Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිහින් ලංකා – අහස දැන් අපට නෙවෙයි

අවුරුදු 10කට ආසන්න කාලයක් තිස්සේ ජාතික ගුවන් ගමන් සේවයේ පිහිටෙන් ක්‍රියාත්මක වුණු මිහින් ලංකා ගුවන් සේවය ඊයේ, ඒ කියන්නේ 2016 ඔක්තෝබර් 30 වැනිදා ඉඳලා නිල වශයෙන් තමන්ගේ ගුවන් මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකන් එකට සම්පූර්ණයෙන්ම භාර දීලා ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා.

මිහින් ලංකා ගුවන් සේවය ආරම්භ කරපු අවුරුද්දේ ඉඳන් මේ දක්වාම ශුද්ධ අලාභයක් යටතේ ක්‍රියාත්මක වුන බව තහවුරු කරමින් ඔවුන් පසුගියදා මාධ්‍ය නිවේදනයකුත් නිකුත් කළා.

මාධ්‍ය නිවේදනයේ සඳහන් වුණේ මේ වගේ පණිවිඩයක්:

“මිහින් ලංකා ගුවන් සේවයේ ගුවන් මෙහෙයුම් කටයුතු 2016 ඔක්තෝබර් 30 වැනිදා සිට අත්හිටුවීමට තීරණය වී තිබේ. මෙය ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවයේ ගුවන් මෙහෙයුම් කටයුතු වඩාත් පුළුල් හා කාර්යක්ෂම කිරීම උදෙසාත්, දේශීය ගුවන් ගමන් ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගතකරණය සඳහා වන දීර්ඝකාලීන සැලසුමේ ප්‍රතිඵලයක් වශයෙනුත් ශ්‍රී ලංකා රජය විසින් ගනු ලැබූ තීරණයකි.”

ඒ වගේම 2017 මාර්තු 31 වැනිදා අවසන් වෙන්න නියමිත වර්තමාන මූල්‍ය වර්ෂයත් මිහින් ලංකා වෙත ශුද්ධ අලාභයක් ගෙන දීපු වර්ෂයක් බවත් මේ නිවේදනයේ සඳහන් වෙනවා.

මේ දක්වා මිහින් ලංකා ගුවන් සේවාව ගුවන් මෙහෙයුම් කටයුතු සිදු කරපු ගමනාන්ත හැම එකකම මෙහෙයුම් කටයුතු අද ඉඳලා ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙත පැවරෙන්න නියමිතයි. මේ පරිවර්තනය “ජාතික ගුවන් සේවයේ නව ආරම්භයක්” කියලා තමන් විශ්වාස කරන බවත් මිහින් ලංකා සමාගම ප්‍රකාශ කළා.

අලුත් ආරම්භයක් කෙසේ වෙතත් පසුගිය අවුරුදු දහය පුරාවටම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ, නැතිනම් ජාතික ගුවන් සේවයේ මෙහෙයුම් කටයුතු සිදු කෙරුණේත් නොයෙකුත් ප්‍රශ්න මැද. මිහින් ලංකා එකත් මේ කාල පරාසයේදීම ක්‍රියාත්මක කෙරුණු එකෙන් යම් බලපෑමක් වුණා වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ දැක්වෙන්නේ මිහින් ලංකා එකේ ආරම්භයේ සිට අවසානය දක්වා වැදගත් සිද්ධි කිහිපයක් ගැනයි.

මිහින් ලංකා: බාධක පිරි දස වසරක්

මිහින් ලංකා සේවයේ වෙබ් අඩවියේ දර්ශනයක්. ඔක්තෝබර් 30 වැනිදායින් පසුව ගුවන් ගමන් කිසිවක් දැක්වෙන්නේ නැහැ.

මිහින් ලංකා සේවයේ වෙබ් අඩවියේ දර්ශනයක්. ඔක්තෝබර් 30 වැනිදායින් පසුව ගුවන් ගමන් කිසිවක් දැක්වෙන්නේ නැහැ.

2006 ඔක්තෝබර්: අධ්‍යක්ෂකවරුන් තුන් දෙනෙකු යටතේ මිහින් ලංකා සමාගම සංස්ථාපිත කිරීමත් එක්ක ගුවන් සේවයේ නිල ආරම්භය සනිටුහන් කෙරුණා. හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක යන අය මුල්ම අධ්‍යක්ෂකවරුන් ලෙස පත්වීම් ලැබුවා.

මිහින් ලංකා ගුවන් සේවය ආරම්භ කළත් ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතියවත්, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතියවත් ඒ වන විට ලැබී තිබුණේ නැහැ. ඒ වගේම ගුවන් සේවය ආරම්භ කිරීම සඳහා මුලින්ම කුලී පදනම යටතේ ලබා ගත්තු ගුවන් යානා තුන ලබා ගත්තේ ටෙන්ඩර් ක්‍රමයක් අනුගමනය කරන්නේ නැතිවයි.

2007 අප්‍රේල් 24: මිහින් ලංකා ගුවන් සේවයේ ගුවන් මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරුණා. මුලින්ම මේ සඳහා යොදා ගත්තේ කුලී පදනම යටතේ ලබා ගත්තු එයාර් බස් A320 වර්ගයේ ගුවන් යානා දෙකක්.

ආරම්භයේදී මිහින් ලංකා සේවය මගින් ශ්‍රී ලංකාව සහ තවත් ගමනාන්ත 7ක් සම්බන්ධ කරමින් ගුවන් ගමන් වාර ක්‍රියාත්මක වුණා. මේ අනුව ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සහ ට්‍රිචි, තීරුවනන්තපුරම්, බුද්ධගයා, බැංකොක්, සිංගප්පූරුව, මාලේ සහ ගන් කියන ගුවන්තොටුපළවල් අතර ඍජු ගුවන් ගමන් වාර ලබා දෙන්න මිහින් ලංකා සේවය කටයුතු කළා. එවකට පැවති රජයත් මැදිහත්වෙලා ඉන්දියාවේ සිට මැදපෙරදිග රටවල් වලටත් ගුවන් සම්බන්ධතා ලබා දුන්නා.

2007 දෙසැම්බර්: මිහින් ලංකා ගුවන් සේවය මගින් කුලී වාරික ගෙවීම පැහැර හැරපු නිසා ඉන්දියාවට ගුවන් මෙහෙයුම් කටයුතු කරපු A320 ගුවන් යානයේ අයිතිකාර බල්ගේරියානු සමාගම ඒ ගුවන් යානය පදවන්න එපා කියලා ගුවන් නියමුවන්ට නියෝග කළා. ඒ අනුව ඒ ගුවන් යානය මෙහෙයුම් කටයුතු වලින් ඉවත් කරගන්න මිහින් ලංකා සමාගමට සිදු වුණා.

ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සේවයත් ඒ වන විට ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දීලයි හිටියේ. මිහින් ලංකා එකෙන් ඔවුන්ට ලැබෙන්න තිබුණු මුදල් ගෙවීම පැහැර හැරපු නිසා ශ්‍රී ලංකන් සේවයත් තමන්ගේ බිම් මෙහෙයුම් පහසුකම් (ground handling facilities) භාවිත කිරීම මිහින් ලංකා එකට තහනම් කරන්න කටයුතු කළා. මේ නිසා තමන්ගේ සේවකයන්වම මගීන් ඇතුළු වන කවුන්ටර් වලට යොදවන්නත්, තමන්ගේ ගුවන් යානා නිසි යන්ත්‍ර සූත්‍ර නැතිව ගමන් පථයට ගෙන එන්නත් මිහින් ලංකා එකට සිදු වුණා.

2008 ජනවාරි 6: මිහින් ලංකා ගුවන් සේවාවට අයත් MJ401 නම් දරන ගුවන් යානයට හදිසි උපකාර ඉල්ලා නිවේදනයක් නිකුත් කරන්නත් නියමුවන්ට සිදු වුණා. (ගුවන් ගමන් ක්ෂේත්‍රයේදී මේක හැඳින්වෙන්නේ Mayday Call එකක් කියලයි. ඉහළ අහසේදී බරපතල ගැටළුවක් ඇති වුණාම හදිසියේ ගොඩ බස්වන්න අවශ්‍යයි කියන එක දැනුම් දෙන්න Mayday කියන වචනය යොදා ගැනෙනවා) මේකට හේතු වුණේ එක එන්ජිමක බරපතල තෙල් කාන්දු වීමක් නිසා ක්‍රියාකාරිත්වය මුළුමනින්ම ඇණහිටපු එකයි. ඒ නිසා MJ401 ගුවන් යානයට වහාම ඉන්දියාවේ මුම්බායි නුවර චත්‍රපති ශිවාජි ගුවන් තොටුපලට හදිසියේ ගොඩ බාන්න සිදු වුණා.

මේ දෝෂයට හේතුව වශයෙන් ගුවන් මගීන්ට ලබා දුන්නු හේතුව වුණේ අදාළ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළින් ගමන් අරඹද්දී එන්ජිමේ අත්‍යාවශ්‍ය කොටසක් නැතිව පිටත් වෙලා කියන එකයි.

2008 පෙබරවාරි: මිහින් ලංකා එක කුලියට ලබා ගෙන තිබුණු A321 ගුවන් යානයකට නියමිත කුලිය ගෙවන්න බැරි වුණු නිසා ඒ ගුවන් යානය අයිති තූර්කි සමාගම අදාළ ගුවන් යානය නැවත තමන්ගේ භාරයට ගත්තා. ඒ අනුව මිහින් ලංකා එකේ ගුවන් මෙහෙයුම් කටයුතු වලට ඉතිරි වුණේ තවත් එක ගුවන් යානයක් විතරයි.

2008 අප්‍රේල්: මිහින් ලංකා එකේ ගුවන් මෙහෙයුම් කටයුතු වලට තිබුණු අනිත් එකම ගුවන් යානයත් ඒ ගුවන් යානය අයිති බල්ගේරියානු සමාගම තමන්ගේ භාරයට ගත්තා. මේකටත් හේතු වුණේ කාලයක් තිස්සෙම ගුවන් යානයේ කුලී වාරික ගෙවීම පැහැර හැරීම. මේ නිසා මිහින් ලංකා එකට තමන්ගේ සියලුම ගුවන් මෙහෙයුම් කටයුතු නවතා දමන්න සිදු වුණා.

මේ සිදු වීමෙන් පස්සේ සජින් වාස් ගුණවර්ධන මහතා මිහින් ලංකා සේවයේ ප්‍රධාන විධායක (CEO) තනතුරින් ඉවත් වන බව නිවේදනය කළා. නමුත් ඔහු අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා අස් නොවී තවදුරටත් රැඳී සිටියා.

2008 ජූනි: කලින් ඉල්ලා අස් නොවූ සජින් වාස් ගුණවර්ධන මහතාව අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉවත් කරලා ඒ තනතුර අනුර බණ්ඩාර මහතාට ලබා දුන්නා.

ඉන් පස්සේ මිහින් ලංකා සමාගම ගුවන් මෙහෙයුම් කටයුතු අලුතින්ම ආරම්භ කරන්න තවත් එක ගුවන් යානයක් විතරක් කුලියට ලබා ගන්න කටයුතු කළා. ඒ වන විටත් අවුරුදු 19ක් පරණ වෙලා තිබුණු මේ ගුවන් යානය A320 වර්ගයේ එකක්. ඒ ගුවන් යානය මුල් වරට පාවිච්චි කරලා තිබුණේ 1989 අවුරුද්දේ.

2008 නොවැම්බර්: අනුර බණ්ඩාරනායක මහතා වෙනුවට කපිල චන්ද්‍රසේන මහතා ප්‍රධාන විධායක (CEO) තනතුරට පත් කෙරුණා.

2009 ජනවාරි 1: ඩුබායි වෙත ඍජු ගුවන් ගමන් වාරයක් ලබා දෙමින් මිහින් ගමන් සේවය තමන්ගේ ගුවන් මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කළා.

2009 නොවැම්බර්/දෙසැම්බර්: මිහින් ලංකා ගුවන් සේවය අලුතින් ගුවන් යානා දෙකක් මිලට ගත්තා. මෙයින් එකක් වන A321 ගුවන් යානයේ මුල්ම ගුවන් ගමන සිදු කෙරුණේ මිහින් ලංකා එකෙන්.

2011 සැප්තැම්බර්: තමන් මිලට ගත්තු තුන් වන ගුවන් යානය ලැබුණාට පස්සේ බැංකොක්, චිතගොං, කෝෂිකෝඩේ (Kozhikode), මැනිලා සහ සිංගප්පූරුව කියන ගමනාන්ත වලට ගුවන් සේවා සපයන්න බලාපොරොත්තු වන බව මිහින් ලංකා සමාගම නිවේදනය කළා.

2012 ජනවාරි: මිහින් ලංකා සමාගම තමන් මිලට ගත්තු තුන් වැනි ගුවන් යානය ලබා ගත්තා. මිහින් ලංකා සේවයට බංගලාදේශ නිරීක්ෂණ ආයතනයකින් පිරිනැමුණු හොඳම ලාභදායී ගුවන් සේවය සඳහා වන සම්මානය (Best Budget Carrier Award) දිනා ගන්න හැකියාව ලැබුණා.

2012 අප්‍රේල් 9: කොළඹ සිට ජකාර්තා දක්වා ගමන් අරඹපු මිහින් ලංකා සේවයට අයිති MJ603 ගුවන් යානයට ගමන් අරඹලා පැයක් යන්නත් කලින් ආපහු කටුනායක ගුවන් තොටුපළට හදිසියේ ගොඩ බාන්න සිදු වුණා. මේකට හේතු වුණේ භාණ්ඩ බහාලුම් කොටසේ ගින්නක් ඇති වෙලා කියලා ඇති වුණු සැකයක්. නමුත් පස්සේ මේක වෙනත් තාක්ෂණික දෝෂයක් නිසා සිදු වුණු එකක් බව සොයා ගැනුණා.

2014 මැයි 13: ධකා සහ කොළඹ අතර ගුවන් ගමන් සිදු කරපු මිහින් ලංකා සේවයට අයත් A321 ගුවන් යානයකට ධකා ගුවන් තොටුපළින් පිටත් වෙලා විනාඩි කිහිපයකින් ආයෙත් ධකා ගුවන් තොටුපළට හදිසියේ ගොඩ බස්වන්න සිදු වුණා. මේකට හේතු වුණේ ගමන් දිශා පද්ධතියේ (Navigation System) දෝෂයක්.

2013-2015: මිහින් ලංකා ගුවන් සේවය බෝයිං 737-800 වර්ගයේ ගුවන් යානා දෙකක් කුලී පදනම යටතේ ලබා ගන්න බලාපොරොත්තු වන බව නිවේදනය කළා. කොහොම වුණත් ඔවුන් පසුව මේ කුලී ගිවිසුම වෙනස් කරලා එයාර් බස් A320 Neo වර්ගයේ ගුවන් යානා දෙකක් තමයි කුලියට ගත්තේ. තමන් ඒ වන තුරු භාවිත කරපු හැම ගුවන් යානයක්ම එයාර් බස් වර්ගයේ නිසා බෝයිං ගුවන් යානා හඳුන්වා දෙන්න යන අමතර වියදම අඩු කර ගන්න මේ තීරණය ගන්න සිදු වුණා.

2016 ඔක්තෝබර්: මිහින් ලංකා ගුවන් සමාගම තමන්ගේ සියලුම ගුවන් මෙහෙයුම් කටයුතු අත්හිටුවන බව නිවේදනය කළා. ඔවුන් එතෙක් ක්‍රියාත්මක කළ සියලු ගමනාන්ත ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙත පවරා ගන්න නියමිතයි.

සේවකයන්ගේ ගැටළු

මිහින් ලංකා ගුවන් සේවයේ කාර්යමණ්ඩලය චෙන්නායි වෙත තමන්ගේ පළමු ගුවන් ගමන සාර්ථකව අවසන් කරලා නැවත ශ්‍රී ලංකාවට ආපු වෙලාවේ උණුසුම් ලෙස පිලිගැනුණා. නමුත් අද ඔවුන් බොහොමයකට තමන්ගේ රැකියාව නැති වේවි කියලා බියක් ඇති වෙලා තියෙනවා. රූපය : ඩේලි මිරර්

මිහින් ලංකා ගුවන් සේවයේ කාර්යමණ්ඩලය චෙන්නායි වෙත තමන්ගේ පළමු ගුවන් ගමන සාර්ථකව අවසන් කරලා නැවත ශ්‍රී ලංකාවට ආපු වෙලාවේ උණුසුම් ලෙස පිලිගැනුණා. නමුත් අද ඔවුන් බොහොමයකට තමන්ගේ රැකියාව නැති වේවි කියලා බියක් ඇති වෙලා තියෙනවා. රූපය : ඩේලි මිරර්

මිහින් ලංකා ගුවන් සේවය ගුවන් මෙහෙයුම් කටයුතු අත්හිටුවන බව නිවේදනය කිරීමත් එක්ක මතු වුණු ප්‍රධානම ගැටලුවක් වුණේ එහි සේවය කරපු 304 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයේ රැකියා වලට සිදු වෙන්නේ මොකක්ද කියන එකයි.

මේ ප්‍රශ්නය නිසා මිහින් ලංකා සමාගම සහ ශ්‍රී ලංකන් සමාගමේ කළමනාකරණය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළා. මේ නිවේදනය මගින් මිහින් ලංකා එකේ සේවය කරපු පිරිස් ශ්‍රී ලංකන් ගුවන් සේවයට බඳවා ගන්නා බවට සේවක පිරිස වෙත පොරොන්දුවක් ලබා දුන්නා.

මේ නිවේදනයේ සඳහන් වෙන විදිහට ශ්‍රී ලංකන් ගුවන් සේවය මිහින් ලංකා කාර්ය මණ්ඩලය “යළි සේවයේ පිහිටුවන්න” සැලසුම් කරලා තියෙන අතර, “යළි සේවයට බඳවා ගැනීමේ ක්‍රියාවලිය යටතේ දැනට මිහින් ලංකාහි සේවය කළ 130 ක් (304 කින්) බඳවා ගැනීම අවසන් කරලා” තිබෙනවා.

“මේ යළි බඳවා ගැනීමේ සහ යළි සේවයේ පිහිටුවීමේ ක්‍රියාවලිය මිහින් ලංකා සමාගමේ සමාප්තිය සිදු කරන්න නියමිත 2016 දෙසැම්බර් දක්වාම සිදු වේවි. මිහින් ලංකාහි සේවය කළ කාර්ය මණ්ඩලයෙන් ජාතික ගුවන් සේවයට මාරු වීමට නොහැකි සියලුම දෙනාට රජය නිර්දේශ කරන වැඩපිළිවෙලක් යටතේ සේවය අවසන් කිරීම වෙනුවෙන් වන්දි පිරිනැමීමටත් නියමිතයි.” කියලා ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කළා.

අද සිට ගුවන් මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමා තිබෙන මිහින් ලංකා සමාගම මේ වර්ෂය අවසාන වන විට ව්‍යාපාරික කටයුතුත් සම්පූර්ණයෙන්ම අවසන් කරාවි. ශ්‍රී ලංකන් සමාගමත් මේ වන විට ව්‍යාපාරික සහකරුවෙක් සොයා ගන්න උත්සාහයක යෙදිලා ඉන්නවා. මේ නිසා මිහින් ලංකා ගුවන් සේවයේ මෙහෙයුම් කටයුතු භාර ගත්ත එකෙන් ජාතික ගුවන් සේවයට සිදු වුණේ වාසියක්ද අවාසියක්ද කියන එක කාලය තීරණය කරාවි.

කවරයේ පින්තුරය: planespotters.net/Daniel Tang

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ

Related Articles