගලයන් පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට ගත්තත්, 2018 ‘දින 52 ආණ්ඩුව’ කාල සීමාව තුළ පාර්ලිමේන්තුවේ දේපළවලට හානි කළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් මේ වන තෙක් ගෙන නොතිබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඔහු ඒ බව සඳහන් කළේ ය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ ඇති වූ කතාබහක් අතරතුර කතානායකවරයා සඳහන් කළේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රටේ පොදු නීතියට යටත් බව යි.

අවලංගු වූ ජනපති- ජනතා විමුක්ති පෙරමුණ හමුව

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනාවකට අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පක්ෂ නියෝජිතයන් පිරිසක් පසුගිය 9 දින ජනාධිපතිවරයා සමඟ සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡාවකට සහභාගී වීමට නියමිත ව තිබිණි. කෙසේ වෙතත් සාකච්ඡාවට පැය කිහිපයකට පෙර, එනම් 8 වැනි දින රාත්‍රියේ ජනතා විමුක්ති පෙරමුණ නිවේදනය කළේ ජනාධිපතිවරයා සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා සහභාගී නොවීමට පක්ෂය තීරණය කර ඇති බව යි.

ගාලුමුවදොර අරගල බිම –  www.lankasara.com

ගාලුමුවදොර අරගල බිමෙන් සමුගත් අරගලකරුවෝ

එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් පසුගිය අප්‍රේල් 9 වැනි දින ආරම්භ වූ ගාලුමුවදොර අරගල බිම පසුගිය 10 දින ඉවත් කරගන්නා බව එහි ක්‍රියාකාරීහු නිවේදනය කළහ. මාස හතරක කාලයක් පුරාවට ක්‍රියාත්මක වූ මෙම ජනතා අරගලය ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූ අතර, එහි ප්‍රතිපලයක් ලෙස ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුරයෙන් ඉවත් වී රටින් පලා යාමට පවා සිදු විය. එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් පිරිසක් පසුගිය මැයි 9 වැනි දින මෙම මහජන විරෝධතා භූමියට සහ එහි සිටි පුද්ගලයන්ට ප්‍රහාරයක් එල්ල කිරීම, සහ ජූලි 22 දින ආරක්ෂක අංශ සාමාජිකයන් යොදවා එහි සිටි පිරිසට පහරදීම වැනි සිදුවීම් නිසා මෙම ගාලුමුවදොර අරගල බිම සමාජය තුළ නිරන්තරයෙන් කතාබහට ලක් විය. අරගල භූමිය ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්‍රියාකාරීන් සඳහන් කළේ ගාලුමුවදොර අරගල බිම ඉවත් කළ ද ජනතා අරගලය අඛණ්ඩ ව ඉදිරියට ගෙන යන බව යි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට අධි චෝදනා

සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලයේ, එනම් 2012 වසරේ මැතිවරණ කටයුතු සඳහා ලංකා සතොස ආයතනයේ සේවකයන් යොදාගැනීමෙන් රජයට රුපියල් මිලියන 8.4ක අලාභයක් සිදු කර ඇති බවට චෝදනා එල්ල වී ඇති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනකුට පසුගිය 9 වැනි දින කොළඹ මහාධිකරණය අධි චෝදනා භාර දුන්නේ ය. අධි චෝදනා භාර දීමෙන් අනතුරු ව සැකකරුවන් තිදෙනා රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ නියෝග කළේ ය.

බරපතල සිර දඬුවමක් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රංගන ශිල්පී රන්ජන් රාමනායක – groundviews.org

 

රන්ජන්ට සමාව දෙන්න කොන්දේසියක්

අධිකරණයට අපහස කිරීමේ චෝදනා මත වසර හතරක බරපතල සිර දඬුවමක් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රංගන ශිල්පී රන්ජන් රාමනායකට සමාව ලබා දීම සඳහා ඔහු අධිකරණය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කර අධිකරණයට දිවුරුම් පෙත්සමක් භාර දිය යුතු බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පසුගිය දා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ මේ වන විටත් සැලකිය යුතු කාලයක් සිර දඬුවම් විඳ තිබීම, යහපත් කල් ක්‍රියාවෙන් පසුවීම, සහ සමාජයට යම්කිසි සේවාවක් සිදු කළ හැකි පුද්ගලයෙක් වීම වැනි හේතු මත රන්ජන් රාමනායකට ජනාධිපති සමාවක් ලබා දීම සුදුසු වුවත්, එය සිදු කළ යුත්තේ අධිකරණය කිසිදු ආකාරයකින් හෑල්ලුවට ලක් නොවන ආකාරයෙන් බව යි.

‘අගෝස්තු 9’/ ජාතික විරෝධතා දිනය

ජනතාවට සහන සලසන ලෙස සහ ජනතා අරගලයට සම්බන්ධ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම් නවතන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ රජයට බල කරමින් සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සහ දේශපාලන කණ්ඩායම් අගෝස්තු 9 වැනි දින විරෝධතා මාලාවක් සංවිධානය කර තිබිණි. එහි ප්‍රධාන විරෝධතාව කොළඹ විහාරමහාදේවි (වික්ටෝරියා) උද්‍යානය අසල දී ආරම්භ විය. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සංවිධානය කර තිබූ එම විරෝධතාවයට ආගමික නායකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

ඔවුන් පා ගමනින් විහාරමහාදේවි උද්‍යානය අසල සිට කොළඹ නිදහස් චතුරශ්‍රය කරා ගමන් කර එහිදී ජනාධිපතිවරයාට සහ රජයට විරෝධය පළ කරමින් මහජන ප්‍රකාශයක් ද නිකුත් කර තිබිණි. එදින දිවයිනේ තවත් බොහෝ ප්‍රදේශවල ද විරෝධතා සංවිධානය කර තිබිණි. මෙම විරෝධතාව පැවැත්වීම වලක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස කුරුඳුවත්ත පොලිසිය 8 වැනි දින සිදු කළ ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබිණි.

අගෝස්තු 9 විරෝධතා –  www.facebook.com- Mahinda Jayasinghe

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අතරතුර පලා ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

එක්සත් රාජධානියේ බර්මිංහැම් හි පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා පිටත් ව ගොස්, පසුව එක්සත් රාජධානියේ රැඳී සිටීමේ අරමුණින් පලා ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ක්‍රීඩා නිලධාරීන්ට විරුද්ධව දැඩි පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍යංශය පසුගිය දා නිවේදනය කළේ ය. අමාත්‍යංශය සඳහන් කර තිබුණේ මෙවැනි සිදුවීම් නිසා ඉදිරියේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වීසා නිකුත් කිරීමට අදාළ කටයුතුවලදී ගැටලු ඇති වීමේ අවදානමක් මතුව තිබෙන බව ය. ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා පිටත් ව ගිය කණ්ඩායමේ සාමාජිකයන් 160ක් අතරින් 10 දෙනෙක් (ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9ක් සහ කළමනාකරුවෙක්) පලා ගොස් තිබූ අතර, ඉන් දෙදෙනෙක් සොයා ගැනීමට එරට පොලිසියට හැකි වූ බව පසුගියදා වාර්තා විය.

ජෝසප් ස්ටාලින්ට ඇප

කොළඹ දී පසුගිය මැයි මාසයේ පැවති විරෝධතාවකට අධිකරණ නියෝගයක් නොතකමින් සහභාගී වීම යන චෝදනාව යටතේ කොළඹ කොටුව පොලිසිය අගෝස්තු 3 වැනි දින අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව රක්ෂිත බන්ධනාගාරගත කළ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අගෝස්තු 8 වැනි දින රුපියල් ලක්ෂ පහක වටිනාකමින් යුතු ශරීර ඇප දෙකක් මත නිදහස් විය.

ජෝසප් ස්ටාලින් – www.facebook.com- Ceylon Teachers’ Union

වසර නවයකට පසු විදුලිය බිල ඉහළට

විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සිදු කළ ඉල්ලීමකට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය පසුගිය 9 වැනි දින හිමි විය. එම ගාස්තු ඉහළ දැමීමට අනුව මෙම මස පටන් විදුලි ගාස්තු සියල්ල 75%ක සාමාන්‍ය අගයකින් ඉහළ දැමීමට නියමිත ය. විදුලිය ගාස්තු 183%කින්, සහ 229%කින් වශයෙන් ඉහළ දැමීමට විදුලිබල මණ්ඩලය අවසර ඉල්ලා තිබුණත් ඒ සඳහා අවසර නොදුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කර තිබිණි. අනුමැතිය ලබා දී ඇති ගාස්තු සංශෝධනය අනුව විදුලිය ඒකක 30ක් හෝ ඊට අඩු ඒකක ප්‍රමාණයක් සඳහා අය කරන මුදල ආසන්න වශයෙන් රුපියල් 198කුත්, ඒකක 30-60 අතර ප්‍රමාණයක් සඳහා ආසන්න වශයෙන් රුපියල් 599කුත්, සහ ඒකක 61-90 අතර ඒකක ප්‍රමාණයක් සඳහා ආසන්න වශයෙන් රුපියල් 1,461කුත් වනු ඇති.

නාගරික ප්‍රදේශවල සමාජ විරෝධී ක්‍රියා මැඩලීමට නව නීති

නාගරික ප්‍රදේශවල ජීවත් වන තරුණ සහ ළමා ප්‍රජාව ඉලක්ක කර ගෙන ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය සහ අනිකුත් සමාජ විරෝධී ක්‍රියා මැඬලීම සඳහා නව නීති හඳුන්වා දීම පිළිබඳ ව රජයේ අවධානය යොමු වී තිබේ. නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය පසුගියදා සඳහන් කළේ පොලිසිය සහ ආගමික ස්ථාන මූලික කර ගනිමින් දැනමටත් එවැනි සමාජ විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා වන වැඩසටහන් ක්‍රියාත්මක වුවත්, ඒ සඳහා නව නීති රීති හඳුන්වා දීම වැදගත්  බව යි. එබැවින් ඉදිරි කාලයේ දී ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යංශය නිවේදනය කර තිබිණි.

ගෑස් මිල දී ගැනීමට පෝලිමක රැඳී සිටින ජනතාව – www.ucanews.com

පහළ ගිය ගෑස් මිල

ලිට්‍රෝ ගෘහස්ත ගෑස් මිල අගෝස්තු 8 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පහළ දැමීමට එම සමාගම කටයුතු කළේ ය. මෙම මිල අඩු කිරීම යටතේ කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246කින්, කිලෝග්‍රෑම් පහක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 99කින් සහ කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 45කින් අඩු විය. පසුගිය මාස කිහිපය පුරාවට රට පුරා පැවති ගෑස් හිඟය මේ වන විට පහව ගොස් තිබෙන බවත් වාර්තා වේ.

ගොවීන්ට අවශ්‍ය ඉන්ධන ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක්

යල කන්නයේ වී අස්වැන්න නෙළීම මේ වන විට ආරම්භ වී ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය ඉන්ධන ගොවීන්ට සැපයීමට කෘෂිකර්ම අමාත්‍යංශය විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබේ. යල කන්නයේ අස්වනු නෙළීම සඳහා ඩීසල් ලීටර් මිලියන 20.27 ක් අවශ්‍ය බව ගණන් බලා තිබේ. QR කේත ක්‍රමය භාවිත කිරීමෙන් තොරව එම ඉන්ධන ප්‍රමාණය ගොවි සංවිධාන හරහා ගොවීන්ට නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කර තිබිණි. මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහ ගොවි සංවිධාන නියෝජිතයන් අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.

Yuan Wang 5 vessel | ANI
ආන්දෝලනයකට තුඩු දී ඇති ‘Yuan Wang 5’ චීන නෞකාව – theprint.in

ආන්දෝලනයකට තුඩු දී ඇති ‘Yuan Wang 5’ චීන නෞකාව

මේ වන විට ආන්දෝලනයකට තුඩු දී ඇති චීනයට අයත් විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් වන ‘Yuan Wang 5’ නෞකාව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විදේශ අමාත්‍ය අලි සබ්රි රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පසුගියදා සඳහන් කළේ ය. මෙම නෞකාවට හම්බන්තොට වරායට ළඟා වීම සඳහා අවශ්‍ය නිෂ්කාෂණ මීට ලබා දී තිබුණත්, හම්බන්තොට වරායට ළඟා වීම කල් දමන්නැයි විදේශ අමාත්‍යංශය මෙරට චීන තානාපති කාර්යයාලයට දැනුම් දී තිබිණි. චීනයට අයත් නෞකාවක් වන මෙය ශ්‍රී ලංකාවට ළඟා වීම හරහා සිය ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව පවසමින් ඉන්දියාව මෙම නෞකාව ශ්‍රී ලංකාවට ළඟා වීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර තිබේ.

ග්ලයිෆොසෙට් ආනයන තහනම ඉවතට

වල්නාශකයක් වන ග්ලයිෆොසෙට් ආනයනය මත පනවා තිබූ තහනම ඉවත් කරමින් මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් පසුගිය දා නිකුත් කර තිබිණි. ගොවීන්ගෙන් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍ය මණ්ඩලයෙන් පසුගිය දා ඉල්ලීමක් කර තිබිණි. අගෝස්තු 5 සිට බලපැවැත්වෙන පරිදි මෙම තහනම ඉවත් කර තිබේ. රට තුළ පවතින විදේශ විනිමය හිඟය හමුවේ ග්ලයිෆොසෙට් ආනයනය සඳහා වන වියදම දැරීම රජයට අපහසු බැවින්, ඉදිරියේ දී ග්ලයිෆොසෙට් ආනයනය සඳහා පුද්ගලික අංශයට අවසර දීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කර තිබිණි.

වතු කම්කරු ජනතාව – www.ft.lk

වතු කම්කරුවන්ට රු. 1,000ක් ගෙවීම ගැන ගොනු කළ පෙත්සම ඉවතට

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 1,000 දක්වා ඉහළ දැමීමට කම්කරු දෙපාර්තමේන්තුවේ වැටුප් පාලක මණ්ඩලය ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් ලංකා හාම්පුතුන්ගේ සංගමය (Employers Federation of Ceylon) අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම පසුගිය 9වැනි දින ප්‍රතික්ෂේප විය.

2021 වසරේ මාර්තු මාසයේ දී ගොනු කළ අදාළ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත්තේ අදාළ වැටුප් වැඩි වීම තීරණය කිරීමේ දී කම්කරු දෙපාර්තමේන්තුව යටතේ එන අදාළ වැටුප් පාලක සභාව නියමිත ක්‍රමවේදය අනුගමනය කර ඇති බවට නිගමනය කිරීමෙන් අනතුරුව යි.

කවරයේ ඡායාරූපය- ගෝඨාභය රාජපක්ෂ සිය බිරිය සමඟ තායිලන්තයට පැමිණි අවස්ථාව -  www.reuters.com/world 

මූලාශ්‍ර:

www.themorning.lk

www.dailymirror.lk

www.parliament.lk

www.newsfirst.lk

Related Articles