Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගිනි දැල් මැද අතුරුදහන් වූ සොඩර් දරුවන්ගේ අබිරහස

ෆයෙට්විල් යනු එක්සත් ජනපදයේ බටහිර වර්ජීනියාවට අයත් කුඩා නගරයක්. දශක හතරකට ආසන්න කාලයක් ෆයෙට්විල් අසලින් වැටී ඇති අංක 16 දරණ මාර්ගය හරහා ගමන් කරන්නකුට සුවිශේෂී එළිමහන් දැන්වීම් පුවරුවක් දකින්නට ලැබුණා. එහි කුඩා දරුවන් පස් දෙනකුගේ ඡායාරූප පළ කොට තිබුණා. 14 හැවිරිදි මොරිස්, 12 හැවිරිදි මාර්තා, 9 හැවිරිදි ලුයිස්, 8 හැවිරිදි ජෙනී සහ 5 හැවිරිදි බෙටී වශයෙන් එම ඡායාරූපවල සිටි ළමයින්ගේ අනන්‍යතාව දක්වා තිබුණා. ඡායාරූපවලට යටින් ඔවුන් මුහුණ දුන් අභාග්‍ය සම්පන්න ඉරණම සැකෙවින් විස්තර කොට තිබුණා. ඔවුන් අදටත් ජීවතුන් අතර සිටිනවාද නැද්ද යන්න වග විසඳී නැහැ. සොඩර් දරුවන්ගේ අබිරහස හෝ අතුරුදහන්වීම ලෙසින් ප්‍රචලිත වූ මේ සිදුවීම, විවිධ කටකථා සහ අවිධිමත් සාක්ෂි නිසා වඩාත් ව්‍යාකූල ස්වභාවයකට හැරුණා.    

එළිමහන් දැන්වීම් පුවරුව – register-herald.com 

තීරණාත්මක දිනය ගත කළ හැටි

 ජෝර්ජ් සොඩර් සහ ජෙනී සොඩර් යනු ඉතාලියෙන් සංක්‍රමණය වී එක්සත් ජනපදය තුළ තම ජීවිතය ගොඩ නඟා ගත් දෙපළක්. ඔවුන්ට දරුවන් දස දෙනකු සිටි අතර, එක් දරුවකු හමුදා සේවයට ගොස් සිටි නිසා නිතර ම නිවසේ රැඳුණේ නැහැ. 1945 වසරේ නත්තලට පෙරදින රාත්‍රියේදී සොඩර් දෙපළ සමඟ දරුවන් නව දෙනකු නිවසේ රැඳී සිටියා. වැඩිහිටි සොඩර් දෙපළ තම දෙහැවිරිදි දියණිය සමඟ එදින කලින් ම නින්දට ගොස් තිබුණා. වැඩිමහල් පුතුන් වන ජෝන් සහ කණිෂ්ඨ ජෝර්ජ්, පියාට අයත් ගල් අඟුරු ප්‍රවාහන ව්‍යාපාරය සමඟ වෙහෙසකර දිනයක් ගත කළ නිසා ඔවුනුත් කලින් ම නින්දට ගොස් සිටියා. අලුත ලැබුණු සෙල්ලම් බඩු සමඟ සෙල්ලම් කිරීමට මව්පියන්ගෙන් අවසර ලැබුණු හෙයින්, ආන්දෝලනාත්මක සිදුවීමට මුහුණ දුන් බාල වයස්කාර දරුවන් පස්දෙනා නින්දට ගියේ තරමක් ප්‍රමාද ව යි.

 මධ්‍යම රාත්‍රිය වනවිට මුළු පවුල ම නින්දට ගොස් සිටියත්, ජෙනී සොඩර් අවදි කරමින් ජෝර්ජ්ගේ කාර්යාල දුරකථනය නාද වෙන්න ගත්තා. දුරකථනයෙන් ඇයට අමුතු සිනහවක් ඇසුණු අතර, ඇය නොදන්නා පුද්ගල නාමයක් ගැන අනෙක් පසින් විමසූ බව සඳහන්. පැහැදිලිව ම එය වැරදි අංකයක් බව ජෙනී සොඩර් සිතුවා. නිවසේ විදුලි පහන් තවමත් දැල්වී ඇති බවත්, දොරවල් තවමත් අඟුළු දා නොමැති බවත්, ඇය දුටුවේ එවිට යි. බාල ළමයින් සෙල්ලම් කරමින් නිදා ගැනීමට ප්‍රමාද වූ නිසා එය අතපසු වීමක්යැ යි ජෙනී සිතුවා. ඇය දොරවල් වසා, විදුලි පහන් නිවා දමා යළි නින්දට ගියා.

සොඩර් නිවසේ ගිනිදැල්

 ස්වල්ප වේලාවකට පසු ඇය නැවත අවදි වුණේ නිවසේ වහලය මතට යමක් වැටී පෙරළී යන ශබ්දයක් ඇසුණු නිසා යි. එතනින් එහාට කිසිවක් සිදු නොවූ නිසා ඇය නැවතත් නින්දට සැරසුණා. පැය භාගයකට පමණ පසු, එනම්, නත්තල් දා අලුයම එකට පමණ බියකරු සිහිනයක් නිසා ජෙනී සොඩර්ගේ නින්ද යළිත් බිඳ වැටුණා. නමුත්, ඒ අවස්ථාවේදී දුමාරයක ගන්ධයක් දැණුනු නිසා කිසිවක් වැරදී ඇති බව ඇයට වැටහුණා. පළමු මහලේ පිහිටි තම ස්වාමි පුරුෂයාගේ කාර්යාලය තුළ ගින්නක් හටගෙන ඇති බව ඇය දුටුවේ එවිට යි.

ගිනිගෙන විනාශ වූ සොඩර් පවුලේ නිවස – rtd.rt.com 

 ගින්න හමුවේ වැඩිහිටි සොඩර් දෙපළ සහ සිල්වියා, ජෝන්, කණිෂ්ඨ ජෝර්ජ්, මේරියන් යන දරුවන් දිවි ගලවා ගන්නට සමත් වුණා. ඒ වනවිටත්, බාල සොඩර් දරුවන් පස්දෙනා සිටි නිදන කාමරයට යන පඩි පෙළ ගිනි රකුසා ගිල ගෙන තිබුණා. බලාපොරොත්තුවක සේයා දල්වමින් නිතර ම නිවසේ පැත්තක හේත්තු කර තිබෙන ඉනිමඟ ජ්‍යෙෂ්ඨ ජෝර්ජ්ට සිහිපත් වුණා. එවිට ඉනිමඟ දිගේ බාල දරුවන් පස්දෙනා සිටින කාමරයේ ජනේලයට ළඟා වෙන්න පුළුවන්. ඔහු ඉනිමඟ කරා දිව ගියත්, එය අතුරුදහන් වී තිබුණා. ඉන්පසු නිවස අසළ ඇති ට්‍රක් රථයේ උස භාවිතා කරමින් ජනෙල්වලට ළඟා විය හැකි බව ඔහු සිතුවා. ට්‍රක් රථය සුදුසු ලෙස ස්ථාන ගත කිරීමට එය පණ නැංවුවත්, එහි එන්ජිම ක්‍රියා විරහිත ව තිබුණා. 

සොඩර් පවුලේ අවාසනාව

 සොඩර් පවුලේ අවාසනාව එතනින් නිම වුණේ නැහැ. අසල්වැසි නිවැසියන් ගිනි නිවන ඒකකය සම්බන්ධ කිරීමට උත්සහ කළත්, පළමු වෑයමෙන්ම එය සාර්ථක වුණේ නැහැ. යම් පරිශ්‍රමයකින් පසු  අසල්වැසියකු ගිනි නිවන ඒකකයේ ප්‍රධානියා සම්බන්ධ කර ගැනීමට සමත් වූ අතර, ගිනි නිවන ඒකකය සොඩර් නිවසට ළඟා වනවිට උදෑසන 8 පමණ වුණා.

ගිනිගත් නිවස පිහිටි ස්ථානයේ කැණීම් කටයුතු කරන බලධාරීන් – medium.com 

 ඔවුන් පැමිණි වහා ම ක්ෂණික සෝදිසි කිරීමක් පැවැත්වූවත්, සොඩර් දරුවන් පස්දෙනාගේ දේහයන් සොයා ගැනීමට හැකි වුණේ නැහැ. ගිනි නිවීම් ප්‍රධානියාට අනුව එම ගින්න හට ගෙන තිබුණේ විදුලි රැහැන්වල හටගත් දෝෂයක් නිසා යි. එවැනි ගින්නකින් හට ගන්නා උණුසුම ඉතා ඉහළ නිසා මිනිස් සිරුරු සම්පූර්ණයෙන් විනාශ විය හැකි බව ගිනි නිවීම් ප්‍රධානියා පවසා තිබුණා. සොඩර් දරුවන්ගේ මාපියන් එම අදහස පිළිගත්තේ නැහැ. දරුවන් ජීවතුන් අතර සිටින බව ඔවුන් විශ්වාස කළා. එම විශ්වාසය ජීවිතයේ අවසාන මොහොත දක්වා ඔවුන් අතහැරියේ නැති බව පැවසෙනවා.

රක්ෂණ නියෝජිතයාගේ තර්ජනය

 සොඩර් දරුවගේ මව වූ ජෙනීට ගින්නකින් පසු ළමයින් පස් දෙනකුගේ ඇටකටු කිසිවක් ඉතිරි නොවීම ගැටලුවක් වුණා. ඇය සතුන්ගේ ඇට කැබලි යොදා ගනිමින් ගින්නක් හමුවේ ඒවා විනාශ වන අන්දම පෞද්ගලිකව ම අත්හදා බැලූ බව සඳහන් වෙනවා. පිළිස්සුණු බිම් මහලේ  හඳුනා ගත හැකි ලෙස විවිධ ගෘහස්ත උපකරණවල අවශේෂ හමු වී ඇති බවත් ඇය දැන සිටියා.

පැය දෙකක් සිරුරු පුළුස්සා දැමීමෙන් පසුත්, ආදාහනාගාර තුළ අස්ථි කොටස් ඉතුරු වන බව ආදාහනාගාරයේ සේවකයකු ඇයට දැනුම් දී තිබුණා. ඔවුන්ගේ නිවස සම්පූර්ණයෙන් ගිනි ගෙන විනාශ වීමට ගත වුණේ විනාඩි 45ක් පමණ යි. දරුවන් පස්දෙනා අතුරුදහන් වූ බව ඔවුන් විශ්වාස කරන්න පටන් ගත්තේ මේ කරුණු නිසා යි.

 ඛේදවාචකයට මාස කිහිපයකට පෙර ජෝර්ජ් සොඩර් බොහොම අමුතු සිදුවීමකට මුහුණ දුන්නා. එක්තරා පුද්ගලයෙක් ඔහුට ගින්නෙන් සිදුවන අනතුරු සඳහා වූ රක්ෂණයක් ලබා දීමට උත්සහ කළ අතර, එය ප්‍රතික්ෂේප කිරීම නිසා ආගන්තුකයා ජෝර්ජ්ට පහත අදහසට සමාන අයුරින් තර්ජනය කර තිබුණා.

 “උඹේ මහලොකු නිවස දුමෙන් වැහිලා යන්නයි හදන්නේ! උඹේ දරුවන් විනාශ වීමට නියමිත යි. මුසෝලීනි ගැන කළ අයහපත් ප්‍රකාශ වෙනුවෙන් උඹට වන්දි ගෙවීමට සිදු වේවි.” 

ඉතාලියේ ඒකාධිපති බෙනිටෝ මුසොලිනි ජෝර්ජ් දැඩිව විවේචනය කිරීම එම පුද්ගලයාගේ නොසතුටට හේතු වුණු බවකුත් පෙනෙන්න තිබුණා.

ගිනි නීවිම් ඒකකයේ රහස

 ගිනි නිවීම් ඒකකය ක්ෂණික සෝදිසියෙන් කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ බව කලින් පැවසුවත් සත්‍යය එය නොවූවා. ඔවුන් ඇටකටු කිහිපයක් සහ හදවතයැ යි සිතිය හැකි මාංශ කොටස් සොයා ගැනීමට සමත් වුණා. ගිනි නිවීම් ප්‍රධානියා ඒ කිසිවක් මුලදී සොඩර් පවුලට අනාවරණය කළේ නැහැ.

 දුරකථන අලුත්වැඩියා කරන සේවකයා දුරකථන රැහැන කපා ඇති බවත්, එය ගින්නෙන් විනාශ වී නොමැති බවත්, සොඩර් පවුලේ වැඩිහිටියන්ට පවසා තිබුණා. මීට අමතර ව විදුලි රැහැනක දෝෂයකින් සිදුවූ ගින්නකින් නිවස විනාශ විය නොහැකි බවත් සොඩර් පවුලට වැටහුණා. ගිනි ගැනීම සිදු වන අතරතුරත් පහත මාලයේ විදුලි බලය ක්‍රියාත්මකව පැවතීම එයට හේතුව යි.

අතුරුදහන් වූ සොඩර් ළමයින්ගේ ඡායාරූප ඇතුළත් පුවත්පත් දැන්වීමක් – sites.psu.edu 

 එක් සාක්ෂිකරුවකු ගින්න පවතින අවස්ථාවේ දී කාර් එන්ජින් ඉවත් කිරීමට භාවිත කරන කප්පි පද්ධතියක් වැනි යන්ත්‍රයක් අතැති ව සිටි මිනිසකු දුටු බවත් පවසා තිබුණා. එක්තරා දිනක පවුලේ සාමාජිකයන් විනාශ වූ නිවස පිහිටි ස්ථානයට ගිය විට ඔවුන්ගේ දරුවකු මිදුලේ තිබී තද රබර් කැබැල්ලක් සොයා ගත්තා. ගින්නට පෙර ජෙනීට යමක් වහලයේ ගැටුණු ශබ්දය එවිට සිහිපත් වූ බව කියවෙනවා. එය යුද සමයේ භාවිත කළ “පයිනැපල් බෝම්බයක” කොටසක් විය හැකි බව ජෝර්ජ් නිගමනය කළා. කිසියම් කුමන්ත්‍රණයක දැල් පැහැදිලිවම තමන් වටා එතී ඇති බව ඔවුන්ට තේරුම් ගියා. ඒ අනුව ගත හැකි හොඳ ම පියවර අනුගමනය කිරීමට ඔවුන් තීරණය කළා.

සොඩර් පවුල FBI සහාය පතයි

 1947 දී ජෝර්ජ් සහ ජෙනී දෙපළ FBI ආයතනයේ සේවය කළ ජේ. එඩ්ගාර් හූවර්ට අභියාචනයක් කරමින් පරීක්ෂණය සඳහා FBI සහාය පැතුවා. හූවර්ගෙන් ඔවුන්ට පෞද්ගලික පිළිතුරක් ලැබුණා. හූවර් පරීක්ෂණයට දායක වීමට කැමති වුණත්, සොඩර් පවුලේ සිදුවීම විමර්ශනය කිරීමේ වගකීම ප්‍රාදේශීය ආරක්ෂක අංශ වෙත පැවරෙන නිසා FBI විමර්ශන බල සීමාවට එය අයත් නොවිය හැකි බව පිළිතුරෙහි සඳහන් වුණා. ප්‍රාදේශීය බලධාරීන් සහයෝගය දක්වන්නේ නම් පරීක්ෂණය සඳහා දායක වීමට FBI නියෝජිතවරුන් කැමැත්තෙන් සිටියා. එහෙත්, ෆයෙට්විල් පොලීසිය සහ ගිනි නිවීම් ඒකකය ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කළේ නැහැ. 

 ඉන්පසු සොඩර් දෙපළ පුද්ගලික පරීක්ෂකයකු වූ සී.සී. ටින්ස්ලිගේ සහය ඉල්ලා සිටියා. ටින්ස්ලි එහිදී වැදගත් කරුණු කිහිපයක් සොයා ගත්තා. ජෝර්ජ්ට කලකට ඉහත තර්ජනය කළ රක්ෂණ නියෝජිතයා නිවසේ ගින්න හදිසි අනතුරක් ලෙස සැලකූ හදිසි මරණ පරීක්ෂකගේ ජූරි සභාවේ සාමාජිකයකු බව ඔහු සොයා ගත්තා. ගිනි නිවීම් ඒකකයේ ප්‍රධානියා ගින්නට හසු වූ ළමයින්ගේ අවශේෂ කිසිවක් සොයා නොගත් බව සොඩර් පවුලට පවසා තිබුණත්, අළු අතර තිබී ඔහුට කිසිවක් ලැබුණ බව ලිපියේ ඉහත සඳහන් වුණා. මෙම කාරණයත් ටින්ස්ලි අනාවරණය කර ගත්තා.

සොඩර් පවුලේ දරුවන් දසදෙනා අතරින් නව දෙනකුගේ සමූහ ඡායාරූපයක් – medium.com 

සොඩර් දරුවන් ජීවතුන් අතර ද?

 ගිනි නිවීම් ඒකකයේ ප්‍රධානියා ඒ අවශේෂ එම ස්ථානයේ ම පෙට්ටියක වළලා තිබුණා. ටින්ස්ලිගේ ප්‍රමුඛත්වයෙන් එම අවශේෂ නැවත ගොඩ ගත් අතර, පරීක්ෂණවලදී සුන්බුන් අතර තිබූ හදවතක් වැනි මාංශමය කොටස සත්ත්වයකුගේ අක්මාවක කොටසක් බවත්, අස්ථි කොටස් කිහිපය අතුරුදහන් වූ සියලු ම සොඩර් දරුවන්ට වඩා වයසින් වැඩි බවත්, අනාවරණය වුණා. ගිනි නිවීම් ප්‍රධානියා පරීක්ෂණ කෙරෙහි සොඩර් යුවළට ඇති උනන්දුව අඩු කිරීම සඳහා හිතාමතා ම එම අවශේෂ වැළලූ බව කටකතා පැතිරෙන්න පටන් ගත්තා.

 සොඩර් දරුවන් අතුරුදහන් වූ බවට විශ්වාස කළේ ඔවුන්ගේ මව්පියන් පමණ යි. කිසිවකු තම දරුවන් පැහැරගෙන ඇති බව ඔවුන් සිතුවා. ප්‍රාදේශීය නිලධාරීන් නිවසේ ගින්න හදිසි අනතුරක් බවත්, දරුවන් එම ගින්නෙන් ජීවිතක්ෂයට පත්වූ බවත්, නිගමනය කළා. ෆයෙට්විල් නිලධාරීන් එය සිතාමතාම කළ දෙයක්දැ යි අදටත් පැහැදිලි නැහැ. කරුණු සැලකීමේ දී සොඩර් පවුලට ඔවුන්ගෙන් නිසි සහායක් නොලැබුණු බව පෙනෙන්නට තිබෙනවා. මෙය පැහැර ගැනීමක් නම් ඒ පිටුපස තිබෙන හේතුව ගැන පැහැදිලි අදහසක් සොඩර් දෙපළට තිබුණේ නැහැ. දරුවන් කොහේ හෝ ජීවතුන් අතර සිටින බවට වූ විශ්වාසයේ දිගින් දිගටම රැඳී සිටින්න ඔවුන් උත්සහ කළා.

 සැතපුම් 50ක් එපිටින් තිබූ සංචාරක නැවතුමක

 ගින්නෙන් පසු දරුවන් ජීවතුන් අතර සිටින බවට වූ ආරංචි විටින් විට ජෝර්ජ් සහ ජෙනීට දැන ගන්න ලැබුණා. පළමු සාක්ෂිය ලැබුණේ එක්තරා කාන්තාවකගෙන්. නිවස ගිනි ගන්නා අවස්ථාවේදී ඒ අසලින් ගමන් ගත් කාරයක ජනේලයෙන් දරුවන් පිරිසක් ගින්න දෙස බලා සිටි බව ඇය සඳහන් කළා. නිවස විනාශ වූ නත්තල් දින ම උදය වරුවේ දී ෆයෙට්විල් සිට සැතපුම් 50ක් එපිටින් තිබූ සංචාරක නැවතුමක අතුරුදහන් වූ දරුවන් දුටු බව තවත් කාන්තාවක් පවසා තිබුණා. 

” දරුවන් කිහිපදෙනෙක් සමඟ කාන්තාවන් දෙදෙනකු සහ පිරිමින් දෙදෙනකු සිටියා. ඔවුන්ට තිබුණේ ඉතාලි සම්භවයක්. එක් මිනිසෙක් මා දිහා යම් කෝපයකින් බැලුවා. ඉන්පසු ඔහුත් සමඟ සිටි ඉතිරි අයට ආවේගයෙන් යුතු ව ඉතාලි බසින් යමක් පැවසූ නිසා ඔවුන් සියලු දෙනාම මා සමඟ කතා කරන එක නැවැත්තුවා. පසුදා උදෑසනින් ම ඔවුන් පිටත් වුණා.”

සංචාරක නැවතුමේ සිටි කාන්තාව පොලිසිය හමුවේ එලෙසින් සාක්ෂි දී තිබුණා.

දැල්වී නිවී ගිය බලාපොරොත්තු

 අතුරුදහන් වූවායැ යි විශ්වාස කරන දරුවන්ගේ පියා වූ ජෝර්ජ් පවා තම දරුවන් දුටු බවට සැක කරන සිදුවීම්වලට මුහුණ දී තිබුණා. පුවත්පතක පළවූ නිව් යෝර්ක් හි පාසල් ළමයින් පිරිසකගේ ඡායාරූපයක “බෙටී” නම් තම දියණියගේ ස්වරූපයට සමාන දරුවකු සිටින බව ඔහුට ඒත්තු ගියා. සාක්ෂිය ඔස්සේ ඔහු මැන්හැටන් බලා පිටත් වූ අතර, එම දියණියගේ මාපියන් ඔහුත් සමඟ කතා කිරීම ප්‍රතික්ෂේප කළ බව කියවෙනවා. 

 තවත් අවස්ථාවක ශාන්ත ලුවී ප්‍රදේශයේ කාන්තාවක් අතුරුදහන් වූ බවට විශ්වාස කරන දරුවන්ගෙන් “මාර්තා” නමැත්තිය කන්‍යාරාමයක වාසය කරන බව දැනුම් දුන්නා. ටෙක්සාස් හි තැබෑරුමක දරුවන් පැහැරගෙන ගොස් ගෙයක් ගිනි තැබීම ගැන පුරසාරම් දෙඩවූ පිරිසක් ගැනත් වාර්තා වුණා. බොහෝමයක් ඇසින් දුටු සාක්ෂි ශක්තිමත් පදනමක් නැති දූෂමාන ආරංචිවලට ආසන්න ස්වභාවයක් ගත්තා.

අතුරුදහන් වූ ලුයිස් සොඩර්ගේ කුඩා කල ඡායාරූපය සහ දශක දෙකකට පසු ලැබුණු තරුණයාගේ ඡායාරූපය – rtd.rt.com 

දශක දෙකකට පසු පැමිණි ඡායාරූපය

 1968 දී, එනම්, ගින්නෙන් විසි වසරකට පසු තැපෑල ඔස්සේ ජෙනී සොඩර්ට ලියුමක් ලැබුණා. තැපැල් සලකුණ අනුව එය කෙන්ටකි ප්‍රදේශයෙන් පැමිණි ලියුමක් වුවත්, ආපසු ලිපිනයක් එහි සඳහන් ව තිබුණේ නැහැ. ඒ තුළ වයස අවුරුදු 20 ගණන්වල තරුණයකුගේ ඡායාරූපයක් අඩංගු වූ අතර, එහි පිටුපස “ලුයිස් සොඩර්” යනුවෙන් සටහන් ව තිබුණා. ගින්න සිදු වූ කාලයේදී ලුයිස්ගේ වයස අවුරුදු නවයක් පමණ යි. කුඩා ලුයිස්ගේ හැඩහුරුකම් මෙම තරුණයාගේ රූපය සමඟ සැසඳෙන අන්දම නිසා සොඩර් දෙපළට ඡායාරූපය ප්‍රතික්ෂේප කරන්න නොහැකි වුණා. ඔවුන් නැවතත් පෞද්ගලික රහස් පරීක්ෂකයකු කුලියට ගෙන කෙන්ටකි ප්‍රදේශයට යැව්වත්, ලුයිස් ගැන කිසිවක් සොයා ගන්නට ඔහුට හැකි වුණේ නැහැ.

 සොඩර් පවුලේ ජීවිතය බේරාගත් සාමාජිකයන්ගෙන් දැන් ජීවතුන් අතර සිටින්නේ එක් අයකු පමණ යි. සොඩර් නිවසේ ගිනි ගැනීම සම්බන්ධයෙන් තවමත් විසඳුණේ නැති ගැටලු රාශියක් තිබෙනවා. ඉණිමඟ අතුරුදහන් වීම, ජෙනීට ඇසුණු අමුතු ශබ්ද, රක්ෂණ අලෙවිකරුවාගේ තර්ජනය, ගිනි නිවීම් ඒකකයේ ප්‍රධානියාගේ අමුතු හැසිරීම, විදුලි රැහැන් දෝෂය ගැන පැවසූ අසත්‍ය එයින් කිහිපයක් පමණ යි. දරුවන් පස්දෙනාගේ අවශේෂ හමු නොවීම ඒ අතර වන ප්‍රධානත ම ගැටලුව වුණා.

 ජෝර්ජ් සහ ජෙනී සොඩර්ගේ මුණුබුරන් පවා පසුකලෙක අතුරුදහන් වූ දරුවන් පස්දෙනා ගැන සොයන්න උත්සුක වුණා. ඔවුන්ට මූලිකව ම අවශ්‍ය වුණේ සැබැවින් ම එය පැහැර ගැනීමක් නම් ඒ පිටුපස තිබූ හේතු කාරණා සොයා ගැනීම යි. දශක හතක් තිස්සේ අමෙරිකානු ජාතිකයන්ගේ පරිකල්පනය අභියෝගයට ලක් කරන සිදුවීමක් ලෙස සොඩර් දරුවන්ගේ අතුරුදහන් වීම ඉතිහාසයට එක් වුණා. 

කවරයේ ඡායාරූපය: කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව් ගින්නකට හසුවූ නිවසක් - www.yourerie.com

මූලාශ්‍ර:

www.smithsonianmag.com

medium.com

www.mentalfloss.com 

Related Articles