බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්ව යාම හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය අවුල් ජාලයක් බවට පත්ව තිබෙනවා. පසුගිය දිනවල මේ පිළිබඳව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඡන්ද ගණනාවක්ම පැවැත්වුණා. දැන් සිදු වෙන්නේ මොකක්ද කියන දේ ගැන ටිකක් සොයා බලන්න අපි තීරණය කළා.
බ්‍රෙක්සිට් කල් යයි ද?
පවතින තත්ත්වය යටතේ කලින් බලාපොරොත්තු වූ පරිදි මාර්තු 29 වනදා බ්‍රෙක්සිට් සිදු නොවන තත්ත්වයක් මතුව තිබෙනවා. මෙය මීළඟ දින කිහිපයේ දී තහවුරු වනු ඇති. දැනට පෙනෙන අන්දමට කාල දිගුවක් ලබාගැනීම පිළිබඳ යුරෝපා සංගමයේ ද අකමැත්තක් නැහැ. නමුත් මේ කල් දමාගැනීම කොතෙක් කාලයක් සඳහා ද යන්න තවම පැහැදිලි නැහැ.
බ්‍රිතාන්‍යය ඉල්ලා සිටින්නේ දිගු කාල දිගුවක් ද, කෙටි කාල දිගුවක් ද යන්න තීරණය කෙරෙනු ඇත්තේ මාර්තු 20 වන දා යි. කෙටි දිගුවකට යුරෝපා සංගමය එකඟ වුව ද දිගු දිගුවකට එකඟ වේ ද යන්න ද සැක සහිත යි. මේ අනුව තවමත් අප සිටින්නේ අවිනිශ්චිත තැනක යි.
කතාවේ පසුබිම මොකක් ද?
2016 ජූනි 23 වන දා බ්‍රිතාන්‍යයේ පැවති ජනමත විමසුමකින් ජනතාව බහුතරය කියා සිටියේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බව යි. මේ අනුව බ්‍රිතාන්‍යය ලිස්බන් ප්‍රඥප්තියේ 50 වන වගන්තිය ක්‍රියාවට නැගුවේ 2017 මාර්තු 29 වන දා යි. මෙම වගන්තිය ක්‍රියාවට නගා වසර දෙකකින් අදාල රට යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු යි.
නමුත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ සාමාජික රටක් විදියට ආර්ථික, ආරක්ෂක ආදී විවිධ ගිවිසුම්වලට පැමිණ තිබෙනවා. ඉතින් බ්‍රිතාන්‍යය එම සංවිධානයෙන් ඉවත් වීමේ දී එම ගිවිසුම්වලට කුමක් සිදු වේ ද යන්න පිළිබඳ යම් එකඟතාවක් ඇතිව ඉවත්වීම එම කටයුත්ත පහසු කරවන බවට සැකයක් නැහැ. මේ සඳහා අගමැතිණි තෙරේසා මේ, යුරෝපා සංගමය සමග එකඟතාවයකට පැමිණියේ මීට මාස කිහිපයකට පෙර යි.
මෙම එකඟතාව 2019 ජනවාරි 15 වන දා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමක් සඳහා ලක් කෙරුණා. එහිදී ඊට පක්ෂව ඡන්ද 202ක් ද විපක්ෂව ඡන්ද 432ක් ද ලැබුණා. පවතින රජයක් පාර්ලිමේන්තුවේ දී ලද බරපතලම පරාජය ලෙස මෙය බ්‍රිතාන්‍ය ඉතිහාසයට එක් වුණා.
මෙහිදී තිබුණු මූලික ප්‍රශ්නය වුණේ අයර්ලන්ත දේශසීමාව පිළිබඳ ගැටළුව යි. අයර්ලන්ත අර්බුදය සමථයකට පත් කිරීම සඳහා අත්සන් කෙරුණ මහ සිකුරාදා ගිවිසුමෙන් පසු අයර්ලන්තය සහ උතුරු අයර්ලන්තය අතර දේශසීමා බාධක ඉවත් කෙරුණා. නමුත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වූ විට මෙම දේශසීමාව පිළිබඳ ගැටළුවක් මතු වනවා. අයර්ලන්තය යුරෝපා සංගමයේ සාමාජිකයකු වීම ඊට හේතුව යි. යුරෝපා සංගමය එකම තීරුබදු කලාපයකට අයත් නිසා බ්‍රිතාන්‍යය ඉන් ඉවත් වුවහොත්, එම කලාපයට අයත් වන්නේ නැහැ. එවිට අයර්ලන්ත දේශසීමාවෙන් අයර්ලන්තය තුළට එන භාණ්ඩ පරීක්ෂා කිරීමක් සිදු කරන්නට වෙනවා. නමුත් අයර්ලන්තය මෙසේ සීමා පැනවීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. යුරෝපා සංගමය කියා සිටින්නේ එවැන්නක් අවශ්‍ය බව යි. බ්‍රිතාන්‍යයේ මේ පිළිබඳ විවිධ මතයන් පවතිනවා.
නව එකඟතාවය ද පරාද යි
තෙරේසා මේ සිය මුල් එකඟතා ගිවිසුම අන්ත පරාජයට පත් වීමෙන් පසු නැවත යුරෝපා සංගමය සමග සාකච්ඡා කිරීමට වුණා. මේ අතර එකඟතා ගිවිසුම පිළිබඳ නව ඡන්ද විමසීමක් මාර්තු 12 වන දාට සූදානම් කෙරුණා.
නව සාකච්ඡාවලින් පසු මාර්තු 11 වනදා තෙරේසා මේ ප්‍රකාශ කළේ තම රජය නව එකඟතාවයක් ඇති කරගත් බව, සහ එයින් අයර්ලන්ත දේශසීමාව පිළිබඳ ගැටළුව බ්‍රිතාන්‍යයට වාසිදායක ලෙස අවසන් වන බව යි.
මේ අනුව මාර්තු 12 වනදා පැවති පාර්ලිමේන්තු විවාදයේදී මෙම නව එකඟතාව සම්මත කරනු ඇතැයි තෙරේසා මේ බලාපොරොත්තු පළ කළා. නැවත වතාවක් සිදු වූයේ අනෙකක්. මෙම ගිවිසුම ද අන්ත පරාජයකට පත් කෙරුණා.
එහිදී මෙම එකඟතාවයට පක්ෂව ඡන්ද 242ක් ද, විපක්ෂව ඡන්ද 391ක් ද ලැබුණා. මෙය කලින් වතාවේ ඇයගේ යෝජනාවලිය ප්‍රතික්ෂේප වූවාට වඩා අඩු පරාජයක් වුව ද ඡන්ද 149කින් සිය යෝජනාවලිය පරාජය වීම තෙරේසා මේ ලද දැවැන්ත පරාජයක් වනවා.
එකඟතාවකින් තොර බ්‍රෙක්සිට්
මේ අනුව මීළඟ දිනයේ දී පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට භාජනය වූයේ එකඟතාවකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත් වීම යි. මෙය ඉංග්‍රීසියෙන් No-Deal Brexit වශයෙන් හඳුන්වා දෙනවා. මාර්තු 12 දින තෙරේසා මේ ලද පරාජයත් සමග No-Deal Brexit සිදුවීමේ සම්භාවිතාව වැඩි වුණා. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට තිබුණ ගැටළුව වූයේ එවැන්නකට ඉඩ දෙන්නේ ද යන්න යි.
මාර්තු 13 වන දා පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමක දී පාර්ලිමේන්තු මන්ත්‍රීන් ප්‍රකාශ කළේ කිසිදු අවස්ථාවක සඳහා ඉඩ නොදිය යුතු බව යි. එනම් යුරෝපා සංගමය සමග යම් එකඟතාවක් ඇති කරගෙන එයින් ඉවත් විය යුතු බව යි. මෙය ඉතා සුළු වැඩි ඡන්ද සංඛ්‍යාවකින් සම්මත වූ යෝජනාවක් වුණා. ඒ ඡන්ද 312ට 308ක් ලෙස වැඩි ඡන්ද 4කින්.
මාර්තු 29 වන දා බ්‍රෙක්සිට් සිදු නොකිරීමට සහ වෙනත් අවස්ථාවක අවශ්‍ය නම් ගිවිසුමකින් තොරව බ්‍රෙක්සිට් සිදු කිරීම පිළිබඳව ඡන්ද විමසීමක් පවත්වනු ලැබුණා. එහිදී ද මන්ත්‍රීන් 321ට 278ක් ලෙස පාර්ලිමේන්තුව සඳහන් කළේ ගිවිසුමක් සහිතව ඉවත්වීම සිදුවිය යුතු බව යි.
බ්‍රෙක්සිට් සඳහා කල් ගැනීම
මාර්තු 14 වන දා පාර්ලිමේන්තුව තවත් යෝජනා කිහිපයක් සලකා බැළුවා. එයින් එකක් වූයේ නැවත බ්‍රෙක්සිට් පිළිබඳ ජනමත විචාරණයක් පැවැත්වීම යි. බ්‍රෙක්සිට් ක්‍රියාවලිය අවුලක් වී ඇති හෙයින් එවැන්නක් අවශ්‍ය බව තර්කයක් ගොඩනැගී තිබුණා. නමුත් පාර්ලිමේන්තුවේ දී එම යෝජනාව ප්‍රතික්ෂේප කෙරුණා.
මෙම යෝජනාවට විපක්ෂව ඡන්ද 334ක් ලැබුණා. පක්ෂව ලැබුණේ ඡන්ද 85ක් පමණ යි. මේ අතර දෙවන ජනමත විමසුමක් අවශ්‍ය බව ප්‍රකාශ කරන මන්ත්‍රීන් කණ්ඩායමක්, මෙය ඒ සඳහා සුදුසු කාලය නොවන බව සඳහන් කරමින් ඡන්දය දීමෙන් වැළකී සිටියා.
මින් පසුව පාර්ලිමේන්තුව විසින් බ්‍රෙක්සිට් සඳහා නියමිත දිනය දිගු කරගැනීමට යෝජනාවක් සම්මත කරගනු ලැබුණා. මීට පක්ෂව ඡන්ද 412ක්, සහ විපක්ෂව ඡන්ද 202ක් ලැබී තිබුණා.
කෙසේ වෙතත් මේ වටයේදී තවත් පාර්ලිමේන්තු ඡන්දයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ මාර්තු 20 වන දා යි. තෙරේසා මේ තම බ්‍රෙක්සිට් ගිවිසුම තුන්වන වරටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති. එහිදී එය සම්මත වුවහොත් බ්‍රෙක්සිට් සඳහා ජූනි 30 තෙක් කල් ඉල්ලීමටත්, එය සම්මත නොවුණොත්, ඊට වඩා දිගු කාලයක් ඉල්ලීමටත් මේ බලාපොරොත්තු වනවා.
බ්‍රෙක්සිට් සඳහා කල් ලබා දෙන්නේ ද යන අවසන් තීරණය අනෙක් යුරෝපා රටවල් 27 සතු යි. එමෙන්ම එය ඒකමතික තීරණයක් ද විය යුතු යි. දැනට ජූනි 30 දක්වා දිගුවක් සඳහා විශාල විරෝධයක් පෙනෙන්නේ නැහැ. නමුත් යුරෝපා නායකයන් පවසන්නේ බ්‍රිතාන්‍යයේ තීරණය මීට වඩා පැහැදිලි ලෙස ඉදිරිපත් විය යුතු බව යි. පවතින ව්‍යාකූලත්වය ඔවුනගේ දැඩි විරෝධයට හේතු වනවා.