Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වෛද්‍යවරු නිර්දේශ නොකළ යුතු ව තිබූ භයානක ඖෂධ 

මීට දශක කිහිපයකට පෙර සමයේ දී විද්‍යාඥයන් සහ වෛද්‍යවරුන්ට යම් යම් මූලද්‍රව්‍ය සහ විවිධ සංඝටක ගැන තිබුණේ සීමිත දැනුමක්. බැලූ බැල්මට මේවායින් යම් රෝග තත්ත්ව සමනය වන බැව් පෙනී ගියත්, ඒවා භාවිතයෙන් ශරීරයට ඊටත් වඩා හානි ගෙන දෙන බැව් ඒ කාලයේදී ඔවුන් දැන සිටියේ නැහැ.

පසුකාලීන ව මේ සංඝටක ඉතා අහිතකර ඒවා බැව් හඳුනා ගෙන, ඒවා භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරුණත්, ඒ වෙද්දීත්, මේ සංඝටක නිසා අවාසනාවන්ත සිදුවීම් රාශියක් සිදු වී තිබුණා. මේ එවැනි සංඝටක කිහිපයක් පිළිබඳ ව ඔබ වෙත ගෙන එන ලිපි පෙළෙහි පළමුවැන්න යි.

ඩාර්වොන්/ ඩාර්වොසෙට් – reifflawfirm.com

ඩාර්වොන්/ ඩාර්වොසෙට්

ඩාර්වොන් හෙවත් ඩාර්වොසෙට් පොපි ශාකයේ සංඝටක අඩංගු වේදනා නාශකයක් ලෙස වසර 55 ක කාලයක් භාවිතයට ගැනුණා. මෙය හිසරදය අඩු කර ගැනීමට ඉතා කාර්යයක්ෂ්ම ඖෂධයක් සේ පෙනී ගොස් තිබුණු අතර, එකල බොහෝ දෙනෙක් එය භාවිත කරන්නට ද පෙලැඹී සිටියා. කෙසේ නමුත්, මේ  ඖෂධය නිතර භාවිතය හදවත් රෝග ඇති කරන්නට හේතු වුණා. මෙය හදවතේ රිද්මයෙහි දරුණු වෙනස්කම් ඇති කරන්නට සමත් අතර, ඩාර්වොන්/ ඩාර්වොසෙට් හාවිතය 1981 -1999 කාලයේ දී අවම වශයෙන්, අමෙරිකාවේ ජීවිත 2,110ක් බිලිගන්නට සමත් ව තිබෙනවා.

අමෙරිකාවේ වෙළඳපොළෙන් මේ ඖෂධය ඉවත් කිරීමේ කර්තව්‍යයේ දී එරට ආහාර සහ ඖෂධ පරිපාලක මණ්ඩලය (FDA) ක්‍රියා කළේ ඇල්මැරුණු ස්වභාවයකිනු යි. 1978 වසරේ දී සමහර පර්යේෂකයන් මෙහි භයානකකම නිසි බලධාරීන්ට පෙන්වා, පෙත්සමක් පවා ඉදිරිපත් කළ ද එම ආයතනය ඊට එතරම් උනන්දුවෙන් ප්‍රතිචාර දැක්වූයේ නැහැ.

අධි මාත්‍රා භයානක විය හැකිය

2006 වසරේදී ද නැවත එවැන්නක් ඉදිරිපත් වූයේ මහා බ්‍රිතාන්‍යය ඊට පෙර වසරේ දී එම ඖෂධය සිය වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට පියවර ගැනීමෙන් පසුව යි. අවසානයේදී 2009 වසරේ ජනවාරියේ දී මෙම ඖෂධය වෙළඳපොළට නිකුත් කිරීම වැලැක්වීමට එම ආයතනය තීරණය කළ ද, එම වසරේ ම ජුලි මස දී නැවතත් එය වෙළඳපොළේ අලෙවි කරන්නට ඊට අවකාශ ලබා දෙනු ලැබුණේ, “අධි මාත්‍රා භයානක විය හැකිය” යන ලේබලය යටතේ යි.

FDA ආයතනයේ මෙම ක්‍රියාමාර්ගයත් සමඟ, ඊට එරෙහි ව හඬ නැඟූ පර්යේෂකයන්, මෙම ඖෂධයට එරෙහි පර්යේෂණ කඩිනම් කළ අතර, 2010 වන විට, එහි සමාන්‍ය මාත්‍රාවක් පවා යමකුගේ හෘදයේ රිද්මය වෙනස් කරන්නට සමත් බැව් ඉතා පැහැදිලි ව ඔප්පු වුණා. ඉතාම දරුණු ගණයේ හෘද රෝග වැලඳීමට ඇති ඉඩකඩ ද එයින් හොඳින් තහවුරු වුණා. මේ නිසා එය වෙළඳපොළෙන්  වහා ම ඉවත් කරන්නට බලධාරීන්ට සිදුවුණා.

ඩෙස් – diethylstilbestrol.co.uk

ඩෙස්

කෘත්‍රිම ලෙස නිපදවන ඊස්ට්‍රජන් සහිත ‘ඩෙස්’ නම් ඖෂධය ප්‍රවර්ධනය කෙරුණේ, ගැබිණි මවුවරුන්ට සෞඛ්‍යමත් දරුවෙක් ලබා ගැනීමට සුදුසු බැව් පවසමිනු යි. ගබ්සාවීම්, මළ දරු උපත් සහ අඩු මාස උපත් වැලැක්වීම සඳහා සමහර වෛද්‍යවරුන් ද මේ ඖෂධය නිර්දේශ කළා. කෙසේ නමුත් කිසි ලෙසකින් ඉන් බලාපොරොත්තු වූ තරමේ සාර්ථක ප්‍රතිඵල ලැබුණේ නැහැ. තත්ත්වය තවත් දරුණු කරමින්, ඉතා භයානක ගණයේ අතුරු ආබාධ නම් ඉන් ඇති වන බවට තහවුරු වුණා. පිට කොන්ද හා ලිංගේන්ද්‍රිය ආශ්‍රිත පිළිකා, විකෘති දරු උපත්, කළල විනාශ වීම සහ අසාමාන්‍ය වර්ධනය, පියයුරු පිළිකා, දරුවන්ට ඇතිවන පිළිකා, සරු භාවය සහ ගර්භනී භාවය හා සබැඳි සංකූලතා, ඉක්මන් ආර්ථව හරණය සහ වෘෂණ සම්බන්ධ අසාමාන්‍යතා මේ නිසා ඇතිවන බවට සොයාගැනුණා.

අමෙරිකානු ආහාර සහ ඖෂධ පරිපාලන ආයතනය සිදු කළ දරුණුම ගණයේ අතපසු කිරීමක් ලෙස මේ ‘ඩෙස්’ ඖෂධය වෙළෙඳපොළට නිකුත් කිරීම සැලකෙනවා. ආසන්න වශයෙන් මිලියන 5-10 අතර ගර්භණී මවුවරුන් සහ කළල මීට නිරාවරණය වන්නට ඇති බව සැලකෙනවා. කෙසේ නමුත් 1960 දශකය වන විට, මෙම ඖෂධය, පවසන තරමේ සාර්ථක ප්‍රතිඵල නොදෙන බවට ප්‍රත්‍යක්ෂ වීමත් සමඟ, එය භාවිත කරන පිරිස අඩු වුණා. මෙහි භයානක පැත්ත ලොවට හෙළිදරව් වූයේ ඉන් පසුව යි. විශේෂයෙන් ගර්භණී සමයේ පළමු මාස 5 තුළ මෙම ඖෂධයට නිරාවරණය වුණු පිරිසට සිය ප්‍රජනක පද්ධති ආශ්‍රිත සංකූලතාවලට ලක් වීමේ වැඩි අවදානමක් ඇති බැව් හෙළි වීමත් සමඟ, 1971 වසරේ දී අමෙරිකානු ආහාර සහ ඖෂධ පරිපාලන ආයතනය එය තහනම් කරන්නට කටයුතු කළා.

PTZ/මෙට්‍රසෝල් – Edward Hand Medical Heritage Foundation

PTZ/මෙට්‍රසෝල්

මෙම ඖෂධය සිසොෆීනියාව සහ වෙනත් මානසික ආබාධ තත්ත්වයන්ට ප්‍රතිකාර කරන්නට යොදා ගත් ඖෂධයක්. මෙය මුලින් ම යොදා ගත්තේ රුධිර සංසරණ සහ ස්වසන උත්තේජකයක් ලෙස යි. කෙසේ නමුත් මනෝවෛද්‍යවරයකු මෙන් ම ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු වන ලැඩිස්ලාස් ජේ. මෙඩුනා, මෙහි අධිමාත්‍රා, මානසික ආබාධවලට ප්‍රතිකාර කිරීම සඳහා, ස්නායු ආවේග ඇතිකිරීමට යොදා ගත හැකි බවට සොයා ගත්තා. මේ අනුව තමා හමුවට එන මනෝ භ්‍රාන්ති තත්ත්ව ඇති රෝගීන්ට ප්‍රතිකාර කරන්නට ඔහු මෙය යොදා ගත්තා.

මෙට්‍රසෝල් ඖෂධය මෙඩුනා යොදා ගත්තේ, බරපතල ලෙස උන්මාදය, මානසික අවපීඩන තත්ත්ව හා අපස්මාර තත්ත්වවලට ප්‍රතිකාර කරන්නට යි. මෙහිදී සිදුවන්නේ ස්නායු ආවේගයක් ජනනය කර, ක්ෂණික වලිප්පු තත්ත්වයක් ඇති කිරීම යි. වර්තමානය් වන විට මීට විදුලි ආවේග ප්‍රතිකාරය් හෙවත් සරල බාෂාවෙන් කිවහොත් ‘කරන්ට් එක ඇල්ලීමේ ප්‍රතිකාරය’ භාවිත කෙරෙනවා. 

මෙට්‍රසෝල් ඖෂධය ඇත්තෙන් ම මුල් කාලයේදී මේ සැබඳි සාර්ථක ප්‍රතිඵල ලබා දුන්නා. මෙය විදුලි ප්‍රතිකාරයට වඩා පහසු එකක් ද වුණා. කෙසේ නමුත් පසුකාලීන ව හෙළි වූයේ මෙය වුවමනාවටත් වඩා, පාලනය කළන් නොහැකි අන්දමින්, රෝග්යා තුළ ස්නායු ආවේග ජනනය කරන බව යි. ඒ නිසා ම භාවිත කිරීමට පටන් ගෙන වසර 48 කින් එය අමෙරිකානු ආහාර සහ ඖෂධ පරිපාලන ආයතනය තහනම් කරනවා.  පර්යේෂණවලින් තහවුරු වූයේ, මෙම ඖෂධ ප්‍රතිකාරයට බඳුන් වූ රෝගීන්ගෙන් 42% කට ම පාලනය කළ නොහැකි වලිප්පු තත්ත්වයන්, මස්පිඬු පෙරැළීම් මෙන් ම කොඳු ඇට බිඳුම් ද ඇති වී ඇති බව යි.

කවරයේ ඡායාරූපය - gettyimages.com
මූලාශ්‍ර:
FDA.gov
Allthatsinteresting.gom
www.nddcb.gov.lk

Related Articles