Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජීවන වියදම් අරගලයට මුහුණ දෙන මිනිසුන් ගේ හුදෙකලා කතා

කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා ගෝලීය ප්‍රජාව පෙර නොවූ විරූ අන්දමින් අකර්මණ්‍ය වූ අයුරු ඔබට මතක ඇති. ඉන් ගෝලීය ආර්ථිකය සැලකිය යුතු මට්ටමකින් පසුබෑමට ලක් වුණා. බොහෝ රටවලට වර්ධනය වෙමින් පවතින උද්ධමනය සමඟ සටන් කිරීමට සිදු වූ අතර, ජීවන රටාවේ වෙනස්කම් ද සිදු වුණා. කෙසේ නමුත්, වසංගත තත්ත්වය සමඟ සාර්ථක ව සටන් වදිමින් යළි මුල් තත්ත්වය කරා පැමිණීමේ විභවයක් ගෝලීය ප්‍රජාව සතුව තිබුණා.

එලෙස යථා තත්ත්වයට පැමිණෙන්නට දරණ උත්සාහය අතරතුර ගෝලීය දේශපාලනය තුළත් වසංගතයක් හට ගත්තා. ඒ යුක්‍රේන-රුසියානු යුද ගැටුම යි. කොවිඩ් වලින් ඇරඹුණු ආර්ථික අර්බුදය යුක්‍රේන-රුසියානු ගැටුම නිසා තවදුරටත් අයහපත් අන්තයට ත්වරණය වූ අතර, එහි ප්‍රතිපල පැති ගණනාවකින් ලෝකය අත් විඳිමින් සිටිනවා.    

ගෝලීය මට්ටමේ ආර්ථික අවපාතයක්

2023 දී ගෝලීය මට්ටමේ ආර්ථික අවපාතයක් කරා ලෝකය ගමන් කළ හැකි බව ලෝක බැංකුව පවසන්නේ මෙවැනි සන්දර්භයක් මැද යි. බොහෝ රටවල ආර්ථික වර්ධනය දැනටමත් මන්දගාමී වෙමින් පවතින අතර, උද්ධමනය ඉහළ යමින් තිබෙනවා. සංවර්ධිත රටවල මිනිසුන්ට පවා බලශක්තිය සහ ආහාර සඳහා වැය වන මිල “ඇඟට දැනෙන” මට්ටමකින් ඉහළ ගොස් අවසන්.

ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සිය වෙබ් අවකාශයේ “ජීවන වියදම” යනුවෙන් ඉඩක් වෙන් කර ඇත්තේ මෙහි ඇති බැරෑරුම්කම නිසාම යි. ජීවන වියදම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ ඇසෙන කතා අපට ආගන්තුක නැහැ. ජීවන වියදමින් මිරිකෙන වින්දිත‍යන් ලෙස අප කාටත් ඒ අත්දැකීම තිබෙනවා. ජීවන වියදම ගැන ලෝකයේ අනෙකුත් රටවල මිනිසුන් කියන කතා මොන වගේ ද? ඒ ඒ රටවල ජීවන වියදම් ගැටලු අප මුහුණ දෙන තත්ත්ව සමඟ කොතෙක් දුරට සමපාත වෙනවා ද?

අපි ඒ ගැන සොයා බලමු.

ආහාර බැංකු වලට අමතරව ප්‍රජා උණුසුම් මධ්‍යස්ථානත් එක්සත් රාජධානිය තුළ පිහිටුවීමට ඇතැම් ප්‍රජා සත්කාරක සේවා උත්සුක වෙමින් සිටිනවා – www.bbc.com 

එක්සත් රාජධානියේ “ප්‍රජා උණුසුම් ස්ථාන”

එක්සත් රාජධානියේ බලශක්ති බිල්පත් වැඩි වීම සහ ආහාර උද්ධමනය එරට පහළ ආදායම් ලබන්නන්ට විශාල බලපෑමක් එල්ල කර තිබෙනවා. බරපතළ ම කාරණය වන්නේ ශීත සෘතුවට සූදානම් වන කාලයක මෙවැනි තත්ත්වයක් ඇති වීම යි. නිවාස උණුසුම් කිරීම සඳහා ශීත සෘතුවේ දී ඉහළ බලශක්ති පරිභෝජනයක් එක්සත් රාජධානිය ඇතුළු යුරෝපයේ සිදුවන අතර, ඊට සමගාමී ව ඉහළ පිරිවැයක් දැරීමටත් සිදු වෙනවා. එක්සත් රාජධානිය මුහුණ දෙන අර්බුදයට පිළියමක් වශයෙන් එරට ප්‍රජා සංවිධාන දැනටමත් විවිධ ව්‍යාපෘති අරඹා තිබෙනවා. ආහාර බැංකු මෙන් ම “ප්‍රජා උණුසුම් ස්ථාන” බිහි වන්නේත් එහි ප්‍රතිපලයක් වශයෙන්.

“අපි දිගු කලක් ආහාර බැංකු පවත්වා ගෙන ගියා. දැන් අපි කතා කරන්නේ මිනිසුන් උණුසුමෙන් තබා ගන්නා අන්දම පිළිබඳව යි. නිවසේ දී ඔවුන් ගේ වියදම් කපා හැරීමට උදව් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.”

නෝර්විච් ප්‍රදේශයේ ප්‍රජා උණුසුම් මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන ග්‍රේස් රිචර්ඩ්සන් පවසනවා.

 සැප්තැම්බර් අවසානයේ දී ඉහළ ගිය ජීවන වියදම

 සැප්තැම්බර් අවසානයේ දී ඉහළ ගිය ජීවන වියදම් සමඟ තවමත් පොර බදිමින් සිටින ජනතාවට ඔක්තෝබර් මාසය කළමනාකරණය කර ගන්නා අන්දම ගැන අදහසක්වත් නැහැ.

“සති කිහිපයකට කලින් මට හැඬූ කදුළින් සිටින කෙනෙක් හමු වුණා. ඔහු ගේ පෙර ගෙවුම් මීටරයට පවුම් හතළිහක් නියම කොට තිබුණා. ඔහුට විශේෂ අවශ්‍යතා ඇති දරුවන් දෙදෙනෙක් සිටිනවා. දරුවන් රැක බලා ගැනීමේ දී අවශ්‍ය වන අමතර විදුලිය සඳහා වන පිරිවැය ඔහුට දැන් දරා ගන්න බැහැ.”

ජීවන වියදම තාවකාලික අර්බුදයක් ආකාරයෙන් දැකීමට ලෝකයේ බොහෝ දෙනා උත්සහ කරනවා. දුෂ්කර කාලපරිච්ඡේදය අවසානයේ දී නැවතත් ආලෝකය දැකිය හැකි බවත් ඔවුන් විශ්වාස කරනවා. මේ මොහොතට සාපේක්ෂව ආලෝකයක් දැකීමට හැකියාවක් ඇතැයි ග්‍රේස් සිතන්නේ නැහැ. ග්‍රේස් සේවය කරන ප්‍රජා මධ්‍යස්ථානයට එන පුද්ගලයන් ගේ දුක් ගැනවිලි එතරම්ම ශෝචනීය යි.

පාන් ගෙඩියක් සහ ජංගම දුරකථනයකට දත්ත බැර කරන්නට  යන වියදම අතර විශාල වෙනසක් නොමැති බව ලෙටා පවසනවා
 – www.aljazeera.com 

එක්සත් රාජධානියෙන් දකුණු අප්‍රිකාවට

53 හැවිරිදි ලෙටා න්කබින්ඩ්, දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවර කම්හල් සේවිකාවක් ලෙස රැකියාව කරන තැනැත්තියක්. ඇය දිනපතා රැකියා ස්ථානයට යන්නේ සොරුන් ගැන දැඩි විමසිල්ලකින්. දකුණු අප්‍රිකාව යනු ලෝකයේ විශාලත ම සමාජ අසමානතාවක් ඇති රාජ්‍යයක් වන බැවින්, ලෙටා ගේ ප්‍රවේශමත් සාධාරණ යි. ලෝකයේ සංවර්ධිත රාජ්‍ය පවා ඉහළ යන උද්ධමනයට පැකිළීමකින් යුතු ව මුහුණ දෙනවා නම්, දකුණු අප්‍රිකාව ගැන කවර කතා ද!

ලෙටා ජීවත් වන අයිවරි පාක් ප්‍රදේශය දකුණු අප්‍රිකාවේ දිළිඳු ම මිනිසුන් ජීවත් වන ස්ථානයක්. ලෝකය පුරා ඇති වෙමින් පවතින උද්ධමනකාරී තත්ත්වය ඔවුන් ගේ පීඩාකාරී ජීවිතය තවදුරටත් පීඩනයට පත් කරමින් සිටිනවා. තිදරු මවක් වන ලෙටා, පෙර වසරවල දී සිය මාසික ප්‍රවාහන ගාස්තුව සඳහා රෑන්ඩ් 900 ක් පමණ වෙන් කළා. එය අමෙරිකානු ඩොලර් 51 ක් වැනි අගයකට සමාන යි. මේ වනවිට ඇය ගේ මාසික ප්‍රවාහන වියදම රෑන්ඩ් 1200 දක්වා ඉහළ ගොස් අවසන්. එය එතැනින් ද නතර වන එකක් නැහැ.

“ඉන්ධන මිල ඉහළ යෑම නිසා කුලී රථ ගාස්තු නිතරම වැඩි වෙනවා. ප්‍රවාහන වියදම් නැති නිසා මාසය අවසාන වනවිට රැකියාවට යන එකත් අරගලයක්.”

ශීත සෘතුවට සූදානම් වන මොහොතක බලශක්ති අර්බුදයක් පැමිණීම සැබැවින්ම භයානක යි – www.netnewsledger.com 

දැඩි තේරීම් මැද ජීවිතය

වසර ගණනාවක් එක තැන පල්වෙන වැටුප් පරිමාණයක් සහිත ලෙටා වැන්නවුන් දකුණු අප්‍රිකාවේ ඕනෑ තරම් සිටිනවා. උග්‍ර වන අර්බුදයත් සමඟ ඉහළ යන භාණ්ඩ සහ සේවා පිරිවැය නිසා ඔවුන්ට තම ජීවන අරගලය තවදුරටත් ගෙන යෑමේ හැකියාවක් නැහැ.

“සමාගම්වල වැටුප් වැඩිවීම් ගැන තවත් කතා කරලා වැඩක් නැහැ. ඔවුන් ඔබට පවසන්නේ කොවිඩ් වසංගතය සහ එහි බලපෑම ගැන පමණ යි. මේ දවස්වල දරුවන් රැක බලා ගැනීම ඉතා ම දුෂ්කර කාර්යයක්. තවදුරටත් අපිට සැනසීම කියලා දෙයක් නැහැ. අපි මූලික ම අවශ්‍යතා දක්වා පල්ලම් බැහැලා ඉන්නේ. ජීවත් වීම සඳහා දැඩි තේරීම් සිදු කළ යුතු යි.”

ලෙටා තවදුරටත් පවසන්නේ පාන් ගෙඩියක් සහ ජංගම දුරකථනයකට බැර කරන දත්ත සඳහා යන වියදම අතර විශාල වෙනසක් නොමැති බව යි.

දකුණු අප්‍රිකාවේ රාජ්‍ය සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ජුනි මාසයේ පාරිභෝගික උද්ධමන වාර්ෂික අනුපාතය දැක්වුණේ 7.4% ක් ලෙසින්. එය ජූලි මාසයේ දී 7.8 ක් දක්වා වර්ධනය වුණා. එරට ආහාර උද්ධමනය සඳහා විශාලත ම දායකත්වය සපයන්නේ තෙල් සහ මේද ආශ්‍රිත ආහාර, විදුලිය, ඉන්ධන, පාන් සහ අනෙකුත් ධාන්‍ය ආහාර යි.

2020 ජනවාරි මාසයේ සිට එක්සත් රාජධානියේ ඉන්ධන මිල විචලනය වූ අයුරු – www.bbc.com 

රිස්ක් පවුල මුහුණ දෙන “රිස්ක්” එක

එක්සත් ජනපදයේ දිවි ගෙවන බෲක් රිස්ක් සහ ඇය ගේ පවුලේ උදවිය වර්ජීනියා ප්‍රාන්තයේ තම සිහින නිවස තැනීමට සියල්ල සැලසුම් කොට තිබුණා. එහෙත්, ගොඩනැඟිලි ද්‍රව්‍යවල මිල ගණන් දිනෙන් දින ඉහළ යන වාතාවරණයකට එක්සත් ජනපදය මුහුණ දෙන අතර, ණය මුදලක් ලබා ගැනීමත් පහසු නැහැ. පිරිවැය සැලකීමේ දී ණය මුදලකට යෑමෙන් අවදානම තවත් ඉහළ යා හැකි යි.

 “සැලසුම් සියල්ල මඳකට නතර කරන්න අපිට සිද්ධ වුණා. අපි තවමත් නිවසක් ඉදි කරමින් සිටිනවා තම යි. නමුත්, අපට අවශ්‍ය ප්‍රමාණයට වඩා කුඩා නිවසක් තනන්න සිදු වෙනවා.”

36 හැවිරිදි දෙදරු මවක් වන බෲක් රිස්ක් පවසන පරිදි ඔවුන් සිතුවාට වඩා ඉහළ මුදලක් නිවස තැනීම සඳහා අවශ්‍ය වෙනවා. ක්‍රමික ව ඉහළ යන සිල්ලර බඩු බිල්පත සහ දරුවන් ගේ අධ්‍යාපන පිරිවැය සැලකීමේ දී ඔවුන්ට නිවසක් වැනි විශාල ඉලක්කයක් සපුරා ගැනීම සැබැවින් ම අභියෝගයක්. අධ්‍යාපන ක්ෂේත්‍රයේ රැකියාවක් කරන බෲක්ගේ වැටුප තවමත් වැඩි වී නැහැ. 

“මේ වසරේ නත්තල එතරම් සරුවට සමරන්න බැරි වේවි. අපේ මුදල් එවැනි දේ සඳහා යොදවන්න හැකියාවක් නැහැ. නොදන්නා දේ සමඟ නිතර ම බුද්ධිමත් වීමට යි අපි උත්සහ ගන්නේ.”

 “නොදන්නා දේ” යනුවෙන් ඇය අදහස් කරන්නේ මහා ආර්ථික අවපාතය යි. එවැන්නක් අනිවාර්යයෙන් ම එළඹේවිදැ යි ඇයත් අපත් දන්නේ නැහැ. නමුත්, ශ්‍රී ලාංකික අපට දැනෙන අවිනිශ්චිත බව එක්සත් ජනපදයේ බෲක්ටත් දැනෙමින් තිබෙනවා.

එක්සත් ජනපදයේ උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී බලාපොරොත්තු වූවාට වඩා වැඩි වීමක් පෙන්නුම් කරනවා – www.bbc.com 

කාමර සගයන් වූ මව සහ පුත්‍රයා

 වසර දෙකක් මුළුල්ලේ කාරා මැක්ලෝර් සහ ඇය ගේ 28 හැවිරිදි පුත්‍රයා, එක ම මහල් නිවාසයක් බෙදා හදා ගනිමින් නේවාසික මිතුරන් සේ ජීවත් වෙනවා. ඔවුන් ගේ මහල් නිවාසය පිහිටා තිබෙන්නේ ඇලබාමා ප්‍රාන්තයට අයත් බර්මිංහැම් නගරය ආසන්නයේ යි. මේ වනවිට ඔවුන් ගේ ජීවිතය ස්වාධීන ව ගත වෙමින් යුතු ව තිබුණත්, ජීවන වියදම ඒ සඳහා අවකාශ සපයන්නේ නැහැ. ඔවුන් ජීවත් වන නිවාස සංකීර්ණයත් එතරම් නඩත්තුවට ලක් වන ස්ථානයක් නොවෙ යි.

කාරා යනු සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිණියක්. ජීවන අරගලයේ යෙදෙන අතර ම සමාජයේ පීඩිතයන් වෙනුවෙන් ද තම ජීවිතය ඇය කැප කර තිබෙනවා. කාරාට මුදල් ලැබෙන්නේත් සමාජීය කරුණු මූලික කරගත් ව්‍යාපෘති ආශ්‍රයෙන්. කෙසේ නමුත්, එලෙස ලැබෙන මුදල් ඇය ගේ ජීවන අරගලයට මුහුණ දීම සඳහා ප්‍රමාණවත් වන්නේ නැහැ. ගෑස් සහ ආහාර මිල ගණන් නිසා කාරා බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙනවා. මේ සියලු වියදම් ඇයටවත්, ඇයගේ පුත්‍රයාටවත් තනි ව දරා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඔවුන් කාමර සගයන් සේ වියදම බෙදා ගෙන ජීවත් වෙනවා.

ඉන්ධන මිල හමුවේ උපස්ථායකයන් නැටලිට සේවය සැපයීම අතහැර දැමුවා – www.bbc.com 

උපස්ථායකයන් අහිමි වූ නැටලි

32 හැවිරිදි නැටලී රොව්ලි, වසර හතරකට පමණ පෙර ගර්භිණී සමයේ මුහුණ දුන් සංකූලතා හේතුවෙන් සන්ධි ආබාධයකට ලක් වූ තැනැත්තියක්. වෙනත් සංකීර්ණ සෞඛ්‍ය ගැටලු ද තිබෙන බැවින්, ඇයට ඇවිදීමේ හැකියාවක් නැහැ. දෛනික කටයුතු සිදු කර ගැනීම සඳහා නැටලිට බාහිර සහය අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් උපස්ථායකයන් තිදෙනෙක් නැටලි පත් කර ගෙන සිටින අතර, ඔවුන් නියමිත වේලාවට පැමිණීම අනිවාර්යයෙන් සිදුවිය යුතු යි.

 පසුගිය අප්‍රියෙල් මාසය වනවිට සැලසුම් කර ගත් පරිදි උපස්ථායකයන් ගේ පැමිණීම සිදු වුණේ නැහැ. එක් උදෑසනක නැටලි ගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබී තිබුණා. එම පණිවිඩය එවා තිබුණේ ඇයට උපස්ථායකයන් සපයා දෙන සමාගමේ කළමණාකරු යි.

“කනගාටුදායක ලෙස ඔබේ ප්‍රදේශයේ වෙනත් සේවාදායකයන් නොමැති අතර, කාර්ය මණ්ඩල සාමාජිකයන් නිතර ම පාහේ ඉන්ධන පිරිවැය සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කර යි. අනාගතයේ සියලු කටයුතු සාර්ථක වේවා!”

 නැටලිට අවශ්‍ය ම සේවාවක් අහිමි වන තරමට ම එක්සත් රාජධානියේ ඉන්ධන අර්බුදය උග්‍ර වී තිබෙනවා. එම කෙටි පණිවිඩයෙන් පසු නැටලිගේ සාත්තු සේවා කටයුතු ඇය ගේ සැමියා භාර ගත් අතර, නිවසේ දින චර්යාව වඩාත් සංකීර්ණ ස්වභාවයකට හැරුණා.

එක්සත් රාජධානියේ සිදුකළ සමීක්ෂණයක දී රෝගීන්ට සත්කාර සේවා සපයන පුද්ගලයන් 509 දෙනෙක් ඉන්ධන මිල ඉහළ යෑම රැකියාවට බලපා ඇති බව ප්‍රකාශ කර තිබෙනවා. දැනට එවැනි සේවාදායකයන් 69,300 ක් පමණ එක්සත් රාජධානියේ සිටින අතර, ඔවුන්ගෙන් සේවය ලබා ගන්නා පිරිස 118,000 ක් ලෙස දැක්වෙනවා. සමීක්ෂණයේ දී ලබා ගත් නියැදිය සැලකීමේ දී බොහෝ සේවාලාභීන් නැටලි ගේ අත්දැකීම විඳිමින් සිටිනවා.

විශාල පරිමාණයේ ගැටලු රැසක්

 ලෝකය පුරා වර්ධනය වන උද්ධමනයට මුහුණ දෙන මිනිසුන් ගේ හුදෙකලා කතා කිහිපයක් තමයි අප මෙතෙක් ගෙන ආවේ. නමුත්, ඒ හුදෙකලා කතාවලින් විශාල පරිමාණයේ ගැටලු රැසක් හඳුනාගත හැකි යි. දැන් දැන් ලෝකයේ මිනිසුන්ට සිය ප්‍රධාන ආහාර වේල පවා සකසා ගැනීම අපහසු වෙමින් තිබෙනවා. ප්‍රධාන තිරිඟු අපනයනකරුවන් ලෙස යුක්‍රේනය සහ රුසියාව දරුණු ගැටුමකට මැදි වී ඇති බැවින්, ආහාර සුරක්ෂිතභාවය දරුණු අර්බුදයක් කරා ඇදෙන ලකුණු දැනටමත් පහළ වී අවසන්.

 මෙයට පිළියමක් ලෙස ඇතැම් රටවල මිනිසුන් සිය ප්‍රධාන ආහාර වේල සඳහා විකල්ප සොයා ගැනීමට වෙහෙසෙනවා. එවැනි රටවල් අතර ශ්‍රී ලංකාවත් ප්‍රබල උදාහරණයක්. කැපී පෙනෙන මට්ටමකින් ඉහළ ගිය සහල් මිල නිසා ගම්බද ව ජීවත් වන උදවිය නැවතත් කොස්, දෙල් වැනි ආහාරවලට වැඩි අවධානයක් යොමු කරමින් සිටිනවා. නාගරික ප්‍රජාවට කොස් ආශ්‍රිත නිෂ්පාදනයක් පවා සහන මිලකට ලබා ගැනීම පහසු නැහැ. මේ තත්ත්වය අඩු වැඩි වශයෙන් අනෙකුත් රටවල්වලත්  දැකිය හැකි යි.

කවරයේ ඡායාරූපය: ජීවන වියදම ගැන ලෝකයේ අනෙකුත් රටවල මිනිසුන් කියන කතා ගැනත් කියවමු - www.ft.com

මූලාශ්‍ර:

 www.bbc.com/

 www.aljazeera.com 

 www.weforum.org

www.aljazeera.com/economy 

Related Articles