Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයේ පසුවිපරම

ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනියැපොලිස්හි දී ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයා මැයි 25 වෙනිදා පොලිස් අත්අඩංගුවේ පසුවන විට ඝාතනයට ලක් වෙනවා. සුදු ජාතික පොලිස් භටයෙක් වන ඩෙරෙක් චාවින් බිම වැටී සිටින ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ගෙල සිය දණහිස නවා සිරකරන වීඩියෝ පටයක් ද මාධ්‍ය ජාලවල සැරිසරනවා. ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ගෙල සිරකිරීම හා අනතුරුව ඔහු මරණයට පත්වීම හේතුවෙන් ඇමෙරිකාව පුරා ආරම්භ වූ විරෝධතා රැල්ල මේ වන තුරු අවසන් වී නෑ. 

පොලීසිය අතින් කළු ජාතිකයන් ඝාතනය වීම 

BlackLivesMatter (nbcnews)

ඇමෙරිකානු පොලීසිය විසින් පසුගිය වසර කිහිපයේ දීම මරා දැමූ පුද්ගලයන් අතරින් සුදු ජාතිකයන්ට වඩා වැඩි ප්‍රතිශතයක් ගන්නේ කළු ජාතිකන් බව එරට රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් විසින් කරන ලද අධ්‍යයනයන් කිහිපයක දී හෙළි වී තිබෙනවා. 2013 වසරේ දී බිහි වූ BlackLivesMatter (කළු ජීවිත ද වටී) ව්‍යාපාරය ද එම ඝාතනයන්ගේ ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකි යි. 

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය 

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ගෙල සිර කිරීම (dw)

හොර නෝට්ටුවක් සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු ඔත්තුවක් අනුව පසුගිය 25 වන දා මිනියැපොලිස් පොලිස් නිලධාරීන් 4 දෙනෙකු ජෝර්ජ් ෆ්ලොයිඩ් සැකපිට අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා. ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව මාංචු දමා බිම පෙරලාගන්නා එක් නිලධාරියෙක් ඔහුගේ දණ හිසෙන් ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ගෙල සිර කරනු ලබනවා. එහිදී ”මට හුස්ම ගන්න බැහැ… මාව මරන්න එපා…” යනුවෙන් ජෝර්ජ් ෆ්ලොයිඩ් අයදින අන්දම, නිකුත් වී ඇති වීඩියෝවේ පැහැදිලිව සටහන් වී තිබෙනවා. ටික මොහොතකට පසුව නිලධාරීන් විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ නාඩි වැටෙන අන්දම නිරීක්ෂණය කිරීමෙන් නාඩි වැටීම දුර්වල බව වටහාගන්නවා. පසුව පොලිස් නිලධාරීන්  විසින් හැකි ඉක්මනින් ඔහුව රෝහල්ගත කරනු ලබනවා. නමුත් ඒ වන විටත් ඔහු මියගොස් ඇති බව සඳහන්.

ඇමෙරිකාව පුරා ප්‍රබල විරෝධතා මාලාවක්

පොලිස් මෝටර් රථ ගිනි තැබීම (nydailynews)

ඔහුගේ මිය යාමත් සමග මෙය කළු ජාතිකයෙකු එල්ල කරගෙන කළ අමානුෂික මිනීමැරුමක් බවත්, එයට සාධාරණයක් ඉටු කරන ලෙසත් පවසමින් එම ප්‍රදේශයේ ඇමෙරිකානුවන් පිරිසක් ඔහු මිය ගිය ස්ථානයේ විරෝධතාවක් ආරම්භ කරනවා. පසුව මෙම විරෝධතා එරට ප්‍රාන්ත 16කට වැඩි ප්‍රමාණයක නගර 30කට වැඩි ප්‍රමාණයක් පුරා පැතිර යනවා. පැතිර ගිය විරෝධතා ඉතා උණුසුම් ආකාරයක් ගන්නා අතර පොලිස් ස්ථානවලට පහරදීම, පොලිස් රථවාහනවලට ගිනි තැබීම, වෙළඳ සංකීර්ණයන් මංකොල්ල කෑම හා ගිනි තැබීම වැනි උග්‍ර ප්‍රචණ්ඩකාරී ක්‍රියා විරෝධතා පැවැත්වෙන ස්ථානවලින් වාර්තා වෙනවා. මේ හේතුවෙන් කැලිෆෝනියා, ෆ්ලොරිඩා, ජෝර්ජියා, හා නිව් යෝර්ක් ඇතුළු ප්‍රාන්ත කිහිපයක් සඳහා ඇදිරි නීතිය පැනවීමට එරට මධ්‍යම රජය කටයුතු කරනවා.

අවස්ථා කිහිපයක දීම පොලිස් නිලධාරීන් හා කැරලිකරුවන් අතර ගැටුම් නිර්මාණය වී ඇති අතර, ඒ හේතුවෙන් කැරලිකරුවන් තිදෙනෙකුට වඩා මියගොස්  ඇති බවත්, තවත් විශාල ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවත් වාර්තා වෙනවා. අත්අඩංගුවට ගත් කැරලිකරුවන් ප්‍රමාණය 1000 ඉක්මවා ගොස් තිබෙනවා. පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බවත් වාර්තා වෙනවා. විරෝධතාවල ප්‍රචණ්ඩත්වය දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් මේ වන විට ඒවා පාලනය කිරීමට පොලිසියට අමතරව එරට ජාතික ආරක්ෂක බලමුළුවේ සාමාජිකයන් ද යෙදවීමට රජය තීරණය කර තිබෙනවා. 

මේ වන විට විරෝධතා ඇමරිකාවෙන් එපිටට ද ව්‍යාප්තව ඇති අතර ප්‍රංශය, කැනඩාව, ඕස්ට්‍රේලියාව හා ජර්මනිය ඇතුළු රටවල් ගණනාවක ඒවා ක්‍රියාත්මක වෙනවා.

ට්‍රම්ප් ධවල මන්දිරයේ භූගත බංකරයක සැඟවුණා ද?

උද්ඝෝෂකයන් ධවල මන්දිරය ඉදිරිපිට (api.time)

විරෝධතා ක්‍රමක්‍රමයෙන් දරුණු අතට පත්වන විට විරෝධතාකරුවන්ට විරුද්ධව අවවාදාත්මක ට්විටර් පණිවුඩ කිහිපයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනවා. ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය පිළිබඳව තමන් කණගාටු වන බවත්, එම මරණය හරහා පොදු දේපළ විනාශ කරමින් ඇමෙරිකාව අරාජික කරන්නන්ට විරුද්ධව උපරිම වශයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු නිවේදනය කරනවා. සැමට එක හා සමානව නීතිය ක්‍රියාත්මක වන බවත් උද්ඝෝෂකයන්ට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඔහු ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ට දන්වා සිටිනවා.

ට්‍රම්ප්, ආරක්ෂාව මධ්‍යයේ (kcrw)

මෙයට පිළිතුරු ලෙස විරෝධතාකරුවන් ධවල මන්දිරය අසල ද උද්ඝෝෂණයක් ආරම්භ කරන අතර, ඒ හේතුවෙන් ජුනි 1 වන දා ජනාධිපතිවරයා ධවල මන්දිරයේ අධි ආරක්‍ෂිත භූගත බංකරයක සැඟවුණු බව මාධ්‍ය විසින් සඳහන් කරනවා. නමුත් ඒ සම්බන්ධයෙන් ධවල මන්දිරයෙන් ප්‍රකාශයක් නිකුත් කර නැහැ. පසුව දා සුපුරුදු පරිදි ජනාධිපතිවරයා ධවල මන්දිරයේ “රෝස උයනේ” දී මාධ්‍ය අමතනවා. පසුව ඔහු අසල පිහිටි දේවස්ථානයකට ද ගිය බව වාර්තා වෙනවා. එම අවස්ථාවේ දීත් උද්ඝෝෂණ ක්‍රියාත්මක වන අතර ජාතික ආරක්ෂක බලමුළුව හා පොලීසිය විසින් කඳුළු ගෑස් හා රබර් උන්ඩ යොදා ගනිමින් උද්ඝෝෂකයන් පළවා හැරි බව CNN මාධ්‍ය ජාලය ප්‍රකාශ කරනවා.

පොලිස් පරීක්ෂණ 

ගිනි තැබීම් (dynaimage)

සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ව මේ වන විට විමර්ශනයකට බඳුන් කෙරෙන අතර, ඇමෙරිකානු ෆෙඩරල් රහස් ඔත්තු අංශය (FBI) ඉහත කී අපරාධය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වනවා. පොලිස් අත්පොතේ නීති රීති අනුව එක් දණහිසක් භාවිතා කරමින් හුස්ම හිර කිරීමකින් තොරව අපරාධකරුවෙක් මෙල්ල කිරීමේ බලය පොලිස් නිලධාරීන් සතු වෙනවා. අදාළ පොලිස් භටයන්ට මිනීමැරීමේ චෝදනා යටතේ නඩු පැවරීමට මේ සම්බන්ධව විධිමත් හා නිරවද්‍ය පරීක්ෂණ අවශ්‍ය කෙරෙන බව FBI රහස් ඔත්තු අංශය සඳහන් කරනවා.

ජෝර්ජ් ෆ්ලොයිඩ් කොරෝනා ආසාදිතයෙක්? 

මරණ පරීක්ෂණය අනුව ජෝර්ජ් ෆ්ලොයිඩ් මියගොස් ඇත්තේ පොලිස් අත්අඩංගුවේ සිටිය දී ඇති වී තිබෙන හදීසි හෘදයාබාධයකින්. ඊට අමතරව අප්‍රේල් තුන්වන දින ජෝර්ජ් ෆ්ලොයිඩ්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ බව වෛද්‍ය පරීක්ෂණවල දී හෙළි වී තිබුණු බවත් ඔහුට රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ බවත් සඳහන් වෙනවා.  

නමුත් විරෝධතාකරුවන් සඳහන් කරන්නේ ඔහුට කොරෝනා වැළඳී තිබුණේ මාස දෙකකට ආසන්න කාලයකට පෙර බවත්, එය ඔහුගේ මරණයට අදාළ නොවන බවත්, රජය විසින් ඔහුගේ මිනීමැරුම වසන් කිරීමට හදන බවත්. 

කවරයේ පින්තූරය - deccanherald. 

මූලාශ්‍රයයන් 

BBC

Dw

Wsws

Related Articles